82. අසන්තුට්ඨිතා 83. අසම්පජඤ්ඤතා 84. මහිච්ඡතා

ඇතැම් භික්ෂූන්ගේ චීවර පිණ්ඩපාත සේනාසන ග්ලානප්‍ර‍ත්‍යයන් පිළිබඳ ලද පමණින් සතුටු නොවන වඩ වඩා බලාපොරොත්තු වන ස්වභාවය වූ මහා තණ්හාව ද ගිහියන් ගේ කාම වස්තූන් පිළිබඳ ලද පමණින් සතුටු නො වන වඩ වඩා බලාපොරොත්තු වන ස්වභාවය වූ මහා තණ්හාව ද අසන්තුට්ඨිතා නම් වේ. මෙය බුද්ධාදීන් විසින් පිළිකුල් කරන ලද ඉතා පහත් ස්වභාවයෙකි. ප්‍ර‍ත්‍යයන් ගැන ලද පමණින් සතුටු නොවන පැවිද්දෝ කුල දූෂණාදියෙන් නො මනා පරිදි, ප්‍ර‍ත්‍යය සපයා මෙලොවත් දුශ්ශීලයන් වශයෙන් ජීවත් වී මරණින් මතු ද ශ්‍ර‍මණ යක්ෂයන් ශ්‍ර‍මණ ප්‍රේතයන් වී දුක් විඳින්නාහ. කාම වස්තූන් ගැන සෑහීමට පත් නො වන ගිහියෝ ද වස්තූන් සෙවීම් සඳහා සොරකම් ආදි පව්කම් නොව සමහර විට මෙලොව ද දුකට පත් වී මරණින් මතු අපායට ද යෙති.

කොතෙක් වස්තුව ලබා ඇත ද එයින් සෑහීමකට පත්ව නැති පුද්ගලයාට සැපයක් නැත්තේ ය. ඔහුට ඇත්තේ මදිය මදිය යන තැවිල්ල ය. එබැවින් හේ සැම කල්හි ම දුකින් ජීවත් වේ. සැපය නම් සතුට ය. ස්වල්ප වූ ද ලද දෙයින් සතුටු ව සිටින පුද්ගලයාට සැම කල්හි සැපය ඇත්තේ ය. ඔහු සියලු සම්පත් ඇතියකු වැනි ය. එ බැවින් භේසජ්ජමඤ්ජුසා නම් වෛද්‍ය ග්‍ර‍න්ථයේ මනෝ රෝග චිකිත්සාවෙහි “අප්පෙපි තුට්ඨ මනසො සන්ති සබ්බාපි සම්පදා” යි කියන ලදි. ලද දෙයින් සතුටු නො වන්නහුට මහා තණ්හාව නිසා ඒ තණ්හා නමැති ගින්නෙන් ශරීරය දැවී නොයෙක් රෝග ද ඇති වන්නේ ය. ඒ රෝග සුව කිරීමට බෙහෙත් ද නැත. තණ්හා රෝග සුව කිරීමට ඇත්තා වූ එකම ක්‍ර‍මය කවරාකාරයෙන් හෝ රෝගියා ගේ සිතින් ඒ තණ්හාව ඉවත් කිරීඹ ය. පෙර මහා බෝධිසත්ත්වයන් වහන්සේ රජුන් දෙදෙනකුගේ මනෝ රෝගයන් සුව කළ සැටි ජාතක පොතෙහි දක්වා ඇත්තේ ය. ඉන් එක් කථාවක් මෙසේ ය.

