ගෘහස්ථපාරාජික ප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ලොකයෙහි යම්කිසි ගෘහස්ථයෙක්තෙම නො දැන මාතෘ මැරීමෙන් පීතෘ මැරීමෙන් බොධි කැපීමෙන් රහතුන් මැරීමෙන් බුදුන් ඇඟින් ලේ සෙලවීමෙන් භික්ෂුණී දූෂණය කිරීමෙන් පාරාජිකාවට පැමිණෙන ලද වන්නේ වී නම්, ඒ ගෘහස්ථ භූමියෙහි දී ම පාරාජිකාවට පැමිණි ඒ පුරුෂතෙම එයින් මෑත කාලයෙක ශාසනයෙහි පැවිදි වන්නේ වී නම්, ‘ගෘහස්ථභූමියෙහි දී ම පාරාජිකාවට පැමිණෙන ලද්දේ වීමි’ යි කියා හේ[1] තෙමේ මත් නො දන්නේ වී නම් ඕහට, අනික් කිසිවෙක් එළඹ ‘තෝ ගිහි කල පාරාජිකාවට පැමිණෙන ලද්දේ ය’ යි කියා නො කීයේත් වී නම්, ඒ තෙම රහත්ඵලය පිණිස පිළිපදනේ වී නම්, කිමෙක් ද, ඕහට ධර්මාභිසමය නො වන්නේ ය” යි වදාළසේක. “ස්වාමීනි, හේ කවර කාරණයකින් දැ?” යි විචාළෝ ය. “සද්ධර්මාභිසමය පිණිස ඔහුගේ යම් හෙතුවෙක් ඇද් ද, ඒ හෙතුව ඔහුගේ මූලොච්ඡින්න වි ය. එහෙයින් නිර්වාණාභිසමය නො වන්නේ ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘කළ වරද දන්නාහුට කුකුස් වන්නේ ය. කුකුස් ඇති කල්හි චිත්තය ශීලගුණාදියෙහි ආවරණය වන්නේ ය. චිත්තය වැළකුනු කල්හි ධර්මාභිසමය නො වන්නේ ය’ යි කියා නුඹ වහන්සේ වදාරණසේක. එකල වරදක් නො දන්නා වූ කිසි කුකුසක් නූපන්නා වූ ශාන්ත වූ සිතින් විහරණය කරන්නා වූ මෝහට වනාහි කවර කාරණයකින් ධර්මාභිසමය නො වන්නේ ද? ස්වාමීනි, මේ ප්‍ර‍ශ්නය සෙසු ප්‍ර‍ශ්නයන් මෙන් නො ව විස්මයයෙන් විස්මයට යන්නේ ය. ස්වකීය වූ ශ්‍රැතවත් වූ බුද්ධීන් සිතා පරීක්ෂා කර වදාරමින් විසඳා වදාළ මැනැවැ’ යි කීහ.

