76. දෝවචස්සතා 77. පාපමිත්තතා 78. නානත්තසඤ්ඤා

ආචාර්යෝපාධ්‍යායයන් විසින් බුදුන් වහන්සේ පනවා ඇති සිකපදයෙන් අනුශාසනා කරන කල්හි රාත්‍රියට ආහාර ටිකක් ගෙන සාගනින් නිවා ගැනුමේ වරද කුමක් ද? තණ උදුරා දමා මිදුල පිරිසිදු කිරීමේ වරද කුමක් ද? යනාදීන් තර්ක ඉදිරිපත් කෙරෙමින් සිකපදයට විරුද්ධ පැත්ත ගන්නා බව, විරුද්ධ ව සිටීම ම මිහිරි බව, සිකපදවලට හා ආචාර්යෝපාධ්‍යායයන්ට අනාදර කරන බව, අගෞරව කරන බව දෝවචස්සතා නම් වේ. මාපියාදීන් විසින් දරුවන්ට අවවාද කරන කල්හි ඉඳහිට යහළුවකු බලන්න යන්නේ නැති ව යහළුවන් හා ඇවිදින්න යන්නේනැති ව සිරේ සිටින්නාක් මෙන් අපට මේ ගෙහි ම සිටිය හැකි ද? නිතරම වැඩ කළ හැකි ද? නිතර ම පාඩම් කළ හැකි ද? උත්සවයකට ගිය විට මත්පැන් ටිකක් බීවාට බේබද්දෙක් වෙනවා ද? යනාදි තර්ක ඉදිරිපත් කරමින් අවවාදයට විරුද්ධ පැත්ත ගන්නා ස්වභාවය, විරුද්ධව සිටීම මිහිරි බව, අවවාදයට අනාදර කරන බව, අවවාද නො පිළිගන්නා බව ගිහියන්ගේ දෝවචස්සතාව ය. මාපියාදීන් ගේ අවවාද නො පිළිගෙන තමන් ගේ මතය අනුව ක්‍රියා කිරීමෙන් සොරුන් වී සූදුකාරයන් බේබද්දන් වී රෝගීන් වී රැකියා නැතියන් වී දුක් විඳින්නෝ ලෝකයෝ බොහෝ ය. මාපියන්ගෙන් ලත් ඉඩම් කැබැල්ලට, ගෙට අහිමි වී අසරණ වී සිටින්නෝ ද බොහෝ ය. ලෝකයේ උසස් තත්ත්වයකින් සිටින සැම දෙනා ම වාගේ බාල කාලයේ තරුණ කාලයේ මාපියාදීන් ගේ අවවාද පිළිගෙන ඒවා අනුව පිළිපන් පුද්ගලයෝ ය. සෝවචස්සතාව උතුම් මංගල්‍යයෙකි. මංගල සූත්‍රයේ එන අටතිසක් මඟුල් කරුණු වලින් ද එකකි.

දියුණුවට හේතුවන අවවාදානුශසනා කරන ආදර්ශ දෙන උත්තම පුද්ගලයන් අප්‍රිය බව තමා ද නො මග යෙමින් අන්‍යයන් ද නො මඟ යවන පාප පුද්ගලයන්ට කැමති බව පාපමිත්තතාවය ය.

පරිහානියට දුකට හේතුවන නානාවිධ සංඥාවෝ නානත්ත සඤ්ඤා නම් වෙති. ඔවුහු නම් කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥාදීහු ය.