පෙර බරණැස් නුවර තමාගේ රජයෙන් තෘප්තියට නො පැමිණ අන් රාජ්‍යයන් ද තමා සතු කර ගැනීමට මං සොයමින් සිටි අධික තණ්හාවෙන් පෙළෙන රජෙක් විය. එක් දවසක් සක්දෙව් රජතුමා මනුෂ්‍යයෝ දානාදි පින්කම් කෙරෙත් දැයි ලෝකය බලනුයේ කිසි පිනක් නො කොට තණ්හාවෙන් තව තවත් ධනය සොයමින් වෙසෙන ඒ රජු දැක මොහුට හොඳ පාඩමක් උගැන්විය යුතුය යි සිතා තරුණයකු ගේ වේශයෙන් රාජද්වාරයට ගොස් උපායයෙහි දක්ෂ තරුණයෙක් පැමිණ සිටින්නේ යයි රජුට දන්වා යවා ඇතුළු වීමට අවසර ලබා රජු වෙත ගොස් ජය වේවා යි ආචාර කොට සිටියේ ය. රජු ආ කාරණය විචාළ කල්හි “දේවයන් වහන්ස, නුඹ වහන්සේට සැල කරන්නට කරුණක් ඇත්තේ ය. එයට සුදුසු තැනක් උවමනාය” යි කීය. එවිට ශක්‍රානුභාවයෙන් ම එහි සිටියෝ ඉවත් ව ගියහ. එකල්හි තරුණයා “දේවයන් වහන්ස, මම බොහෝ ජනයා ඇති බොහෝ සම්පත් ඇති නගර තුනක් දනිමි. ඒවා මට උපායයෙන් නුඹ වහන්සේට යටත් කර දිය හැකි ය. වහා ම එහි යාමට සූදානම් වුව මැනව” යි කී ය. අධික තණ්හාවට වසඟ වී සිටි රජ ඉතා සතුටු වූයේ ය. ඔහු ශක්‍රානුභාවයෙන් ම පැමිණි තරුණයාගෙන් කිසිවක් නො විචාළේ ය. කිසි සත්කාරයක් ඔහුට නො කළේය. සක්දෙව් රජ දෙව් ලොවට ගියේ ය.

රජතුමා ඇමතියන් කැඳවා “අපට රාජ්‍ය තුනක් ලබා දීමට තරුණයෙක් පැමිණ සිටියි. නුවර බෙර ලවා වහා සේනාව රැස් කරව්, ඒ තරුණයා ද කැඳවව්ය”යි කීය. එකල්හි ඇමතියෝ රජතුමා කියන තරුණයා නො දැක “දේවයන් වහන්ස, ඒ තරුණයාට සත්කාර කළ සේක් ද? ඔහුගේ වාසස්ථානය විචාළ සේක්දැ” යි කීහ. “මම ඔහුට සත්කාර නො කෙළෙමි. ඔහු වාසය කරන තැන ද නො විචාළෙමි”යි රජතුමා කීය. ඇමතියෝ බරණැස් නුවර සැම තැන ම තරුණයා සොයා නොදැක ඒ බව රජුට දැන්වූහ. රජතුමාට රාජ්‍ය තුන නො ලැබීම ගැන මහත් ශෝකයක් ඇති විය. “ඔහු මා ඒ තරුණයාට සත්කාරයක් නො කළ නිසා කිපී යන්නට ඇත. මාගේ ප්‍ර‍මාදය නිසා ලැබෙන්නට තුබූ මහත් යසසින් පිරිහුනෙමිය” යි නැවත නැවත සිතන්නට විය. ඒ ශෝකයෙන් ඔහුගේ ශරීරය හුණු වී ලේ අතීසාරය හට ගත්තේ ය. මහත් මහත් රාජ වෛද්‍යයන් පැමිණ ප්‍ර‍තිකාර කළ නමුත් රජුට මඳ ගුණයකුදු නො වීය. ගන්න ගන්නා ආහාරපාන සියල්ල ම පිට වෙන්නට විය.

එකල්හි මහ බෝසතාණන් වහන්සේ තක්සලා නුවරට ගොස් ශිල්ප ඉගෙනීම නිමවා මාපියන් දකිනු සඳහා බරණැස් නුවරට පැමිණ සිටියාහු රජුගේ රෝගය ගැන අසන්නට ලැබී එහි ගොස් රජු වැඳ සිට “දේවයන් වහන්ස, බිය නොවනු මැනව, මම නුඹ වහන්සේට පිළියම් කරන්නෙමි. නුඹ වහන්සේගේ රෝගය හට ගත් සැටි පමණක් මට කියනු මැනව”යි කීය. රජු කීමට ලැජ්ජාවෙන් “නුඹට එයින් කම් නැත, බෙහෙත් පමණක් කරව”යි කීය. “දේවයන් වහන්ස, නිදානය නොදන්නා රෝගයකට බෙහෙත් නො යෙදිය හැකි ය. වෛද්‍යයන් බෙහෙත් කරන්නේ රෝග නිදානය අනුවය”යි බෝසතාණෝ කීහ. රජතුමා රෝග නිදානය කීය.

