‍නිර්වාණවිමතිච්ඡෙදනප්‍ර‍ශ්නය

නැවතත් ප්‍ර‍ශ්නයක් අසනු කැමැත්තා වූ මිලිඳුමහරජානෝ “ස්වාමීනි, නාගසෙනස්ථවිරයානන් වහන්ස, ලොකයෙහි කුශලාකුශලකර්මයෙන් උපන්නාහුත් දක්නා ලැබෙති. හෙතු නිසා උපන් දෙයත් දක්නා ලැබෙති. සෘතුවෙන් උපන් දෙයත් දක්නා ලැබෙති. මේ ඇර ලොකයෙහි කර්මයෙන් නූපන් උපන් අකර්මජ වූ ද හෙතුවකින් නූපන් බැවින් අහෙතුජ වූ ද සෘතුවකින් නූපන් බැවින් අනුතුජ වූ ද යමක් ඇත් නම්, ඒ දෙය මට වදාළ මැනැවැ” යි කීහ.

එකල නාගසෙනස්ථවිරයානන් වහන්සේ-

“ද්‍වෙ මෙ මහාරාජ, ලොකස්මිං අකම්මජා අහෙතුජා අනුතුජා. කතමෙ ද්‍වෙ? ආකාසො මහාරාජ අකම්මජො අහෙතුජො අනුතුජො. නිබ්බාණං මහාරාජ අකම්මජං අහෙතුජං අනුතුජං. ඉමෙ ඛො මහාරාජ, ද්‍වෙ අකම්මජා අහෙතුජා අනුතුජා” ති.

