සික්ඛාසමූහනන ප්‍ර‍ශ්නය

නැවතත් මිලිඳුමහරජානෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, මම සියල්ල දැන ම ධර්මදෙශනා කෙරෙමි, නො දැන දෙශනා නො කෙරෙමි’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය. නැවත ද විනයප්‍ර‍ඥප්තියෙහි ‘ආනන්දයෙනි, සංඝතෙමේ කැමැත්තේ වී නම්, මාගේ ඇවෑමෙන් ක්ෂුද්‍රානුක්ෂුද්‍ර‍ශික්ෂාපදයන් සමූහනනය කෙරේව’ යි කියා මෙසේ වදාරණ ලද්දේ ය. කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ක්ෂුද්‍රානුක්ෂුද්‍ර‍ශික්ෂාපද නපුරු කොට පණවන ලද්දාහු ද? නොහොත් අකාරණයෙහි නො දැන පණවා වදාරණ ලද්දාහු ද? භාග්‍යවතුන් වහන්සේ යම් කාරණයකින් තමන් වහන්සේ ඇවෑමෙන් ක්ෂුද්‍රානුක්ෂුද්‍ර‍ශික්ෂාපදයන් උද්ධරණය කරවා වදාරණසේක. එහෙයින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අභිඤ්ඤෙය්‍යාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි නො අනභිඤ්ඤාය’ කියා මේ පාලිය වදාරණ ලද්දේ වී නම්, ඒ කාරණයෙන් ‘ආකංඛමානො ආනන්ද, සංඝො මමච්චයෙන ඛුද්දානු ඛුද්දකානි සික්ඛාපදානි සමූහන්තු’ ය යි කියා යම් වදාළ (157) වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් තථාගතයන් වහන්සේ විසින් විනයප්‍ර‍ඥප්තියෙහි ලා ‘ආනන්දයෙනි, සංඝතෙමේ කැමැත්තේ වී නම්, මාගේ ඇවෑමෙන් ක්ෂුද්‍රානුක්ෂුද්‍ර‍ශික්ෂා පදයන් නො රැක හරීව’ යි කියා වදාරණ ලද්දේ සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘මහණෙනි, මම දැනදැන ම ධර්මය දෙශනා කෙරෙමි. නො දැන ධර්මය දෙශනා නො කෙරෙමි’ යි කියා වදාළ ඒ වචනය බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නයතෙම ඉතා සියුම් වන්නේ ය. අති සූක්ෂ්ම වන්නේ ය. ගම්භීර වන්නේ ය. අතිගම්භීර වන්නේ ය. සිතින් සිතාලිය නො හැක්කේ ය. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍ර‍ශ්නයෙහි ලා නුඹ වහන්සේගේ ප්‍ර‍ඥාබලවිස්ඵාරය දක්වා වදාළ මැනැවැ” යි කීහ.

“මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, මම සියල්ල දැන ගෙණ ම බණ කියමි. නො දැන නො කියමි’ යි කියා මෙම වචනයක් වදාරණ ලද්දේ ය. නැවැත විනයප්‍ර‍ඥප්තියෙහිත් ‘ආනන්දයෙනි, සංඝතෙමේ කැමැත්තේ වී නම්, මාගේ ඇවෑමෙන් ක්ෂුද්‍රානුක්ෂුද්‍ර‍ශික්ෂාපද උගුළුවා හරීව’ යි කියාත් මෙසේ වදාරණ ලද්දේ ම ය. මහරජානෙනි, ඒ වචනය වනාහි තථාගතයන් වහන්සේ ‘මා විසින් එපා කරවනු ලබන්නා වූ මාගේ ශ්‍රාවකයෝ මා ඇවෑමෙන් ක්ෂුද්‍රානුක්ෂුද්‍ර‍ශික්ෂාපදයන් හරිද්දෝ හෝ? නොහොත් ගණිද්දෝ හො?’ යි කියා භික්ෂූන් පරීක්ෂාකර වදාරමින් වදාළසේක. මහරජානෙනි, යම් සේ චක්‍ර‍වර්ති මහරජානෝ තමන්ගේ පුත්‍ර‍යන්ට මෙසේ කියන්නාහ:-

