මරණභයප්‍ර‍ශ්නය

(160) නැවතත් මිලිඳුමහරජානෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින්:-

“සබ්බෙ තස්න්ති දණ්ඩස්ස-සබ්බෙ භායන්ති මච්චුනො,

අත්තානං උපමං කත්‍වා-න හනෙය්‍ය න ඝාතයෙ.”

යන මේ ගාථාව වදාරණ ලද්දේ ය. නැවත ‘රහත්හු සියලු භය අතික්‍රාන්ත කළාහු ය’ යි කියාත් වදාරණ ලද්දේ ය. කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, රහතන් වහන්සේලා වධදණ්ඩ භයින් භය නො වන සේක් ලා ද? නරකයෙහි පවා ගිනි ගෙණ දිලියෙන්නා වූ සකලශරීරය හුණු වූ එසෙයින් ම රත් වූ විශෙෂයෙන් ම රත් වූ නිරිසත්වයෝ ගිනි ගෙණ දිලියෙන මහගිනි දැලින් යුක්ත වූ ඒ මහානරකයෙන් චුත වෙමින් මරණයට භය වන්නාහු ද? ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සියලු සත්වයෝ ම වධදණ්ඩනයට තැති ගන්නාහු ය. සියලු සත්වයෝ ම මරණයට තැති ගන්නාහු ය. තමන් උපමා කොට ගෙණ අනුන්ට හිංසා නො කරන්නේ ය. අනුන් නො නසන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ වී නම් ඒ කාරණයෙන් ‘රහත්හු සියලු භය අතික්‍රාන්ත කළාහු ය’ යි කියා යම් වචනයක් වදාරණ ලද ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රහත්හු සියලු ම භය අතික්‍රාන්ත කළාහු ය’ යි කියා වදාරණ ලද කාරණය සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනො’ යනාදීන් වදාළ වචනය බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නයත් නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනො’ යනාදි මේ වචනය රහතන් වහන්සේලා උදෙසා නො වදාරණ ලද්දේ ය. ඒ වදාළ කාරණයෙහි එක් නො කොට රහත්හු ඉතිරි කොට තබන ලද්දේ ය. රහත්හු විසින් භය වන කාරණය අත්‍යර්ථයෙන් නසන ලද්දේ ය. මහරජානෙනි, කෙලෙස් සහිත වූ යම් ඒ සත්වකෙනෙක් ඇද් ද, යම් සත්වකෙනෙකුන්ගේ බලවත් වූ ‘මම ය, මගේ ය’ යි ගන්න අත්තානුවාදදෘෂ්ටියෙක් ඇද් ද, යම් කෙනෙක් සැප දුක් දෙකෙහි උඩඟු වූ සිත් හා බැගෑපත් වූ සිත් ඇති වෙද් ද, ඒ පෘථග්ජනසත්වයන් උදෙසා භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සියල්ලෝ ම වධදණ්ඩණයට උත්‍රාස වෙති. සියල්ලෝ ම මරණයට භය වෙති’ කියා වදාරණ ලද්දේ ය.

“මහරජානෙනි, රහතන් වහන්සේ විසින් දිව්‍යබ්‍ර‍හ්මමනුෂ්‍ය නරකතිර්යක්ප්‍රෙතඅසුරකාය යන සියලු ම ගතීන් මුලොච්ඡින්නතාල වෘක්ෂයක් සෙයින් සිඳ හරණ ලද්දේ ය. චතුර්විධ යොනි විධ්වංසනය කරන ලද්දේ ය. ඒ ප්‍ර‍තිසන්ධි විසින් නසන ලද්දේ ය. සන්ධි නො කළ හැකි ගල්කරුවක් මෙන් සියලු ජාතිය බිඳ හරණ ලද්දේ ය. සංසාරමහා පථය මනා කොට ම නසන ලද්දේ ය. සියලු ම භවාලය සිඳින ලද්දේ ය. සර්වසංස්කාරයෝ නසන ලද්දෝ ය. කුසල් අකුසල්[1] නසන ලද්දේ ය. නුනුවණ සංඛ්‍යාත අවිද්‍යාවත් නසන ලද්දී ය. සප්තවිඥානාධිෂ්ඨිතබීජය තපස්ගින්නෙන් බැඳ අබීජ කරණ ලද්දේ ය. එසේ ම සර්වක්ලේශයෝ දවන ලද්දෝ ය. ලොකධර්මය අතික්‍රාන්ත කරණ ලද්දේ ය. (161) එසේ හෙයින් රහතන් වහන්සේ සියලු ම භයින් භය නොවන සේක.

