අකාලමරණ ප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් ඒ සත්වකෙනෙක් නස්නාහු ද, ඒ මේ සියලු සත්වයෝ ම කාලයෙහි ම නස්නාහු ද? නොහොත් අකාලයෙහිත් නස්නාහු දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, කාලයෙහිත් මරණ ඇත, අකාලයෙහිත් මරණ ඇතැ” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කාලයට නසින්නා වූ ඒ සත්වයෝ කවුරු ද? කවර සත්වකෙනෙක් අකාලයෙහි නස්නාහු දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, තොප විසින් වනාහි ආම්‍ර‍වෘක්ෂවලින් හෝ දඹවෘක්ෂවලින් හෝ අනික් ඵලවෘක්ෂවලින් හෝ ආමය වූ ද, පැසුනා වූ ද වැටෙන්නා වූ ඵලයෝ දක්නා ලද්දෝ ඇද්ද?” යි විචාළ (380) සේක. එසේ ය, ස්වාමීනි, දක්නා ලද්දෝ ඇතැ” යි කීහ. “මහරජානෙනි, යම් ඒ ඵල කෙනෙක් වෘක්ෂයෙන් වැටෙන්නාහු ද, ඒ සියලු ඵලයෝ කාලයෙහි ම වැටෙන්නාහු ද? නොහොත් අකාලයෙහිත් වැටෙද් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, පැසුනා වූ විලිකුන් වූ යම් ඵල කෙනෙක් වැටෙද් ද, ඒ සියලු ම ඵලයෝ කාලයෙහි වැටෙන්නාහු ය. අවශෙෂ වූ යම් ඒ ඵල කෙනෙක් වැටෙද්ද, ඒ ඵල අතුරෙන් කිසි ඵල කෙනෙක් පණුවන් විසින් විදිනා ලද්දාහු වැටෙන්නාහ. කිසි ඵලකෙනෙක් පොල්ලෙන් වදින ලද්දාහු වැටෙන්නාහ, කිසි ඵලකෙනෙක් වාතයෙන් සෙලවී වැටෙන්නාහ, කිසි ඵලකෙනෙක් ඇතුළ කුණු ව වැටෙන්නාහ. ඒ සියලු ම ඵලයෝ අකාලයෙහි ම වැටෙන්නාහු ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් ඒ සත්වකෙනෙක් ජරාවෙගයෙන් නසින ලද්දාහු වැටෙද්ද, ඒ සත්වයෝ ම කාලයෙහි නස්නාහු ය. අවශෙෂ වූ සත්වයන් අතුරෙන් සමහර කෙනෙක් තමන් පෙර කළ අකුශලකර්මයාගේ ඉතා දැඩි බැවිනුත් නස්නාහු ය. කිසි කෙනෙක් ගමන ප්‍ර‍තිබාළ්හතාවෙනුත් නස්නාහු ය, කිසි කෙනෙක් ක්‍රියාප්‍ර‍තිබාළ්හතාවෙනුත් නස්නාහු ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් ඒ සත්වකෙනෙක් උපච්ඡෙදාදි කර්මප්‍ර‍තිබාධයෙන් නස්නාහු ද, යම් ඒ සත්වකෙනෙක් යාත්‍රාදී ප්‍ර‍තිවිරුද්ධතාවෙන් නස්නාහු ද, යම් ඒ සත්වකෙනෙක් විසමාහාරසෙවන උදකපතනාදි ක්‍රියාවිරොධයෙන් නස්නාහු ද, යම් ඒ සත්වකෙනෙක් ජරාවෙගයෙන් පීඩිත වත් නස්නාහු ද, ඒ සියලු දෙන ම කාලයෙහි ම නස්නාහ. යමෙක් තෙම මාතෘකුක්ෂි ගත වූයේ ද නස්නේ ය. ඕහට ඒ කාලය යි. කාලයෙහි ම ඒ තෙම නස්නේ ය. යමෙක් වැදූගෙයි දී නසින්නේ ය. ඕහට ඒ කාලය නම් වන්නේ ය. ඒ උපන් කාලයෙහි ම ඒ තෙම නසින්නේ ය. යමෙක් උන් මාසයෙන් ම නසින්නේ ය. යමෙක් උපන් හවුරුද්දෙන් නසින්නේ ය. යමෙක් උපන් සියක් හවුරුදු වූයේත් නසින්නේ ය. ඕහට ඒ කාලය නම් වන්නේ ය. ඒ කාලයෙහි දී ම එතෙම නසින්නේ ය. ඒ කාරණයෙන්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අකාලයෙහි මරණයක් නම් නො වන්නේ ය. යම්කිසි කෙනෙක් නසිත් නම්, ඒ සියල්ලෝ ම කාලයෙහි ම නසින්නාහු ය” යි කීහ.

