“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ බුද්ධශාසනය ඉතා මහත් වන්නේ ය, සාර වන්නේ ය, උතුම් වන්නේ ය, ශ්‍රෙෂ්ඨ වන්නේ ය, ප්‍රවර වන්නේ ය, අනුපම වන්නේ ය, පරිශුද්ධ වන්නේ ය, විමල වන්නේ ය, පිරිසිදු වන්නේ ය. අනවද්‍ය වන්නේ ය. ගෘහස්ථයන් එපමණකින් ම පැවිදි කරන්නට යුතු නො වන්නේ ය. ගෘහස්ථභූමියෙහි දී ම එක් මාර්ගඵලයක හික්මවා ලමින් යම් කලෙක සිවුරු හැර නො යාමෙන් අපුනරාවර්තික වේ ද, එකල ඒ ගෘහස්ථයා පැවිදි කළ යුත්තේ ය. ඊට කාරණා කවරේ ද? යත්:- මේ නුවණ මඳ සමහර දුර්ජන කෙනෙක් පළමු කොට ම අත්‍යන්ත පිරිසිදු වූ බුද්ධශාසනයෙහි පැවිදි ව ප්‍රතිපත්ති පිරීමෙන් වැළක සිවුරු හැර ලාමක වූ ගෘහස්ථභාවයට පැමිණෙන්නාහු ය. ඒ අඥානයාගේ වැළක එන ගමනින් මේ ලොකවාසී වූ සමහර මහජන කෙනෙක් පින්වත්නි, මේ ජනයෝ යම් කාරණයකින් ශාසනයෙන් වැළක එන්නාහු ද, ඒ කාරණයෙන් ‘ශ්‍රමණ භවත්ගෞතමයන් වහන්සේගේ මේ ශාසනය එකාන්තයෙන් ම තුච්ඡ වන්නේ ය’ යි කියා මෙසේ සිතන්නාහ.[1] මේ මෙහි කාරණ ය” යි කීහ.
“මහරජානෙනි, හේ තෙපි කුමක් කියවූ ද? යම් සේ පවිත්‍ර විමල සීතලජලයෙන් සම්පූර්ණ වූ මහවිලෙක් වන්නේ ය. පසු ව සකලශරීරය රජස්මලකර්දම ඝන ව කෙලෙසුනා වූ යම් කිසිවෙක් ඒ විලට ගොස් පැන් නො නා ම කෙලෙසුනා වූ ශරීරයෙන් ම ගියේ වී නම්, මහරජානෙනි, එහි සත්වතෙම රජස් ආදියෙන් කෙලෙසුනා වූ පුරුෂයාහට හෝ යහපත් වූ විලට හෝ කවරක්හට ගර්හා කරන්නේ දැ?” යි විචාළසේක. ‘අනේ! ස්වාමීනි, ‘මූ විලට ගොස් පැන් නො නා ම කෙලෙසුනු (301) ශරීරයෙන් ම පලා ආයේ ය. කිමෙක් ද? නො නානු කැමැත්තා වූ මූ විලතෙමේ තෙමේ ම නහවාලන්නේ ද? අහෝ! විලගේ දොෂ කවරේ දැ?’ යි කියා සත්වතෙම රජස් ආදියෙන් කෙලෙසුනා පුරුෂයාහට ම ගර්හා කරන්නේ ය” යි කීහ. මහරජානෙනි, එපරිද්දෙන් ම අප තථාගත වූ සර්වඥයන් වහන්සේ කිලෙසුමලින් කෙලෙසනා වූ යම්කිසි සත්වකෙනෙක් ඇද්ද, ආත්මාර්ථ පරාර්ථ සිඳින්නා වූ පාපචෙතනා ඇත්තා වූ යම් සත්වකෙනක් ඇද්ද, ඒ සත්වයෝ ‘මේ විලින් නාපියා සර්වක්ලේශයන් පහ කරන්නාහුය’ යි සිතා අර්හත්ඵල නමැති උතුම් වූ අමෘතජලයෙන් සම්පූර්ණ වූ සද්ධර්මවරමහවිලක් මවා වදාළසේක. ඉදින් කිසි අඥානයෙක් ඒ ශාසන නමැති සද්ධර්මවරමහවිලට ගොස් අර්හත්ඵල නමැති අමෘතජලයෙන් නො නා ක්ලේශයන් සහිත ව ම සිට ශාසනයෙන් වැළක ලාමක වූ ගෘහස්ථභාවයට පැමිණියේ වී නම්, මේ ලොකවාසී ජනතෙම ‘අහෝ! මේ අඥානතෙම සර්වඥශාසනයෙහි පැවිදි ව එහි ප්‍රතිෂ්ඨාවක් නො ලැබ ගෘහස්ථභාවයට පැමිණියේ ය. කිමෙක් ද? කිසි සීලව්රතයක් නො පිළිපදනා වූ මූ සර්වඥ ශාසනයතෙමේ තෙමේ ම කෙසේ පිරිසිදු කරවා ලන්නේ ද? සර්වඥ ශාසනයාගේ කවර දොෂයෙක් දැ?’ යි කියා ඒ සීරළුහට ම ගර්හා කරන්නේ ය” යි වදාළසේක.