“මහරජානෙනි, මේ ලොකයෙහි රජ්ජුරුවන්ගේ රාජකෘත්‍යයෙහි ඇලුනා වූ ලබන ලද යශස් ඇත්තා වූ රජහට විශ්වාස ඇත්තා වූ මහත් වූ ඓශ්වර්යස්ථානයෙහි තබන ලද්දා වූ මහාමාත්‍යයෝ සතරදෙනෙක් වන්නාහු වූ නම්, ඉක්බිති රජ්ජුරුවෝ කිසියම් කට යුත්තක් පැමිණි කල්හි ‘සියල්ලෝ ම මාගේ මේ අය සංඛ්‍යාත වූ බලිකර්මාන්තය කෙරෙත්ව’ යි කියා යම් තාක් තමන් විජිතයෙහි සියලු ජනයාහට අණවා[2] කියන්නාහු ‘මහාමාත්‍යවරයෙනි, තෙපි සතරදෙන ඒ කට යුත්ත සාධා ලවවු’ කීවාහු වූ නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ මහාමාත්‍යවරුන් සතරදෙනාට සෙස්සන්ට මෙන් බලිකර්මාන්තභයින් තැති ගැන්මෙක් උපදනේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, කවර කාරණයකින් දැ” යි විචාළසේක. “ස්වාමීනි, උත්තමස්ථානයෙහි රජහු විසින් ඔහු සතරදෙන තබන ලද්දාහු ය. ඒ අමාත්‍යවරුන්ගේ බලිකර්මාන්තයෙක් නැත්තේ ය. ඒ සතරදෙන අතික්‍රාන්ත වූ බලිකර්මාන්ත ඇත්තෝ ය. අවශෙෂජනයන් උදෙසා රජහු විසින් ‘සියල්ලෝ ම මාගේ බලි කර්මාන්තය කෙරෙත්ව’ යි කියා අණවන[3] ලදැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම මේ වදාළ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් රහතුන් වහන්සේලා උදෙසා නො වදාරණ ලද්දේ ය. ඒ වදාළ කාරණයෙහි රහතුන් වහන්සේ නො ගැණ තබන ලද්දෝ ය.[4] රහතුන් වහන්සේ විසින් භය වන කාරණය නසන ලද්දේ ය. මහරජානෙනි, සක්ලේශික වූ යම් සත්වකෙනෙක් ඇද් ද, යම් සත්වකෙනෙකුන්ගේ බලවත් වූ සත්කායදෘෂ්ටිය ඇද් ද, යම් සත්වකෙනෙක් සැප දුක් දෙකෙහි උඩඟුසිත් තැවිලිසිත් ඇත්තාහු ද, ඒ සත්වයන් උදෙසා භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනො’ යනාදිය වදාරණ ලද්දේ ය. එහෙයින් රහතුන් වහන්සේ සියලු ම භයින් නො ම තැති ගන්නාසේකැ” යි කීසේක.

එකල රජ්ජුරුවෝ “අහෝ! ස්වාමීනි, ‘නැළවිල්ලෙන් රවටන බිළිඳකු මෙන් මදකින් රවටන රජෙකැ’ යි නො සිතන්න. දෙසැට දෘෂ්ටීන් ම දිවඅග ලෙලවා අගමුල විමසා තුච්ඡ කොට හැරපීමි. සුගතාගම සාර කොට ගෙණ පිටකත්‍ර‍ය ධරා මිත්‍යාවාදීන්ගේ මුඛ බන්ධනය කරණු පිණිස ඇදක් මෙන් පෙණෙන තැනෙක කාංක්ෂා සිඳ විචාරන්නෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ වදාළ වචනය ‘සාවශෙෂ වචනයෙක් නො වන්නේ ය. ‘සබ්බේ තසන්ති’ යනාදි මේ නිරවශෙෂවචනයෙක. ඒ වචනයෙහි ලා මට ඒ වචනය ප්‍ර‍තිෂ්ඨා කරන්නට වෙනින් ඉතිරි කාරණයක් දක්වා වදාළ මැනවැ” යි කීහ.

