කුශලාකුශලකාරීවිශෙෂ ප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කුශලකාරීහුගෙත් අකුශලකාරීහුගෙත් විපාකය සමසම වේ ද? නොහොත් කිසි විශෙෂයකුත් ඇද් ද?” යි කියා විචාළෝ ය. “මහරජානෙනි, කුශලයාගේ ද අකුශලයාගේ ද විශෙෂයෙක් ඇත. මහරජානෙනි, කුශලය සැප විපාක ඇත්තේ ය. ස්වර්ග සංවත්තනික වන්නේ ය. අකුශලය දුක්ඛවිපාකය ඇත්තේ ය. නරකයට පමුණුවන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘දෙවදත්තයන් වහන්සේ එකාන්තපාපීසේක. එකාන්තපාපධර්මයෙන් සමන්නාගත වූසේක. බොධිසත්වයන් වහ්නසේ එකාන්ත කුශලිසේක. එකාන්ත කුශලධර්මයෙන් සමන්නාගත වූසේකැ’ යි කියා නුඹ වහන්සේ කියනසේක. එකාන්ත කුශලධර්මයෙන් සමන්නාගත වූසේකැ’ යි කියා නුඹ වහන්සේ කියනසේක. නැවත ද, දෙවදත්තයන් වහන්සේ ජාතිජාතියෙහි බොධිසත්වයන් වහන්සේ හා යශසින් ද, පක්ෂබලයෙන් ද, සම වන්නෝ ය. කිසිකලෙක අධිකතර ද වන්නෝ ය. (234) යම් කලෙක දෙවදත්තයෝ බරණැස්නුවර බ්‍ර‍හ්මදත්ත රජ්ජුරුවන්ගේ පුරොහිතයාගේ පුත්‍ර‍ වූවෝ ද, එකල බොධිසත්වයෝ ජවක නම් චණ්ඩාල වූසේක. අකාල ආම්‍ර‍ඵල ගන්වන්නා වූ විද්‍යාධරයෙක් මන්ත්‍ර‍ය දැප කොට අකාලයෙහි ආම්‍ර‍ඵල උපදවා ලූසේක. මේ අම්බජාතකයෙහි බොධිසත්වයන් වහන්සේ දෙවදත්තයන්ට වඩා ජාතියෙන් හීන වූසේක. යසසින් ද හීන වූසේක. තවත් නැවත ද, යම් කලෙක දෙවදත්තයෝ මගධරට සර්වකාමසමංගී වූ මහාමහීපතී නම් මගධරජ වූ ද, එකල මහබෝසතානෝ ඒ රජහුගේ පාරිභොගික වූ සර්වලක්ෂණ සම්පන්න වූ ඇලිඇත්රාජන් වූසේක. ඒ හස්තිරාජයාගේ මනොඥ වූ හස්තිගතිවිලාසශ්‍රීය දැක ඉවසිය නො හැකි වූ රජ්ජුරුවන් වධ කොට මරවනු කැමැති ව හස්ත්‍යාචාරීයාහට ‘ආචාර්යයෙනි, තොපගේ හස්තිරාජයා අශික්ෂිත වූයේ ය’ යි මෙසේ කියා, ‘ඒ හස්තිරාජයාගේ ශික්ෂිතත්වය බලමි’ යි සිතා පිරිවර සහිත වූ වෙපුල්ල නම් පර්වතය මුදුනට නැඟී, ‘ආචාර්යයෙනි, මේ හස්තියාගේ එක් පයක් නඟා හිඳින සේ කරව, දෙපයක් නඟා හිඳින සේ කරව. තුන් පයක් නඟා ගෙණ හිඳින සේ කරව, සතරපය ම නඟා ආකාශයෙහි ගමනාකාරය කරව’ යි කී කල්හි හස්ත්‍යාචාරියාගේ වචනයෙන් සතරපය ම නඟා ගෙණ පුණ්‍යසෘද්ධියෙන් අහසට පැන නැඟී බරණැස් නුවරට ගියේ ය. ඒ දුම්මෙධජාතකයෙහි ද දෙවදත්තයන්ට වඩා බොධිසත්වයන් වහන්සේ ජාතියෙන් හීන වූ සේක. ලාමක වූ සේක තිරශ්චීනගත වූසේක.

“තවද, නැවතත් යම් කලෙක දෙවදත්තයෝ බරණැස ගොවියෙක් ව ඉපද කෘෂිකාර්මාන්තයෙන් ජීවත් වෙමින් ගොන් සොයා වනයෙහි ඇවිදිමින් මං මුළා ව සද්දවසක් නිරාහාරයෙන් තින්දුක රුකකට නැඟී ඵල කමින් එයින් සැටරියන් උස නරාවළෙක වැටී ඒ මිනිසුන් නැති මහවනයෙහි නැසීමට පැමිණියෝ ද,[1] එකල බොධිසත්වයන් වහ්නසේ මහාපෘථිවිය සේ මහාගුණ ඇති බැවින් ‘මහාපඨවි’ නම් වඳුරෙක් ව වනයෙහි ගොදුරු සොයා ඇවිදින්නේ නරාවළ හුන් පුරුෂයා දැක කරුණා උපදවා මිනිස් බඳක් ප්‍ර‍මාණ වූ ගලක් බඩ බැඳ ගෙණ වළට පැනපියා, කිරුම් බර බලා, වළට පැන, දුකට පත් පුරුෂයා ඔසවා ගෙණවුත් ගොඩට දමා ඉතා වෙහෙස වූ හෙයින් ක්ලාන්ත ව ඔහුගේ කලවයෙහි හිස තබා මඳක් සැතපී ගත්සේක. එකල අකෘතඥපුරුෂයා වඳුරා මරා මස් කනු කැමැති ව ලඟ තුබූ මහගල්කැටක් ගෙණ කණඇටයෙහි ගැසූ කල්හි වහා පුබුදු වීම හා සමග ම කම්මුල් මස් උපුටා ගියෙන් වෘක්ෂාග්‍ර‍යට පැන නැඟී, ‘අකෘතඥ පුරුෂය, තට මම පරාංමුඛ වීම් නම්, තෝ මේ වනාන්තරයෙහි නස්නේ ය. මා කළ වීර්යපාරමිතායෙහිත් කම් නැත. තෝ මා යන දිග බලා බිමින් එව’ යි කියා මිනිස්පථයට ගෙණ හැරියෝ ය. ඒ මහාකපිජාතකයෙහිත් මනුෂ්‍යාත්මයාගේත් තිරශ්චීනාත්මයාගේත් විශෙෂය දක්නා ලැබෙයි. එහිත් බොධිසත්වයන් වහන්සේ දෙවදත්තයන්ට වඩා ජාතියෙන් හීන වූ සේක.

