9. අවිජ්ජා 10. භවතණ්හා

ඒ ඒ දෙය නො වරදවා ඇති සැටියට ම දැන ගැනීමට සමර්ථ වූ නුවණ විජ්ජා නම් වේ. ආලෝකයට විරුද්ධ වූ අන්ධකාරය මෙන් ඒ ඒ දෙයෙහි ඇති සැටිය වසන ස්වභාවය අවිජ්ජාව නම් වේ. මේ අවිද්‍යාව කෙලෙසුන්ගෙන් ප්‍ර‍ධාන ක්ලේශය බව කිය යුතුය. අවිද්‍යාවෙන් තොරව ඇති වන ක්ලේශයක් නැත. සියලු ම කෙලෙසුනට අවිද්‍යාවේ සහාය වුවමනා ය. අවිද්‍යාව නැති වුවහොත් අන් එක් ක්ලේශයකුදු ඇති නො වේ. ජලය හා මිශ්‍ර‍ වී ජලයෙහි පැතිර පවත්නා සායමක් මෙන් මේ අවිද්‍යාවත් සිත හා බැඳී සිත හා මිශ්‍ර‍ව සිතේ පැතිර පවතී. අඳුරේ ඇති වස්තූන් දෙස බලන්නකුට ඒ වස්තූන් ඇති සැටියට නොව අන් ආකාරයකට පෙනෙන්නාක් මෙන් අවිද්‍යා සහගත සිතට ද ඒ ඒ ධර්මය ඇති සැටියට නොදැනී අන් ආකාරයකින් දැනේ. ඇති සැටියට නො දැනෙන බැවින් අවිද්‍යාවට අඤ්ඤාණ හෙවත් නො දැනීම ය යි කියනු ලැබේ. ලෝකයේ දත යුතු දෑ බොහෝ ය. ඒවායින් යමකට සිත යොමු කරන ලද නම් ඒ දෙය දැනේ. සිත යොමු නො කළ දෙය නො දැනේ. ඒ නො දැනීම අවිද්‍යාව නොවන බව දත යුතු ය. අවිද්‍යාව ප්‍ර‍හාණ කළ රහතුන්ට ද සිත යොමු කළ දෙය හැර අනිකක් නො දැනේ.

අවිද්‍යා සහගත සිතට රූපය රූපයක් ලෙස නොව සත්ත්වයකු ලෙස දැනේ. අනිත්‍ය වූ රූපය නිත්‍ය ලෙස දැනේ. අශුභ වූ රූපය ශුභයක් ලෙස දැනේ. දුඃඛයක් වූ රූපය සුවයක් ලෙස දැනේ. වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ද එසේ ම වැරදි ලෙස දැනේ.

“දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛ සමුදයේ අඤ්ඤාණං,

දුක්ඛ නිරෝධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා

පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තේ අඤ්ඤාණං,

අපරන්තේ අඤ්ඤාණං, පුබ්බාපරන්තේ අඤ්ඤාණං,

ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නේසු අඤ්ඤාණං”

(ධම්මසංගණී)

මෙසේ අභිධර්මයෙහි කරුණු අටකින් අවිද්‍යාව දේශනය කර ඇත්තේ ය. තවත් ක්‍ර‍මයකින් කියතහොත් අෂ්ටාකාර අවිද්‍යාවක් දේශනය කර ඇත්තේ ය. දුක නොදැනීම, දුක් ඇති වීමේ හේතුව නො දැනීම, දුක්ඛ නිරෝධය නො දැනීම, දුක්ඛ නිරෝධයට පැමිණීමේ ක්‍ර‍මය නො දැනීම, තමාගේ ස්කන්ධ පරම්පරාවෙහි පූර්ව කොට්ඨාසය නො දැනීම, අනාගත කොට්ඨාසය නො දැනීම, අතීතානාගත දෙකොට්ඨාසය ම නො දැනීම, ස්කන්‍ධ පරම්පරවේ හේතු ඵල ක්‍ර‍මය වන පටිච්ච සමුප්පාදය නො දැනීම යනු අභිධර්මයෙහි දැක්වෙන අෂ්ටප්‍ර‍කාර අවිද්‍යාව ය.

