ප්‍ර‍ත්‍යයලාභප්‍ර‍ශ්නය.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘තථාගතයන් වහන්සේ චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන්[1] ලාභීසේකැ’ යි කියා නුඹ වහන්සේ වදාරණසේක. නැවත ද, ‘තථාගතයන් වහන්සේ චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානප්‍ර‍ත්‍යය බෙහෙත් පරිෂ්කාරයන් ලාභී සේකැ’ යි කියන්නා වූ ඒ වචනය බොරු වන්නේ ය. මේත් අතිශයින් ම මහත් වූ උභතොකොටිකප්‍ර‍ශ්නයෙක. අල්පබුද්ධීන් විසින් නිර්වෙඨනය කළ නො හැක්කේ ය. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, තථාගතයන් වහන්සේ චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානප්‍ර‍ත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන් ලාභීසේක. පඤ්චසාල නම් බ්‍රාහ්මණ ගමට පිඬු පිණිස වැඩ කිසි ම දෙයක් නො ලැබ යම් සේ සේදූ පාත්‍රයෙන් ම නික්ම වැඩිසේක. ඒ කාරණය වනාහි පවිටු වූ මාරයාගේ කාරණයෙනැ” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ කාරණයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ගණනපථය අතික්‍රාන්ත වූ කල්පඅසංඛ්‍යයක් මුළුල්ලෙහි රැස් කර වදාළ කුශලසම්භාරය කිමෙක් ද, එදවස් නිෂ්ඨා වී ද? දැන් මෙසමයෙහි මඳ කුශලයකින් දෙව්ලොව නැඟුනා වූ පවිටු වූ මාරයා විසින් ඒ අනන්තකල්ප නිචිත කුශල බලවෙගවාසය, කිමෙක් ද, යට කොට වසන ලද වී ද? එහෙයින් ස්වාමීනි, නාගෙසනයන් වහන්ස, ඒ කාරණයෙහි කුශලයට වඩාත් අකුශලය බලවතර වන්නේ ය යි කියා හෝ බුද්ධබලයට වඩා මාරබලය බලවතර නම් වන්නේ ය යි කියා හෝ මේ ද්‍විවිධ ස්ථානයෙහි විරුද්ධභාවය පැමිණෙන්නේ ය. එහෙයින් වෘක්ෂයාගේ මුලට වඩා අග භාරතර වන්නේ ය. සම්ප්‍ර‍කීර්ණ වූ සියලු ගුණයට වඩා පාපීබව බලවතර වන්නේ ය” යි කීහ.

“මහරජානෙනි, එපමණකින් ම කුශලකර්මයට වඩා අකුශලකර්මය බලවතර නම් නො වන්නේ ය. බුද්ධබලයට වඩාත් මාරබලය බලවතර නම් නො වන්නේ ය. එතෙකුදු වුවත් මෙහි කාරණයක් සැලකිය යුත්තේ ය. මහරජානෙනි, යම් සේ පුරුෂයෙක් තෙම චක්‍ර‍වර්ති රජ්ජුරුවන්ට මීපැණි හෝ මීපිඬු හෝ අනිකක් හෝ රාජපඬුරක් ගෙණ එන්නේ වී නම්, රජ්ජුරුවන්ගේ දොරටුපාලයා ‘ඕහට කිසිවක් ලැබේ දෝ හො’ යි සිතා ඊර්ෂ්‍යාවෙන් ‘පින්වත, රජ්ජුරුවන් දක්නට මේ කල නො වන්නේ ය. එහෙයින් පින්වත, තාගේ පඬුර ගෙණ තට රජ්ජුරුවෝ ‘නො කාලේ ආයේ දැ’ යි කියා දඬුවම් කරණසේක. ඊට පළමුවෙන් වහ වහා නවතුව’ යි කියා මෙසේ කියන්නේ ය. එකල ඒ පුරුෂතෙම දණ්ඩනභයින් තැතිගෙණ කලකිරී ඒ පඬුර ගෙණ විගවිගහට නවත්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, ඒ චක්‍ර‍වර්තී මහරජානෝ එපමණ වූ පඬුරු විකලමාත්‍ර‍යකින් ම දොරටුපාලයාට වඩා දුර්වලතර නම් වන්නාහු ද? අනික් කිසි පඬුරක් හෝ නො ලබන්නාහු දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, ඒ දොරටුපාලතෙම ඊර්ෂ්‍යා ප්‍ර‍කෘති ව පඬුර වළක්වාලී ය. ස්වාමීනි, අනික් වාසල්දොරටුවකින් රජ්ජුරුවන්ට සියදහස් ගුණයෙන් පඬුරු පැමිණෙන්නේ ය” යි කීහ.