“තවද, නැවතත් යම් කලෙක දෙවදත්තයෝ මහත් බල ඇති බලවත්තර වූ ඇත්බල ඇත්තා වූ ‘සොණුත්තර’ නම් වැද්දෙක් ව මනුෂ්‍ය වූහ. එකල බොධිසත්වයෝ හිමාලයෙහි අටදහසක් පමණ ආකාශචාරී වූ හස්තීන්ට නායක වූ මුඛපාද රත් වූ සර්වාංගය සුදු වූ අසූඅටරියන් උස ඇති එසියවිසිරියන් දිග ඇත්තා වූ රිදීදමක් වැනි පණස්අටරියන් සොඬ ඇත්තා වූ පසළොස්රියන් වට හා තිස් (235) රියන් දිග ඇති දන්ත යුගලින් ෂඩ්වර්ණ වූ රශ්මි විහිදෙන්නා වූ ඡද්දන්ත නම් හස්තිරාජන් ව ඉපද, අටදහසක් හස්තීන් පිරිවරා ගෙණ, ඡද්දන්ත නම් විල ක්‍රීඩා කොට, හැසිරෙමින් පසේබුදුන් නිති පුදා වාසය කරණසේක් ද,[2] එකල බරණැස් රජ්ජුරුවන්ගේ සුභද්දා නම් අග්‍රමහෙසිකාවගේ වචනයෙන් ඒ සොණුත්තර නම් වැදිපුත්‍රතෙම හිමාලයට ගොස් පොළෝ යට වළක් කපා හිඳ, විෂ පෙවූ හීයකින් ඒ හස්තිරාජයා විද මරා, දත් කපා ගෙණ ආයේ ය. ඒ ඡද්දන්තජාතකයෙහි ද දෙවදත්තයේ ම අධිකතර වූවාහු ය.

“නැවත ද, යම් කලෙක දෙවදත්තයෝ කලිඟු රට වෙළඳුන්ගේ බඩු ඇද ජීවත් වන්නා වූ තමහට නිල වූ ගෙයක් නැති බැවින් අනිකෙක වාසී වූ ‘වනචාරණ’ නම් මනුෂ්‍යයෙක් වූවාහු ද, එකල බොධිසත්වයෝ පක්ෂී ව ඉපද වෙදත්‍ර‍ය ඉගෙණ මන්ත්‍ර‍ හදාරන්නා වූ ‘තිත්තිර’ නම් පණ්ඩිත වූසේක. මුළු මහත් දඹදිව වාසීන්ට වෙදත්‍ර‍ය උගන්වමින් වනාන්තර ප්‍රදෙශයක වාසය කරණසේක. එකල ඒ වනචාරණ නම් පුරුෂතෙම ජීවත් වන උපායක් සිතා තපස් වෙශයකින් ඒ වනයට පැමිණ ඒ තිත්තිර පණ්ඩිතයන් මරා කෑයේ ය. ඒ තිත්තිරජාතකයෙහි ද, දෙවදත්තයේ ම ජාතියෙන් අධිකතර වූවාහු ය.

“නැවත ද, යම් කලෙක දෙවදත්තයෝ බරණැස කලාබු නම් කසී රජ වූ ද, එසමයෙහි බොධිසත්වයෝ අසූකොටියක් ධනය ඇති බ්‍රාහ්මණ කුලයක ඉපිද, සියලු සැපත් හැර සෘෂිප්‍ර‍ව්‍ර‍ජ්‍යාවෙන් පැවිදි ව වනාන්තරයෙහි වාසය කොට ලුණුඇඹුල් සොයනා පිණිස බරණැස් නුවරට අවුත් සෙනාපතින් උපාසක කොට ගෙණ රාජ්‍යෙද්‍යානයෙහි වාසය කරණ සේක. එකල ඒ කලාබුරජ උද්‍යාන ක්‍රීඩාවට ගොස් බෝසතුන් දැක ‘ක්ෂාන්තිවාදීහ’ යි අසා කිපී ‘ක්ෂාන්තිය බලමි’ යි වධකරුවා ගෙන්වා කටුසැමිටියෙන් තපස්වීන් වහන්සේගේ ශරීරය සතර පැත්තට පාර දෙදහසක් ගස්වාලී ය. එකල බොධිසත්වයන් වහන්සේගේ ශරීරයෙහි ඡවි සම් මස් සිඳී ගොස් ලේ වැගිරෙන්නට පටන් ගත. එකල්හි ද ක්ෂාන්තිවාදීසේක් ම ය. නැවතත් අත්දෙක සිඳුවා ලී ය. එවිටත් ක්ෂාන්තිවාදීසේක් ම ය. තවත් පාදෙක සිඳුවා ලී ය. මෙසේ හස්ත පාදයන් උණ ගොබ සෙයින් සිඳුවා ලී ය. එවිටත් ක්ෂාන්තිවාදීසේක් ම ය. කැපූ සතරසන්ධියෙන් ඝටච්ඡිද්‍රාවලින් වෑහෙන සාදිලිංගම්කල්ක සෙයින් ලේ වාහින්ට වන. ‘නැවතත් දෙකන් නාසා සිඳුවා ලවමි. කූටජටිල තපස්විය, තෝ කුමන වාදී දැ?’ යි විචාරා ‘මහරජානෙනි, මම ක්ෂාන්තිවාදීමි’ යි කියා වදාළ කල ‘කූටජටිලය, තාගේ ක්ෂාන්තිය තෝ ම නඟා ගණුව’ යි කියා විලිඹින් බොධිසත්වයන්ගේ ලයට ඇන පලා ගියේ ය. එකල උපස්ථායක වූ සෙනාපතිහු එපවත් අසා වහා දිව අවුත් වැඳ වැතිර මහාශොකයෙන් පොළෝ පස් කකා පෙරළී හඬමින් ‘අනේ ස්වාමීනි, නුඹවහන්සේට වධ කෙළේ රජහු මුත් සෙස්සෝ නො වෙති. රටවාසීන්ට නො කිපෙන්නැ’ යි කී කල්හි:-

“යො මෙ හත්‍ථෙ ච පාදෙ ච - කණ්ණනාසඤ්ච ඡෙදයී,

චිරං ජීවතු සො රාජා - න හි කුජ්ඣන්ති මාදිසා.”

යනාදීන් ‘එම්බා සෙනාපතිය, යම් රජෙක් මාගේ හස්තපාදයන් හා කන්නාසා ඡෙදනය කරවාලී ද, ඒ රජතෙම බොහෝ කලක් ජීවත් වේවා. මා වැනි ක්ෂාන්තිමෛත්‍රියෙන් යුක්ත වූ පණ්ඩිතවරු නො කිපෙන්නාහ’ යි (236) කියා වදාරමින් පිරිනිවි[3] සේක. ඒ ක්ෂාන්තිවාදිජාතකයෙහි ද බොධිසත්වයන්ට වඩා දෙවදත්තයෝ ම ජාතියෙන් හා යසසින් අධිකතර වූවාහු ය.