යනුවෙන් “මහරජානෙනි, ලොකයෙහි මොහු දෙදෙනෙක් අකර්මජ වූහ. අහෙතුජ වූහ. අනුතුජ වූහ. කවර දෙදෙනෙක් ද? යත්- මහරජානෙනි, අකාශය අකර්මජ ය. අහෙතුජ ය. අනුතුජ ය. මහරජානෙනි, නිර්වාණය අකර්මජ වූයේ ය. අහෙතුජ වූයේ ය. අනුතුජ වූයේ ය. මහරජානෙනි, මොහු දෙදෙන වනාහි අකර්මජ වූහ. අහෙතුජ වූහ. අනුතුජ වූහ” යි වදාළසේක. “අහෝ! අහෝ! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ලොවුතුරා බුදුන්ගේ සර්වඥවචනය නො මකන්න. නො දැන ප්‍ර‍ශ්න නො කියන්න. නො දන්නා ප්‍ර‍ශ්නයෙහි ව්‍යාපෘත නො වන්නැ” යි කීහ. “මහරජානෙනි, මම කුමක් කියන්නෙම් ද? මට තෙපි ‘මා භන්තෙ, නාගසෙන ජින වචනං මක්ඛෙහි මා (326) අජානිත්වා පඤ්හං ව්‍යාකරොහී’ යි කියා යම් වචනයක් මෙසේ කියන්නාහු ය. හේ කවරේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ආකාශය අකර්මජ ය, අහෙතුජ ය. අනුතුජ ය’ යි කියා මේ වචනය නුඹ වහන්සේට වදාරන්ට යුතු වන්නේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නොයෙක් සියදහස් කාරණයෙන් ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන් වහන්සේලාට නිර්වාණයාගේ සිද්ධ කිරීම පිණිස ආර්‍ය්‍යමාර්ගය වදාරණ ලද්දේ ය. එසේ කල නුඹ වහන්සේ ‘ඒ නිර්වාණය අහෙතුජ ය’ යි කියා මෙසේ වදාරණ සේකැ” යි කීහ. “සැබැව, මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් සියගණන් කාරණයෙන් ශ්‍රාවකයන්ට නිර්වාණයාගේ සිද්ධ කිරීම පිණිස ආර්‍ය්‍යමාර්ගය වදාරණ ලද්දේ ය. නිර්වාණයාගේ උපදවා ලීම පිණිස හෙතුයෙක් නො වදාරණ ලදැ” යි වදාළසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් අර්ථයෙක්හි නුඹ වහන්සේ ‘අමෘතමහානිර්වාණයාගේ සිද්ධ කිරීම පිණිස ආර්‍ය්‍යමාර්ග සංඛ්‍යාත වූ හෙතුයෙක් ඇත්තේ ය. ඒ නිර්වාණධර්මයාගේ වනාහි උපදවා ලීම පිණිස හෙතුයෙක් නැතැ’ යි කියා වදාළ මේ අර්ථයෙහි අපි මුළා ව අන්ධකාරයකින් බලවත් අන්ධකාරයකට පැමිණියම්හ. වනාන්තරයකින් මහාවනාන්තරයකට පැමිණියම්හ. මහාවනගහනයකින් අධිකතර වූ වනගහනයකට පැමිණියම්හ. ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නිර්වාණයාගේ සාක්ෂාත් කිරීම පිණිස හෙතුයෙක් ඇත් නම්, ඒ කාරණයෙන් නිර්වාණයාගේ ද උපදවා ගැණීම පිණිස හෙතුයෙකුත් කැමැති විය යුත්තේ ය. වුවමනා වන්නේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් සේ පුත්‍ර‍යක්හට පිතෘකෙනෙක් ඇත්තාහ. ඒ කාරණයෙන් පියානන්හටත් පීතෘකෙනෙකුන් කැමැති විය යුතු වන්නේ ය. යම් සේ අන්තෙවාසිකයා හට ගුරුකෙනෙක් ඇත්තාහු ද, ඒ කාරණයෙන් ගුරුවරයාහටත් ගුරු කෙනෙක් ඇතැ යි කියා කැමැති විය යුත්තේ ය. යම් සේ අංකුර සංඛ්‍යාත වූ දළුව නැගීමට බීජයෙක් ඇත්තේ ය. ඒ කාරණයෙන් බීජයටත් බීජයක් කැමැති විය යුත්තේ ය. එපරිද්දෙන් ම, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉදින් නිර්වාණයාගේ සිද්ධ කිරීම පිණිස හෙතුයෙක් ඇත්තේ වී නම්, ඒ කාරණයෙන් අමෘතමහානිර්වාණයාගේ ද උපදවාලීම පිණිස හෙතුයෙකුත් කැමැති විය යුත්තේ ය. උවමනා වන්නේ ය. යම් සේ වෘක්ෂයක හෝ ලීයක හෝ මුදුන් දලුව ඇති කල්හි ඒ කාරණයෙන් මධ්‍යයක් ඇත්තේ ය. මුලත් ඇත්තේ ය. එපරිද්දෙන් ම ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉදින් නිර්වාණයාගේ සිද්ධ කිරීම පිණිස හෙතුයෙක් ඇත්තේ වී නම්, ඒ කාරණයෙන් අමෘතමහානිර්වාණයාගේ උපදවා ගැණීම පිණිස ද හෙතුයෙක් කැමැති විය යුත්තේ ය. ඇතැ යි කියා සැලකිය යුත්තේ ය” යි කීහ. “මහරජානෙනි, අමෘතමහානිර්වාණය උපදවාලිය හැකි දෙයෙක් නො වන්නේ ය. එහෙයින් නිර්වාණයාගේ උත්පාදය පිණිස හෙතුයෙක් බුදුන් විසින් නො වදාරණ ලදැ” යි වදාළසේක. “එසේ ය, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කාරණයක් දක්වා නිර්වාණයාගේ සිද්ධ කිරීම පිණිස හෙතුයෙක් ඇත. ‘නිර්වාණයාගේ (327) උපදවා ගැනීම පිණිස හෙතුයෙක් නැතැ’ යි කියා යම් පරිද්දෙකින් මම දැන ගණිම් ද, එසේ වූ කාරණයකින් මට අවබොධ කරවා වදාළ මැනැව” යි කීහ.