“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ පරමව්යාධියෙන් පීඩිත වූ පුරුෂයෙක්තෙම ත්‍රිවිධ වූ රොගුප්පත්ති දැනීමෙහි දක්ෂ වූ ස්ථිර සිද්ධකර්මාන්ත ඇති ශල්‍යකත්තෘ නම් වෛද්යාචාර්යයෙකු කරා ගොස් දැක පිළියම් නො කරවා ගෙණ ව්යාධිසහිත ව ම පෙරළා ආයේ වී නම්, එහි මේ ලෝවැසි ජනතෙමේ රොගාතුරයාහට හෝ වෛද්යාචාර්යයාහට හෝ කවරක්හට ගර්හා කරන්නේ දැ” යි විචාළසේක. “ස්වාමීනි, මේ ලොකවාසී ජනතෙම ‘අහෝ! මේ ජඩ මූඪතෙම රොගුප්පත්ති දැනීමෙහි දක්ෂ වූ ස්ථිර සිද්ධ කර්මාන්ත ඇති ශල්‍යකත්තෘ වෙදා කරා ගොස් දැක වෛද්යක්රියාවක් නො කරවා ගෙණ ව්යාධිසහිත ව ම පෙරළා ආයේ ය. කිමෙක් ද? පිළියම් නො කරවා ගන්නා කැමැත්තා වූ මොහුට වෛද්‍යාචාර්යතෙම තෙමේ ම කෙසේ පිළියම් කරන්නේ ද? වෛද්යාචාර්යයාගේ දොෂය කවරේ දැ?’ යි කියා රොගාතුරයාහට ම ගර්හා කරන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අප තථාගතයන් වහන්සේ සර්වක්ලේශ ව්‍යාධියෙන් ප්‍රතිපීඩිත ව සම්‍යක් සිතිවිලි ඇත්තා වූ යම්කිසි විබුධජන කෙනෙක් ඇද්ද, ඒ සුධීජනයෝ ‘මේ අමෘතෞෂධය පානය කොට සර්ව ක්ලේශව්යාධි ම ව්යපශමන කෙරෙති’ යි කියා සිතා වදාරා තමන්වහන්සේගේ ශාසන නමැති කනකකරඬුයෙහි හාත්පසින් සියලු ම ක්ලේශ ව්‍යාධීන් ව්යපශමනයෙහි සමර්ථ වූ ලොකොත්තර වූ අමෘතමහාඖෂධයන් ප්රක්ෂෙප කර වදාළසේක. ඉදින් කිසිවෙක් ඒ අමෘතමහාඖෂධය පානය නො කොට සකිලෙස ව ම ශාසනයෙන් වැළක ගෘහස්ථභාවයට පැමිණියේ වී නම්, ලොකවාසී ජනතෙම ‘අහෝ! මේ ජඩ මූඪතෙම සර්වඥ ශාසනයෙහි පැවිදි ව එහි ප්‍රතිෂ්ඨාවක් නො ලැබ ගෘහස්ථභාවයට පැමිණියේ ය. කිමෙක් ද? ශීලව්රතාදියක් නො පිළිපදනා වූ මේ පුරුෂයා සර්වඥශාසනය තෙමේ ම කෙසේ පිරිසිදු කරවා ලන්නේ ද? සර්වඥ ශාසනයාගේ කවර නම් දොෂයෙක් ද? කියා ඒ සීරළුහට ම (302) ගර්හා කරන්නේ ය” යි වදාළසේක.
“ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “එසේ වී නම්, තවද, මහරජානෙනි, යම් සේ ක්ෂුධාවෙන් පීඩිත වූ පුරුෂයෙක් තෙම මහාපුණ්යවතුන්ගේ මහාපුණ්යභක්තපරිවෙශනයකට ගොස් ඒ පුණ්යබත් අනුභව නො කොට ක්ෂුධාග්නියෙන් ම පලා ගියේ වී නම්, ලෝවැසි ජනතෙම එහි බත් නො කා ගිය ක්ෂුධායෙන් පීඩිතයාහට හෝ ඒ පුණ්යබතට හෝ කවරක්හට ගර්හා කරන්නේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ජනතෙම ‘අහෝ! මේ ක්ෂුධාවෙන් පීඩිත වූ පුරුෂතෙම යහපත් වූ පුණ්යබතක් සැප සේ ලැබ ක්ෂුධාග්නිය මකා නො කා ක්ෂුධාවෙන් පලා ගියේ ය. කිමෙක් ද? බත් අනුභව නො කරන්නා වූ මෝහට භොජනය තෙමේ ම කෙසේ නම් මුඛයට ප්‍රවේශ වේ ද? භොජනයාගේ කවර දොෂයෙක් දැ?’ කියා බත් අනුභව නො කළා වූ ක්ෂුධායෙන් පීඩිතයට හට ම ගර්හා කරන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අප තථාගතයන් වහන්සේ ‘ක්ලේශයන් විසින් ක්ලාන්ත කරණ ලද ආධ්යාත්මිකයන් ඇති ත්රිවිධතෘෂ්ණා වශයට ගිය සිත් ඇති යම්කිසි සචෙතනික විබුධජන කෙනෙක් ඇද්ද, ඒ සුධීජනයෝ මේ කායගතාසති නමැති අමෘතභොජනය අනුභව කොට කාමභව රූපභව අරූපභව සංඛ්‍යාත ත්රිවිධභවයෙහි සියලු ම තෘෂ්ණාව පහ කෙරෙති’ යි කියා සිතා වදාරා තමන් වහන්සේගේ ත්රිවිධශාසන නමැති ස්වර්ණපෙලාන්තරයෙහි පරම ප්‍රවර ශාන්ත ශිව ප්රණීතාමෘත පරම මධුර වූ කායගතාසති නමැති අමෘතභොජනය තබා වදාළසේක. ඉදින් කිසිවෙක් ඒ අමෘතභොජනය නො වළඳා ත්රිවිධතෘෂ්ණාවශී ව ම ශාසනයෙන් වැළක හීන වූ ගෘහස්ථභාවයට පැමිණියේ වී නම්, මේ ලෝවැසිතෙම ‘අහෝ! මොහු සර්වඥශාසනයෙහි පැවිදි ව අර්හත් ප්‍රතිෂ්ඨාවක් නො ලැබ සිවුරු හැර ගෘහස්ථ වූයේ ය. කිමෙක් ද, ශාසනප්රතිපත්තියක් නො පිළිපදින්නා වූ මොහු තෙමේ ම සර්වඥශාසනය කෙසේ නම් පිරිසිදු කරවා ලන්නේ ද? බුද්ධශාසනයෙහි කවර දොෂයෙක් දැ?” යි කියා ඒ අශුද්ධික ජඩ මූඪ දුර්ජන මූර්ඛ ප්‍රඥා හීන වූ සීරළුහට ම ගර්හා කරන්නේ යි. මහරජානෙනි, ඉදින් තථාගතයන් වහන්සේ ගෘහස්ථභූමියෙහි දී ම එක මාර්ගඵලයෙක්හි පැමිණීමෙන් විනීත වූ ගෘහස්ථයා පැවිදි කරවා වදාරණසේක් වී නම්, මේ ප්ර්රව්රජ්යාතොමෝ ක්ලේශප්රහාණිය පිණිස නො වන්නේ ය. ක්ලේශශුද්ධිය පිණිස ද නො වන්නේ ය. ගිහිගෙය හැර පැවිදි වන ප්රව්රජ්යාවෙනුදු කට යුත්තෙක් නැත්තේ ය.
“මහරජානෙනි, යම් සේ පුරුෂයෙක් තෙම නොයෙක් සිය ගණන් කර්මාන්තජනයා ලවා පොකුණක් සාරවා ලවා පසු ව පිරිසට ‘පින්වත්නි, මාගේ මේ විලට කර්දම රජසාදීන් සකිලිටු වූ කිසි කෙනෙක් නො බසිවු. පහ කරණ ලද රජස්දැලි ඇත්තා වූ නිර්මල වූ වෙර ඔප් නැඟීම් ඇත්තා වූ සුපරිසුද්ධ වූ ජනයෝ මෙ විලට බසිවු’ කියා මෙසේ අනුශාසනා කරන්නේ වී නම් කිමෙක් ද? මහරජානෙනි, පහ කරණ ලද රජොජල්ලයන් ඇත්තා වූ පරිසුද්ධ වූ යහපත් වූ වෙර ඔප් නැඟීම් ඇත්තා වූ ඒ ජනයන්ට ඒ විලින් ප්‍රයොජන කටයුත්තෙක් වන්නේ දැ” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්ස, මේ උදකස්නානාර්ථය පිණිස ඒ පිරිසිදු වූ ජනයෝ ඒ විල කරා පැමිණෙද් ද, ඒ කටයුත්ත ඔවුන් විසින් අනික් තැනක දී ම කරණ (303) ලද්දේ ය. එහෙයින් ඔවුන්ට ඒ විලින් කම් කිම් දැ?” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අප තථාගතයන් වහන්සේ ඉදින් ගෘහස්ථයා ගෘහස්ථභූමියෙහි දී ම එක් මාර්ගඵලයක්හි හික්මවා පසු ව පැවිදි කරවා වදාරණසේක් වී නම්, ඒ ගෘහස්ථභූමියෙහි දී ම ඔවුන් විසින් කළමනා කෘත්‍යය කරණ ලද්දේ ය. ඔවුන්ගේ මහණ වීමෙන් කම් කිම් දැ” යි වදාළසේක.