“නැවත ද, යම් කලෙක දෙවදත්තයෝ වනයෙහි සතුන් මරා ජීවත් වන වනචාරී මනුෂ්‍යයෙක් වූහ.[4] එකල බොධිසත්වයන් වහන්සේ හිමාලයෙහි අසූදහසක් පමණ වඳුරන්ට නායක වූ නන්දිය නම් වානරෙන්ද්‍ර‍ වූසේක. එතෙක් වඳුරුසෙනඟ හැර තමන්ගේ අන්ධ වූ මෑනියන් රක්නා පිණිස මහවනින් නික් ම අවුත් තමන්ගේ මලනුවන් හා සමග ප්‍ර‍ත්‍යන්ත ගම් අසලෙක්හි වූ නුගේක හිඳ අන්ධ වූ මෑනියන් රක්ෂා කරණසේක. එකල්හි ද, ඒ වනචාරී වැදිතෙම දුනු හී ගෙණ වනයෙහි ඇවිද කිසිවක් නො ලැබ සිස් අතින් ගෙට එනුයේ අතර මග මහනුගරුක උඩ බලා අන්ධ වූ වැඳිරිය දැක, දුන්න නඟා උර පුරා ඇද මාන් බලයි. එපවත් දුටු නන්දිය නම් බෝසතානන් අතුපතරින් පැන එමින් ‘මලණ්ඩ, චුල්ලනන්දිය, මම මෑනියන්ට දිවි පුදමි. මා මෑනියන් තෙපි රකුව’ යි කියා දිව අවුත් මෑනියන් පසු කොට ලා හිඳ ‘පින්වත් වූ මාගේ වැද්දනුවෙනි. අන්ධ වූ ජරා දුර්වල වූ මාගේ මෑනියන් නො විදුව. මෑනියන් නියාවට මා දිවි පුදමි’ යි කියකියා සිටි ඒ වානරෙන්ද්‍ර‍යන් හා එසේ ම කියා සිටි බාලමලනුවන් හා මහලු මෑනියන් විද මරා ගෙණ ගියේ ය. ඒ චුල්ලනන්දිය ජාතකයෙහි ද බොධිසත්වයන්ට වඩා දෙවදත්තයෝ ම ජාතියෙන් අධිකතර වූවාහු ය.

“තවද, නැවතත් යම් කලෙක දෙවදත්තයෝ කාරම්භිය නම් අචෙලක වෙශධාරී වූ මනුෂ්‍යයෙක් වූ ද, එකල බොධිසත්වයෝ පණ්ඩරක නම් නාගරාජ වූසේක. ඒ පණ්ඩරජාතකයෙහිත් දෙවදත්තයෝ ජාතියෙන් අධිකතර වූවාහු ය.

“තවද, නැවතත් යම් කලෙක දෙවදත්තයෝ වනයෙහි වසන කූටජටිල තපස්වී වූ මනුෂ්‍යයෙක් වූ ද, එකල බොධිසත්වයේ තච්ඡක නම් මහහූරෙක් වූසේක. එහිත් දෙවදත්තයෝ ම ජාතියෙන් අධිකතර වූවාහු ය.

“තවද, නැවතත් යම් කලෙක දෙවදත්තයෝ ප්‍ර‍ථමකල්පික මහා බ්‍ර‍හ්මයන්ගේ සම්මතයෙන් සම්මත වූ මහාසම්මත රජහු පටන් පැවත ආ චර නම් අසංඛ්‍යායු රජහට පුත්‍ර‍ ව උපචර නම් වූ ද, ඒ තෙම ක්‍ර‍මයෙන් වැඩී චෙතිය රට සුරපරිචර නම් චෙතිය රජ විය. ඕහට දෙවතාවෝ සතර දෙනෙක් ඛඞ්ග ධරා සතරදිග මුර කෙරෙති. ඔහුගේ ශරීරයෙන් සඳුන් සුවඳ පැතිරෙයි. මුඛයෙන් දිවමහනෙල් මල්සුවඳ නික්මෙයි. පුරුෂ ප්‍ර‍මාණ අහස්තලය මත්තෙහි යන අහස් ගමන් ඇත්තේ ය. මේ චතුර්විධ සෘද්ධියෙන් හා අනන්තඓශ්චර්යයෙන් යුක්ත ව රජ කෙරෙයි. එසමයෙහි මහාබොධිසත්වයන් වහන්සේ කපිල නම් පුරොහිත බ්‍රාහ්මණ වූයේ රජහුගේ අවිශ්වාසය දැක මහණ වනු කැමැති ව තමාගේ පුත්‍ර‍යාහට පුරොහිත තනතුර දෙන සේ නිල කොට චෙතියරජහට අනුදන්වා සමුගෙන සෘෂිප්‍ර‍ව්‍ර‍ජ්‍යාවෙන් පැවිදි ව ධ්‍යානසමාපත්ති උපදවා ගෙණ තමාගේ පුත්‍ර‍යාගේ ආරාධනාවෙන් එම නුවර රාජ්‍යොද්‍යානයෙහි වසනසේක. එකල චෙතියරජ තමා හා සමග එක තීර්ථායතනයෙහි ශාස්ත්‍ර‍ උග්ත කොරකළම්බක නම් බ්‍රාහ්මණයා කැඳවා ‘කොරකළම්බකයෙනි, තාගේ භ්‍රාතෘහු පැවිදි වූයෙන් තෙපි පුරොහිතතනතුර කරව’ යි කීහ. ‘ස්වාමීනි, අපගේ පරම්පරාවෙන් පැවැත ආ ඨානාන්තරය මාගේ භාතෘන් වහන්සේ විසින් පුත්‍ර‍යාට දෙන ලද්දේ ය’ යි කීහ. ‘එසේ වී නම්, මම තොප වැඩිමහලු කොට කපිලයන් (237) බාල කෙරෙමි’ යි කීහ. ‘ස්වාමීනි, ඒ කෙසේ දැ?’ වි විචාළේ ය. ‘සද්දවසක් මුළුල්ලෙහි මහපිරිස් රැස් කරවා ඒ පිරිස් මධ්‍යයෙහි අහස හිඳ ‘කපිලයෝ බාලයහ. කොරකළම්බකයෝ වැඩිමහල්ලහ’ යි බොරුවක් කොට තොපට තනතුරු දෙමි’ යි කීහ. එපවත් මුළු නුවර ඇළලී ගොස් ‘කොල, රජ්ජුරුවන් වහන්සේ මුසාවාදයක් කොට වැඩිමහල්ලහු බාල කෙරෙමින් බාලහු වැඩිමහලු කොට පුරොහිතතනතුර දෙනසේක් ලු. ‘මුසාවාදය’ නම් කෙබඳු දෙයක් දෝ? නීලවර්ණයෙක් දෝ හෝ? නොහොත් ශ්වෙතවර්ණ පීතවර්ණාදියක් දෝ හො’ යි කියා විතර්ක උපදවා මුසාවාදයක් එකල ලොකයෙහි නැති බැවින් බලනු පිණිස සද්දවසක් මුළුල්ලෙහි රැස් වෙමින් රාජාංගණයෙහි මැසි පිට මැසි බැඳ ගෙණ සිට ගත්හ.

