ගුරුවිරහිතප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින්:-

‘න මෙ ආචරියො අත්‍ථි-සදිසො මෙ න විජ්ජති

සදෙවකස්මිං ලොකස්මිං-නත්‍ථි මෙ පටිපුග්ගලො.’

යන මේ ගාථාවෙන් ‘මට ආචාර්ය කෙනෙක් නො ම ඇත. මට සදෘශ කෙනෙකු දු නැත්තේ ය. දෙවියන් සහිත වූ ලොකයෙහි මට වැඩි පුද්ගලයෙක් නැත්තේ ය’ යි කියා මේ ගාථාව වදාරණ ලද්දේ ය. නැවත ද:-

‘ඉති ඛො භික්ඛවෙ ආලාරොකාලාමො ආචරියො මෙ සමානො අන්තෙවාසිං මං සමානං අත්තනා සමසමං ඨපෙසි. උළාරාය ච මං පූජාය පූජෙසි’ යි.

යන මෙයින් ‘මහණෙනි, ‘මෙසේ ආළාරකාලාමතෙම මට ආචාර්ය වූයේ අන්තෙවාසික වූ මා තමා හා සම සම ව තැබුයේ ය. මට මහත් වූ පූජාවක් පූජා කෙළේ ය’ යි කියාත් වදාරණ ලද්දේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින්:-

‘න මෙ ආචරියො අත්‍ථි-සදිසො මෙ න විජ්ජති,

සදෙවකස්මිං ලොකස්මිං-නත්‍ථි මෙ පටිපුග්ගලො’ යි.

මෙම ගාථාව වදාරණ ලද්දේ වී නම්, ඒ කාරණයෙන් ‘ඉති ඛො භික්ඛවෙ ආළාරොකාලාමො ආචරියො මෙ සමානො අන්තෙවාසිං මං සමානං අත්තනා සමසමං ඨපෙසි’ යි කී වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් තථාගතයන් වහන්සේ විසින් ‘ඉති ඛො භික්ඛවෙ ආළාරොකාලාමො ආචරියො මෙ සමානො අන්තෙවාසිං මං සමානං අත්තනා සමසමං ඨපෙසි’ යි කියා වදාරණ ලද්දේ සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘න මෙ ආචරියො අත්ථි සදිසො මෙ න විජ්ජති’ යනාදි වදාළ (282) ඒ වචනය හෝ බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඒ ප්‍ර‍ශ්නයතෙම ඉසිලියයුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින්:-

‘න මෙ ආචරියො අත්‍ථි-සදිසො මෙ න විජ්ජති,

සදෙවකස්මිං ලොකස්මිං-නත්‍ථි මෙ පටිපුග්ගලො.’

යන මේ ගාථාවත් වදාරණ ලද්දේ ය. නැවත ද:-

‘ඉති ඛො භික්ඛවෙ ආළාරො කාලාමො ආචරියො මෙ සමානො අන්තෙවාසිං මං සමානං අත්තනා සමසමං ඨපෙසි. උළාරාය ච මං පූජාය පූජෙසි.’

(282) කියා මෙම කාරණයත් වදාරණ ලද්දේ ය. ඒ වදාළ වචනය වනාහි බුදු වීමට පූර්වයෙහි ම අභසම්බුද්ධ නො වූ බොධිසත්වයන් වහන්සේගේ ආචාර්යභාවය සඳහා වදාරණ ලද්දේ ම ය. මහරජානෙනි, බුදු වීමට පූර්වයෙහි ම යම් කෙනෙකුන් විසින් අනුශාසනා කරණ ලද්දා වූ බොධිසත්වයන් වහන්සේ ඒ ඒ තන්හි දවස් හැර වදාළසේක් ද, ඒ අභිසම්බුද්ධ නො වූ බොධිසත්වයන් වහන්සේගේ මේ ආචාර්යවරයෝ පස්දෙනෙක. ඒ ගුරුවරයෝ පස්දෙන කවරහු ද? යත්:- මහරජානෙනි, යම් ඒ බ්‍රාහ්මණයෝ අටදෙනෙක් බොධිසත්වයන් උපන් කල්හි ලක්ෂණ පරීක්ෂා කළාහු ද, හේ කවරහු? යත්:- චතුර්වෙදයෙහි නිපුණ වූ රාම ය, ධජ ය, ලක්ඛණ ය, මන්ති ය, යඤ්ඤ ය, සුයාම ය, සුභොජ ය, සුදත්ත ය යන ඒ බ්‍රාහ්මණයෝ බොධිසත්වයන්ගේ දෙතිස්මහාපුරුෂලක්ෂණාදිය බලා ‘මේතෙම ගෘහ වාසයෙහි විසී නම් චක්‍ර‍වර්තිරජ වෙයි. මහණ වී නම්, ලොවුතුරා බුදු වෙ’ යි කියා දෙඇඟිලි නැඟූහ. හැමට ම බාල සුදත්ත නම් බ්‍රාහ්මණයා මකුළුහුයක් වඅන් ඌර්ණාරොම ධාතුව බලා ‘මේ තෙම එකාන්තයෙන් ම ලොවුතුරා බුදු වේ ම ය’ යි කියා එකැඟිල්ලක් නඟා ලී ය. මෙසේ බොධිසත්වයන්ගේ සිරිසෙත් ප්‍ර‍කාශ කොට කියා රක්ෂා කට යුතු කෙරෙව්වාහු ය. ඒ අට දෙන පළමුවන ආචාර්යයෝ ය.