උපාදානස්කන්ධ පඤ්චකය දුකෙකි. එහෙත් ආර්‍ය්‍යධර්මය නො දත් පෘථග්ජනයාට පෙනෙන්නේ එය ඉතා හොඳ දෙයක් සැපයක් ලෙස ය. උපාදාන ස්කන්ධ පඤ්චකය නැති වෙතැයි කියතහොත් ඔහුට ඇති වන්නේ මහත් බියෙකි. උපාදාන ස්කන්ධය දුකක් වශයෙන් නො ගෙන හොඳ දෙයක් සැපයක් වශයෙන් ගැනීම දුඃඛය නො දැනීම හෙවත් වැරදි ලෙස දැන ගැනීම වූ අවිද්‍යාව ය.

පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය නො සිඳී නො නිවී ඉදිරියට දිගින් දිගට ඇති වන්නේ තණ්හාව නිසා ය. එය තේරුම් ගැනීම වඩාත් අපහසු ගැඹුරු කරුණෙකි. අවිද්‍යා සහගත සිතට තණ්හාවෙහි ඇති දුක් ඉපදවීමේ හේතුභාවය නො පෙනේ. එයට පෙනෙන්නේ තණ්හාව සැපයට හේතුවක් ලෙස ය. එසේ ඇති වන වැරදි දැනීම දුක් ඇති වීමේ හේතුව නො දැනීම වූ අවිද්‍යාව ය.

පඤ්චස්කන්ධයාගේ අනුත්පාද නිරෝධය හෙවත් නිවන අවිද්‍යා සහගත සිතට නො දැනේ. ඒ නිවන ගැන කියනු ඇසුවහොත් අවිද්‍යා සහගත සිතට දැනෙන්නේ එය ඉතා නපුරක් ලෙස ය. දුඃඛ නිරෝධය පිළිබඳ ව ඇති වන ඒ වැරදි දැනීම දුඃඛ නිරෝධය නො දැනීම ය යි කියන ලද අවිද්‍යාව ය.

දුඃඛ නිරෝධයට පැමිණීමේ ප්‍ර‍තිපදාව අවිද්‍යා සහගත සිතට දැනෙන්නේ පලක් නැති කරදර වැඩක් සේ ය. දුකක් සේ ය. දුඃඛ නිරෝධයට පැමිණීමේ ප්‍ර‍තිපදාව පිළිබඳ වූ ඒ වැරදි දැනීම දුකින් මිදීමේ මග නො දැනීම නමැති අවිද්‍යාව ය.

අතීත භවයන්හි වූ ස්කන්ධයන් ස්කන්ධ සැටියට නාමරූප ධර්ම සැටියට තේරුම් ගත නොහී, මා අතීතයේ දෙවියෙක්ය මිනිසෙක්ය යනාදීන් අතීත නාමරූපයන් පිළිබඳ ව ඇතිවන වැරදි හැඟීම් අතීත කොට්ඨාස නො දැනීම යයි කියන ලද අවිද්‍යාව ය.

මම මතු දෙවියෙක් වෙමි ය මිනිසෙක් වෙමි ය යනාදීන් අනාගත ස්කන්ධයන් පිළිබඳ ව ඇති වන වැරදි හැඟීම් අපරන්තය නො දැනීම යයි කියන ලද අවිද්‍යාවය.

අතීතයේ විසුයේත් මමය අනාගතයෙහි වෙසෙන්නේත් මමය කියා අතීතානාගත ස්කන්ධයන් සම්බන්ධයෙන් ඇති වන වැරදි හැඟීම පුබ්බාපරන්තේ අඤ්ඤාණං යනුවෙන් දැක්වෙන අවිද්‍යාව ය.

හේතුඵල පරම්පරාවක් වන මේ නාම රූප ධර්ම රාශිය එක් දෙයක් වශයෙන් වරදවා දැනීම පටිච්ච සමුප්පාදය නො දැනීම නමැති අවිද්‍යාව ය.

ඛන්ධ සංයුත්තයේ චූළපණ්ණාසකයේ අවිජ්ජාවග්ගයේ අවිද්‍යාව දැක්වෙන සූත්‍ර‍ දශයක් එන්නේ ය. ඒ සූත්‍රයෙහි අවිද්‍යාව විස්තර කර ඇත්තේ පඤ්චස්කන්ධය අනුව ය. ඉන් එක් සූත්‍ර‍යක අවිද්‍යාව දක්වා ඇත්තේ මෙසේය.