“එකල චෙතියරජ චක්‍ර‍වර්තිවිලාසයෙන් සැරසී මුසාවාදය පහළ කිරීමට ආකාශයෙහි දිව්‍යරාජයකු සේ පලක් බැඳ සිට ගත්තේ ය. එකල පුරොහිතපුත්‍ර‍යාගේ වචනයෙන් කපිලතපස්වීන් වහන්සේත් අහසින් අවුත් රජහුගේ අභිමුඛයෙහි අහස පලක් බැඳ වැඩ හිඳ, ‘මහරජ, මුසාවාදය නම් සියලු ම ගුණ නසන්නා වූ සතර අපායෙහි උපවන්නා වූ බලවත් වූ පාපයෙක. මුසාවාදය පහළ කොට බොරු කියා ජෙට්ඨාපචායනධර්මය නසා තෙමේත් නැසෙන්නේ ය. දෙවතාවෝ කඩු දමා පලා යෙති, ශරීරය හා මුඛ කුණුගඳ වැහෙයි. අහස නො ඉඳ බිම වැටෙයි. එයිත් දැන දැන මුසාවාදය නො කියව’ යි යනාදීන් අවවාද කරණ කල්හි කොරකළම්බකයා මුහුණ බලා ඡන්දාගතියට ගොස් අභිප්‍රාය ම සාධන පිණිස ‘ත්වමසී භන්තෙ ජෙට්ඨො කොරකළම්බකො’ යි කියා බොරු කීයේ ය. ඒ ක්ෂණයෙහි ම දෙවතාවෝ කඩු පාමුල දමා අන්තර්ධාන වූහ, කුණු වූ කුක්කුටබීජයක් මෙන් මුඛය කුණුගඳ විය. විවෘත කළ නානගෙයක් මෙන් ශරීරය දුර්ගන්ධ වෑහින. ආකාසයෙන් ඉපිළ බිම වැටුනේ ය. එවිට කපිලතපස්වීන් වහන්සේ ‘මහරජ, දැන් මේ දැන දැන මුසාවාදය හැර සත්‍යයෙහි පිහිටියේ නම් නටුවා වූ සෘද්ධියත් ප්‍ර‍කෘති කෙරෙමි. විචාරණ ලද අර්ථය යම් රජෙක් නො කියා දැන දැන මුසාවාද කොට කීයේ වී නම්, රජහුගේ විජිතයෙහි කලට වැසි නො වස්නේ ය. අකාලයෙහි වර්ෂා කරන්නේ ය. ජාතිජාතියෙහිත් ඔහුගේ දිව නාගයාගේ මෙන් ද්විවිධ වන්නේ ය. උපනුපන් තැන මත්ස්‍යයාගේ මෙන් දිව ලුහුඬු ව ගොලු වන්නේ ය. ජන්මජන්මයෙහි ඕහට දුන් මුත් පුත්තු නො ලැබෙති.[5] පුත්‍ර‍යන් ලද හොත් අනුපකාරී ව නො කීකරු ව පලායෙති’ යනාදීන් ධර්ම දෙශනා කරණ කල්හි එපවත් නො ගෙණ ‘වහන්ස, නුඹ වහන්සේ බාල වූසේක. කොරකළම්බකයෝ වැඩීසිටියහ’ යි මුසාවාද කියත් ම ගොප්මස දක්වා පොළෝ ගිලින, දෙදණ දක්වා ගිලින, කටිය දක්වා ගිලින, නාභිය දක්වා ගිලින, තන මත්ත දක්වා ගිලින. එකල පෘථිවිය විවර ව අවිචියෙන් ගිලි දැලෙක් අවුත් වෙළා අවිචියට ගෙණ ගියේ ය. ඒ චෙතියජාතකයෙහි ද දෙවිදත් ජාතියෙන් හා යසසින් අධිකතර වූයේ ය.

“තවද, නැවැතත් යම් කලෙක දෙවදත්තයෝ ‘සාම’ නම් මනුෂ්‍යයෙක් වූ ද, එකල මහබෝසතානෝ ‘රූරු’ නම් මෘගරජායෙක් වූහ. එහි ද දෙවදත්තයෝ ජාතියෙන් අධිකතර වූහ. නැවතත් යම් කලෙක දෙවදත්තයෝ වනයෙහි හැසිරෙන්නා වූ වැද්දෙක් වූ ද, එකල මහබෝසතානෝ (238) හිමාලයෙහි හස්තියොනියෙක ඉපිද රිදීපර්වතයක් වැනි ශරීරයක් ඇත්තා වූ රක්තකම්බිලියක් හා සාදෘශ්‍ය වූ මුහුණක් ඇත්තා වූ ඉන්ද්‍ර‍නීලමාණික්‍ය රත්නගුළ ප්‍ර‍තිභාග වූ නෙත්‍ර‍ද්වයක් ඇත්තා වූ ස්වර්ණ බුබුල් එබූ රජතදාමයක් හා සාදෘශ්‍ය වූ සොඬක් ඇත්තා වූ ලාක්ෂාරසවර්ණ නඛ පංක්තියක් ඇත්තා වූ සමත්‍රිංශත්පාරමිතා නමැති චිත්‍ර‍කාරයන් විසින් නිර්මිත කරණ ලද්දා වූ ගුණශීලමහිමයෙන් ශීලව නම් හස්තිරාජ ව අසූදහසක් හස්තීන් පිරිවරා වාසය කෙරෙමින් ගණ [6]සංගණිකා දොෂයෙන් දුරු ව එකචාරී ව වාසය කරණසේක. එකල ඒ වැදිපුත්‍ර‍යා තමා ජීවත් වන දෙයක් සොයා වනයෙහි ඇවිද මංමුළා වෙමින් මහහඬින් හඬා ඇවිදුත් ඒ හස්තිරාජයාගේ සහායත්වයෙන් මිනිස්පථයට පැමිණ හස්තිදන්ත විකුණන්නවුන් දැක ‘ජීවදන්ත ගෙණෙමි’ යි කියා මාර්ගොපකරණ හා වෑ කියත් ගෙණ පෙර පුරුදු මාර්ගයෙන් හිමාලයට ගොස් ‘ස්වාමීනි, මම ජීවත්විය නො හැකි දුගී දුප්පත් හෙයින් නුඹ වහන්සේගෙන් දන්ත කඬක් ලබා ගෙණ ගොස් විකුට කාපියන්ට ආමි’ යි කියා හස්තිරාජයාහට දැන්නූ කල්හි ‘අහෝ! මේ නියා මහවනයෙහි මා සොයා මාගේ දානපාරමිතාව පූරණය කරවාලීමට ආවා වූ කල්‍යාණ මිත්‍රයෙකැ’ යි සිතා ‘දරුව, මෙයින් දළකඩක් කියතකින් කපා ගණුව’ යි කියා පෘථිවියෙහි ගවසෙය්‍යාවෙන් වැද හොත්සේක.

“එකල වැද්දනුවෝ තමහට ගෙණ යන බරට කියතින් දෙදන්තයන් අගින් සිඳ හෙළු ය. මහාබොධිසත්වයන් වහන්සේ දන්තකඩයන් සොඬින් ගෙණ බලා, ‘මාගේ දිවි රකින්නා වූ මේ දන්ත යුගල මට ප්‍රිය නැත්තෙන් අනුන්ගේ දිවි රක්නට දෙන්නේ නො වෙමි. මීට වඩා මට ශතසහස්‍ර‍ගුණයෙන් සර්වඥතාඥානය ප්‍රිය වන්නේ ය. මේ දන්තදානපාරමිතාවෙන් මට මතු ලොවුතුරා සර්වඥතාඥානය මස්තකප්‍රාප්ත වේව’ යි කියා බුදුබව පතා දත්යුවල වැද්දහු අත තැබූසේක. ඔහුත් දත් ගෙණ ගොස් විකුට කා මේ නියායෙන් සවරක් ගෙණ ගොස් සත්වැනි වර මහපෘථිවියෙහි වැද හොත්තා වූ මහාබොධිසත්වයන්ගේ රජතදාමයක් හා සදෘශ වූ සොඬ පයින් මැඩගෙන කෛලාසකූටපර්වතය වැනි කුම්භස්ථලයට නැගී නිෂ්කාරුනික යමයෙකුසේ විලිඹින් දත්මුල් පැහැර මස් නෙරවා හැර සිනිඳු මොළොක් වූ කුඹය පිට හිඳ, ක්‍රෑරතර රළු කියතින් ලේ හා මස් කලවිටු කෙරෙමින් දත් මුල් කපා ගෙණ ගියේ ය. ඒ තාක් මරණාසන්න වූ බලවත් වෙදනායෙහි මහාබොධිසත්වයන් වහන්සේ ‘මාගේ දාන පාරමිතාවෙන් ලොවුතුරා බුදු ව අනවරාග්‍ර‍සංසාරය ලුහුඬු කොට තුන්ලෝවාසීන් අමාමහනිවන් දක්වමි’ යි කියා බුදු බව පැතූසේක. ඒ සීලවනාගරාජජාතකයෙහි ද දෙවදත්තයෝ ම මනුෂ්‍යයොනි වසයෙන් අධිකතර වූවාහු ය.

