ඒසනා

31. කාමේසනා

32. භවේසනා

33. බ්‍ර‍හ්මචරියේසනා

රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍ර‍ෂ්ටව්‍ය යන පඤ්ච කාමයන් සෙවීම් වශයෙන් පවත්නා වූ රාගය ද එය හා ඇතිවන කායකර්ම වාක්කර්ම මනඃකර්මයෝ ද කාමේසනා නම් වේ.

රූපාරූප භවයන් සෙවීම් වශයෙන් ඇතිවන රාගය හා එය හා එක්ව ඇතිවන කායකර්ම වාක්කර්ම මනඃකර්මයෝ ද භවේසනා නම් වේ.

සස්සතෝ ලෝකෝ යනාදීන් දැක්වෙන අන්තග්‍රාහික දෘෂ්ටීහු ද දෘෂ්ටි ගතිකයන් විසින් කරන ඒ දෘෂ්ටි සම්බන්ධ කායකර්ම වාක්කර්ම මනඃකර්මයෝ ද බ්‍ර‍හ්මචරියේසනා නම් වේ.

අන්තග්‍රාහික දෘෂ්ටි දශය.

  1. සස්සසෝ ලෝකෝ,
  2. අසස්සතෝ ලෝකෝ,
  3. අන්තවා ලෝකෝ,
  4. අනන්තවා ලෝකෝ,
  5. තං ජීවං තං සරීරං,
  6. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං,
  7. හෝති තථාගතෝ පරම්මරණා,
  8. න හෝති තථාගතෝ පරම්මරණා,
  9. හෝති ච න ච හෝති තථාගතෝ පරම්මරණා,
  10. නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණා.

සස්සතෝ ලෝකෝ යන මෙහි ලෝකය යි කියනුයේ පඤ්චස්කන්ධයට ය. ඇතැම්හු එය ආත්මය යි සලකති. බලන තැනැත්තාය යන අර්ථයෙන් ආත්මයට ලෝක යන නාමය ව්‍යවහාර කරති. ලෝක නම් වූ ඒ ආත්මය නො නැසී සැම කල්හි ම පවත්නේය යනු එක් දෘෂ්ටියෙකි.

ලෝක නම් වූ ඒ ආත්මය මරණින් සිඳී යන්නේ ය, කෙළවර වන්නේ ය යනු අසස්සතෝ ලෝකෝ යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය.

අන්තවා ලෝකෝ අනන්තවා ලෝකෝ යනුවෙන් දැක්වෙන දෘෂ්ටි දෙක ධ්‍යානලාභී බාහිරක තවුසන්ට ඇතිවන දෘෂ්ටි දෙකකි. පිඟානක් වට්ටියක් පමණ කුඩා කසිණ නිමිත්තක ධ්‍යානයට සම වැදී වෙසෙන ඇතැම් තවුසකුට ඒ සමාපත්තිය තුළ පැවති නාමරූප ධර්ම සමූහය ආත්මය යන හැඟීම ඇති වේ. ඒ ආත්මයේ ප්‍ර‍මාණයත් කසිණ නිමිත්තේ ප්‍ර‍මාණය ම ය යි ඔහු අදහස් කරයි. ඔහුට කසිණ නිමිත්ත අන්තවත් බ බැවින් ආත්මයත් අන්තවත් ය යන දෘෂ්ටිය ඇති වේ. එය “අන්තවා ලෝකෝ” යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය.

ඉතා මහත් කසිණ නිමිත්ත ධ්‍යානයට සම වැදී සිටින තවුසෙක් සමාපත්තිය තුළ පැවති නාම රූප ධර්මයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය කසිණ නිමිත්ත සේ ම කොනක් නැති ය කැ යි ගනී. ඒ “අනන්තවා ලෝකෝ” යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය.

ආත්මය ගැන සොයන ඇතමෙකුට ශරීරය ම ජීවය ය යන හැඟීම ඇති වේ. ඔහු ජීවයත් ශරීරයත් එකම ය කියා පිළිගනී. එය “තං ජීවං තං සරීරං” යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය. එය උච්ඡේද දෘෂ්ටියෙකි.