“ස්වාමීනි, තවත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “තවද, මහරජානෙනි, යම් සේ ස්වභාවයෙන් ම සෘෂිභක්තික වූ ශ්රැතමන්ත්රධාරී වූ වෛද්යක්රියා නො දැනීම් වශයෙන් විතර්කයක් නැත්තා වූ සර්වරොගොත්පත්ති දැනීමෙහි දක්ෂ වූ අසිස් වූ ස්ථිර වූ සිද්ධකර්මාන්ත ඇත්තා වූ ශල්‍යකත්තෘ වූ වෛද්යාචාර්යයෙක් තෙම සර්වරොගව්යපශමනය වන භෛෂජ්යයක් රැස් කරවා තම පිරිසට ‘පින්වත්නි, ව්‍යාධියක් ඇත්තා වූ කිසිකෙනෙක් මාගේ සමීපයට නො එළඹෙවු. කිසි ව්‍යාධියක් නැත්තා වූ අව්යාධිකයෝ මාගේ සමීපයට එළඹෙත්ව’ යි කියා මෙසේ අනුශාසනා කරන්නේ වී නම්, කිමෙක් ද? මහරජානෙනි, අව්යාධිත වූ අරොගි වූ සම්පූර්ණ ව පවත්නා ඉරියවු ඇත්තා වූ ඉපිල පැන නැඟී පවත්නා සිත් ඇත්තා වූ ඔවුන්ට ඒ වෛද්යාචාර්යයාගෙන් කට යුත්තෙක් වන්නේ දැ?’ යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්ස, යම් වෛද්යක්රියා ප්‍රයෝජන පිණිස ඒ නීරොගිජනයෝ ශල්‍යකත්තෘ වූ ඒ වෛද්‍යාචාර්යයා කරා එළඹෙද් ද, ඒ කට යුත්ත ඔවුන් විසින් අනික් තැනක දී ම කරණ ලද්දේ ය. එහෙයින් ඔවුන්ට ඒ වෙදහුගෙන් කම් කිම් දැ?” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම ඉදින් තථාගතයන් වහන්සේ ගෘහස්ථයා ගෘහස්ථභූමියෙහි දී ම එක් මාර්ගඵලයෙක්හි විනීත කරවා පැවිදි කරවා වදාරණසේක් වී නම්, ඒ ගෘහස්ථභූමියෙහි දී ම ඔවුන්ගේ කට යුත්ත කරණ ලද වන්නේ ය. එහෙයින් ඔවුන්ගේ නැවත ප්ර්රව්රජ්යාවෙන් කම් කිම් දැ?” යි වදාළසේක.
“ස්වාමීනි, තවත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “තවද, මහරජානෙනි, යම් සේ කිසියම් මහාධනවත් පුරුෂයෙක් තෙම මහා ශාලායෙක නොයෙක් සියගණන් සැළතාලියෙහි පිසූ භොජනය පිළියෙළ කරවා පිරිසට “පින්වත්නි, මාගේ මේ බත් අනුභව කරණ තැනට ක්ෂුධාවෙන් පීඩිත වූ කිසිකෙනෙක් නො එළමෙවු. මනා කොට අනුභව කළා වූ බත් අනුභව කිරීමෙන් තෘප්තියට පැමිණියා වූ සුහිත වූවා වූ සම්පූර්ණතාවෙන් ධාත වූ අනූනතාවෙන් පීණිත වූ කුක්ෂය පිරීමෙන් පරිපූර්ණ වූ ජනයෝ මේ බත් අනුභව කරණ තැනට එළඹෙත්ව’ යි කියා මෙසේ අනුශාසනා කරන්නේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, සිත් සේ බත් අනුභව කළා වූ තෘප්තියට පැමිණියා වූ ක්ෂුධාව සංහිඳී සුහිත වූ හැකිතාක් අනුභව කිරීමෙන් දැඩි වූ පීණිත වූ පරිපූර්ණ වූ ඒ ජනයන්ට ඒ පිළියෙළ කළ භොජනයෙන් කට යුත්තෙක් වන්නේ දැ?” යි විචාළ සේක. “නැත, ස්වාමීන් වහන්ස, යම් ආහාරාර්ථයක් පිණිස ඒ ජනයෝ ඒ බත් අනුභව කරණ තැනට එළඹෙද් ද, ඒ බත් අනුභව කරණ කටයුත්ත ඔවුන්ගේ අනික් තැනක දී ම කරණ ලද වන්නේ ය. එහෙයින් ඒ බත් අනුභව කරණ තැනට යාමෙන් ඔවුන්ට කවර ප්‍රයොජනයෙක් දැ?” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අප තථාගතයන් වහන්සේ ඉදින් එක් මාර්ගඵලයක හික්මුනා වූ ගෘහස්ථයා ම පැවිදි කරවා වදාරණසසේක් වී නම්, ඒ ගෘහස්ථභූමියෙහි දී ම ඔවුන්ගේ ශ්‍රමණ කට යුත්ත කරණ ලද වන්නේ ම ය. නැවත ඔවුන්ගේ මහණ වීමෙන් කමෙක් නැත්තේ යි.
