සර්වඥසෘෂිප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් සෘෂිවර කෙනෙක් චිකිත්සාකාරයන්ට පූර්වංගම වූ ද ආචාර්ය වූවාහු ද, හේ කවරේ ද? යත්- නාරද නම් සෘෂි ය, ධන්වන්තරී නම් සෘෂි ය, අංගීරස නම් සෘෂි ය, කපිල නම් සෘෂි ය, කණ්ඩරග්ගී නම් සෘෂි ය, සාම නම් සෘෂි ය, අතුල නම් සෘෂි ය, පූර්වකාත්‍යායන නම් සෘෂි ය, මෙ කී පූර්වාචාර්යවරයෝ එකවර ම රොගුප්පත්තිය නිදානය ද ස්වභාවය ද සමුට්ඨානය ද චිකිත්සාව ද ක්‍රියාව ද සාද්ධ්‍යාසාද්ධ්‍යබව ද යන ඒ සියල්ල ම නිරවශෙෂ කොට තමන්ගේ ඤාණයෙන් දැන මේ මනුෂ්‍යශරීරයෙහි මෙපමණ වූ අටඅනූවක් රොග නවානූවක් ව්‍යාධි උපදනේ ය යි කියා එක පහරින් ම කලාපග්‍ර‍හණය කොට ශ්ලොක බැන්දාහු ය. මෙ කී සියලු සෘෂිවරයෝ ම අසර්වඥවරයෝ ය, එසේ කල සර්වඥ වූ බුදුරජානන් වහන්සේ අනාගතයෙහි ශාසනයෙහි වන නපුරුක්‍රියාවන් බුද්ධඥානයෙන් බලා දැන වදාරමින් මෙපමණ වූ නො සරුප් වස්තුයෙහි මෙපමණ වූ ශික්ෂාපද පැණවිය යුතු වන්නේ ය යි කියා කුමක් පිණිස පිරිසිඳ නිරවශෙෂවශයෙන් ශික්ෂාපද නො පණවා වදාළ සේක් ද? උපනුපන් නො සරුප් වස්තුයෙහි අයස ප්‍ර‍සිද්ධ වූ කල්හි දොෂය විස්තාර වූ කල්හි අයස මහත් ව ගිය කල මනුෂ්‍යයන් බොහෝ කොට නින්දා කළ කල ඒ ඒ කාලයෙහි ශ්‍රාවකයන්ට ශික්ෂාපද පණවා වදාළ සේක් දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, මේ ජිනෙන්ද්‍ර‍ශාසන කාලයෙහි මේ මනුෂ්‍යයන් කෙරෙහි සාධික වූ එසියපණසක් ශික්ෂාපද පැණවිය යුතු වන්නේ ය යි කියා අප තථාගතයන් වහන්සේ විසින් මේ කාරණය දැන වදාරණ ලද්දේ ය. එතෙකුදු වුවත් තථාගතයන් වහන්සේට මෙබඳු වූ සිතෙක් වූයේ ය. (331) ඉදින් මම සාධික වූ එසියපණසක් ශික්ෂාපද එක පහරින් ම පණවා ලන්නේ වීම් නම්, මහාජනතෙම ‘අහෝ! මේ ශාසනයෙහි බොහෝ දෙයක් රැක්ක යුතු වන්නේ ය. ශ්‍ර‍මණ භවත් ගෞතමයන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වන්නට එකාන්තයෙන් ම ඉතා දුෂ්කර වන්නේ ය’ යි සිතා භයට පැමිණෙන්නේ ය. පැවිදි වනු කැමැත්තාහු ද නො පැවිදි වෙති. අප්‍ර‍මාද ව ශීලය රක්ෂා කරව්, කියන්නා වූ මාගේ වචනය ද නො අදහති. මාගේ අප්‍ර‍මාදධර්මය නො අදහන්නා වූ ඒ මනුෂ්‍යයෝ ද අප්‍ර‍මාදධර්මයට ගෞරව නො කොට අපායගාමී වෙති. උපනුපන් නො සරුප් කාරණයෙහි නැවැත නො කරවයි කියා ධර්මදෙශනා කිරීමෙන් අඟවා දොෂය ප්‍ර‍සිද්ධ වූ කල්හි ශික්ෂාපද පණවාලමි යි සිතා වදාරා පැමිණි පැමිණි කාරණයෙහි ශික්ෂාපද පැණවූසේකැ”[1] යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, බුදුවරයන්ගේ සර්වඥතාඥානය ඉතා ආශ්චර්ය ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, බුදුවරයන්ගේ ඥානය ඉතා අද්භූත ය. අප තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය යම්තාක් ඉතා මහත් වී ද, ඒ තාක් බුදුවරයෝ ම මිස කවුරු දනිද් ද? ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, වදාළ කාරණය ඒ එසේ ම ය. මේ අර්ථයතෙම තථාගතයන් වහන්සේ විසින් මනා කොට ම දැන වදාරණ ලද්දේ ය. ‘නවකෙළදහස් එක්සිය අසූකෙළ පණස්ලක්ෂ සතිස් සංවරයක් වූ බැවින් මේ බුද්ධශාසනයෙහි බොහෝ වූ ශික්ෂාවෝ රැක්ක යුතු ය’ යි අසා මනුෂ්‍යයන්ට භය උපදනේ ය. එක ම ශ්‍ර‍ද්ධාවතෙකු දු ජිනශාසනයෙහි පැවිදි නො වන්නේ ය. මෙසේ මේ ප්‍ර‍ශ්නයත් මම එසේ ම පිළිගන්නෙමි” යි කීහ.

සර්වඥසෘෂිප්‍ර‍ශ්නය නිමි.

  1. පණවා