ඝටීකාරවාසප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ඝටීකාරස්ස කුම්භකාරස්ස ආවෙසනං සබ්බං තෙමාසං ආකාසච්ඡදනං අට්ඨාසි න චාභිවස්සී’ යනුවෙන් ‘ඝටීකාර නම් කුම්භකාරයාගේ සියලු ම ගෙය තුන්මාසයක් මුළුල්ලෙහි ආකාශය ම ඡදනය කොට සිටියේ ය. ගෙට නො වැස්සේ ය’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය. නැවත ‘කාශ්‍යප නම් තථාගතයන් වහන්සේගේ විහාරගෙය වර්ෂා වැස තෙමුනේ ය’ යි කියා වදාරණ ලද්දේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මහ්ත වූ කුශලමූලයන් ඇත්තා වූ තථාගතොත්තමයානන් වහන්සේගේ විහාරගෙය කුමක් පිණිස තෙමේ ද, දසපෙරුම් පිරූ තථාගතොත්තමයානන් වහන්සේට නම් ඒ ආනුභාවයතෙම කැමැති විය යුත්තේ ය. ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ඝටීකාර නම් කුම්භකාරයාගේ ආවෙසනය වර්ෂාවෙන් නො තෙමී අහස්ඡදන වූයේ වී නම්, ඒ කාරණයෙන් ‘තථාගතයන් වහන්සේගේ විහාරගෙය තෙමුනේ ය’ යි වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘තථාගතයන් වහන්සේගේ විහාරගෙය තෙමුනේ වී නම්, ඒ කාරණයෙන්, ඝටීකාර නම් කුම්භකාරයාගේ ආවෙසනය අනොවස්සක ව අහස් සෙවෙනි වූයේ’ යි වදාළ ඒ වචනය බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය ද, නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ඝටීකාරස්ස කුම්භකාරස්ස ආවෙසනං සබ්බං තෙමාසං ආකාසච්ඡදනං අට්ඨාසි න වාභිවස්සී’ යි කියා මෙම කාරණයත් වදාරණ ලද්දේ ය. ‘කාශ්‍යප නම් තථාගතයන් වන්සේගේ විහාරකුටිය වැස්සෙන් තෙමුනේ ය’ යි කියාත් වදාරණ ලද්දේ ය. මහරජානෙනි, ඒ ඝටීකාර නම් කුම්භකාරතෙම නිර්මලතර සිල් ඇත්තේ ය, යහපත් වූ ගුණ ඇත්තේ ය, මහත් වූ කුශල මූලයන් ඇත්තේ ය, ඒ තෙම අන්ධ වූ ජීර්ණ වූ මවුපියන් පොෂ්‍ය කරන්නේ ය. ඔහුගේ අසම්මුඛයෙන් නො විචාරා ම ඔහුගේ ගෘහයෙහි තෘණ සෙවෙනි ගෙණ ගොස් සංඝයාවහන්සේලා කාශ්‍යප බුදුන්ගේ විහාරය වසාලූහ. ඒ තෘණ ගෙණ ගිය කාරණය කරණ කොට ගෙණ ඝටීකාර නම් ඒ කුම්භකාරතෙම අකම්පිත වූ අසඤ්චලිත වූ සුසණ්ඨිත වූ මහත් වූ අසදෘශ වූ ප්‍රීතිසැපයක් ලැබුයේ ය. ‘අහෝ! සර්වලොකොත්තම වූ භාග්‍යවත් සර්වඥයන් වහන්සේ එකාන්තයෙන් ම මට අතිවිශ්වාස සේකැ’ යි සිතා බොහෝ සෙයින් අතුල්‍ය වූ සොම්නස් උපදවාලී ය. ඔහුට