‘දරුවෙනි, මේ වනාහි මුළු මහත් දඹදිව මහජනපදය සියලු දිසාවෙන් මහාසාගරය කෙළවර කොට ඇත්තේ ය. දරුවෙනි, එපමණ වූ බලයකින් දරන්නට දුෂ්කර වන්නේ ය. එහෙයින් දරුවෙනි, මෑත අව මැනව. තෙපි මාගේ ඇවෑමෙන් අතිදුරස්ථ වූ ප්‍ර‍ත්‍යන්තමහාදෙශයන් හරුව’ යි කීහු වූ නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ රාජකුමාරවරු පියරජ්ජුරුවන් ඇවෑමෙන් සියලු ජනපදයන් තමන්ගේ හස්තප්‍රාප්ත වූ කල්හි ඒ සියලු ප්‍ර‍ත්‍යන්තදෙශයන් හරින්නාහු දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, රජදරුවෝ ලුද්ධතරයෝ ය. රාජකුමාරයෝ රාජ්‍යලොභයෙන් ඊට වැඩියක් ජනපද ද්විගුණතිගුණයක් කඩා ගන්නාහු ය. කිමෙක් ද, ඒ කුමාරයෝ හස්තප්‍රාප්ත වූ ජනපද හරිද් ද?[1] මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේ භික්ෂූන් පරීක්ෂාකර වදාරමින් ‘ආනන්දයෙනි, සංඝතෙමේ කැමැත්තේ වී නම්, මාගේ ඇවෑමෙන් ක්ෂුද්‍රානුක්ෂුද්‍ර‍ශික්ෂාපදයන් උගුළුවා හරීව’ යි කියා මෙසේ වදාළසේක.

“මහරජානෙනි, සියලු ම සංසාරදුඃඛයෙන් මිදීම පිණිස සර්වඥ පුත්‍ර‍යන් වහන්සේලා ධර්මලොභයෙන් අනිකුත් ඉතිරි ශික්ෂාපද එසිය පණසක් රක්ෂා කළාහු ය. කිමෙක් ද, වනාහි ප්‍ර‍කෘතියෙන් ම පණවා වදාළ ශික්ෂාපද හරිණසේක්ලා දැ?” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ක්ෂුද්‍රානුක්ෂුද්‍ර‍ශික්ෂාපද ය යි කියා යමක් වදාළසේක් ද, මේ වදාළ වචනයෙහි මේ ලොවැසිතෙම මුළා වූයේ ය කාංක්ෂා ඉපිද බලවත් වශයෙන් කාංක්ෂාවට පැමිණියේ ය. ඒ ක්ෂුද්‍ර‍ශික්ෂාපද කවරේ ද? අනුක්ෂුද්‍ර‍ වූ ශික්ෂාපද කවරේ දැ?” යි කීහ. “මහරජානෙනි, දුෂ්කටය කුඩා ශික්ෂාපදය, දුර්භාෂිතය අනුක්ෂුද්‍ර‍ශික්ෂාපදය. මේ (158) ශික්ෂාපද දෙක ක්ෂුද්‍රානුක්ෂුද්‍ර‍ශික්ෂාපදයෝ වන්නාහ. මහරජානෙනි, ධර්මසංගායනා කළ මහාකාශ්‍යපස්ථවිරාදී වූ පූර්වමහාථෙර සාමීන් වහන්සේලා විසිනුත් මෙහි කාංක්ෂා උපදවන ලද්දේ ය.[2] උන් වහන්සේලා විසිනුත් සද්ධර්මස්ථිතිය පිණිස කළ සංගීතියෙහි දීත් එකක් කොට තීන්දු නො කරණ ලද්දේ ය. කාලත්‍ර‍යවර්තී වූ සියල්ල දත් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ප්‍ර‍ශ්නයතෙම අනාගත කාලයෙහි වැටහෙන ආකාරය දැක වදාරණ ලද්දේ ය” යි කීසේක. “සාධු! සාධු!! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සර්වඥයන් වහන්සේ, නුඹ වහන්සේ දැක වදාළසේක. බොහෝ කාලයක් සැඟවී තිබූ සර්වඥරහස අද දැන් ලොකයෙහි විවෘත කොට ප්‍ර‍කාශ කර වදාරණ ලද්දේ ය” යි කියා ස්තුති කළහ.

ශික්ෂාසමූහනන ප්‍ර‍ශ්නය නිමි.

  1. හරිද්දැයි කීහ

  2. ලද්දාහු ය