ඡ විවාද මූලානි:

1. කෝධෝ

2. මක්ඛෝ

3. ඉස්සා

4. සාඨෙය්‍යං

5. පාපිච්ඡතා

6. සන්දිට්ඨි පරාමාසිතා.

මේ විවාද මූලධර්ම සයෙන් යට විස්තර නො කෙරුණු ධර්මයක් ඇත්තේ සන්දිට්ඨීපරාමාසිතා යන සවන ධර්මය පමණෙකි. ඇතැමෙක් තමා යමක් කමක් දැන ඇත්තේ නම් පිළිගෙන ඇත්තේ නම් සිතා ගෙන ඇත්තේ නම් එය අසත්‍යය අයුක්තිය අධර්මය අවිනය වූවද කවුරුන් කීවද අත නොහැර එය තදින් ගෙන එය ස්ථිර කරන්නට වෑයම් කරයි. ගත් අදහසෙහි ම තදින් පිහිටා සිටී. ඒ ස්වභාවය සන්දිට්ඨි-පරාමාසිතාවය. වැරදි හැඟීම් දැනීම් කාහටත් ඇති විය හැකි ය. අනිකකු වරද කියා දුන් විට පහදා දුන් විට තමාගේ වැරදි මතය හළ යුතුය. එසේ කිරීම සත් පුරුෂ ධර්මය ය. තමාගේ වරද පහදා දුන් විට එය නො පිළි ගන්නේ මානය නිසා ය. එය ඒ පුද්ගලයාට පරිහානිකර කරුණෙකි.

භික්ෂූන් අතර නොයෙක් වාද විවාද ඇති වන්නේ ක්‍රෝධාදි මේ කරුණු සය නිසා ය. එබැවින් ඒ ධර්මයෝ විවාද මූලයෝ ය. විවාද මූලධර්මයන්ගෙන් කවරක් හෝ භික්ෂුවකට ඇත්තේ නම් බුදුන්ට ගරු නො කරන යටත් නො වන, ධර්මයට ගරු නො කරන යටත් නො වන, සංඝයාට යටත් නො වන ගරු නො කරන ශික්ෂාව සම්පූර්ණ නො කරන දාමරික පැවිද්දෙක් වේ. ඔහු නොයෙක් කරුණු සම්බන්ධයෙන් වාද විවාද කෝලාහල ඇති කරයි. භික්ෂූන් අතර වාද ඇතිවීම ගිහි පැවිදි බොහෝ දෙනාට අනර්ථය අහිතය පිණිස පවත්නා කරුණෙකි. ප්‍ර‍බල භික්ෂූන් දෙනමක් අතර විවාදයක් ඇති වූ කල්හි බොහෝ භික්ෂූහු ද ඒ ඒ පැති ගැනීමෙන් එයට සම්බන්ධ වෙති. ඒ භික්ෂූන්ගේ ඥාතීහු ද දායකයෝ ද එයට සම්බන්ධ වෙති. එයින් වන්නේ ඒ සැමට ම අනර්ථයෙකි. විවාදය බොහෝ දෙනාට අනර්ථය පිණිස පවතීය යි කියනුයේ එබැවිනි.