“තව ද, නැවතත් යම් කලෙක දෙවදත්තයෝ ‘ක්ෂත්‍රියධර්මය’ යි කියන ලද රජ වන්නා වූ මන්ත්‍ර‍යක් උගත්තා වූ ගෘගාලයෙක් වූ ද, ඒ ගෘගාලතෙම යම් තාක් සියලු ජම්බුද්වීපයෙහි ප්‍රදෙශරජ කෙනෙක් ඇද් ද, ඒ සියලු ම රජදරුවන් තමහට යටත් ව පවත්නා සේ අනුයුත්තක කෙළේ ය. එසේ කොට “පෘථිවිවිජය” මන්ත්‍ර‍ය මතුට අනෙක ශෘගාල හස්ත්‍යශ්ව සිංහ ව්‍යාඝ්‍ර‍ දිවි වලස් හූරු මෘගාදීන් පිරිවරා හස්තීන් දෙදෙනෙකුන් පිට සිංහයෙක් නඟා ඒ සිංහයා පිට “සබ්බදාඨි” නම් ශෘගාල රජතෙමේ නැඟී මහත් වූ ඓශ්වර්යයෙන් (239) මත් ව, බරණැස්නුවර රාජ්‍යය ගන්නා පිණිස ගොස් දොළොස්යොදුනක් තන්හි හාත්පසින් නුවර වටා සිට, ‘රාජ්‍යය හෝ දෙව. යුද්ධ හෝ කරව’ යි කියා බරණැස්නුවර වාසීන් භ්‍රාන්ත කොට සිට ගත්තේ ය. එකල අපමහාබොධිසත්වයන් වහන්සේ බරණැස්රජහට පුරොහිත වූ විධුර නම් බ්‍රාහ්මණපණ්ඩිත ව සර්වශාස්ත්‍රයෙහි පරතෙරට පැමිණ ඒ පඨවිවිජය මන්ත්‍ර‍ය රහස් තැනෙක හිඳ පාඩම් කියන ශබ්දය අසා ඒ ශෘගාලයා උගත්බව දන්නාසේක් ‘මහරජානෙනි, මම තෙල සබ්බදාඨි නම් ශෘගාලරජ හා සමග යුද්ධ කෙරෙමි’ යි කියා බරණැස්රජු අස්වසා බළලුන් පටන් මිනිසුන් දක්වා සියල්ලවුන්ගේ උභයකර්ණච්ඡිද්‍රයෙහි උඳුපිටි ගන්වා නුවර ඇතුළ මහඅටල්ලක නැඟී සිට ‘එම්බල, සබ්බදාඨිය, තෝ කුමක් කොට යුද්ධ කෙරේ දැ?’ යි විචාළසේක. ‘බ්‍රාහ්මණය, මම සිංහනාදය කරවා මනුෂ්‍යයන් ජීවිතක්ෂය කරවා රාජ්‍යය ගණිමි’ යි කීහ. ‘අහෝ ජරශෘගාලය, තෝත් කෙසරසිංහරාජයන් ලවා සිංහනාද කරවා පියන්ට සමර්ථයෙහි දැ?’ යි කීසේක. එකල සබ්බදාඨියා මහත් වූ මානයෙන් කිපී සිංහනාදය කරණ සේ තමා යට හුන් සිංහරාජයා හට සංඥා කෙලේ ය. එකල ඒ කෙසරසිංහරාජතෙම හස්තිකුම්භස්ථලය මිරිකා පාත් කොට වැර දී තුන් වරක් අභීතකෙසරසිංහනාදය කෙළේ ය එකල සිවල්රජ බිම වැටී අත්පයින් සුණු විසුණු විය. දොළොස්යොදුන් තන්හි තැර දී සිටි චතුෂ්පදිකමහසෙනඟ සෙණහඬ දහස්වරින් වර කම්මුල් පැහැර ගිය කලක් මෙන් උඩ බිම නො දැන භයින් තැති ගෙණ ඇද පෙරළෙමින් හිසින් හිස, දතින් ඇඟ පයින් වෙර, ඔවුනොවුන් පැහැර ගෙණ එතැන්හි ම මළෝ ය. ලක්ෂගණන් සිංහරාජයෝ මහවනයට පලාගියාහ. නුවර වටා දොළොස්යොදුනක් තන්හි එක ම මස්ගොඩක් වී ය. ඒ සබ්බදාඨිජාතකයෙහි ද දෙවදත්තයෝ ම බොධිසත්වයන්ට වඩා ඓශ්වර්ය යස පිරිවරින් අධිකතර වූවාහු ය.

“තවද, නැවතත් යම් කලෙක දෙවදත්තයෝ හස්තිරාජ ව ඉපිද, කැටකිරිල්ලී නම් පක්ෂිධෙනුවගේ දරුවන් මැරුවාහු ද, එසමයෙහි බොධිසත්වයන් වහන්සේ අසූදහසක් හස්තීන්ට ප්‍ර‍ධාන වූ හස්තිරාජ වූසේක. ඒ ලටුකකිකජාතකයෙහි ඒ දෙදෙන ම සම සම වූහ. තවද, නැවතත් යම් කලෙක දෙවදත්තයෝ කාමාවචරදිව්‍යලොකයෙහි අධර්ම නම් දෙවතාවෙක් වූ ද, එකල බොධිසත්වයන් වහන්සේත් ධර්ම නම් දිව්‍යරාජ වූසේක. ඒ ධර්මජාතකයෙහි ද දෙදෙන ම සම සම වූහ තවද, නැවතත් යම් කලෙක දෙව්දත්හු පන්සියයක් කුලයට අධිපති වූ නාවික වූ ද, එකල බොධිසත්වයන් වහන්සේ පන්සියයක් කුලයට අධිපති ව නැව්කාර වූසේක. එහිත් දෙදෙන ම සම සම වූහ. තවද, නැවතත් යම් කලෙක දෙව්දත්හු පන්සියයක් ගැල්වලට ප්‍ර‍ධාන වූ සාර්ථවාහකයෙක් වූ ද, එකල බොධිසත්වයෝත් පන්සියයක් ගැල්වලට ප්‍ර‍ධාන ව සාර්ථවාහක වූසේක. අපණ්ණජාතකයෙහිත් දෙදෙන ම සම සම වූහ. තවද, යම් කලෙක දෙවදත්තයෝ සාඛ නම් මෘගරාජ වූ ද, එකල බොධිසත්වයෝත් නිග්‍රොධ නම් මෘගරාජ වූහ. ඒ නිග්‍රොධමෘගරාජජාතකයෙහි ද දෙදෙන ම සම සම වූහ. තවද, නැවතත් යම් කලෙක දෙවදත්තයෝ සාඛ සෙනාධිපතියෙක් වූ ද, එකල බොධිසත්වයෝ නිග්‍රොධ නම් රජ වූසේක. ඒ නිග්‍රොධ (240) ජාතකයෙහි ද දෙදෙන ම සම සම වූහ. තවද, නැවතත් යම් කලෙක දෙවදත්තයෝ එකරාජ නම් බරණැස් රජහට අර්ථ ධර්ම අනුශාසක වූ ඛණ්ඩහාල නම් පුරොහිතබ්‍රාහ්මණයෙක් වූ ද, එකල බොධිසත්වයෝ ඒ රජහට පුත්‍ර‍ වූ චන්ද නම් කුමාර වූහ. එසමයෙහි ඛණ්ඩහාලයා ම අධිකතර විය.