“මහරජානෙනි, එපරිද්දෙන් ම ඊර්ෂ්‍යාප්‍ර‍කෘති ව පවිටු මාරදිව්‍යපුත්‍ර‍ තෙම පඤ්චසාලක[2] බ්‍රාහ්මණගෘහපතිකයන් නො හැර ම ආවෙස වී ය. එකල ‘භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දිව්‍ය ඔජස් බහාලම්හ’ යි සිතා වෙනින් නොයෙක් දේවතාවෝ සියදහස් ගණනෙක් අමෘත වූ දිව්‍යඔජස් ගෙණ පැමිණියාහු ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කෙරෙමින් වැඳ ගෙණ සිටියාහු ය” යි වදාළ සේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ කාරණය එසේ ම වේවා. ලොකයෙහි උත්තමපුරුෂ වූ භාග්‍යවතුන් වහන්සේට සිවුපසය සුලභ වන්නේ ය. දිව්‍යමනුෂ්‍යයන් විසින් යාච්ඤා කරණ ලද්දා වූ භාග්‍යවතුන් වහන්සේ සිවුපසය වළඳා වදාරණසේක. එතෙකුදු වුවත් ඒ මාර තෙම භාග්‍යවතුන් වහන්සේගේ භොජනයට යම් අන්තරායක් කෙළේ ය. එහෙයින් එපමණකින් මාරයාගේ යම් අභිප්‍රායයෙක් ඇත් නම්, ඒ අභිප්‍රාය සිද්ධ වී ය. මේ කාරණයෙහි, ස්වාමීනි, මාගේ කාංක්ෂාව නො සිඳෙන්නේ ය. එහි විමති උපන්නා වූ මම කාංක්ෂාවට පැමිණියෙමි. තථාගතත්වාදිගුයෙන් යුක්ත වූ අර්හත්වාදිගුණයෙන් යුක්ත වූ දෙවියන් සහිත වූ ලොකයෙහි අග්‍ර‍පුද්ගල වූ උතුම් සුචරිතපුණ්‍යමහිමයෙන් ජනිත වූ කිසිවෙකු හා අසම වූ අනූපම වූ ඉතිරි ප්‍ර‍තිවෙධධර්මයක් නැත්තා වූ චතුස්සත්‍යධර්මයන් අවබොධ කළා වූ සම්‍යක්සම්බුද්ධසර්වඥරාජොත්තමයානන් වහන්සේට නින්දිත වූ ලාමක වූ ස්වල්ප වූ පවිටු වූ උතුම් නො වන්නා වූ මාරතෙම යම් ලාභාන්තරායක් කෙළේ ය. එහි මාගේ සිත නිෂ්ඨාවකට නො පැමිණෙන්නේ ය” යි කීහ.

“මහරජානෙනි, ‘අදිට්ඨන්තරාය ය, උද්දිස්සකටන්තරාය ය, උපක්ඛටන්තරාය ය, පරිභොගන්තරාය ය’ යි කියා මේ අන්තරායයෝ සතරදෙනෙක. ඒ චතුර්විධඅන්තරායයන් අතුරෙන් අදෘෂ්ටාන්තරාය නම්: ‘බුදුන්ට ය යි නියම නො කොට අදර්ශනයෙන් කරණ ලද භොජනය අනුන්ට දීමෙන් කම් කිම් දැ?’ යි කියා කිසිවෙක් අන්තරාය කරන්නේ ය. මේ අදෘෂ්ටාන්තරාය නම් වන්නේ ය. උද්දිස්සකටන්තරාය නම් කවරේ ද? මේ ලොකයෙහි ‘මෙ නම් පුරුෂයාහට ය යි නියම කොට සමහර පුද්ගලයෙකු උදෙසා භොජනය පිළියෙල කරණ ලද වන්නේ ය’ යි ඒ භොජනයට කිසිවෙක් අන්තරාය කරන්නේ ය. මේ උද්දිස්සකටන්තරාය නම් වන්නේ ය. උපක්ඛටන්තරාය නම් කවරේ ද? මේ ලොකයෙහි ‘යම් කිසි භොජනයක් කරණ ලද වී ද, නො පිළිගන්නා ලද ද, එහි කිසිවෙක් අන්තරාය කරන්නේ ය.’ මේ උපක්ඛටන්තරාය නම් වන්නේ ය. පරිභොගන්තරාය නම් කවරේ ද? මේ ලොකයෙහි ‘පාරිභොගික වූ යම් කිසි වස්තුවෙක් ඇද් ද, එහි අන්තරාය කරන්නේ ය. මේ පරිභොගන්තරාය නම් වන්නේ ය.’ මහරජානෙනි, මොහු වනාහි චතුර්විධ අන්තරායයෝ ය.