(304) “මහරජානෙනි, එතෙකුදු වුවත් යම් අඥානකෙනෙක් සිවුරු හැර ගෘහස්ථභාවයට පැමිණෙද් ද, ඒ සිවුරුහළ ජනයෝ සර්වඥ ශාසනයාගේ අසදෘශ වූ පඤ්චවිධ වූ ගුණයක් දක්වති. ඒ පඤ්චවිධ වූ ගුණය කවරේ ද? යත්- ප්රව්රජ්යාභූමියෙහි මහත්බව දක්වති. ප්‍රව්‍රජ්‍යාවෙහි පරිසුද්ධවිමලභාවය දක්වති. පාපයන් හා අසංවාසිභාවය දක්වති. දුෂ්ප්රතිවෙධභාවය දක්වති. බොහෝ වූ සංවර රක්ෂා කරණබව දක්වති. එහි භූමි මහන්තභාවය කෙසේ දක්වද් ද? යත්- මහරජානෙනි, යම් සේ කිසි ධනයක් නැත්තා වූ හීනජාති ඇත්තා වූ විද්යාශාස්ත්රාදි කිසි විශෙෂයක් නැත්තා වූ ප්‍රඥා ප්‍රහීණ වූ පුරුෂයෙක්තෙම මහත් වූ මහාරාජ්යශ්රී සම්පත්තියක් ලැබ නොබෝ කාලයකින් ම ඒ යශශ්ශ්රීන් පිරිහෙන්නේ ය. වැටෙන්නේ ය, නැසෙන්නේ ය, ඒ රජඉසුරු ධරන්නට නො හැකි වන්නේ ය. ඊට කාරණා කවරේ ද? යත්- රාජ්යශ්රීසම්පත්තියගේ ඉතා මහත් බැවින. මහරජානෙනි, එපරිද්දෙන් ම කිසි විශෙෂයක් නැත්තා වූ පෙර කළ පිණක් නැත්තා වූ ප්‍රඥා ප්‍රහීණ වූ යම්කිසි ජනකෙනෙක් සර්වඥ ශාසනයෙහි පැවිදි වෙද් ද, ඒ ජනයෝ ප්රවරොත්තම වූ ඒ ප්‍රව්‍රජ්‍යාව ධරන්නට නො හැකි වූවාහු නොබෝ කලකින් ම සර්වඥශාසනයෙන් ඉපිල වැටී නැසී පිරිහී ගෘහස්ථභාවයට පැමිණෙති. ජිනශාසනයෙහි අර්හධ්වජය ධරන්නට නො හැකි වෙති. ඊට කාරණා කවරේ ද? යත්- සර්වඥශාසනභූමියගේ ඉතා මහත් බැවින. මෙසෙයින් ශාසනභූමිමහද්භාවය දක්වති. පරිශුද්ධ වූ නිර්මලභාවය කෙසේ දක්වද් ද? යත්- මහරජානෙනි, යම් සේ පියුම්පත්රයෙහි ජලය නො රඳා විකිරෙන්නේ ය. විධමනය වන්නේ ය. විධ්වංසනය වන්නේ ය. යථාස්ථානයෙහි නො සිටින්නේ ය, නො ඇලෙන්නේ ය. ඊට කාරණා කවරේ ද? යත්- පියුම්පත්රයාගේ අත්යන්තපරිසුද්ධ වීම බැවින. මහරජානෙනි, එපරිද්දෙන් ම නොයෙක් ශඨප්රයොග ඇත්තා වූ නොයෙක් වඤ්චනක්රියා ඇත්තා වූ නොයෙක් රැවටිලි ඇත්තා වූ නොයෙක් කුටිලප්රවෘත්ති ඇත්තා වූ විෂම වූ නොයෙක් සිතිවිලි ඇත්තා වූ යම්කිසි කෙනෙක් බුද්ධශාසනයෙහි පැවිදි වෙද් ද, ඒ ජනයෝ පරිසුද්ධ විමල කණ්ටක පණ්ඩර ප්‍රවර වූ ශාසනයෙන් චුත ව නොබෝ කාලයකින් ම විකිර ව විධමන ව විධ්වංසන ව නො සිට නො ඇලී ගිහිභාවයට පැමිණෙති. ඊට කාරණා කවරේ ද? යත්- සර්වඥශාසනයාගේ පරිසුද්ධ විමල බැවින. මෙසේ පරිසුද්ධ විමලභාවය දක්වති. පාපයන් හා අසංවාසිබව කෙසේ දක්වද් ද? යත්- මහරජානෙනි, යම් සේ මහාසමුද්‍රයතෙම