ඉධ භික්ඛු! අස්සුතවා පුථුජ්ජනො සමුදයධම්මං රූපං සමුදයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති, වයධම්මං රූපං වයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති, සමුදයධම්මං රූපං සමුදයවයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති, සමුදයධම්මං වේදනා සමුදය ධම්මා වේදනාති යථාභූතං නප්පජානාති, වයධම්මං වේදනා වයධම්මා වේදනාති යථාභූතං නප්පජානාති, සමුදයවයධම්මා වේදනා සමුදයධම්මං සඤ්ඤං සමුදය ධම්මා සඤ්ඤාති යථාභූතං නප්පජානාති, වයධම්මං සඤ්ඤං වයම්මා සඤ්ඤාති යථාභූතං නප්පජානාති, සමුදයවයධම්මං සඤ්ඤං සමුදයවයධම්මා සඤ්ඤාති යථාභූතං නප්පජානාති, සමුදයධම්මේ සංඛාරේ සමුදය ධම්මා සංඛාරාති යථාභූතං නප්පජානාති, වයධම්මේ සංඛාරේ වයධම්මා සංඛාරාති යථාභූතං නප්පජානාති. සමුදයවයධම්මේ සංඛාරේ සමුදයවයධම්මා සංඛාරාති යථාභූතං නප්පජානාති, සමුදයධම්මං විඤ්ඤාණං සමුදයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති, වයධම්මං විඤ්ඤාණං වයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති, සමුදයවයධම්මං විඤ්ඤාණං සමුදයවයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති අයං වුච්චති භික්ඛු අවිජ්ජා.

රූපය ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා ස්වභාවය ඇතියක් බව බිඳෙන ස්වභාවය ඇතිවයක් බව ඇති වන නැති වන ස්වභාවය ඇතියක් බව නොදන්නේ නම් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ද එසේ නො දන්නේ නම් ඒ නො දැනීම අවිද්‍යාව යනු ඒ සූත්‍රයේ කෙටි තේරුම ය.

මේ අවිද්‍යාව ලෝකය යට කර ගෙන වසා ගෙන සිටින මහා ක්ලේශය ය. එබැවින් “අවිජ්ජාය නිවුතෝ ලෝකෝ”යි වදාරා ඇත. ලෝකයේ සියලුම පෘථග්ජනයන් වැඩ කරන්නේ අවිද්‍යාව තුළ සිටගෙන ය. අවිද්‍යාව ඇති පුද්ගලයාට තමාගේ අවිද්‍යාව නො දැනේ. ඔහුට දැනෙන්නේ තමාගේ අවිද්‍යාව විද්‍යාව ලෙසය. අවිද්‍යාව නිසා වරක් වූ මුළාව වරක් ඇති වූ වැරදි හැඟීම ස්ථිර වීමට නොයෙක් හේතුදාහරණ ඒ අවිද්‍යාව ම මතු කර දෙන්නේ ය. මරණින් මතු නැවත උපතක් ඇති බව අවිද්‍යාව වසයි. එබැවින් අවිද්‍යාසහගත පුද්ගලයා මරණින් මතු නැවත උපතක් නැතැයි සිතයි. එය ඔප්පු කිරීමට නොයෙක් හේතුදාහරණ ඒ අවිද්‍යාවෙන් ම මතු කරනු ලැබේ. මුළා වූවහුට එය අවිද්‍යාව බව නො දැනේ. ඔහුට දැනෙන්නේ මුළාව ඔප්පු කිරීමට හේතුදාහරණ මතු කර දෙන අවිද්‍යාව විද්‍යාව ලෙස ය. ඒවා විද්‍යාව ලෙස දැනීමත් අවිද්‍යාව ම ය.

සත්ත්වයාත් ලෝකයත් ඉබේ ම ඇති වූයේ ය, කෙනකු විසින් මවන ලද්දේය, සුව දුක් විඳින ඒ ඒ කටයුතු සංවිධානය කරන ශරීරය හා සිත ස්වවශයෙහි පවත්වන කිසිකලෙක නො මැරෙන ජාතියෙන් ජාතියට යන ආත්මයක් ඇත්තේ ය, කුමක් කළත් එයින් පිනක් හෝ පවක් නො වන්නේය, පින් පව් වලින් වන ඵලයක් නැත ය යන මේ දෘෂ්ටි ඇති වන්නේ පටිච්ච සමුප්පාදය ආවරණය කරගෙන සිටින අවිද්‍යාව නිසා ය. ඒ ඒ දෘෂ්ටි ගෙන සිටින අයට ඒවා ඔප්පු කිරීමට නොයෙක් හේතු යුක්ති මතු කර දෙන්නේ ද අවිද්‍යාවෙන් ම ය.