“මහරජානෙනි, ආයුෂය මතු ඇති කල්හි දු මොහු සත්දෙනෙක් අකාලයෙහි නස්නාහු ය. කවර සත්දෙනෙක් ද? යත්- මහරජානෙනි, ක්ෂුධාවෙන් පීඩිත වූ පුරුෂතෙම භොජනය නො ලබනුයේ ජඨරාග්නි වෙගයෙන් දවන ලද අභ්‍යන්තරය ඇති ව මත්තෙහි ආයුෂය විද්‍යමාන කල්හි ද අකාලයෙහි නසින්නේ ය. මහරජානෙනි, පිපාසායෙන් පීඩිත වූ පුරුෂතෙම පැන් නො ලබනුයේ වියලුනා වූ හෘදය ඇති ව මත්තෙහි ආයුෂය ඇති කල්හි ද අකාලයෙහි ම නසින්නේ ය. මහරජානෙනි, නාගයා විසින් දෂ්ට කරණ ලද්දා වූ විෂවෙගයෙන් පීඩිත වන ලද්දා වූ පුරුෂතෙම චිකිත්සාකාරයෙකු නො ලබනුයේ මතු ආයුෂය විද්‍යමාන තල්හි ද අකාලයෙහි නසින්නේ ය. මහරජානෙනි, විෂ වළඳන ලද්දා වූ පුරුෂතෙම අංගප්‍ර‍ත්‍යංගයෙන් විෂ තෙජසින් දැවෙන කල්හි දු බෙහෙදක් නො ලබනුයේ මත්තෙහි ආයුෂය ඇති කල්හි ම අකාලයෙහි නසින්නේ ය. මහරජානෙනි, ගිනි ගත්තා වූ සකල (381) ශරීරය ගින්නෙන් දැවෙන ලද්දා වූ පුරුෂතෙම ගිනි නිවාලීමක් නො ලබනුයේ ආයුෂය ඉතිරි ව විද්‍යමාන කල්හි ද අකාලයෙහි නසින්නේ ය. මහරජානෙනි, මහජලයට පැමිණියා වූ පුරුෂතෙම ගොඩ යාමට ප්‍ර‍තිෂ්ඨාවක් නො ලදින් මතු ආයුෂය විද්‍යමාන කල්හි ද, අකාලයෙහි ම නස්නේ ය. මහරජානෙනි, ශස්ත්‍රයෙන් ප්‍ර‍හාර ලද්දා වූ එහෙයින් ආබාධික වූ පුරුෂතෙම වෛද්‍යාචාර්යයෙකු නො ලබනුයේ මත්තෙහි ආයුෂය විද්‍යමාන කල්හි දු අකාලයෙහි ම නසින්නේ ය. මහරජානෙනි, මොහු සද්දෙන මත්තෙහි ආයුෂය විද්‍යමාන කල්හි දු අකාලයෙහි ම නස්නාහු ය. මහරජානෙනි, ඒ මරණයෙහි ද මම එක් කාරණයක් ම නො කියමි. මහරජානෙනි, අටප්‍ර‍කාරයකින් සත්වයන්ගේ කාලක්‍රියාව වන්නේ ය. වාතසමුට්ඨානයෙන් ද, පිත්ත සමුට්ඨානයෙන් ද, සෙම්හසමුට්ඨානයෙන් ද, සන්නිපාතයෙන් ද, සෘතු පරිවර්තනයෙන් ද, විසම පරිහරණයෙන් ද, උපක්‍ර‍මයෙන් ද, කර්මවිපාකයෙන් දැ යි යන මේ අට ප්‍ර‍කාරයෙන්, මහරජානෙනි, සත්වයන්ගේ කාලක්‍රියාව වන්නේ ය. මහරජානෙනි, ඒ අෂ්ටවිධ වූ කාලක්‍රියාවන් අතුරෙන් යම් මේ කර්මවිපාකයෙන් වන කාලක්‍රියාවෙක් ඇද්ද, ඒ කාලක්‍රියාව ම ඒ කාලක්‍රියාවන් අතුරෙන් කාලයට ම වන්නා වූ සාමයික කාලක්‍රියාව ය. අවශෙෂ වූ කාලක්‍රියාවෝ අසාමායික කාලක්‍රියාවෝ ය. එපවත් මෙහි ගාථාවෙන් දැක්වීම වන්නේ ය:-

“ජිගච්ඡාය පිපාසාය-අහිනා දට්ඨො විසෙන ච,

අග්ගි උදක සත්තිහි-අකාලෙ තත්‍ථ මීයතී.

-

වාත පිත්තෙන සෙම්භෙන-සන්නිපාතෙනුතූහි ච,

විසමොපක්කමකම්මෙහි-අකාලෙ තත්‍ථ මීයති” යි.