මළා වූ කුණපය හා සමග නො වසන්නේ ය. මහාසමුද්‍රයෙහි මළා වූ යම් කුණපයක් ඇති වී නම්, ඒ කුණපය වහා ම තෙරට පමුණුවන්නේ ය. ථලයට හෝ නඟා ලන්නේ ය. ඊට කාරණා කවරේ ද? යත්- මහාසමුද්‍රය තිමිංගලාදි මහාභූතයන්ට වාසභවනය වූ බැවින. මහරජානෙනි, එපරිද්දෙන් ම නොයෙක් පාපක්‍රියා ඇත්තා වූ කායසුචරිතාදියක් නො කිරීමෙන් අකිරිය වූ භරණ ලද සම්යක්වීර්ය ඇත්තා වූ කුථිත වූ ක්ලේශයන්ගෙන් කෙලෙසුනා වූ දුර්ජන වූ යම්කිසි මනුෂ්‍ය කෙනෙක් සර්වඥශාසනයෙහි පැවිදි වෙද් ද, ඒ අසත්පුරුෂයෝ නොබෝ කාලයකින් ම අර්හත් නිර්මලක්ෂීණාශ්රවමහාභූතයන් වහන්සේලාගේ (305) වාසභවනය වූ සර්වඥශාසනයෙන් නික්ම ශාසනයෙහි නො වැස හීන වූ ගෘහස්ථභාවයට පැමිණෙති. ඊට කාරණා කවරේ ද? යත්- පාපයන් හා සර්වඥ ශාසනයාගේ අසංවාසික බැවින. මෙසෙයින් පාපයන් හා අසංවාසිකභාවය දක්වති. දුෂ්ප්රතිවෙධබව කෙසේ දක්වද් ද? යත්- මහරජානෙනි, යම් සේ ධනුශ්ශිල්පයෙහි දක්ෂබවක් නැත්තා වූ සික්ඛිතබවක් නැත්තා වූ ධනුශ්ශිල්පය නො දන්නා වූ නුවණ විප්‍රහීණ වූ යම්කිසි අල්පබුද්ධික ධනුර්ධර කෙනෙක් විදුලිය එළියෙන් දුන්න නඟා ගෙණ බට්ට අනුසාරයෙන් ලක නො වරදවා අශ්වලොමාග්රය පළා විදින්නා වූ වාලාග්රවෙධිය විදින්නට නො හැක්කාහු පලායන්නාහ. පහ ව යන්නාහ. ඊට කාරණා කවරේ ද? යත්- අශ්වලොමාග්රයාගේ මෘදු සියුම් දුෂ්ප්රතිවෙධ වූ බැවින. මහරජානෙනි, එපරිද්දෙන් ම දුෂ්ප්‍රාඥ වූ ජඩ වූ කෙළතොලු වූ මුළා වූ ප්රමාදගතික වූ යම්කිසි නපුරු ජනකෙනෙක් සර්වඥශාසනයෙහි පැවිදි වෙද් ද, ජනයෝ ඒ පරමසණ්හසුඛුම වූ චතුස්සත්‍යප්‍රතිවෙධය කරන්නට නො හැකි වූවාහු සර්වඥශාසනයෙන් පහ ව ඉවත් ව නොබෝකාලයකින් ම ගෘහස්ථභාවයට පැමිණෙන්නාහු ය. ඊට කාරණා කවරේ ද? යත්- චතුරාර්යසත්යධර්මයන්ගේ පරමසණ්හසුඛුම දුෂ්ප්රතිවෙධ වූ බැවින. මෙසෙයින් දුෂ්ප්රතිවෙධභාවය දක්වන්නාහු ය. බොහෝ වූ සංවර රක්ෂා කට යුතුබව කෙසේ දක්වද් ද? යත්- මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක්තෙම මහත් වූ මහායුද්ධභූමියට පැමිණියේ සතුරුසේනාව විසින් දිසානුදිසාවෙන් හාත්පසින් පිරිවරණ ලදුයේ සමීපයට එන්නා වූ ශස්ත්‍ර ගත් අත් ඇති ජනයා දැක භය ගෙණ පසු බස්නේ ය. ඉදිරියට නො ගොස් වළකින්නේ ය. පැන දුවන්නේ ය. ඊට කාරණා කවරේ ද? යත්- බහුවිධ වූ යුද්ධමූණවල් රක්නා බැවින. මහරජානෙනි, එපරිද්දෙන් ම