“මහරජානෙනි, මේ මනුෂ්‍යලොකයෙහි යම් ගමෙක ග්‍රාමස්වාමික පුරුෂතෙම ‘පින්වත් වූ ග්‍රාමවිධානයෙහි ආණාපකයෙනි, මෙහි අව මැනව. මාගේ මේ ග්‍රාමයෙහි යම් පමණ ග්‍රාමිකජනකෙනෙක් ඇත් නම්, ඒ සියල්ල ම විගවිගහට මාගේ සමීපයට සන්නිපාත කරව’ යි කියා ආණාපක නම් පණිවිඩකාරයාහට ඇණවූයේ වී ිනම් එපවත් ඇසූ විධානයෙහි නියුක්ත වූ ඒ පුරුෂතෙම ‘යහපත, ස්වාමීන් වහන්සැ’ යි කියා එපවත් පිළිගෙණ දිව ගොස් ග්‍රාමමධ්‍යයෙහි සිට ‘යම් පමණ මේ ග්‍රාමයෙහි ග්‍රාමිකකෙනෙක් ඇත් නම්, ඒ සියල්ලෝ ම ශීඝ්‍ර‍ශීඝ්‍ර‍ ව අපගේ ස්වාමීන් (162) වහන්සේගේ සමීපයට සන්නිපතිත වෙත්ව’ යි කියා තුන්වරක් මහත් කොට ශබ්දය අස්වා ලවන්නේ ය. එකල ඒ ග්‍රාමිකයෝ පණිවිඩකාරයාගේ වචනයෙන් වහවහා සන්නිපතිත ව ‘ස්වාමීන් වහන්ස, ගමේ සියල්ලෝ ම සන්නිපතිත වූහ. නුඹ වහන්සේ විසින් යමක් කට යුතු නම්, ඒ කට යුත්ත කර වදාළ මැනැවැ’ යි කියා ග්‍රාමජ්‍යෙෂ්ඨයාහට කියන්නාහු ය. මහරජානෙනි, මෙසේ ඒ ග්‍රාමජ්‍යෙෂ්ඨපුරුෂතෙම ගෙවල් ඇති කුටිපුරුෂයන් සන්නිපාතය කරවමින් සියලු ම ග්‍රාමවාසීන්ට අණවන්නේ ය. ඒ අණවනු[5] ලබන්නා වූ ද සියල්ලෝ ම සන්නිපතිත නො වෙති. ගෙවලට හිමි කුටිපුරුෂයෝ ම රැස් වන්නාහු ය. ‘මාගේ ග්‍රාමයෙහි ගම්වාසීහු මෙපමණ ය’ යි කියා ග්‍රාමජ්‍යෙෂ්ඨතෙමේ ද එසේ ම ඉවසන්නේ ය. සෙසුත් නො ආවා වූ ස්ත්‍රී පුරුෂ දාසි දාස බත් බැළ කර්මකාර ග්‍රාමික ගිලන් ගො මහිස තිරෙළු පරෙළු යන ප්‍රාණීහු බොහෝ දෙනෙක. ‘සියල්ලෝ ම රැස් වෙත්ව’ යි කියා කුටිපුරුෂයන් උදෙසා ම ආඥා කළ බැවින් යම් කෙනෙක් නො ආවාහු ද, ඒ සියලුදෙන කුටිපුරුෂසංඛ්‍යාවට නො ගණිනු ලද්දාහු ය.