උපන් ප්‍රීතිසැපය අඩමසක් සිතින් පහ නො වී ය. ඒ කාරණයෙන් ඕහට ඉහාත්මභාවයෙහි දී ම ඵල දෙන්නා වූ දෘෂ්ටධාර්මික වූ (265) විපාකය උපන්නේ ය. ‘මහරජානෙනි, තථාගතයන් වහන්සේ එපමණ වූ ගේ තෙමුනා වූ විකාරමාත්‍රයෙන් කම්පා නො වනසේක. මහරජානෙනි, යම් සේ මහාමේරුපර්වතරාජතෙම අනෙකශතසහස්‍ර‍ ගණන් වාතමණ්ඩලසම්ප්‍ර‍හාරයෙනු දු කම්පා නො වන්නේ ය. නො සෙලවෙන්නේ ය. තව ද, මහොදධී වූ වරප්‍ර‍වරමහාසාගරතෙම අනෙක සියනහුතමහාගංගා ශතසහස්‍රයෙනු දු නො පිරෙන්නේ ය. විකාරයකට නො පැමිණෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේගේ තෙමුනා වූ එපමණ වූ විකාරයෙන් කම්පා නො වනසේක. මහරජානෙනි, ‘තථාගතයන් වහන්සේගේ විහාරගෙය තෙමුනේ ය’ යි කියා යම් කාරණයක් වදාළා ඇද් ද, ඒ කාරණය වනාහි මහත් වූ ජනසමූහයාහට අනුකම්පා පිණිස වන්නේ ය. මහරජානෙනි, මේ අර්ථද්වයක් දැක වදාරන්නා වූ තථාගතයන් වහන්සේලා තමන් නිර්මිත කළ ප්‍ර‍ත්‍යය නො වළඳන සේක් ලා ය. කවර අර්ථද්වයක් ද? යත්:- ‘මේ ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ අග්‍ර‍දක්ෂිණීය වූසේකැ යි සිතා භාග්‍යවතුන් වහන්සේට සිවුපසය දන් දී දිව්‍යමනුෂ්‍යයෝ සියලු දුර්ගති දුකින් මිදෙති’ යන සිතා ද ‘ප්‍රාතිහාර්ය ලොවට දක්වා වෘත්තිය සොයන්නාහු ය යි කියා සෙස්සෝ අපවාද නො කෙරෙත්ව’ යි කියා ද යන මේ අර්ථද්වය දක්නා වූ තථාගතයන් වහන්සේලා තමන් වහ්නසේලා විසින් නිර්මිත කර ගත් ප්‍ර‍ත්‍යය නො වළඳන්නාහු ය. ඉදින් මහරජානෙනි, ශක්‍රදෙවෙන්ද්‍රතෙම හෝ ඒ විහාරගෙය නො තෙමෙන සේ කරන්නේ නම්[1] මහාබ්‍ර‍හ්මතෙම හෝ නො තෙමෙන සේ කරන්නේ නම් ගෘහය තෙමේ ම හෝ නො තෙමෙන්නේ[2] වී නම්, ඒ කාරණය සාවද්‍ය වන්නේ ය. දොෂ වන්නේ ය. සනිග්‍ර‍හ වන්නේ ය. ‘මේ බුදුවරයෝ දක්ෂක්‍රියා කොට ලොකයා මුළා කරන්නාහු ය යි අධිකතර ක්‍රියා කරන්නාහු ය’ යි අපවාද කෙරෙති. එහෙයින් ඒ කාරණය හැරිය යුතු වන්නේ ය. මහරජානෙනි, තථාගතයන් වහන්සේලා කිසි වස්තුවක් නො ඉල්වන සේක්ලා ය. ඒ වස්තු ඉල්වීමෙන් බුදුවරයෝ ස්වල්පවචනීයහු නො වන්නාහු ය” යි වදාළසේක. “යහපත ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ප්‍ර‍ශ්නයත් එසේ ම පිළිගන්නෙමි” යි කීහ.

ඝටීකාරවාසප්‍ර‍ශ්නය නිමි.

  1. කරන්නේ ය

  2. නො තෙමීම වන්නේ