“මහරජානෙනි, මනා කොට ම දෙසීය සානා ලද්දා වූ කලල් මඩ ඇත්තා වූ පෑපත නඟා වප් හෙලූ කුඹුරෙහි ධාන්‍ය සාරය දෙන්නා වූ යහපත් කොට වාපනය කරණ ලද්දා වූ බීජසංඛ්‍යාත ඵලමුල් මනා ව ම හට ගණී දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, මනා කොට හට ගණී ය” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, ඒ බීජ සංඛ්‍යාත වූ ඵලමුල් ම ඝනශෛලශිලාතලයෙහිත් මනා කොට හට ගණී දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, (310) කුමක් පිණිස වනාහි ඒ බිජු ම කලල් මඩෙහි හට ගන්නේ ද? කුමක් පිණිස ඝන ශෛලයෙහි නො හට ගන්නේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ඒ බීජයාගේ හට ගැණීම පිණිස ඒ ඝනශෛලයෙහි හෙතුවෙක් නැත්තේ ය. අහෙතුක බැවින් ගලෙහි බිජු නො හටගන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් හෙතුවකින් ඕහට ධර්මාභිසමය වන්නේ වී නම්, ඔහුගේ ඒ හෙතුව සමුච්ඡින්න වූයේ ය. අහෙතුක බැවින් ධර්මාභිසමය නො වන්නේ ය” යි කියා වදාළසේක. “ස්වාමීනි, තවත් මධුරතර වූ උපමාවක් වදාළ මැනැවැ” යි කීහ. “තවද, මහරජානෙනි, යම් සේ ලීදඬු කැටගල් ලකුට මුගුරු පෘථිවියෙහි වැටී නවත්නා ස්ථානයට පැමිණෙන්නාහු ය. කිමෙක් ද, මහරජානෙනි, එම දණ්ඩ ලෙඩ්ඩු ලකුට මුග්ගරයෝ ආකාශයෙහිත් නො වැටී සිටින ස්ථානයකට පැමිණ සිටින්නාහු දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි වහන්සැ” යි කීහ. “මහරජානෙනි, මෙහි වනාහි යම් කාරණයකින් එම දණ්ඩ ලෙඩ්ඩු ලකුට මුගුරු පෘථිවියෙහි නවත්නා ස්ථානයට පැමිණෙන්නාහු ද, ඊට කාරණා කවරේ ද? කවර කාරණයකින් ආකාශයෙහි නො වැටී නො සිටින්නාහු දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ඒ දණ්ඩ ලෙඩ්ඩු ලකුට මුග්ගරයන්ගේ පිහිටීම පිණිස ආකාශයෙහි හෙතුවෙක් නැත්තේ ය. අහෙතුක බැවින් නො සිටින්නාහු ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම ඔහුගේ ඒ දොෂයෙන් ධර්මාභිසමය වන හෙතුව සිඳී ගියේ ය. හෙතුව නැසුනු කල්හි අහෙතුවෙන් නිර්වාණාභිසමය නො ව්නනේ යි. තවද, මහරජානෙනි, එ ම ගිනි ජලයෙහිත් ඇවිලේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. මහරජානෙනි, යම් කාරණයකින් එම වහ්නිය ථලයෙහි ඇවිළෙන්නේ ද, කවර කාරණයකින් ජලයෙහි නො ඇවිළෙන්නේ ද? මෙහි වනාහි කාරණය කවරේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, වහ්නියගේ දීප්තිමත් වීම පිණිස ජලයෙහි හෙතුවෙක් නැත්තේ ය. අහෙතුක බැවින් දීප්තිමත් නො වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම ඒ ගෘහස්ථපාරාජිකයාගේ ඒ කළ දොෂයෙන් නිවණට හෙතු සිඳී ගියේ ය. හෙතු නැසී ගිය කල්හි අහෙතුවෙන් නිර්වාණාභිසමය නො වන්නේ ය” යි වදාළසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නැවතත් මෙම අර්ථය මෙනෙහි කර වදාළ මැනැව. ‘කායව්‍යතික්‍ර‍මණය වූ වරදක් නො දන්නාහට කුකුසකුදු නැති කල්හි ස්වර්ගමොක්ෂාවරණය වන්නේ ය’ යි කියා ඒකාන්තයෙන් ම ඒ විනයපිටකයෙහි සිතට වරද පැණ වූ චිත්තප්‍ර‍ඥප්තියක් නො වන්නේ ය. කාරණයකින් ම මට අවබොධ කරවා වදාළ මැනැවැ” යි කීහ. “කිමෙක් ද මහරජානෙනි, ගූඪ වූ ශෘංගිවිෂය නො දන්නහු විසින් කන ලද්දේ ජීවිතය නසා ද? නො නසා දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, ජීවිතය නසා ම ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම නො දන්නහු විසින් කරණ ලද පාපය වුවත් අභිසමයන්තරාය කරවන්නේ යි. කිමෙක් ද, මහරජානෙනි, වහ්නිය නො දැන පයින් මඩින්නාහු දවා දැ?” යි විචාළසේක. එසේ ය, වහ්ස, දවා ම ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම නො දන්නහු විසිනුදු කරණ ලද (311) පාපය වුවත් අභිසමයන්තරාය කරවන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, නිද්‍රාකරණාදි විසින් නො දන්නා වූ පුරුෂයකු නාගයෙක් දෂ්ට කොට ජීවිතය පහ කෙරේ දැ?” යි විචාළසේක. “එසේ ය වහන්ස, දිවි නසා ය” යි කීහ. මහරජානෙනි, එපරිද්දෙන් ම නො දන්නහු විසින් කරණ ලද පාපය ද අභිසමයන්තරාය කරවන්නේ යි. තවද මහරජානෙනි, කාලිංගබොධිජාතකයෙහි ආත්මලොභයෙන් රජ සැප හැර වනාන්තරයෙහි තාපසප්‍ර‍ව්‍ර‍ජ්‍යාවෙන් කල් යැවූ රාජතපස්වීන් නිසා උපන් කාලිංගකුමාරයෝ තමන්ගේ පුණ්‍යසෘද්ධියෙන් තමන් සතු වූ කලිඟුරටට අහසින් අවුත් රජ පැමිණ කාලිංගභාරද්වාජගොත්‍ර‍ නම් පුරොහිතබ්‍රාහ්මණ පණ්ඩිතොත්තමයානන්ගේ සහායයෙන් දශවිධචක්‍ර‍වර්තිවත් පුරා චක්‍ර‍වර්තිරාජ්‍යය ලැබ සප්තවිධරත්නයන් පිරිවරා ගත්හ. ශ්‍ර‍මණවෙශ ගත් රජුන්ට පුත්‍ර‍ ව උපන් හෙයින් ශ්‍ර‍මණකොලඤ්ඤ නම් වූ ඒ කාලිංගචක්‍ර‍වර්තිමහරජානෝ සතිස්යොත්නෙක පැතිර සිටින මහ සෙනඟ පිරිවරා ගෙණ පෞෂථහස්තිරත්නය පිටට පැන නැඟී දෙමවුපිය ඥාතිකුලයන් දක්නා පිණිස වනයට ආකාශයෙන් යනුවෝ[2] මහබෝමැඩට ලං ව ‘මෙහි බුදුන් පහළ වන බෝමැඩෙක් ඇතැ’ යි කියා නො දන්නෝ වූ නමුත්[3] මහබෝමැඩට මස්තකයෙන් යන්නට නොහැකි වූවෝ නො වෙද්ද? මහරජානෙනි, යම් කාරණයකින් ‘නො දන්නහු විසිනුදු කරණ ලද පාපය නිර්වාණන්තරාය කරවන්නේ ය’ යි යන මේ කාරණය වදාළ සේක. “ඉතිකින් එතෙක් ම ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ කාරණය සර්වඥභාෂිත වන ලද්දේ ය. පටික්කොසනය කරන්නට නො හැක්කේ ය. මේ ප්‍ර‍ශ්නයාගේ අර්ථය මෙම වදාළ ලෙස ම ය. ඒ කාරණය එසේ ම පිළිගන්නෙමි” යි කීහ.

ගෘහස්ථපාරාජිකප්‍ර‍ශ්නය යි.

  1. ඔහු

  2. යනුයේ

  3. නො දන්නේ වී නමුත්