“මහරජානෙනි, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචනය රහතුන් උදෙසා නො වදාරණ ලද්දේ ය. ඒ වදාළ කාරණය රහතන් වහ්නසේ නො වදාරා තබන ලද්දේ ය. රහතන් වහන්සේ විසින් භය වන කාරණය නසන ලද්දේ ය. මහරජානෙනි, සක්ලෙශික වූ යම් ඒ සත්වකෙනෙක් ඇද් ද, යම් ඒ සත්වකෙනෙකුන්ගේ බලවත් වූ සත්කාය දෘෂ්ටිය ඇද් ද, යම් ඒ සත්වකෙනෙක් සැපදුක් දෙකෙහි උඩඟු වූ සිත් හා බැගෑ වූ සිත් ඇත්තාහු ද, එබඳු සත්වයන් උදෙසා භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනො’ යනාදිය වදාරණ ලද්දේ ය. ඒ හෙයින් රහතන් වහන්සේ සියලු භයින් තැති නො ගන්නාසේක. මහරජානෙනි, සාවශෙෂ වූ අඩාළ වචනයත් ඇත. සාවශෙෂ වූ අඩාළ අර්ථත් ඇත. සාවශෙෂ වූ වචනයත් ඇත. නිරවශෙෂ වූ තීන්දු අර්ථත් ඇත. නිරවශෙෂ වූ වචනත් ඇත. සාවශෙෂ වූ අර්ථත් ඇත. නිරවශෙෂ වූ වචනත් ඇත. නිර්වශෙෂ වූ අර්ථත් ඇත. ඒ ඒ කාරණයෙන් අර්ථය පිළිගත යුත්තේ ය.

“මහරජානෙනි, ආහච්චපදයෙන් ද, රසයෙන් ද, ආචාර්යවංශයෙන් ද, අභිප්‍රායයෙන් ද, කාරණුත්තරියතායෙන් ද යන මේ පඤ්චප්‍ර‍කාරයෙන් අර්ථ පිළිගත යුත්තේ ය. මහරජානෙනි, මෙහි ‘ආහච්චපදය’ යි කියා සූත්‍ර‍ය දක්වන ලද්දේ ය. රසය නම් සූත්‍රානුලොම ය. ආචාර්යවංශය නම් ආචාර්යවාදය යි. අභිප්‍රාය නම් අත්තනොමති ය. කාරණුත්තරියතාව නම් මේ සතරින් සම වන්නා වූ කාරණ ය. මහරජානෙනි, මේ පස්කාරණයෙන් අර්ථය පිළිගත යුත්තේ ය. මෙසේ මේ ප්‍ර‍ශ්නයතෙම මා විසින් මනා කොට විනිශ්චය කරණ ලද වන්නේ ය” යි කීසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ එසේ ම වේවා. ඒ වදාළ කාරණයෙහි රහතන් වහන්සේ ඉතිරි කොට තබන ලද වේවා. අවශෙෂ සත්වයෝ තැති ගණිත්වා. එසේ ම පිළිගන්නෙමි. නරකයෙහි වනාහි බලවත් වූ දුක් ඇත්තා වූ කර්කශ වූ වෙදනාව විඳින්නා වූ ජ්වලිත ප්‍ර‍ජ්වලිත සියලු ම අංගප්‍ර‍ත්‍යංගයන් ඇත්තා වූ නිති හඬන්නා වූ කරණ කට යුතු හඬින් හඬන්නා වූ (163) කඳුළු හෙළා හඬන්නා වූ විලාප කියා හඬන්නා වූ කෙළතොලු මුහුණු ඇත්තා වූ නො ඉවසිය හැකි බලවත් දුකින් මඩනා ලද්දා වූ කිසි රක්ෂාවක් නැත්තා වූ අසරණ වූ අසරණීයභූත වූ අපරීයන්ත ශොකාතුර වූ ආසන්න පශ්චිමනිරයාග්නී ම ඇත්තා වූ එකාන්ත ශොක පරායණ වූ උෂ්ණ තීක්ෂණ චණ්ඩකර සූර්යයාට බඳු වූ තෙජස් ඇත්තා වූ ඝොරභීමභයජනක නාදයෙන් ම මහාශබ්ද ඇත්තා වූ උඩින් යටින් සතර දිගින් නික්ම වැසෙන ලද ෂඩ්විධ වූ වහ්නිජ්වාලා මාලාවෙන් ආකුල වූ හාත්පසින් සියක් යොදුන් තැන් නිති පැතිරෙණ ගිලිදැල්වෙග ඇත්තා වූ දැඩි වූ සිත්තැවිලි ඇත්තා වූ නිරිසත්වයෝ මහානරකයෙන් චුත වෙමින් මරණයට භය වන්නාහු දැ?” යි විචාළෝ ය.