“නැවත ද, මහරජානෙනි, බොධිසත්වයන්ගේ පිතෘ වූ සුද්ධෝදන නම් මහරජානෝ එසමයෙහි විශෙෂජාති ඇති උදිච්චබ්‍රාහ්මණවංශ ඇති පදක වෙය්‍යාකරණඡළංගශාස්ත්‍ර‍ දන්නා සබ්බමිත්ත නම් බ්‍රාහ්මණයෙකු ලඟට ගෙන්වා ස්වර්ණභිංකාරයෙන් පැන් වත්කොට ‘මේ කුමාරයාට ශිල්ප උගන්ව’ යි කියා භාර දුන්නාහු ද, මේ දෙවෙනි ආචාර්යයා ය.

“තවද, මහරජානෙනි, බොධිසත්වයන් වහන්සේ සාරමසින් සාර මසින් ශක්‍රදෙවෙන්ද්‍ර‍විලාසයෙන් සැරසී උද්‍යානක්‍රීඩාවට වඩනා කල්හි යම් ඒ දෙවතාවෙක්[1] මහණවෙසය සතර වැනි කොට ජරා ව්‍යාධි මෘත රූපයන් දක්වා බොධිසත්වයන්ට සංවෙග කෙළේ ද[2] යම් දෙවතාවකුගේ ආනුභාවයෙන් කියූ රථාචාර්යයාගේ වචනය අසා බොධිසත්වයන් වහන්සේ තුන් භවය ම ගිනි ගත් දෙයක් සේ සිතා සසර කලකිරී උද්විග්න ව ඒ ක්ෂණයෙහි ම නෛෂ්ක්‍ර‍ම්‍ය නික්ම පැවිදි වූසේක් ද මේ තුන්වැනි ආචාර්යයා ය. තව ද, මහරජානෙනි, අප මහබෝසතනානන් වහන්සේ පාණ්ඩව නම් පර්වතගුහායෙන් නික්ම ඒ ඒ තැන විහරණය කරණසේක් (283) අරූපසමාපත්තිලාභී වූ ආළාරකාලාම නම් තපස්වීන් කරා එළඹ වාසය කොට අෂ්ටසමාපත්ති උපදවා ගෙණ ‘මේ ආචාර්යයාගේ සමයයෙහි නිවන් මෙතෙක් ම ය’ යි එතැනින් ඉවත වැඩිසේ. මේ සතරවැනි ගුරුවරයා ය. නැවැතත්, මහරජානෙනි, බොධිසත්වයෝ උද්දකරාමපුත්‍ර‍ නම් තපස්වීන් කරා ගොස් වාදය කොට ‘ධ්‍යානමාත්‍ර‍යක් මිස එහිත් නිවන් නැතැ’ යි සිතා එහිත් නො රඳා උරුවෙලාවට වැඩියසේක. මේ පස්වැනි ආචාර්යතෙම ය. මහරජානෙනි, සම්බොධියට පූර්වයෙහි ම සම්බුද්ධ නො වූ බොධිසත්වයන් වහන්සේගේ මේ ගුරුවරයෝ පස්දෙනා ය. ඒ ආචාර්යවරයෝ වනාහි ලෞකිකගුණධර්මයෙහි යෙදූහ. මහරජානෙනි, මේ ලොකොත්තර වූ නිර්වාණගුණධර්මයෙහි සර්වඥතාඥානය ප්‍ර‍තිවෙධ කිරීමෙහි තථාගතයන් වහන්සේට අනුත්තර වූ අනුශාසක ගුරුවරයෙක් නැත්තේ ය. මහරජානෙනි, අප තථාගතයන් වහන්සේ අන්‍යොපදෙශ විරහිත ව ස්වයම්භූඥානයෙන් ම බුදු වූ සේක. ආචාර්ය විරහිතසේක. ඒ කාරණයෙන් බුදුරජානන් වහන්සේ විසින්:-

‘න මෙ ආචරියො අත්‍ථි-සදිසො මෙ න විජ්ජති,

සදෙවකස්මිං ලොකස්මිං-නත්‍ථි මෙ පටිපුග්ගලො.’ යි.

යන මේ ගාථාව වදාරණ ලදැ” යි වදාළසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍ර‍ශ්නය ද එසේ ම මමත් පිළිගන්නෙමි” යි කීහ.

ගුරුවිරහිතප්‍ර‍ශ්නය නිමි.

  1. දෙවතාවෙක් තොම

  2. කළා ද