“තවද, නැවතත් යම් කලෙක දෙවදත්තයෝ බරණැස බ්‍ර‍හ්මදත්ත නම් රජ වූ ද, එකල බොධිසත්වයෝ ඒ රජහට පුත්‍ර‍ වූ විකසිතපද්මාකාර සශ්‍රීක වූ මුහුණක් ඇති බැවින් මහාපදුම නම් කුමාර ව ඓශ්වර්යයශශ්ශ්‍රීන් වැඩී යුවරාජ්‍යය කරණසේක. එකල බොධිසත්වයන්ගේ මාතෘදෙවීන් කාලක්‍රියා කළ හෙයින් අන්‍ය තරුණබිසවක් අග්‍රමෙහෙසිකා කොට වාසය කෙරෙමින් රජ්ජුරුවන් ප්‍ර‍ත්‍යන්තයුද්ධ මථනයකට ගිය කල්හි ඒ බිසව් මහාබොධිසත්වයන්ගේ ඓශ්වර්යවත් වූ රූපශොභාවෙහි බැඳී කර්තව්‍ය සෙවනයට අනෙකාකාරයෙන් උත්සාහ කෙරෙමින් මහාබොධිසත්වයන් වහන්සේගේ හස්තග්‍ර‍හණය කොට ආකඩ්ඪනය කළ කලැ, නැමී දෑත් නඟා වැඳ ගෙණ, ‘මෘ මෑණියෙනි, මේ ජාතියෙහි මාගේ ඉඳුරන් බිඳ සස්වාමිකස්ත්‍රීරූපයක් නො බැලූ විරීමි. මෙබන්දක් මා කණ නො හෙළන්න’ යි කීසේක. ‘එසේ වී න්ම රජ්ජුරුවන් වහන්සේ ආ විට තා හිස සිඳුවා ලමි’ යි කියා මහාක්‍රොධයෙන් නො කා නො බී සිට, ශත්‍රැමථනය කොට රජ්ජුරුවන් නුවරට අවුත් බිසව අතින් සැප දුක් විචාළ කල, පදුම කුමාරයන් දුන් පහරින් වෙහෙස ව ගිලන් වූ බවක් මෙන් අඟවා ‘ස්වාමිනි, පදුමකුමාරයෝ මා හා සමග අකර්තව්‍යසෙවනයට අවුත් පැමිණි කල ‘පුතණ්ඩ, පදුමකුමාරයෙනි, මම තොපගේ මෑනියෙමි. තොපගේ පිය රජ්ජුරුව් සිහි කරව’ යි කීමි. එවිට ‘තෝ මාගේ කුමන මෑනිකෙනෙක් දැ?’ යි කියා, මාගේ හිසකේවරල ගෙණ ඔබිනොබ ඇද කඩා මට නො කී නො කළ වධයෙක් නම් නැතැ’ යි කියා රජ්ජුරුවන් බිඳුවාලුව. එකල අපරීක්ෂාකාරී වූ ඒ රජ්ජුරුවන් ආශිවිෂයකු සේ කිපී වහා පදුමකුමාරයන් අල්වා නොයෙක් වධ කරවා දැඩි කොට බැඳ, රත්මල් කර එල්වා, සතර වීදියෙහි වදබෙර ගස්වන කල්හි ‘රජ්ජුරුවන්ගේ පාපී වූ බිසවගේ වචනයෙන් නිරපරාධ වූ මහාපදුමකුමාරයන් අල්වා බැඳ වධ බෙර ගස්වන සේකැ’ යි කියා ඒ සියලු නුවර ඇලළී ගොස් මහසෙනඟ‍ දිව අවුත් ඇඟින් වැටෙන ලේ බලා දෑසින් වැහෙන[7] කඳුළු බලා ‘අහෝ! මේ නියා වධයක් ගුණශීලමහිමයෙන් නිර්මිත වූ නුඹ වහන්සේටත් පැමිණියේ දැ?’ යි කියකියා දෙපතුල් මුල හඬා වැටෙමින් මහත් කොලාහල කෙළේ ය. ඒ ශබ්දය අසා රජ්ජුරුවෝ මහාපදුමකුමාරයන් ගෙන්වා මුහුණ දකුත් ම මහාක්‍රොධයෙන් කිපී, ‘මොහු මාගේ අන්තඃපුරයට ගොස් බිසවුන් හා සමග වරද කෙළේ ය. මොහු ගෙණ ගොස් සොරුන් දමන මහාපර්වතයෙන් දමව’ යි නියොග කළෝ ය. එකල මහබෝසතානෝ ‘පියානන් වහන්ස, මා අන්තඃපුරයෙහි කළ වරදෙක් නැත. මහා මායාකාරී වූ ස්ත්‍රීන්ගේ වචනයෙන් නිරපරාධ වූ මාගේ දිවි නො නසන්නැ’ යි කියාත් දෙනුවන් තෙමා කඳුළු වස්වන්ට වන්හ.[8] ඒ දැක සොළොස්දහසක් අන්තඃපුර බිසෝවරු ද ලය උණු ව ගෙණ ‘පුතණ්ඩ, මහාපදුම කුමාරයෙනි, නුඹගේ වරදක් මෙතෙක් කල් අපි නුදුටු විරූම්හ’ යි (241) කියමින් රජගෙය මිනී මළ තැනක් සෙයින් (කරමින්) මහත් කොට හැඬූහ. එකල ක්ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාරාදිමහාජනසමූහයෝ ද රජහු වටා හඬහඬා සිට ‘අනේ! ස්වාමීනි, ශීලාචාරසම්පන්න වූ මහාපදුමකුමාරයෝ රාජවංශානුරක්ෂණයෙහි නියුක්ත වූසේක. මෙබඳු වූ ගුණනුවණින් රූසිරින්යුක්ත වූ කුමාර කෙනකුන් පසු ව නො ලැබිය හැක්කේ ය. අපරීක්ෂාකාරී ව ස්ත්‍රීන්ගේ වචනයෙන් ජීවිතය නො නැසුව මැනැව. රජදරුවෝ නම් පරීක්ෂාකාරී විය යුත්තාහු ය’ යි කියන්නාහු:-

‘නාදිට්ඨා පරතො දොසං - අණුං ථුලානි සබ්බසො,

ඉස්සරො පනයෙ දණ්ඩං - සාමං අප්පටිවෙක්ඛිය.