ප්‍ර‍ඥාව කිසි කලෙක පව්කම් කිරීමට සහාය වන ධර්මයක් නො වේ. ලෝභය දෘෂ්ටිය විතර්කය විචාරය චිත්තය යන මේ ධර්මයන්ට එකතුව ඒවායේ උපකාරයෙන් මේ අවිද්‍යාව අකුශල කරණයේ දී ප්‍ර‍ඥාව මෙන් ක්‍රියා කරන්නේ ය. එසේ ක්‍රියා කරන විද්‍යාවේ මුහුණුවර ඇති අවිද්‍යාවට ලෝකයෙහි කියන්නේ නුවණය කියා ය. සතුන් මැරීමේ නුවණ, සතුන් මරණ උපකරණ තැනීමේ නුවණ, යුද කිරීමේ නුවණ, යුද අවි තැනීමේ නුවණ, සොරකම් කිරීමේ නුවණ, මිථ්‍යාචාරය පිළිබඳ නුවණ, වඤ්චා කිරීමේ නුවණ යන මේවා සැබෑ නුවණ නොව විද්‍යා රූපයෙන් ඇති වන අවිද්‍යාව ය.

අර්හත්වයට පැමිණෙන තුරු අවිද්‍යාව පවතී. එහෙත් උපක්‍ර‍මයෙන් එය තුනී කර ගත හැකිය. ආර්යධර්ම උගෙනීම, සත් පුරුෂ සේවනය, භාවනාවෙහි යෙදීම, කාමයන්ගෙන් ඈත්වීම යන මේවායින් ආර්ය විද්‍යාව ඇති කර ගත හැකිය. අවිද්‍යාව තුනී කර ගත හැකිය. ලෝකයෙහි ඇති බොහෝ උගෙනීම්වලින් සිදුවන්නේ අවිද්‍යාව දියුණුවීම හා තහවුරු වීම ය. ඇතැම් පොත් කියවීමෙන් ද එසේ ම වේ.

සේවෙථ වුද්ධෙ නිපුණේ බහුස්සුතේ

උග්ගාහකෝ ච පරිපුච්ඡකෝ සියා

සුණෙය්‍ය සක්කච්ච සුභාසිතානි

එවං කරෝ පඤ්ඤවා හෝති මච්චෝ

(සරභංග ජාතක)

තියුණු නුවණැති වෘද්ධ බහුශ්‍රැතයන් (උගතුන්) සේවනය කරන්නේය. උගන්නා වූ ද පිළිවිසීම් කරන්නා වූ ද පුද්ගලයෙක් වන්නේ ය. සුභාෂිතයෙන් මනා කොට අසන්නේ ය. එසේ කරන මනුෂ්‍යයා ප්‍ර‍ඥාව ඇතියෙක් වන්නේය යනු ගාථාවෙහි තේරුම ය.

භවතණ්හා

කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යි තණ්හා තුනක් ඇත්තේ ය. රූපාරූප භව පිළිබඳ වූ ද රූපාරූප භවයන්හි ඉපදීමට හේතු වන රූපාරූපධ්‍යාන පිළිබඳ වූ ද තණ්හාව භවතණ්හා නම් වේ.

බ්‍ර‍හ්මපාරිසජ්ජ බ්‍ර‍හ්මපුරෝහිත මහාබ්‍ර‍හ්මය යි ප්‍ර‍ථමධ්‍යාන භූමි තුනෙකි. පරිත්තාහ අප්පමාණාභ ආභස්සරය යි ද්විතීයධ්‍යාන භූමි තුනෙකි. පරිත්තසුභ අප්පමාණසුභ සුභකිණ්ණය යි තෘතීයධ්‍යාන භූමි තුනෙකි. වේහප්ඵලය අසඤ්ඤසත්තය අවිහය අතප්පය සුදස්සය සුදස්සීය අකණිට්ඨය යි චතුර්ථධ්‍යාන භූමි සතකි. මේ භූමි සොළස රූපාවචර බ්‍ර‍හ්මලෝකයෝ ය. ආකාසානඤ්චායතන ය, විඤ්ඤාණඤ්චායතන ය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානා-සඤ්ඤායතනයයි අරූපාවචර භූමි සතරෙකි. භවතණ්හා යන මෙහි භවය යි කියැවෙන්නේ ඒ විස්සක් වන රූපාරූප භූමීන්හි ඇති ස්කන්ධයන් හා ධ්‍යානයන් ය. මේ භව තණ්හාව සත්ත්වයාහට නිවනට යන්නට නො දී රූපාරූප භවයන් හි ඔහු බැඳ තබයි. සිත අඳුරු කරන බැවින් එය ක්ලේශයකි.