“මහරජානෙනි, එසේ වී නම්, තෙපි ශ්‍රොත්‍ර‍ය සකස් කොට යොමු කරව. යහපත් කොට ම අසා ගණුව. එහි කාරණයක් කියන්නෙමි. මහරජානෙනි, පුරුෂයෙක් තමාගේ ප්‍ර‍කෘති වූ ශරීරබලයෙන් මේ සාගල්පුරය පටන් හිමාලයපර්වතයට යන්නට හැකි වේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, යන්නට හැකි වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ පුරුෂතෙම තමාගේ ප්‍ර‍කෘති වූ බලයෙන් ඒ තුන්දහසක් යොදුන් පළල ඇති හිමාලයපර්වතරාජයා මේ සාගල්පුරයට ගෙණෙන්ට හැකි වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, එසේ නො හැකි වන්නේ ය” යි කීහ. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණයාගේ සිද්ධ කිරීම පිණිස මාර්ගය කියන්නට හැකි වන්නේ ය. නිර්වාණයාගේ උපදවා ලීම පිණිස කාරණයක් දක්වන්නට නො හැක්කේ ය. මහරජානෙනි, පුරුෂයෙක් ප්‍ර‍කෘති වූ බලයෙන් මහාසමුද්‍ර‍ය නැවින් එතර ව පරතෙරට යන්නට හැකි වේ දැ?” යි විචාළසේක. එසේ ය, වහන්ස, හැකි වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, ප්‍ර‍කෘති වූ බලයෙන් ඒ පුරුෂතෙම මහාසමුද්‍ර‍යාගේ පරතෙර මේ සාගල්පුරයට ගෙණන්නට හැකි වේ දැ?” යි විචාළසේක. නො හැක්ක, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණයාගේ සිද්ධ කිරීම පිණිස මාර්ගය කියන්නට හැකි වන්නේ ය. නිර්වාණයාගේ උපදවා ගැනීම පිණිස හෙතුයෙක් දක්වන්නට නො හැක්කේ ය. ඊට කාරණා කවරේ ද? යත්- නිර්වාණධර්මයාගේ අසංඛත බැවිනැ” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ අමෘත මහා නිර්වාණය කිසි කුශලාකුශල හෙතුවකින් නූපන්නා වූ අසංඛතධර්මයෙක් දැ?” යි විචාළෝ ය. “එසේ ය, මහරජානෙනි, ඒ අමෘතමහානිර්වාණය කුශලාකුශලකර්මයකින් නූපන් බැවින් ද වෘක්ෂලතාදීන් මෙන් හෙතුවකින් නූපන් බැවින් ද පෘථිවි මෙරු යුගන්ධරාදීන් මෙන් සෘතුවකින් නූපන් බැවින් ද අසංඛත නම් විය. වාණසංඛ්‍යාත වූ තෘෂ්ණාව කෙරෙන් ඉක්ම සිටි බැවින් නිර්වාණය නම් විය. ශක්‍ර‍බ්‍ර‍හ්මාදි කිසි කෙනෙකුන් විසින් නිර්මිත ද නො කරණ ලද්දේ ය. මහරජානෙනි, නිර්වාණය උපන්නේ ය යි කියා හෝ නූපන්නේ ය යි කියා හෝ උපදනේ ය යි කියා හෝ අතීත ය යි කියා හෝ අනාගත ය යි කියා හෝ වර්තමාන ය යි කියා හෝ චක්ඛුවිඤ්ඤෙය්‍ය ය යි කියා හෝ සොතවිඤ්ඤෙය්‍ය ය යි කියා හෝ ඝාණවිඤ්ඤෙය්‍ය ය යි කියා හෝ ජිව්හාවිඤ්ඤෙය්‍ය ය යි කියා හෝ කායවිඤ්ඤෙයය්‍ය ය යි කියා හෝ නො කිය යුත්තේ ය” යි වදාළසේක. “ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නිර්වාණය උපන්නේත් නො වේ නම්, නූපන්නේත් නොවේ නම්, උපදනේත් නො වේ නම්, අතීතත් නො වේ නම්, අනාගතත් නො වේ නම්, වර්තමානත් නො වේ නම් ඇසින් දත යුතු වූ චක්ඛුවිඤ්ඤෙය්‍යයකුත් නො වේ නම්, සොතයෙන් දත යුතු වූ සොතවිඤ්ඤෙය්‍යයකුත් නො වේ නම්, ඝාණයෙන් දත යුතු වූ ඝාණවිඤ්ඤෙය්‍යයකුත් නො වේ නම්, දිවින් දත යුතු වූ ජිව්හා විඤ්ඤෙය්‍යයකුත් නො වේ නම්, කයින් දත යුතු වූ කායවිඤ්ඤෙය්‍යයකුත් නො වේ නම්, එහෙයින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ නැති ස්වභාව වූ නිර්වාණයක් වදාරණසේක. නුඹ වහන්සේ ඒ නිර්වාණය ‘නිර්වාණය’ යි එකවන් කියනසේක. ඉතිකින් නිර්වාණ නැතැ” යි කීහ.

(328) “අත්‍ථි මහාරාජ, නිබ්බාණං, මනො විඤ්ඤෙය්‍යං නිබ්බාණං විසුද්ධෙන මානසෙන පණීතෙන උජුකෙන අනාවරණෙන නිරාමිසෙන සම්මාපටිපන්නො අරිය සාවකො නිබ්බාණං පස්සතී.”