-

යො ච අප්පටිවෙක්ඛිත්‍වා - දණ්ඩං කුබ්බති ඛත්තියො,

සකණ්ටකං සො ගීලති - ජච්චන්‍ධො‘ව සමක්ඛිකං.’

යනාදීන් ‘පින්වත් වූ දෙව ස්වාමීනි, යම් පෘථිවිහ්වර රජකෙනෙක් අනුන්ගේ කුඩා මහත් වූ සියලු වරද තමාගේ ඇසින් නො දැක දඛින් නො අසා අන්‍යසාක්ෂීන්තේ වචනයත් පරීක්ෂා කොට නො බලා තෙමේ ම ප්‍ර‍ත්‍යක්ෂ නො කොට ගෙණ අනුන්ට වධ දඬුවම් නො පණවන්නේ ය. මුළු පොළොවට රජ වූ මහාසම්මතරාජවංශයෙහි භය ගැන්වීමට වඩා අධික වූ දඬුවමෙක් නැත්තේ ය. තැළීම් ගර්හා කිරීම් රටින් හැරීමට වඩා හස්තපාච්ඡෙදන ඝාතන නම් වධයෙක් නැත්තේ ය. පසු පසු ව පැමිණි ලෙහි ගුණ නැති කර්කශ රජුන්ගේ කාලයෙහි සීසඤ්ඡෙදනාදී[9] අනෙකවධ උපන්නේ ය. එබැවින් අනුන්ගේ වරද ඇසින් නො දැක දඬුවම් නො ම කළ යුතු ය. යම් පෘථිවීශ්වර මහරජාන කෙනෙක් අගතියට ගොස් දොෂ පරීක්ෂා නො කොට හස්තපාච්ඡෙදාදී දඬුවම් කෙරේ ද, ඒ රජතෙම තමහට බොහෝ දුක් විඳීමට කාරණය කරණ හෙයින් දිවි නැසීමට කාරණා වූ කටු සහිත වූ භොජනයෙක් ගිලින්නේ වෙයි. මැස්සන් සහිත මධුපටලයක් අනුභව කරන්නා වූ ජාත්‍යන්ධයකු වැන්නේ ය. යම් පෘථිවීශ්වරයෙක් තෙම දණ්ඩනයට නො නිසි වූ නිරපරාධයන්හට දණ්ඩනය කෙරේ ද, දණ්ඩනයට නිසි වූ සාපරාධයෙකුහට තර්ජන පබ්බාජනාදි[10] දණ්ඩනයක් නො කොට තමාගේ අභිප්‍රායක් ම කෙරේ ද, ඒ රජතෙම විෂම වූ මාර්ගයට පැමිණ ඛාණුකණ්ටකශිලාදියෙහි පැකිල වැටෙන අන්ධයකු මෙන් ධර්මය නො දැන සතරඅපායෙහි වැටී මහත් දුක් විඳින්නේ ය’ යි යනාදීන් අනුසාසනා කොට සිටි කල්හි එපවත් නො ගෙණ ‘මොහු ගෙණ ගොස් සොරුන් දමන මහගලින් හෙළව’ යි කියා චොරප්‍ර‍පාත නම් පර්වතයෙන් අධඃශීර්ෂ කොට හෙළවා ලූයේ ය. එකල බොධිසත්වයන්ගේ මෛත්‍රී ආනුභාවයෙන් ඒ පර්වතයෙහි අධිගෘහිත වූ දිව්‍යපුත්‍රතෙම ‘මාගේ මහාපදුම කුමාරයෙනි, නුඹ වහන්සේ භය නො වන්නැ’ යි කියා දෙ අත දිගු කොට වඩා ගෙණ දිවපහස් ගන්වා වෙහෙස දුරුකොට දිව්‍යමයවස්ත්‍රාභරණයෙන් සරහා දිවබොජුන් මේ නිමවා ඒ පර්වතපාර්ශ්වයෙහි නාගභවනයට ගෙණ ගොස් නාරජහුගේ පෙණගර්භයෙහි හිඳුවා ලූයේ ය. නාරජතෙම සතුටු ව ඔහුගේ නාගභවනය දෙකට බෙදා අර්ධරාජ්‍යය දුන්නේ ය. මහා බොධිසත්වයෝ කලක් එහි වැස නාරජහට (242) කියා ඔහුගේ සහායත්වයෙන් හිමාලයට ගොස් පැවිදි ව ධ්‍යාන උපදවා වාසය කළසේක. ඒ බව දක්වා වදාරණ භාග්‍යවතුන් වහන්සේ විසින්:-

‘චිඤ්චාමාණවිකා මාතා - දෙවදත්තො ච මෙ පිතා,

ආනන්‍දො පණ්ඩිතො නාගො - සාරිපුත්තො ච දෙවතා,

අභං තදා රාජපුත්තො - එවං ධාරෙථ ජාතකං’ යි.

(වදාරණ ලදී).

මේ නියායෙන් ම යම් කිසි තැනෙක්හි පියතෙම පුත්‍ර‍යන්ට වඩා අධිකතර වන්නේ ය. විශෙෂතර වන්නේ ය. එහි දෙවදත්තයෝ ම අධිකතර වූ ය.

“තවද, නැවතත් යම් කලෙක දෙවදත්තයෝ මහාප්‍ර‍තාප, නම් රජ වූ ද, එකල බොධිසත්වයෝ ඒ රජහට පුත්‍ර‍ වූ ධර්මපාල නම් කුමාර වූසේක. එකල ඒ රජතෙම තමාගේ පුත්‍ර‍ වූ ධර්මපාලකුමාරයාගේ හස්තපාදයන් හා හිස සිඳුවා ලී ය. ඒ ධර්මපාලජාතකයෙහි ද දෙවදත්තයෝ ම වැඩි වූ ය. අධිකතර වූ ය. දැන් මෙසමයෙහිත් දෙදෙන ම ශාක්‍යවංශයෙහි ම උපන්නාහු ය. එයින් බොධිසත්වයන් වහන්සේ සකලලොකනායක වූ සියල්ල දන්නා වූ ලොවුතුරා බුදු වූසේක. දෙවදත්තයන් වහන්සේ ඒ දෙවාතිදෙව වූ සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි මහණ ව අහසින් යන සෘද්ධි උපදවා බුද්ධලීලා කළසේක. කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මා විසින් යමක් කියන ලද්දේ ද, ඒ සියලු ම ජාතක ඇත්තෙක් ද? නොහොත් නැත්තෙක් ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, තෙපි බොහෝ යම් කාරණයන් කීවාහු ද? ඒ සියල්ල ම එසේ ම ය. අන්‍යථාවෙක් නැතැ” යි කීසේක.

“ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අකුශලකාරිපුරුෂතෙමේත් කුශලකාරීපුරුෂතෙමේත් දෙදෙන ම සමගතික වන්නාහු ය. එසේ හෙයින් කුශලධර්මයත් අකුශලධර්මයත් දෙක ම සම සම විපාක වේදැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, කුශලධර්මයත් අකුශලධර්මයත් දෙක සම සම විපාක නො වන්නේ ය. මහරජානෙනි, දෙවදත්තයෝ සියලු ම ජනයන් කෙරෙහි විරුද්ධත්ව[11] ඇත්තෝ[12] නො වෙති. බොධිසත්වයන් කෙරෙහි ම විරුද්ධත්ව ඇත්තෝ ය. ඒ දෙවදත්තයාගේ බොධිසත්වයන් වහන්සේ කෙරෙහි යම් විරොධයෙක් ඇද් ද? ඒ ක්‍රොධය තෙම ඒ ඒ භවයෙහි පැමිණෙන්නේ ය. ඵල දෙන්නේ ය. මහරජානෙනි, රාජඓශ්වර්යයෙහි සිටියා වූ දෙවදත්තයෝ ජනපදයෙහි ආරක්ෂා පිහිටුවන්නෝ ය. හේදඬු ලවන්නෝ ය, සභා කරවන්නෝ ය, පුණ්‍යශාලා කරවන්නෝ ය, ශ්‍ර‍මණයන්ට හා දුගී මගී වනිබ්බකයන්ට ද නාථානාථයන්ට ද නිති පිහිටුවා දන් දෙන්නෝ ය. ඒ දානයාගේ විපාකයෙන් ඒ දෙවදත්තතෙම ජාතිජාතියෙහි ඓශ්වර්යසම්පත් ලබන්නේ ය. මහරජානෙනි, ‘යමෙක් දානය ශීලය කායවාචාසංයමය උපොසථකර්මය හැර සම්පත්තියක් අනුභව කරන්නේ ය’ යි කියා මේ කාරණය කියන්ට කවරෙක්[13] නම් හැකි වේ ද? නො හැක්කේ ම ය. මහරජානෙනි, තෙපි වනාහි ‘දෙවදත්තයෝත් බොධිසත්වයන් වහන්සේත් දෙදෙන ම එකට සසර හැසුරුණාහ’ යි කියා මෙසේ යම් කාරණයක් කීවාහු ද, ඒ සමාගමය තෙම ජාතිසයයක්හුගේ ඇවෑමෙනුත් නුවූයේ ය. ජාතිසහස්‍ර‍යක්හුගේ ඇවෑමෙනුත් නො වූයේ ය. ශතසහස්‍ර‍යක් ජාතීන්ගේ ඇවෑමෙනුත් (243) නො වූයේ ය. බොහෝ අනන්තදිනරාත්‍රීන්ගේ ඇවෑමෙන් කිසි කලෙක්හි ඒ දෙදෙනාගේ ඒ සමාගමය වූයේ ය.

“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් මනුෂ්‍යාත්මභාව ප්‍ර‍තිලාභය පිණිස යම් මේ කාණකච්ඡපොපමාවක් වදාරණ ලද ද, මහරජානෙනි, මේ දෙවදත්ත-බොධිසත්ව දෙදෙනාගේ එකතු වන සමාගමය එබඳු වූ උපමා වන්නේ ය. මහරජානෙනි, බොධිසත්වයන් වහන්සේගේ දෙවදත්තයන් හා සමග ජාති පිළිවෙළින් සමාගමයෙක් නො වූයේ ය. ඒ බව සිත්හි මනා කොට ධරාගණුව” යි වදාළසේක. “තවද, මහරජානෙනි, සැරියුත්මහතෙරුන් වහන්සේ ද, අනෙකජාතිශතසහස්‍රයෙහි බොධිසත්වයන් වහන්සේට පීතෘ වූසේක. මහාපීතෘ වූසේක. චුල්ලපීතෘ වූසේක. භාතෘ වූසේක. භාගිනෙය්‍ය වූසේක. මිත්‍ර‍ වූසේක.

“මහරජානෙනි, මහාබොධිසත්වයන් වහන්සේ ද අනෙකජාති ශතසහස්‍රයෙහි සැරියුත් මහතෙරුන් වහන්සේට පිය වූසේක. මහපිය වූසේක, සුළුපිය වූසේක, මල්බෑ වූසේක, පුත්‍ර‍ වූසේක, බෑන වූසේක, මිත්‍ර‍ වූසේක. මහරජානෙනි, සත්වකායපරියාපන්න වූ සංසාරමහාශ්‍රොතයට පැමිණියා වූ සංසාරමහාශ්‍රොතයෙන් ගෙණ යනු ලබන්නා වූ සියලු සත්වයෝ ම තමන්හට ප්‍රිය වූවන් හා ද, අප්‍රිය වූවන් හා ද එකතු වෙති. මහරජානෙනි, යම් සේ ශ්‍රොතයෙන් ගෙණ යන්නා වූ ජලය අසුචිය පවිත්‍ර‍ දෙය යහපත් වූ ලාමක වූ දේ හා එකතු වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම සත්වකායපරියාපන්න වූ සංසාරමහාශ්‍රොතයට පැමිණියා වූ සංසාරමහාශ්‍රොතයෙන් ගෙණ යනු ලබන්නා වූ සියලු සත්වයෝ ම අප්‍රියයන් හා ද ප්‍රියයන් හා ද සමග එකතු වෙති.

“මහරජානෙනි, දෙවදත්තයෝ යක්ෂ[14] වූවහු තුමූ අධර්ම ව අන්‍යයන් අධර්මයෙහි යොදා ඒ පාපයෙන් නරකයෙහි වැටී සත්පණස්වර්ෂකොටි සැටලක්ෂයක් හවුරුදු මුළුල්ලෙහි මහානරකයෙහි පැසුනෝ ය. මහරජානෙනි, බොධිසත්වයන් වහන්සේ ද ඒ කාමාවදරදිව්‍යලොකයෙහි තෙමේ ධර්ම නම් යක්ෂරාජ වූසේක්, අන්‍යයන් ධර්මයෙහි යොදා එම කුශල බලයෙන් සත්පණස්වර්ෂකොටිසැටලක්ෂයක් හවුරුදු මුළුල්ලෙහි සර්වපඤ්චකාමසමංගී ව ස්වර්ගයෙහි ප්‍ර‍මුදිත වූසේක. තවද, මහරජානෙනි, දෙවදත්තයෝ මේ භවයෙහි දී කිසි වෙහෙසක් නො වින්ද යුතු වූ ලොවුතුරා බුදුන්ට ශීලාපාතනාදියෙන් වෙහෙස විඳුවා සමගි වූ සංඝයා ද බිඳ පොළෝ යට ගිලී ගියෝ ය. අප ලොවුතුරා තථාගතොත්තමයාන් වහන්සේ දත මනා සියලු ම ධර්මයන් අවබොධ කොට ලොවුතුරාබුදු ව රාගාදි සර්වොපධීන් ක්ෂය කිරීමෙන් පිරිනිවන් පෑ වදාළ සේක.” “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍ර‍ශ්නය එසේ ම පිළිගත්තෙමි” යි කියා ප්‍ර‍ශංසා කළහ.

කුශලාකුශලකාරීවිශෙෂප්‍ර‍ශ්නය නිමි.

  1. පැමිණියේ ය.

  2. සේක.

  3. ‘පිරිනිවී’ යන්න මෙහි යෙදීම වැරදි ය පිරිනිවෙන්නේ ක්ෂීණාශ්‍ර‍වයෙකි. බොධිසත්වසම්බන්ධ වූ මේ තාපසයන් වහන්සේ එසේ නුවූහ.

  4. වී ය.

  5. පුතුන් නො ලැබෙයි.

  6. ජන

  7. වහින

  8. වස්නට වන

  9. සීසඝාතනාදි

  10. පබ්බජනාදි

  11. විරුද්ධ

  12. ඇත්තේ

  13. කවරක්හට

  14. පක්ෂ