අහිංසානිග්‍ර‍හප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ලොකයෙහි අනුන්ට හිංසා නො කරන්නා වූ මාමක පුරුෂතෙම ලොකයා හට ප්‍රිය වන්නේ ය’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය. නැවත ද, නිග්‍ර‍හ කිරීමට සුදුස්සාහට නිග්‍ර‍හ කරන්නේ ය. ප්‍ර‍ශංසා කරන්නට සුදුස්සාට ප්‍ර‍ශංසා කරන්නේ ය’ කියාත් වදාරණ ලද්දේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නිග්‍ර‍හකරණ අය[1] නම් අත් සිඳීම ය, පා සිඳීම ය, වධ කිරීම ය, බැඳීම ය තැළීම ය, මැරීම ය, ජීවිතසන්තතිය වෙන් කිරීම ය. මේ වචනය වදාරන්ට භාග්‍යවතුන් වහන්සේට යුතු නො වන්නේ ය. මේ වචනය වදාරන්ට භාග්‍යවතුන් වහන්සේ සුදුසු නො වන සේක් ම ය. ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අහිංසයං පරං ලොකෙ පියො හො හිති[2] මාමකො’ ති කියා වදාරණ ලද්දේ වී නම්, ඒ කාරණයෙන් ‘නිග්ගණ්හෙ නිග්ගහාරහං පග්ගණ්හෙ පග්ගහාරහං’ කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් තථාගතයන් වහන්සේ විසින් ‘නිග්ගණ්හෙ නිග්ගහාරහං පග්ගණ්හෙ පග්ගහාරහං’ කියා වදාළ වචනය සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘අහිංසයං පරං ලොකෙ පියො හොහිති මාමකො’ යි කියා වදාළ වචනය හෝ බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍ර‍ශ්නය නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අහිංසයං පරං ලොකෙ පියො හොහිති මාමකො’ ති යන මෙම කාරණයත් වදාරණ ලද්දේ ය. ‘නිග්ගණ්හෙ නිග්ගහාරහං පග්ගණ්හෙ පග්ගහාරහං’ යන මේ කාරණයත් වදාරණ ලද්දේ ය. මහරජානෙනි, මේ ලොකයෙහි පරහට හිංසා නො කරන්නා වූ සකලසත්වයන් කෙරෙහි මමත්වය ඇති මාමක පුරුෂතෙම ලොවට ප්‍රිය වන්නේ ය. මේ පරහට හිංසා නො කිරීම සියලු ම තථාගතයන් වහන්සේලාගේ චාරිත්‍රයෙක. මේ තොම අනුශාසනාවෙක. මෝ තොම ධර්මදේශනාවෙක. මහරජානෙනි, ධර්මය වනාහි අවිහිංසාව ලක්ෂණ කොට ඇත්තේ ය. මේ තෙම ස්වභාවවචනයෙක. මහරජානෙනි, අප තථාගතයන් වහන්සේ ‘නිග්ගණ්හෙ නිග්ගහාරහං පග්ගණ්හෙ පග්ගහාරහං’ කියා යමක් වදාළසේක් ද, මේ වචනාර්ථයතෙම ස්වභාවවචනයෙක. (210) මහරජානෙනි, නො සන්හුන් චිත්තය නිග්‍ර‍හ කට යුත්තේ ය. සන්හුන් චිත්තය ප්‍ර‍ශංසා කට යුත්තේ ය. අකුශලචිත්තය නිග්‍ර‍හ කට යුත්තේ ය. කුශලචිත්තය ප්‍ර‍ශංසා කට යුත්තේ ය. අයොනිසොමනස්කාරය නිග්‍ර‍හ කට යුත්තේ ය. යොනිසොමනස්කාරය ප්‍ර‍ශංසා කට යුත්තේ ය. මිථ්‍යා ප්‍ර‍තිපන්නපුද්ගලයා නිග්‍ර‍හ කට යුත්තේ ය. මනා ව ප්‍ර‍තිපන්නපුද්ගලයා ප්‍ර‍ශංසා කට යුත්තේ ය. අනාර්යයා නිග්‍ර‍හ කට යුත්තේ ය. ආර්ය වූ උත්තමයා ප්‍ර‍ශංසා කට යුත්තේ ය. චෞරයා නිග්‍ර‍හ කට යුත්තේ ය. නො සොරා සංග්‍ර‍හ කට යුත්තේ ය.” යි කීසේක.

“යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ එසේ ම වේවා. දැන් නුඹ වහන්සේ මාගේ විෂයට ම පැමිණ වදාළසේක. යම් අර්ථයක් මම විචාරම් ද, ඒ අර්ථයට ම පැමිණිසේක.[3] ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සොරහු නිග්‍ර‍හ කරන්නවුන් විසින් කෙසේ නිග්‍ර‍හ කට යුත්තේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සොරහු නිග්‍ර‍හ කරන්නවුන් විසින් දොෂ කථනය කළ යුත්තහුගේ[4] දොෂ කථනය කළ යුත්තේ ය. දණ්ඩනය කළ යුත්තහුට දණ්ඩනය කළ යුත්තේ ය. රටින් නැඟිය යුත්තහු රටින් නැඟිය යුත්තේ ය. සංඛලිකාදියෙන් බැන්ද යුත්තහු බන්ධනය කළ යුත්තේ ය. නැසිය යුත්තහු නැසිය යුත්තේ ය. මෙසේ සොරහු නිග්‍ර‍හ කට යුත්තේ ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සොරුන්ගේ යම් ඝාතනයක් ඇද් ද, ඒ ඝාතනය බුදුවරයන් වහන්සේලා විසින් අනුදන්නා ලද්දේ දැ?” යි විචාළෝ ය. “නැත, මහරජානෙනි,” යි කීසේක. “ස්වාමීනි, කුමක් පිණිස ‘සොරහු අනුසාසනීය ය’ යි කියා තථාගතයන් වහන්සේ විසින් අනුදන්නා ලද්දේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් ඒ සොරෙක් අනුන් විසින් නසනු ලැබේ ද, එතෙම තථාගතයන් වහන්සේලාගේ අනුදැනීමෙන් නසනු නො ලැබෙයි. තමා කර ගත් අපරාධයෙන් ම එතෙම ඝාතනය වනු ලැබෙයි. එතෙකුදු වුවත් බුදුන් විසින් ධර්මානුශාසනාව අනුශාසනා කරණු ලැබෙයි.

“මහරජානෙනි, කිසි වරදක් නො කළා වූ කිසි අපරාධයක් නැත්තා වූ වීථියෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් අල්වා ගෙණ නුවණැත්තෙකු විසින් නසාපියන්ට හැකි වේදැ?” යි විචාළසේක. “ස්වාමීනි, එසේ නො හැක්කැ” යි කීහ. “මහරජානෙනි, හේ කවර කාරණයකින් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ඔහු වරදක් නො කළ බැවිනැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම සොරහු තථාගතයන් වහන්සේගේ අනුදැනීමෙන් නො නසින්නේ ය. තමා කර ගත් දෙයින් ම ඒ සොරතෙම නස්නේ ය. කිමෙක් ද? මෙහි අනුශාසනා කළ බුදුරජානන් වහන්සේ කිසි වරදකට පැමිණෙනසේක් දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “එහෙයින් මහරජානෙනි, තථාගතයන් වහන්සේලාගේ අනුශාසනා තොමෝ සකලසත්වසාධාරණ වූ අනුශාසනාවක් නම් වන්නේ යි.” “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ වදාළ ප්‍ර‍ශ්නය එපරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කීහ.

අහිංසානිග්‍ර‍හප්‍ර‍ශ්නය නිමි.

  1. කරණ අය

  2. හොති හි

  3. පැමිණියේ ය

  4. යුත්තහු