බෝසතාණෝ රජුට අවවාද කරන්නාහු “දේවයන් වහන්ස, ශෝක කිරීමෙන් රාජ්‍ය තුන ලැබිය හැකිදැ”යි කීහ. “දරුව, නො හැකිය”යි රජ කීය. “එසේ නම් නුඹ වහන්සේ කුමට ශෝක කරන්නාහු ද? දේවයන් වහන්ස, සියලු වස්තූන් හා තමාගේ ශරීරයත් සැම දෙනා විසින් ම හැර යා යුතු ය. රාජ්‍ය සතරක් ලබා ගෙන ඔබ වහන්සේට එක වර බත් සැලි සතරක් නො වැළඳිය හැකි ය. යහන් සතරක නො සැතපිය හැකිය. වස්ත්‍ර‍ ජෝඩු සතරක් නො හැඳිය හැකිය. තෘෂ්ණාවට වසඟ නො විය යුතුය. තණ්හාව වැඩුණ හොත් සතර අපායෙන් මිදෙන්නට නො ලැබෙන්නේ ය. මෙසේ රජුට අවවාද කොට ධර්ම දේශනා කිරීම් වශයෙන් මේ ගාථා කීහ.

1. කාමං කාමයමානස්ස - තස්ස චේතං සමිජ්ඣති.

අද්ධා පීතිමනෝ හෝති - ලද්ධා මච්චෝ යදිච්ඡති.

-

2. කාමං කාමයමානස්ස - තස්ස චේතං සමිජ්ඣති

තතෝ නං අපරං කාමේ - ඝම්මේ තණ්හාව වින්දති.

-

3. ගවං ච සිංගිනෝ සිංගං - වඩ්ඪමානස්ස වඩ්ඪති

ඒවං මන්දස්ස පෝසස්ස - බාලස්ස අවිජානතො,

භිය්‍යෝ තණ්හා පිපාසා ච - වඩ්ඪමානස්ස වඩ්ඪති.

-

4. පථව්‍යා සාලි යවකං - ගාවස්සං දාසපෝරිසං,

දත්වාපි නාල මේතස්ස - ඉති විද්වා සමං චරේ

-

5. රාජා පසය්හ පඨවිං විජෙත්වා

සසාගරන්තං මහිමාවසන්තෝ,

ඕරං සමුද්දස්ස අතිත්තරූපෝ

පාරං සමුද්දස්සපි පත්ථයේථ

-

6. යාව අනුස්සරං කාමේ - මනසා තිත්ති නාජ්ඣගා

තතෝ නිවත්තා පටිකම්ම දිස්වා

තේ වේ තිත්තා යේ පඤ්ඤාය තිත්තා

-

7. පඤ්ඤාය තිත්තිනං සෙට්ඨං - න සො කාමේහි කප්පති

පඤ්ඤාය තිත්තිනං පුරිසං - තණ්හා න කුරුතේ වසං

-

8. අපවිනේථෙව කාමානි - අප්පිච්ඡස්ස අලෝලුපෝ,

සමුද්දමත්තෝ පුරිසෝ - නසෝ කාමෙහි තප්පති.

-

9. රථකාරෝව චම්මස්ස - පරිකන්තං උපාහනං

යං යං වජති කාමානං - තං තං සම්පජ්ජතේ සුඛං

සබ්බඤ්ච සුඛමිච්ඡෙය්‍ය - සබ්බකාමේ පරිච්චජේ

තේරුම

1. කාමයන් කැමති වන්නහුට ඉදින් ඒ අදහස මුදුන් පත් වී නම් බලාපොරොත්තු වූ කාමයන් රිසි සේ ලබා ප්‍රීති සිත් ඇත්තේ වේ.