නොයෙක් පව් කළා වූ කිසි ශීලයක් ව්රතයක් නැත්තා වූ පාප කරණයෙහි කිසි සැකයක් නැත්තා වූ කිසි සුචරිතක්රියාවක් නැත්තා වූ කිසි ශාන්තියක් නැත්තා වූ චපල වූ චලිත වූ ස්වල්ප වූ යම්කිසි ජනකෙනෙක් සර්වඥශාසනයෙහි පැවිදි වෙද් ද? ඒ ජනයෝ බොහෝ වූ ශික්ෂාපද රක්ෂා කරන්නට නො හැකි වූවාහු ශාසනයෙන් පහ ව වැළක ඉවත් ව නොබෝ කලකින් ම ගෘහස්ථභාවයට පැමිණෙන්නාහු ය. ඊට කාරණා කවරේ ද? යත්- සර්වඥශාසනයාගේ බොහෝ වූ සංවරශීලය රක්ෂා කටයුතු බැවින. මෙසෙයින් බොහෝ වූ සංවරශීල රක්ෂා කට යුතු බව දක්වන්නාහු යි.
“මහරජානෙනි, ගොඩ උපන්නා වූ උතුම් වස්සිකා ලැහැබෙහි ද පණුවන් විදි පුෂ්පයෝ[2] ඇති වන්නාහ. පණුවන් විදීමෙන් හැකුළුනා වූ ඒ අංකුර නම් මල්පෙති අන්තරායෙන් ම ගිලිහී වැටෙන්නේ ය. ඒ මල් පෙති කැකුලු ගිලිහී වැටුනු කල්හි ඒ සමන්මල් අකුල ගර්හිත නම් නො වන්නේ ය. ඒ මල්වැල් ලැහැබෙහි නො වැටී සිටියා වූ යම් පිපුනු මල් රැසෙක් ඇද් ද, ඒ පුෂ්පයෝ මනා සුගන්ධයෙන් දිසානුදිසායෙහි පැතිරෙන්නාහ. මහරජානෙනි, එපරිද්දෙන් ම, යම් ඒ සත්වකෙනෙක් සර්වඥශාසනයෙහි පැවිදි ව නැවැත සිවුරු හැර ගෘහස්ථභාවයට පැමිණෙද් ද, ඒ සත්වයෝ වර්ණ (306) ගන්ධරහිත වූ පණුවන් විදි සමන් මල් මෙන් සර්වඥශාසනයෙහි නිර්වාර්ණාකාරශීලී වූ විපුලභාවයකට අයොග්‍ය වූ ඒ අඥානයන්ගේ ගිහි වීමෙන් සර්වඥශාසනය ගර්හිත නම් නො වන්නේ ය. පණ්ඩරවරප්රවර වූ ශාසනයෙන් නොබෝ කලකින් ම එහි පිහිටියා වූ යම් ඒ නිර්මල වූ භික්ෂූන්වහන්සේලා කෙනෙක් ඇද් ද, ඒ භික්ෂූහු දෙවියන් සහිත වූ ලොකයෙහි ශීලසුගන්ධයෙන් පැතිරෙන්නාහු ය. තවද, මහරජානෙනි, නීරොගී වූ සුගන්ධරත්හැල් අතුරෙහි ද කාරුම්භක නම් කාවලුපඳුරුජාතියෙක් ඉපිද හැල් පැසෙන අතුරෙහි ම නස්නේ ය, ඒ කාවලු හැල්ජාතිය විනාශ වූ බැවින් සුවඳරත්හැල් ගර්හිත නම් නො වන්නේ ය.[3] ඒ හැල්කෙතෙහි මනා කොට කලට පැසී සිටියා වූ යම් සුවඳ රත්හැල් ජාතියෙක් ඇද් ද, ඒ රත්හැල් රජදරුවන්ට පරිභොගාර්භ වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යම් ඒ සත්ව කෙනෙක් සර්වඥශාසනයෙහි පැවිදි ව සිවුරු හැර යෙද් ද, ඒ සත්වයෝ සුවඳ රත්හැල් අතුරෙහි කාරුම්භක මෙන් බුද්ධශාසනයෙහි නො වැඩී විපුලත්වය කට නො පැමිණ අතරතුරෙහි ම ගිහි වන්නාහු ය. ඒ සිවුරු හළ ජනයන් ගේ ගෘහස්ථවීමෙන් සර්වඥශාසනය ගර්හිත