1. කාමරාගානුසයෝ,
2. පටිඝානුසයෝ,
3. මානානුසයෝ,
4. දිට්ඨානුසයෝ,
5. විචිකිච්ඡානුසයෝ,
6. භවරාගානුසයෝ,
7. අවිජ්ජානුසයෝ
මේ ධර්ම සියල්ල ම යට විස්තර කර ඇත. කාමරාගානුසය හා භවරාගානුසය ධර්ම වශයෙන් ලෝභය වූ එක ම ධර්මය බැවින් ධර්ම වශයෙන් අනුසය සයෙකි.
ලෝකෝත්තර මාර්ගය උපදවා එහි බලයෙන් මතු නූපදනා පරිදි කාමරාගාදිය සම්පූර්ණයෙන් ප්‍රහාණය නො කළ පුද්ගලයන් තුළ කරුණක් පැමිණිය හොත් උත්පත්තියට හේතු වන අරමුණක් එළඹ සිටිය හොත් උපදිය හැකි ආකාරයෙන් අලු යට ගිනි අඟුරු සෙයින්, නිදා සිටින සර්පයන් මෙන්, ක්‍රියා විරහිත ව පවත්නා කාමරාගාදීහු අනුසය නම් වෙති. අනුසයයෝ අකුශලයෝ ය. එහෙත් ඔවුහු අකුශලයට විරුද්ධ නැත්තෝ ය. සත්ත්වයා දන් දීමෙහි යෙදී සිටින අවස්ථාවෙහි ද ශීලය රක්නා අවස්ථාවෙහි ද බණ කියන බණ අසන සමථ විදර්ශනා භාවනාවන්හි යෙදෙන අවස්ථාවන්හි ද ඒවාට විරුද්ධ නැති ව ඒවාට අනුකූල ව අනුශයයෝ සන්තානයෙහි පවත්නාහ. අකුශල වුව ද කුශලයට ද අනුකූල ව අවිරුද්ධ ව පවත්නෝ ය යන අර්ථයෙන් ද කාම රාගාදීහු අනුසය නම් වෙති.
ශයිත අවස්ථාවය පර්ය්‍යුත්ථානාවස්ථාවය ව්‍යතික්‍රමණාවස්ථාවය යි කාමරාගාදීන්ගේ අවස්ථා තුනක් ඇත්තේ ය. ක්‍රියා විරහිත, ඇති බව නො දත හැකි ආකාරයෙන් සන්තානයෙහි යටපත් ව පවත්නා අවස්ථාව ශයිත අවස්ථාව ය. කාරණයක් ඇති වූ කල්හි ඉපදීමට පැමිණි අවස්ථාව, චිත්තය හා උත්පාදස්ථිතිභංග යන අවස්ථාවන්ට පැමිණි අවස්ථාව, තවත් ක්‍රමයකින් කියතහොත් ජවන චිත්තය හා රූපාදි ආරම්මණයන් ගෙන ඉපද ඇති අවස්ථාව පර්ය්‍යුත්ථානාවස්ථාවය. එනම් නැඟී සිටීමය. අවදිවීමය. නැඟී සිටියා වූ කාමරාගාදීහු බොරු කීම් ආදිය සඳහා මුඛයත් අදත්තාදානාදිය සඳහා කයත් ක්‍රියා කරවති. ඒ අවස්ථාව ව්‍යතික්‍රමණ අවස්ථාවය. අනුසයයෝ ය යි කියනුයේ මේ අවස්ථා තුනෙන් ශයිත අවස්ථාවෙහි පවත්නා කාමරාගාදීන්ට ය. අනුශයයන් ලෝකෝත්තර මාර්ගයෙන් මිස අනිකකින් ප්‍රහාණය නො කළ හැකි ය.