සීලබ්බතපරාමාසය.

මෙහි ගවාදි සතුන්ගේ ප්‍ර‍කෘතිස්වභාවය සීල නම් වේ. එනම් සතර පයින් යාම, බිම නිදාගැනීම, අතට නො ගෙන මුවින් ම ආහාර ගැනීම, හුන් තැන ම මලමුත්‍ර‍ පහ කිරීම ආදිය ගවයන්ගේ ප්‍ර‍කෘති ස්වභාවය ය. ගවයකු මෙන් හැසිරෙමි යි මනුෂ්‍යයකු විසින් සමාදන් වී පවත්වන ඒ ගව ස්වභාවය ව්‍ර‍ත නම් වේ. බුදු සසුනෙන් පිටත්හි ඇතැම් ශ්‍ර‍මණයෝ ශීලයෙන් ව්‍ර‍තයෙන් සත්ත්වයා ශුද්ධ වන්නේ ය යි සලකති. ඔවුන්ගේ ඒ දෘෂ්ටිය සීලබ්බත පරාමාස නම් වේ. සත්කායදෘෂ්ටිය විචිකිච්ඡාව ශීල ව්‍ර‍තපරාමර්ශ යන මේ තුන සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හීණ වන සංයෝජනයෝ ය.