ඇතැමෙක් ශරීරය හැර ජීවයක් ඇත. ශරීරය අනිකෙක, ජීවය අනිකෙකැයි ගනිති. එය “අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං” යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය. ඒ දෘෂ්ටියේ සැටියට මරණින් මතු ජීවය ඉතිරි වන බැවින් එය ශාස්වත දෘෂ්ටියෙකි.

හෝති තථාගතෝ පරම්මරණා යනාදියෙහි තථාගත යනුවෙන් කියැවෙන්නේ සත්ත්වයා ය. හෙවත් ආත්මය ය. පුද්ගලයකු මළ ද ආත්මය නොනැසී පවත්නේ ය යනු “හෝති තථාගතෝ පරම්මරණා” යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය. ඒ ශාස්වත දෘෂ්ටියෙකි.

මරණින් සත්ත්වයා කෙළවර වන්නේ ය යි ගැනීම “න හෝති තථාගතෝ පරම්මරණා” යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය.

මරණින් ඔබ්බට සත්ත්වයා නැත. මරණින් සත්ත්වයා කෙළවර වේය යි ගැනීම “න හොති තථාගතෝ පරම්මරණා” යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය. ඒ උච්ඡේද දෘෂ්ටියෙකි.

ආත්මය මරණින් පසු ඇතය කියා හෝ නැතය කියා හෝ එක් පක්ෂයක් ගැනී සදොස් ය යි ඇතැමෙක් මරණින් මතු සත්ත්වයා ඇත්තේ ද නැත්තේ ද වේය යන ඒකත්‍ය ශාස්වත වාදය ගනිති. ඒ “හෝති ච න ච හෝති තථාගතෝ පරම්මරණා” යනුවෙන් දැක්වෙ දෘෂ්ටිය ය.

ඇතමෙක් මරණින් පසු සත්ත්වයා ඇතය යි ගැනීමේ ද නැතය යි ගැනීමේ ද දොස් දැක සත්ත්වයා මරණින් මතු ඇත්තේ ද නැත්තේ ද නොවේය යන දෘෂ්ටිය ගනිති. කිනම් අතකටවත් හසු නොවන බැවින් ඒ දෘෂ්ටිය අමරාවික්ඛේප නම් වේ.

ශාස්වත වාදය එක් අන්තයෙකි. උච්ඡේදවාදය එක් අන්තයෙකි. කියන ලද දෘෂ්ටි දශයෙන් සෑම එකක් ම ඒ අන්ත දෙකින් එකකට අයත් වන බැවින් ඒ දෘෂ්ටි දශය අන්තග්‍රාහික දෘෂ්ටීහු නම් වෙති.

ශාසනික බ්‍ර‍හ්මචර්යේෂණය බාහිරික බ්‍ර‍හ්මචර්යේෂණය ය බ්‍ර‍හ්මචරියේසනා දෙකකි. මෙහි අදහස් කරන්නේ බාහිරික බ්‍ර‍හ්මචරියේසනාව ය. ලෝකය ශාස්වතය යනාදි දර්ශනය ම බ්‍ර‍හ්මචර්‍ය්‍යයෙක, හෙවත් මෝක්ෂයට පමුණුවන උත්තම චරියාවක් ය යනු දෘෂ්ටිගතිකයන් ගේ සම්මුතියකි. දෘෂ්ටි ගතිකයෝ මෝක්ෂයට පැමිණීමේ මාර්ගයක් වශයෙන් ආත්මය ගැන සෙවීම කරති. ශාසනිකයන්ට ඇති මාර්ග බ්‍ර‍හ්මචර්‍ය්‍යාව සෙවීමේ අදහස නමැති බ්‍ර‍හ්මචරියේසනාව අර්හත් මාර්ගයට පැමිණීමෙන් සන්සිඳේ. බාහිරික බ්‍ර‍හ්මචරියේසනාව වූ දෘෂ්ටිය සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හීණ වන ක්ලේශයෙකි. කාමේසනාව අනාගාමී මාර්ගයෙන් ප්‍ර‍හීණ වන ක්ලේශයෙකි. භවේසනාව අර්හත් මාර්ගයෙන් ප්‍ර‍හීණ වන කලේශයෙකි.