“යම් හෙයකින්[3] වනාහි පාපී වූ මාරදිව්‍යපුත්‍රතෙම පඤ්චසාලක බ්‍රාහ්මණගෘහපතිකයන් නො හැර ම ආවෙස වී ද, ඒ අන්තරාය (171) භාග්‍යවතුන් වහ්නසේගේ පරිභොගඅන්තරායයකුත් නො වන්නේ ය. උපක්ඛටන්තරායයකුත් නො වන්නේ ය. උද්දිස්සකටන්තරායයකුත් නො වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ කරා නො පැමිණියා වූ අසම්ප්‍රාප්ත වූ අදර්ශනයෙන් අන්තරායකරණ ලද්දේ ය.[4] ඒ අන්තරාය කළ කාරණය එක ම භාග්‍යවතුන් වහන්සේට ම නො වන්නේ ය. එකල එසමයෙහි යම් භික්ෂුකෙනෙක් බුදුන් කරා පැමිණ සමග නික්මුනාහු ද, ඒ සියලු ම දෙනා වහන්සේත් එදවස් ආහාරය නො ලද්දාහු ය. මහරජානෙනි, යමෙක්තෙම ඒ භාග්‍යවතුන් වහන්සේගේ[5] උද්දිස්සකටලාභයකට[6] හෝ උපක්ඛටලාභයකට හෝ පරිභොගයකට[7] හෝ අන්තරාය කෙරේ ද, එබඳු පුද්ගලයෙක් දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බ්‍ර‍හ්මයන් සහිත වූ ලොකයෙහි ද ශ්‍ර‍මණබ්‍රාහ්මණයන් සහිත වූ සංවෘතිදෙවියන් හා අවශෙෂ මනුෂ්‍යයන් සහිත වූ සත්වලොකයා අතුරෙහි මම නො දක්නෙමි. ඉදින් කිසිවෙක් බුදුන්ට ඊර්ෂ්‍යාවෙන් උද්දිස්සකටලාභයකට හෝ උපක්ඛටලාභයකට හෝ පරිභොගයකට හෝ අන්තරාය කෙළේ වී නම්, ඔහුගේ මස්තකය සියක් කඩට හෝ දහසක් කඩට හෝ පැළී යන්නේ ය.

“මහරජානෙනි, තථාගතයානන් වහන්සේගේ කිසිවකු විසින් අනාවරණීය වූ මේ ගුණධර්මසතරෙක. ඒ සතරගුණය කවරේ ද? මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේගේ උද්දිස්සකට වූ උපක්ඛට වූ ලාභය තෙම කිසිවෙකු විසින් අන්තරාය කරන්ට නො හැකි වන්නේ ය. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේගේ ශරීරානුගත වූ සරියන් බ්‍යාමප්‍ර‍භා තොම කිසිවෙකු විසින් අන්තරාය කරන්ට නො හැකි වන්නී ය.[8] මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතාඥානරත්නය කිසිවෙකු විසින් අන්තරාය කරන්ට නො හැකි වන්නේ ය. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්‍සේගේ සර්වඥතාඥානරත්නය කිසිවෙකු විසින් අන්තරාය කරන්ට නො හැකි වන්නේ ය. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයතෙම කිසිවෙකු විසින් අන්තරාය කරන්නට නො හැකි වන්නේ ය. මහරජානෙනි, මේ සතර වනාහි භාග්‍යවතුන් වහන්සේගේ කිසිවෙකු විසින් අනාවරණය වූ ගුණයෝ ය.