“එසේ ය, මහරජානෙනි, භය වෙත් ම ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නරකය එකන්ත දුක්ඛවෙදනීය වූ නරකාදියෙන් දුකින් මිදී චුත වෙමින් මරණයට භය වෙද් ද, කිමෙක් ද? නරකයෙහි ආලය කරන්නාහු දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ඒ නිරිසත්වයෝ නරකයෙහි ආලය නො කරන්නාහ. ඒ නිරිසත්වයෝ නරකයෙන් මිදෙනු කැමැත්තාහු ය. මහරජානෙනි, ඒ නරකයෙන් චුත වන නිරිසත්වයන්ට යමක් කරණ කොට ගෙණ තැති ගැන්මෙක් උපදනේ ය යන මේ කාරණය මරණයාගේ අනන්තසත්ව භෙද්‍යය කරණ ආනුභාවයෙකැ” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘දුකින් මිදෙනු කැමැත්තවුන්ගේ චුතියෙහි යම් තැති ගැන්මෙක් උපදනේ ය’ යි වදාළ මේ කාරණය මම නො අදහන්නෙමි. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ දුකින් මිදෙනු කැමැති සත්වයෝ යම් ප්‍රාර්ථනාවක් ලබද් ද, ඒ සතුටු උපදවන්නා වූ ස්ථානයෙක. කාරණයකින් මට අඟවා වදාළ මැනැවැ” යි කීහ.

“මහරජානෙනි, ‘මරණය’ යි යන මේ කාරණය චතුස්සත්‍යධර්මයන් නො දැකි සත්වයන්ට භයජනකස්ථානයෙක. මෙහි මේ ලෝවැසිතෙම තැති ගන්නේ ය. චකිත වන්නේ ය. මහරජානෙනි, යමෙක් කෘෂ්ණ සර්පයාහට භය වන්නේ ද, එතෙම මරණයට භය වෙමින් කෘෂ්ණ සර්පයාහට භය වන්නේ ය. යමෙක් හස්තියාහට භය වන්නේ ද, සිංහයාහට, ව්‍යාඝ්‍ර‍යාහට, දිවියාහට, වලස්හට, කරබාන වලස්හට, මහිසයක්හට, ගවයක්හට, වහ්නියට, උදකයට, කණුකටුවට භය වන්නේ ය. යමෙක් ශස්ත්‍ර‍යට භය වන්නේ ද, ඒ තෙම මරණයට භය වෙමින් ශස්ත්‍ර‍යට භය වන්නේ ය. මහරජානෙනි, ඒ මරණයාගේ වේගභාවතෙජස වන්නේ ය. ඒ මරණයාගේ වෙගභාවතෙජසින් ක්ලෙශ සහිත සත්වයෝ මරණයට තැති ගන්නාහ. භය වන්නාහ. මහරජානෙනි, දුකින් මිදෙනු කැමැත්තාහු ද, නිරිසත්වයෝ මරණයට තැති ගණිති. භය වෙති. මහරජානෙනි, මේ ලොකයෙහි පුරුෂයක්හුගේ ශරීරයෙහි මේදතෙල් වැඩීමෙන් මේදගඬුවෙක් උපන්නේ වී නම්, ඒ රොගයෙන් දුක්ඛිත වූ ඒ පුරුෂතෙම උපද්‍ර‍වයෙන් මිදෙනු කැමැති ව ගඬු විදින ශල්‍යකත්තෘ නම් වෙදකු කැඳවා ලවන්නේ ය. ශල්‍යකත්තෘ නම් ඒ වෛද්‍යාචාර්යතෙම ඔහුගේ වචනය පිළිගෙණ ඒ රොගයාගේ උද්ධරණය පිණිස වුව මනා උපකරණ ගෙන්වා ලඟ තබන්නේ ය. විදින ශස්ත්‍ර‍ය මුවහත් තීක්ෂ්ණය කරන්නේ ය. පුලුස්සන (164) යකඩකූරු ගින්නෙහි බහා ලන්නේ ය. කරලුණු අඹරණ ගලින් අඹරවන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, ඒ රොගාතුරයාහට සියුම් ශස්ත්‍රයෙන් සිඳීමෙන් යකඩකූරුවලින් දැවීමෙන් කාරලවණ ප්‍රවෙශයෙන් තැති ගැන්මෙක් උපදනේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, මෙසේ ඒ රොගයෙන් මිදෙනු කැමැත්තා වූ රොගාතුරයාහට පවා මරණවෙදනා භයින් තැති ගැන්ම උපදනේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නරකයෙන් මිදෙනු කැමැත්තා වූ නිරිසත්වයන්ටත් මරණභයින් තැති ගැන්ම උපදනේ ය. මහරජානෙනි, මේ ලොකයෙහි ප්‍ර‍ධානිකයාහට අපරාධික වූ පුරුෂයෙක්තෙම සංඛලිකබන්ධනයෙන් බඳින ලදු ව ගෘහගර්භයෙක බහාලන ලද්දේ සිරගෙයින් මිදී යනු කැමැති වන්නේ ය. ඒ මිදෙනු කැමැති පුරුෂයා මුදා හරිණු කැමැත්තා වූ ප්‍ර‍ධානිකපුරුෂතෙම ඔහු කැඳවන්නේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඊශ්වරාපරාධික පුරුෂයාහට ‘කරණ ලද අපරාධ ඇත්තේ ම ය’ යි කියා දන්නාහට ඊශ්වරයා දැකීමෙන් තැති ගැන්මෙක් උපදනේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, භය ඇතැ” යි කීහ. “මහරජානෙනි, මෙසේ වරදින් මිදී යනු කැමැත්තා වූ ඒ ඊශ්වරාපරාධික පුරුෂයාහටත් ඊශ්වරභයින් සන්ත්‍රාසය උපදනේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නරකයෙන් මිදෙනු කැමැත්තා වූ නිරිසත්වයන්ට මරණභයින් සන්ත්‍රාසය උපදනේ ය.”