ඉහත දැක් වූ විසි වැදෑරුම් සත්කාය දෘෂ්ටිය හා මේ අන්තග්‍රාහික දෘෂ්ටිය ගැන අවබෝධයක් ඇති කර ගත හැකි වන්නේ පඤ්චස්කන්ධය ගැන අවබෝධය ඇති කර ගැනීමෙන් ය. සියලු දෘෂ්ටීන් ම ඇති වන්නේ පඤ්චස්කන්ධය සම්බන්ධයෙනි. පඤ්චස්කන්ධය හරියට තේරුම් ගත හොත් එයින් ම දෘෂ්ටීහු දුරු වෙති.

පඤ්චස්කන්ධයට අයත් නාමරූප ධර්මයෝ ඉතා සියුම් ය. අබ ඇටයක් පමණ කුඩා වස්තුවක වුව ද ලක්ෂ ගණන් කුඩා රූපකලාප ඇත්තේ ය. ඒ රූප කලාපයෝ ඇසිපිය හෙළන කාලය තරම් කාලයකුදු නො පවතිති. වහා නැති වෙති. තුබූ රූපකලාප බිඳුණු තැන්වලට අලුත් රූප කලාපයෝ ඉතා වේගයෙන් පහළ වෙති. තුබූ රූපකලාප බිඳීමේ හා තැන්වලට අලුත් රූපකලාප පහළ වීමේ අතරක් නො පෙනේ. එබැවින් දින ගණන් මාස ගණන් වර්ෂ ගණන් පවත්නා වස්තුව ඇති සේ පෙනේ. වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන නාමස්කන්ධයන් ගේ ඉපදීම බිඳීම රූප කලාපයන්ගේ ඉපදීම බිඳීමට වඩා වේගවත් ය. ගමනාදි ක්‍රියාවක් සිදු වන්නේ එය ඉතා වේගයෙන් ඉපද ඉපද බිඳි බිඳී යන කෝටි සංඛ්‍යාත නාමරූප ධර්ම සමූහයකිනි. ඒවා සිදුවන ආකාරයත් නාමරූපයන් ගේ ඉපදීම බිඳීමත් නො පෙනෙන සාමාන්‍ය ලෝකයා ඒ නාමරූප ධර්ම සියල්ල එක් කොට ගෙන මම යමිය මම හිඳිමිය මම නිදමිය යනාදීන් ඒවා ආත්මය කොට වරදවා තේරුම් ගනිති. දර්ශන ශ්‍ර‍වණාදි ක්‍රියාවන්ගේ සිද්ධිය වඩාත් ආත්ම සංඥාව ඇති වීමට හේතු වේ. යම්කිසි දැකීමක් සිදුවන්නේ ඇසීමක් සිදුවන්නේ ලක්ෂ ගණනක් නාම රූප ධර්ම ඉපිද බිඳී යාමේ ඵලයක් වශයෙනි. ඒවා දැන ගත නො හෙන තැනැත්තා ඒ නාම රූප සියල්ල එක් කොට ඒ මම යි සිතයි. මම දකිමි මම අසමි යි සිතයි. එසේ ඇති වන ආත්ම සංඥාව මමය යන හැඟීම මේරීමෙන් ස්ථිරත්වයට පැමිණ සත්කාය දෘෂ්ටිය වේ.