“මහරජානෙනි, නිර්වාණය ඇත. නිර්වාණය මනසින් දත යුතු වූ මනොවිඤ්ඤෙය්‍ය වන්නේ ය. ආර්යඅෂ්ටාංගිකමාර්ගයෙන් මනා කොට පිළිපන්නා වූ ආර්යශ්‍රාවකයන් වහන්සේ විශුද්ධ වූ ප්‍ර‍ණීත වූ සෘජු වූ අවිද්‍යාවරණ විරහිත වූ තෘෂ්ණාමිෂ විරහිත වූ අර්හත්ඵලමානසින් අමෘතමහා නිර්වාණය දක්නාසේකැ” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, උපමා විසින් දැක්විය යුතු වූ විද්‍යමාන වූ ඒ නිර්වාණය වනාහි කෙබඳු ද? ඇති ස්වභාව වූ නිර්වාණය යම් යම් ප්‍ර‍කාරයකින් උපමා විසින් දැක්විය යුතු වේ ද, ඒ ඒ ප්‍ර‍කාරයෙන් මට කාරණයා විසින් අඟවා වදාළ මැනැවැ” යි කීහ.

“අත්‍ථි මහාරාජ වාතො නාමාති. ආම භන්තෙ. ඉංඝ මහාරාජ, වාතං දස්සෙහි වණ්ණතොවා සණ්ඨානතො වා අණුං වා ථූලං වා දීඝං වා රස්සං වා ති, න සක්කා භන්තෙ, නාගසෙන වාතං උපදස්සයිතං. න සො වාතො හත්‍ථගහණංවා නිම්මද්දනං වා උපෙති. අපිච අත්‍ථි සො වාතොති. යදි මහාරාජ, න සක්කා වාතො උපදස්සයීතුං, තෙන හි නත්‍ථි වාතොති. ජානාමහං භන්තෙ නාගසෙන වාතො. අත්‍ථි මෙ හදයෙ අනුපතිට්ඨං න වාහං සක්කොමි වාතං උපදස්සයිතුන්ති. එවමෙව ඛො මහාරාජ අත්‍ථි නිබ්බාණං. න සක්කා නිබ්බාණං උපදස්සයිතුං වණ්ණෙන වා සණ්ඨානෙන වා” යි.

“මහරජානෙනි, වාතය නම් ඇද්ද?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, ඇතැ” යි කීහ. “මහරජානෙනි, එසේ වී නම් ඒ වාතය මට තෙපි නීලපීතාදි වර්ණයකින් හෝ සණ්ඨානයකින් හෝ ක්ෂුද්‍ර‍ ය යි කියා හෝ ස්ථුල ය යි කියා හෝ දීර්ඝය යි කියා හෝ හ්‍ර‍ස්ව ය යි කියා හෝ දක්වා ලව” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘වාතය මෙබඳු ය’ යි කියා දක්වන්නට නො හැක්කේ ය. ඒ වාතය හස්ත ග්‍ර‍හණයට හෝ මර්දනය කොට අල්වා ගැණීමට හෝ නො පැමිණෙන්නේ ය. එසේ ද වුවත් වාතය ඇතැ” යි කීහ. “ඉදින් මහරජානෙනි, වාතය දක්වාපියන්ට නො හැක්කේ වේ ද, එහෙයින් ම වාතය නැද්ද?” යි විචාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මම වාතය ඇතැ යි කියා ම දන්නෙමි. මාගේ හෘදයෙහිත් පිහිටා පවත්නේ ය. ශරීරයෙහිත් වැද යන්නේ ය. මහාවනාන්තරයන් ද අඹරවා ගෙණ යන්නේ ය. මම ඒ වාතය දක්වා පියන්නට නො හැක්කෙමි” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අමෘතමහානිර්වාණයත් ඇත්තේ ම ය. මහරජානෙනි, අනන්තලොකධාතුවෙහි ඇති තාක් දුක් ඉක්ම සිටියා වූ අනන්තලොක ධාතුවෙහි ඇති තාතක් සියලු සැපතින් අග්‍ර‍ ව සිටියා වූ ඒ අමෘතමහානිර්වාණය වර්ණයකින් හෝ ලක්ෂණාදිසණ්ඨානයකින් හෝ මෙබඳු ය යි කියා දක්වන්නට නො හැක්කේ ය” යි වදාළසේක. “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, පස්වාදහසක් හවුරුදු මුළුල්ලෙහි පණ්ඩිතජන මනොනන්ද(329) නය කෙරෙමින් නුඹ වහන්සේ විසින් සුන්දරතර උපමා සුන්දර කොට ම දක්වන ලද්දේ ය. විදුරෙන් විදුර විදින්නාක් මෙන් ඊට ම නිසි වූ කාරණා ම මනා කොට දක්වන ලද්දේ ය. ඒ අමෘතමහානිර්වාණය ඇත්තේ ම ය. මෙසේ මේ ප්‍ර‍ශ්නයත් එසේ ම මම පිළිගන්නෙමි” යි කියා ප්‍ර‍ශංසා කළහ.

නිර්වාණවිමතිච්ඡෙදනප්‍ර‍ශ්නය නිමි.