නාගසෙන ස්වාමීනි, යම් කාරණයකින් මම අදහන්නෙම් ද, එබඳු වූ අනිකුත් ඉතිරි කාරණයක් වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, මේ ලොකයෙහි පුරුෂයෙක්තෙම දෂ්ට කළ කල සකල ශරීරය දරදණ්ඩක් මෙන් වන විෂ ඇත්තා වූ නයකු විසින් දෂ්ට කරණ ලද්දේ වී නම්, ඒ විෂ විකාරයෙන් ඒ පුරුෂතෙම වැටෙන්නේ ය. ඉපිල වැටෙන්නේ ය, බිම පෙරළෙන්නේ ය, ඔබිනොබ පෙරළෙන්නේ ය. නැවැත ඒ දැක අන්‍යතර පුරුෂයෙක් බලවත් වූ මන්ත්‍ර‍පදයකින් දෂ්ටවිෂ ඇති ඒ ආශීවිෂයා අල්වා ගෙණවුත් නයා ලවා දෂ්ටවිෂය වූ ඒ නයිවිෂය උරවාලවන්නේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ විෂගත වූ පුරුෂයාහට සුව පිණිස ලඟට ගෙණාවා වූ දෂ්ට විෂ ඇති සර්පයා කෙරෙහි සන්ත්‍රාස භයෙක් උපදනේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, භය උපදනේ ය” යි කීහ. “මහරජානෙනි, මෙසේ සුව පිණිසත් ලඟට පැමිණියා වූ එබඳු වූ නාගයා කෙරෙහි විෂවෙග වූ ඒ පුරුෂයාහට සන්ත්‍රාසය උපදනේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නරකයෙන් මිදෙනු කැමැත්තා වූ නිරිසත්වයන්ටත් මරණ භයින් තැති ගැන්ම උපදනේ ය. මහරජානෙනි, සකල සත්වයන්ට ම මරණය අනිෂ්ට වන්නේ ය. එහෙයින් නිරිසත්වයෝ නරකයෙන් මිදෙනු කැමැති වුවත් මරණයට භය වන්නාහු ම ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ සාධු! සාධු!! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ වදාළ මේ කාරණය මම එපරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කීහ.

මරණභය ප්‍ර‍ශ්නය නිමි.

  1. කුසල්

  2. ඇණවා

  3. ඇණ

  4. ලද්දේ

  5. ඇණවනු