මේ සත්කාය දෘෂ්ටිය පෘථග්ජන සකල සත්ත්වයන්ට ම ඇත්තේ ය. අන්‍ය දෘෂ්ටීහු කලින් කල වෙනස් වෙති. ලෝකය යමකු විසින් මවන ලදය යන දෘෂ්ටිය ගෙන සිටින තැනැත්තා සමහර විට කලකදී එය වෙනස් කරයි. ලෝකය ඉබේම ඇති වූයේය යන දෘෂ්ටිය ගෙන සිටින තැනැත්තා ද සමහර විට කලකදී එය වෙනස් කරයි. මෙසේ අන්‍ය දෘෂ්ටීන් කලින් කල වෙනස් කරන නුමුත් සත්කාය දෘෂ්ටිය වෙනස් නොවේ. එය භවාන්තරයට පැමිණීමෙන් ද වෙනස් නොවේ. සෝවාන් වන තුරු සංසාරය දිගට ම පවතී. බොහෝ ජනයෝ ආත්මය කියා දෙයක් ඇතය යි පිළිගෙන ඒ ආත්මය ගැන කථා කරන නමුත් ඔවුහු ආත්මය නො හඳුනති. එය කුඩා ද මහත් ද සුදු ද කළු ද කොහි පවතින්නේ ද කියා නො දනිති. ඇතය කියා සැලකුව ද එහි සැටි නො දැනෙන්නේ ආත්මයක් සත්‍ය වශයෙන් නැති නිසා ය. තමන් විසින් ඇත යයි සලකන ආත්මය කුමක් ද එහි සැටි කෙසේදැ යි සෙවීමට බොහෝ දෙනා උත්සාහ කළහ. පඤ්චස්කන්ධයෙහි ආත්මය සෙවූ ඔවුනට වෙනස් වන ස්වභාවය ඇති රූපය ආත්මය නො වන බව දැනිණි. ඉපද බිඳී යන වේදනාව සංඥාව ආත්මය නොවන බව පෙනිණි. සංස්කාර විඤ්ඤාණයන් ආත්මය නොවන බව පෙනිණි. එසේ පෙනුණා වූ ඇතැම්හු මේ පඤ්චස්කන්ධය පාලනය කරන හිමියකු සිටිය යුතු ය. ඒ ස්වාමියා ආත්මය යි පැවසූහ. ඇතැම්හු කැති උදලු වෑ පොරෝ පිහියා ආදියෙන් ඒ ඒ ක්‍රියා කරන්නාක් මෙන් ශරීරයෙහි ඇති ඇස් කන් ආදි ඉන්ද්‍රියයන් ගෙන් හා අත් පා ආදියෙන් දැකීම් ඇසීම් ආදි ක්‍රියා සිදු කරන්නා ආත්මය යි පැවසූහ. ඇතැම්හු සුවදුක් විඳින්නා ආත්මය යි පැවසූහ. ඇතැම්හු මරණයෙන් පඤ්චස්කන්ධය නැති වී ගිය ද නො නැසී ඉතිරි වන දෙයක් ඇත, ඒ ආත්මය යි පැවසූහ. පක්ෂියා වාසය කරන කැදැල්ල බිඳුනු කල්හි අන් කැදැල්ලකට යන්නාක් මෙන් ශරීරය බිඳුනු පසු ආත්මය අන් ශරීරයකට යන්නේය යි ඔවුහු පවසති. ඇතැම්හු තමා කිසිවකට වසඟ නොවී ඉන්ද්‍රිය සහිත ශරීරය ස්වවශයෙහි පවත්වන ශරීරයට අධිපති දෙය ආත්මය යි පැවසූහ. ඇතැම්හු ඒ ඒ කෘත්‍යයන්හි පඤ්චස්කන්ධය මෙහෙයවන්නා ආත්මය යි පැවසූහ. ඇතැම්හු රූපාදිය ම ආත්මය වශයෙන් ගෙන මරණින් සත්ත්වයා කෙළවර වන්නේ ය යි පැවසූහ.

ආත්මය ස්කන්ධයන්ගෙන් අනිකකැයි සලකන්නෝ එය ආයුධයකින් කැපිය නොහෙන ගින්නෙන් දැවිය නො හෙන, ජලයෙන් තෙත් කළ නො හෙන ස්ථිර දෙයකැයි පවසති. ආත්මය ඉපදීමක් නැති මරණයක් නැති අමුතු කිසිවක් එයට එකතු නො වන එයින් ද කිසිවක් ඉවත් නො වන ශාස්වත දෙයකැයි ද කියති. එය අණුවකට වඩා කුඩා වූ ද සියල්ලට ම වඩා විශාල වූද හෘදයෙහි පවත්නා දෙයකැයි ද කියති. මෙසේ ආත්මය බොහෝ අනුසස් දක්නේ එය නැති දෙයක් නිසා ය.