  1. කාමයන් කැමති වන්නහුට ඉදින් ඔහුගේ අදහස සමෘද්ධ වී නම් ඔහුට ග්‍රීෂ්ම කාලයේ පවස වැඩෙන්නාක් මෙන් කාම තණ්හාව වැඩේ.
  2. වස්සාගේ ශරීරය වැඩෙත් ම ඒ අනුව අං වැඩෙන්නාක් මෙන් ධර්මය නො දන්නා වූ අඥ වූ බාල පුද්ගලයාට කාම තණ්හා කාම පිපාසාවෝ කාමයන් ලැබෙත් ලැබෙත් ම වැඩෙන්නාහ.
  3. ඉදින් රාජ්‍ය තුනක් ලබා දීමට පැමිණි ඒ තරුණයා අවිඤ්ඤාණක සවිඤ්ඤාණක සියලු ධනය හා මුළු පොළොව ලබා දී ගිය ද තෘෂ්ණා වශික පුද්ගලයා සෑහීමට පත් නො වන්නේ ය. එබැවින් නුවණැත්තේ ඒ තණ්හාව සන්සිඳවා ගන්නේ ය.
  4. ඉදින් රජ තෙමේ මුළු පොළොව දිනා ගෙන සාගරය කෙළවර කොට ඇති පොළොවට අධිපතිව වාසය කරන්නේ සමුද්‍රයෙන් මෙතරින් පමණක් සෑහීමකට පත් නො වී සමුද්‍රයෙන් එතෙර අත් කර ගැනීමට ද බලාපොරොත්තු වන්නේ ය.
  5. මහරජ, මිනිසා බොහෝ කාමයන් ලැබ බොහෝ කාමයන් ගැන සිතා තෘප්තියක් නො ලබන්නේ ය. ඇතය යි සෑහීමට පත් නොවන්නේ ය. යමෙක් කාමයන් ගැන සිතීම නවත්වා කයින් ද කාමයන් ගෙන් බැහැරව කාමයන් ගේ ආදීනවය නුවණින් දැන තෘප්තියට පත් වූවාහු නම් ඔව්හු ම තෘප්තියට පත් වූවෝ ය.
  6. මහරජ, ප්‍ර‍ඥාවෙන් තෘප්තියට පත් වීම ශ්‍රේෂ්ඨය. හෙතෙමේ කාමයන් නිසා නො තැවෙන්නේ ය. ප්‍ර‍ඥාවෙන් තෘප්තියට පත් පුරුෂයා තෘෂ්ණාව ස්වවශයට නො ගන්නේ ය.
  7. තණ්හාවෙන් දුරු කරන්නේ ය. අල්පේච්ඡ වන්නේ ය. ලොල් නොවන්නේ ය. මහත් වූ ද ගින්නකින් සමුද්‍ර‍ය නො තැවෙන්නාක් මෙන් සමුද්‍ර‍ය බඳු නුවණැති පුරුෂ තෙමේ කාමයන්ගෙන් නො තැවෙන්නේ ය.
  8. පාවහන් තනන කම්කරුවා හමෙහි නො මනා තැන් කපා ඉවත් කළ පමණින් යහපත් පාවහනක් ඇති වන්නේ ය. එමෙන් යම් යම් පමණකට කාමයන් බැහැර කරන ලද්දේ නම් ඒ ඒ පමණට ඔහු ගේ කාය කර්මාදිය යහපත් වීමෙන් පුද්ගලයා සුඛිත වන්නේ ය. ඉදින් සර්ව සම්පූර්ණ සුඛයක් කැමැත්තේ නම් සියලු කාමයන් පරිත්‍යාග කරන්නේ ය. අත් හරින්නේ ය.

මේ ගාථා ඇසීමෙන් මහා වෛද්‍යයන්ට සුව නො කළ හැකි වූ රජුගේ රෝගය සුව විය. බෝසතාණන් වහන්සේට ඒ ගාථා කීමේ දී කාමයන් එපා වී ධ්‍යාන ලබා ගත හැකි විය. රජතුමා මහා වෛද්‍යයන්ට සුව කළ නුහුණු රෝගය මේ මාණවකයා ඔහු ගේ නුවණින් සුව කළේ යයි ඉමහත් සතුටට පැමිණ, බෝසතුන් අමතා “ඔබගේ ගාථා ඉතා යහපත් ය. එක් එක් ගාථාවක් දහස බැගින් අගනේ ය. මහා බ්‍ර‍හ්මය, මේ අට දහස පිළිගනුව”යි කීයේ ය. එය ප්‍ර‍තික්ෂේප කොට තමන් ලත් ධ්‍යාන බලයෙන් අහසින් හිමවතට ගොස් පැවිදි ව ධ්‍යාන සුවයෙන් කල් යවා බ්‍ර‍හ්මලෝක පරායණ වූහ. මේ ජාතක පාලියේ ද්වාදශක නිපාතයේ කාම ජාතකය ය.