“මහරජානෙනි, මෙ කී සියලු ගුණයෝ අවිනාශගුණයෙන් යුක්ත බැවින් එකකෘත්‍යයෝ ය. අන්තරායරොගයක් නැති වන බැවින් අරොගයෝ ය. කොප්‍යය කළ නො හැකි බැවින් අපරොපක්‍ර‍මයෝ ය. අන්‍ය ක්‍රියාවක් නො වැදගන්නා බැවින් අඵුසනක්‍රියාවෝ ය. මහරජානෙනි, පවිටු වූ මාරතෙම අදර්ශනයෙන් නො පෙණී සැඟවී ඉඳ පඤ්චසාලක බ්‍රාහ්මණගෘහපතිකයන්ට ආවෙස වි ය. මහරජානෙනි, යම් සේ රජ්ජුරුවන්ගේ විෂම වූ ප්‍ර‍ත්‍යන්ත දෙශයෙහි සොරු නො පෙණීමෙන් සැඟවී හිඳ මාර්ගය දූෂණය කරන්නාහු ය. ඉදින් රජ්ජුරුවෝ ඒ සොරුන් දක්නාහු වූ නම් කිමෙක් ද, ඒ සොරු සැපතක් ලබද් ද?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, පොරොවින් සියක්වර හෝ දහසක් කඩ කොට හෝ පළවන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම පාපී වූ මාරතෙම රහසින් සැඟවී හිඳ පඤ්චසාලක බ්‍රාහ්මණගෘහපතිකයන් නො හැර ආවේස වි ය.

“තවද, මහරජානෙනි, යම් සේ පුරුෂයා ඇති ස්ත්‍රීතොම නො පෙණී මෙන් සැඟවී හිඳ පරපුරුෂයන් සේවනය කරන්නී ද, එපරිද්දෙන් ම, මහරජානෙනි, අදර්ශනයෙන් පාපී වූ මාරතෙම සැඟවී හිඳ පඤ්චසාලක බ්‍රාහ්මණගෘහපතිකයන් නො හැර ම ආවේස වි ය. ඉදින්, මහරජානෙනි, (172) ස්ත්‍රීතොම ස්වාමිපුරුෂයාගේ සම්මුඛභාවයෙහි දී පරපුරුෂයන් සේවනය කරා නම්, කිමෙක් ද, ඒ ස්ත්‍රීතොම සැපතක් ලබා දැ?” යි විචාළ සේක. “නැත, ස්වාමීනි, ස්වාමිපුරුෂතෙම ඈ නසන්නේ හෝ ය. වධ කරන්නේ හෝ ය. දැඩි කොට බඳින්නේ හෝ ය. දාසිත්වයට හෝ පමුණුවන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අදර්ශනයෙන් පාපී වූ මාරතෙම සැඟවී හිඳ පඤ්චසාලක බ්‍රාහ්මණගෘහපතිකයන් නො හැර ම ආවේස වි ය. ඉදින් මහරජානෙනි, පාපී වූ මාරතෙම භාග්‍යවතුන් වහන්සේ උදෙසා කළ භොජනයක් හෝ සමීප කොට පිරිනැමූ උපක්ඛට භොජනයක් හෝ පරිභොග කරණ දෙයක් හෝ අන්තරාය කරන්නේ වී නම්, ඔහුගේ මස්තතකය සියක්කඩ ව හෝ දහසක්කඩ ව හෝ පැළී යන්නේ ය” යි වදාළසේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ එසේ ම ය. පාපී වූ මාරයා විසින් මේ ආහාරය වැළකූ කාරණය සොරකමින් ම කරණ ලද්දේ ය. පවිටුමාරතෙම සැඟවී හිඳ පඤ්චසාලක බ්‍රාහ්මණගෘහපතිකයන් නො හැර ම ආවේස වි ය. ඉදින්, ස්වාමීනි, ඒ පවිටු මාරතෙම භාග්‍යවතුන් වහ්නසේගේ තමන් උදෙසා කළ දෙයක් හෝ සමීප ව කෘත දෙයක් හෝ පරිභොගදෙයක් හෝ අන්තරාය කරන්නේ වී නම්, ඔහුගේ මස්තකය සියක්කඩ ව හෝ සහස්‍ර‍කඩ ව හෝ පැළෙන්නේ ය. ඔහුගේ ශරීරය හෝ බොල්මිටක් මෙන් විසිර යන්නේ ය” (යි වදාළසේක.) “සාධු! සාධු!! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ වදාළ මේ කාරණය එපරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කියා ස්තුති කළහ.

ප්‍ර‍ත්‍යයලාභප්‍ර‍ශ්නය නිමි

  1. ‍පරිෂ්කාරයන්ගෙන්

  2. පඤ්චාලක

  3. යම් අන්තරායක්

  4. මෙහිද පරිවර්තනයෙහි වැරැදී තිබේ.

  5. වහන්සේට

  6. ලාභයක්

  7. පරිභොගයක්

  8. වන්නේ ය