නම් නො වන්නේ ය. ඒ විශුද්ධ බුද්ධශාසනයෙහි මනා කොට සුශීලාදිගුණයෙහි පිහිටියා වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා කෙනෙක් ඇද් ද, ඒ භික්ෂූන් වහන්සේලා අර්හත්ඵලයාගේ උපදවා ලීමට සුදුසු වනසේක්ලා ය. තවද, මහරජානෙනි, කැමැති කැමැති සම්පත් දෙන්නා වූ මානික්යරත්නයාගේ පරිශුද්ධ වූ යම් ප්‍රදෙශයක් ඇද්ද, ඒ මාණික්යප්රදෙශය ජනයාහට සන්තොෂකර වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යම් ඒ සත්වකෙනෙක් සර්වඥශාසනයෙහි පැවිදි ව සිවුරු හැර ගිහි වෙද්ද, ඒ අඥානයෝ සර්වඥශාසන නමැති චින්තාමාණික්‍ය රත්නයෙහි කර්කශ වූ නිෂ්ප්රයොජන ගල්පතුරු වැන්නෝ ය. ඔවුන්ගේ ගෘහස්ථවීමෙන් සර්වඥශාසනය ගර්හිත නම් නො වන්නේ ය. ඒ ශාසනයෙහි යහපත් සේ සිටියා වූ යම් භික්ෂූන් වහන්සේලා කෙනෙක් ඇද්ද, ඒ භික්ෂූන් වහන්සේලා දිව්‍ය බ්‍රහ්ම මානුසික ජනයන්ට ප්රමුදිතජනක වන්නාහු යි. තවද මහරජානෙනි, ජාතිසම්පන්න වූ ලොහිතචන්දනයාගේ ද එක් ප්‍රදෙශයක් කුණු ව දිරා සුගන්ධ නැති වන්නේ ය. එයින් ලොහිතචන්දනය ගර්හිත නම් නො වන්නේ ය. ඒ රත්හඳුන්ඛණ්ඩයෙහි කුණු නො වූ සුවඳ ඇත්තා වූ යම් ප්‍රදෙශයක් ඇද්ද, ඒ සුගන්ධවත් වූ ප්රදෙශයතෙම හාත්පසින් සුවඳ හමා ලන්නේ ය. පතුරුවා ලන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම අශ්රද්ධාවත් වූ යම් ඒ සත්වකෙනෙක් සර්වඥ ශාසනයෙහි පැවිදි ව ගෘහස්ථභාවයට පැමිණෙද්ද, ඒ අනුවණජනයෝ රක්තචන්දනසාරාන්තරයෙහි කුණු වූ ප්‍රදෙශය මෙන් සර්වඥශාසනයෙන් පහ කොට දැමිය යුත්තාහු ය. ඒ අසජ්ජනයන්ගේ ගිහි වීමෙන් සර්වඥ ශාසනය ගර්හිත නම් නො ව්නනේ ය. ඒ විශුද්ධතර ශාසනයෙහි විශුද්ධ වූ ශීලව්රතාදි ගුණයෙහි ඇලී සිටියා වූ යම් භික්ෂූන් වහන්සේලා කෙනෙක් ඇද්ද, ඒ සර්වඥපුත්‍ර වූ ආර්යයන් වහන්සේලා දෙවියන් සහිත වූ ලොකය ශීලචරචන්දනසුගන්ධයෙන් ලිම්පනය කර වදාරණසේක්ලා ය” යි වදාළ සේක. සාධු, සාධු, ස්වාමීනි, නාගසෙන ස්ථවිරොත්තමයානෙනි, සර්වගණීන්ද්රභූත වූ නුඹ වහන්සේ විසින් ඒ ඒ සුදුසු (307) ආකාරයෙන් ඒ ඒ සදෘශ වූ කාරණයෙන් සර්වඥශාසනය නිරවද්යබවට පමුණුවන ලද්දේ ය. ශ්රෙෂ්ඨභාවයෙන් ම ප්‍රකාශ කරණ ලද්දේ ය. හීන වූවෝ ගෘහස්ථභාවයට පැමිණෙන්නාහු ද, ඒ සිවුරු හළ ජනයෝ සර්වඥශාසනයාගේ ශ්රෙෂ්ඨභාවය ම දක්වන්නාහු ය” යි කියා ප්‍රශංසා කළහ.
සීරළු ප්රශ්නය යි.