ඇති සැටියෙන් ලද සැටියෙන් සතුටු නො වන පැවිද්දා දායකයන්ට හා ආචාර්යෝපාධ්‍යායයන්ට අප්‍රිය වේ. ගිහියා ද මාපියාදීන්ට අප්‍රිය වේ. ඒ අධික තණ්හාව නිසා සමහර විට ඔවුනට ලැබෙන දෙයත් නැති වී යන්නේ ය.

අසම්පජඤ්ඤතා

සංස්කාරයන්ගේ නියම ආකාරය දැනීමට කළ යුත්ත නො කළ යුත්ත පින් පව් දැනීමට නො සමත් බව අසම්පජඤ්ඤතා නම් වේ. අවිද්‍යාවය මෝහය කියනුයේ ද එයට ම ය. බාලයෝ යයි කියනුයේ ද අසම්පජඤ්ඤතා නම් වූ ඒ මෝහය අධික අයට ය. ලොවට නොයෙක් විපත් පැමිණෙන්නේ බාලයන්ගෙනි. බාලයන් ඇසුරු කරනුවන්ට ඔවුන්ගෙන් නොයෙක් විපත් පැමිණේ. එබැවින් “අසේවනා ච බාලානං” යනුවෙන් බාලයන් සේවනය නො කිරීම මංගලයකැයි මංගල සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය. මහ බෝසත් අකීර්ති පණ්ඩිතයන් වහන්සේ බාලයා නොදැක සිටීමටත්, බාලයාගේ ආරංචියක්වත් නො අසා සිටීමටත්, බාලයා හා කථා කරන්නට නො ලැබීමටත් සක්දෙව් රජුගෙන් වරයක් ඉ්ලූ බව ජාතක පොතෙහි දැක්වේ. සක්දෙව් රජ “ඔබට බාලයා කිනම් අපරාධයක් කෙළේ ද ඔබ කුමක් නිසා බාලයා දක්නට නො කැමැත්තෙහි දැ”යි ඇසීය. එකල්හි අකීර්ති පණ්ඩිතයෝ තමන් බාලයා දක්නට නො කැමති කරුණ මෙසේ පැවසූහ.

අනයං නයති දුම්මේධෝ - අධුරායං නියුඤ්ජති

දුන්නයෝ සෙය්‍යයෝ සෝති - සම්මා වුත්තෝ පකුප්පති

විනයං සෝ න ජානාති - සාධු තස්ස අදස්සනං.

නුවණ නැති තැනැත්තේ අකාරණය කාරණය වශයෙන් ගන්නේ ය. නො යෙදිය යුත්තෙහි යෙදෙන්නේ ය. දුශ්ශීල කර්මාදි නො මනා දෙය ඔහුට උතුම් වේ. යමක් කරුණු සහිත ව මැනවින් කී කල්හි කිපෙයි. හේ විනය නො දන්නේ ය. එබැවින් ඔහු නො දැකීම යහපත් ය යනු එහි තේරුම ය.

අවවාද තේරුම් ගැනීමට තරම් නුවණක් නැති කරුණාවෙන් කරන යහපත් අවවාදය නො පිටට පිළිගෙන කිපෙන බාලයන්ට අවවාද කිරීම ද අන්තරායකර ය. සමහර විට මාපියන්ට ගුරුවරුන්ට බාලයන් ගෙන් නොයෙක් විපත් පැමිණේ. මේ බුදු සස්නෙහි දෙවන බුදු කෙනකුන් වැනි මහාකාශ්‍යප මහරහතන් වහන්සේට එක්තරා බාල පැවිද්දකුගෙන් පැමිණි විපතක් ජාතකට්ඨ කථාවෙහි සඳහන් වේ. ඒ මෙසේ ය:

එක් කලෙක මහා කාශ්‍යප ස්ථවිරයන් වහ්නසේ රජගහ නුවර සමීපයේ අරණ්‍යයෙහි කුටියක විසූහ. කුඩා දෙනමක් උන් වහන්සේට උවටැන් කළහ. ඉන් එක් නමක් දුර්වචයෙකි. ඔහු අනිත් නම කරන දෑ තමා කළාක් මෙන් තෙරුන් වහන්සේට අඟවයි. අනික් නම තෙරුන් වහ්නසේට මුව දෝනා පැන් පිළියෙල කර තිබූ කල්හි කපටි නම තෙරුන් වහන්සේ වෙත ගොස් පැන් පිළියෙල කර තැබූ බව දන්වයි. සුවච නම කලින් ම නැගිට තෙරුන් වහන්සේගේ මිදුල හැම ද තබයි. කපටි නම තෙරුන් වහන්සේ නික්මෙන වෙලාවට එහි ගොස් ඉදලක් ගෙන ඒ මේ අත ගසා ඇමදීම තමා කළාක් මෙන් අඟවයි. සුවච නම තෙරුන් වහන්සේට නෑමට උණු පැන් පිළියෙල කර තැබූ කල්හි කපටි නම තෙුන්ට නෑමට ආරාධනා කරයි. එක් දවසක් වත් කරන නම “මේ කපටියාගේ ක්‍රියාව ප්‍ර‍කට කරවමි”යි සිතා ඔහු වළඳා නිදන වෙලාවෙහි තෙරුන් වහන්සේට නෑමට පැන් උණු කොට ඒවා නාන ගෙයි පටිපස තබා උණු කරන සැළියෙහි දිය ස්වල්පයක් තබා නිශ්ශබ්ද ව සිටියේය. කපටි නම සැළියෙන් දුම් දමනු දැක පැන් පිළියෙල කර ඇතැයි සිතා තෙරුන් වහන්සේ වෙත ගොස් නෑමට ආරාධනා කෙළේ ය. තෙරුන් වහන්සේ ඔහු ද සමග එහි වැඩම කළහ. නාන ගෙයි පැන් නොතිබිණි. තෙරුන් වහන්සේ පැන් කොහි දැයි ඇසූ කල්හි ඔහු උදුන මත ඇති සැළිය වෙත ගොස් පැන් ගැනීමට කිණිස්ස සැළියට දැමීය. පැන් එහි නොතිබිණි. කපටි නමට කරන්නට දෙයක් නැති විය. අනික් නම පැමිණ පිටිප තුබූ පැන් ගෙනැවිත් තෙරුන් වහන්සේට නෑමට පිළියෙල කළේ ය. කපටි නමගේ වැඩේ තෙරුන් වහන්සේට දැනිණ. තෙරුන් වහන්සේ සවස් කාලයේ තමන් වෙත පැමිණි කල්හි “ඇවැත්නි, පැවිද්දා විසින් කළ දෙයක් ම කෙළෙමි යි කිය යුතුය. නොකළ දෙයක් කෙළෙමි යි කීම සම්පජාන මුසාවාදයක් ය. මතු මෙබඳු දේ නො කරව”යි අවවාද කළහ. ඔහු එයින් කිපී පසුදින තෙරුන් වහන්සේ සමග පිණ්ඩපාතය පිණිස නො ගියේය. ඔහු තෙරුන් වහන්සේට උපස්ථාන කරන ගෙයකට ගොස් තෙරුන් වහන්සේ අසනීපව විහාරයෙහි ම වැඩ සිටින බව කියා තෙරුන් වහන්සේට මේ මේ දේ වුවමනාය කියා තමාට වුවමනා දේ ලබාගෙන අන් තැනකට ගොස් වළඳා විහාරයට ආයේ ය. පසු දින තෙරුන් වහන්සේ පිණ්ඩපාතය පිණිස ඒ ගෙට වැඩම කළහ. ඒ ගෙයි වැසියෝ තෙරුන් වහන්සේ ගෙන් සුවදුක් විචාරා ඊයේ සිදු වූ දේ උන් වහන්සේට සැල කළහ. තෙරුන් වහන්සේ තුෂ්ණීම්භූතව වළඳා විහාරයට වැඩම කොට එදින සවස් කාලයේ දී කපටි නමට අවවාද කළහ. ඔහු තෙරුන් වහන්සේ කෙරෙහි කිපී හොඳ වැඩක් කරමියි සිතා පසුදින තෙරුන් වහන්සේ ගමට පිඬු පිණිස වැඩම කළ කල්හි භාජන සියල්ල බිඳ දමා තෙරුන් වහන්සේ වෙසෙන කුටියට ද ගිනි තබා පලා ගියේ ය. මේ මෝඩයාට අවවාද කිරීමෙන් සිදු වූ දෙය ය. කපටි පැවිද්දා ඒ පාපයෙන් වියළී ගිය ශරීරයෙන් ප්‍රේතයකු මෙන් ජීවත් වී මරණින් පසු අවීචි මහා නරකයෙහි උපන්නේ ය.

මහිච්ඡතා නමැති ක්ලේශය යට ඒකක නිර්දේශයේ විස්තර කර ඇත.