“ඒ මරණයෙහි ක්ෂුධාවෙන් ද, පිපාසායෙන් ද, නාගයින් විසින් දෂ්ට කරණ ලදු ව ද, බලවත් විෂයෙන් ද වහ්නි උදක ශස්ත්‍රයෙන් දැ යි යන මේ සත්කාරණයෙන් අකාලයෙහි මියෙනු ලැබේ. වාතයෙන් ද, පිත්තයෙන් ද, ශ්ලේස්මයෙන් ද, සන්නිපාතයෙන් ද, සෘතු පෙරළීමෙන් ද, විෂමොපක්‍ර‍ම ක්‍රියාවෙන් දැ යි යන මේ සත්කාරණයෙන් ඒ අකාලයෙහි මියෙනු ලැබේ. මොහු අකාලමරණ ය’ යි කියනු ලැබේ.

“තවද, මහරජානෙනි, සමහර සත්වකෙනෙක් පෙර කළ ඒ අකුශල කර්මවිපාකයෙන් නස්නාහු ය. මහරජානෙනි, මේ ලොකයෙහි යමෙක් අතීතයෙහි අනුන් ක්ෂුධාවෙන් මරවන්නේ ය. ඒ සත්වතෙම නරකයෙහි ඉපිද අනන්තදුක් විඳපියා කිසිකලෙක මිනිස්පියෙක උපන්නේ වී නම්, ඉතා දීන ව විරූප ව ක්ෂුධාවෙන් පීඩිත ව සයින් පෙළෙනුයේ සාදුකින් ක්ලාන්ත ව වියලී මලානික වූ හෘදය ඇති ව සාගින්නෙන් ශුෂ්ක ව විශෙෂයෙන් ම ශුෂ්ක ව ක්ෂුධාගින්නෙන් දැවෙනුයේ හාත්පසින් අභ්‍යන්තරය සාගින්නෙන් දැවෙනුයේ බොහෝ වර්ෂශතසහස්‍රයෙහි මහදුක් විඳිමින් ලදරු වූයේ ම මධ්‍යම වූයේ ද, මහලු වූයේ ද, බත් නො ලදින් ක්ෂුධාවෙන් ම මැරෙන්නේ ය. මේ පෙර කළ පව් ඇත්තා වූ ඔහුගේ කාලකර්ම වූ සාමයික මරණය නම් වන්නේ ය.

“යමෙක් අතීතයෙහි අන්‍යයන් පැන් නො දී පිපාසායෙන් මරන්නේ ය. එතෙම සතර අපාදුක් විඳ (382) පියා කිසි කලෙක මිනිස්පියක් ලද්දේ නම් නිජ්ඣාමතණ්හිකප්‍රෙතයකු සමාන ව මනුෂ්‍යප්‍රෙත ව රූක්ෂ වූ ශරීර ඇති ව පිපාසායෙන් වියලුනා වූ ශරීර ඇති ව බොහෝ අනෙකවර්ෂ ශතසහස්‍රයෙහි මහදුක් විඳ තරුණ වූයේ ද, මධ්‍යම වූයේ ද, මහලු වූයේ ද, පිපාසායෙන් ම මැරෙන්නේ ය. ඒ පෙර කළ පව් ඇත්තා වූ ඔහුගේ මේ ද සාමයික මරණය නම් වන්නේ ය.

“යමෙක් අතීතයෙහි අන්‍යයන් සර්පයන් ලවා දෂ්ටකරවා මරවන්නේ ය. එතෙම බොහෝ වර්ෂශතසහස්‍රයෙහි නරකදුක් විඳපියා තිරිසන් යෝනිගත ව දාරපිඹුරු සර්පාදීන්ට ගොදුරු ව පිඹුරුමුඛයෙන් පිඹුරු මුඛයට ගැරඬි මුඛයෙන් ගැරඬිමුඛයට කෘෂ්ණසර්පමුඛයෙන් කෘෂ්ණ සර්පමුඛයට පෙරළි පෙරළී ඇවිදිමින් මිනිස්පියක් ලද්දේ ද, එ ම සර්පාදීන් විසින් ලේ පෙරපෙරා කඩා කන ලද්දේ ම තරුණ වූයේ ද, මධ්‍යම වූයේ ද මහලු වූයේ ද, සර්පයන් විසින් දෂ්ට කරණ ලද්දේ ම මැරෙන්නේ ය. පව් කළා වූ ඔහුගේ මේ ද සාමයික මරණය නම් වන්නේ ය.

“යමෙක් අතීතයෙහි අනුන් විෂ දී මැරුයේ වී නම්, ඒ සත්වතෙම නරකයෙහි වැටී අනන්තදුක් විඳපියාත් ප්‍රෙත ව ගිනිගෙණ දැවෙන්නා වූ අංගප්‍ර‍ත්‍යංගයෙන් බොහෝ වර්ෂශතසහස්‍රයෙහි ප්‍රෙතදුක් විඳ කිසිකලෙක මිනිස්බවක් ලද්දේ නම්, මනුෂ්‍යප්‍රෙත ව ඒ ඒ තෙනින් කුණු ව සිඳුනු බිඳුනු ශරීරයෙන් සර්වජනප්‍ර‍තිකූල්‍ය වූ කුණුගඳ හමනුයේ තරුණ වූයේ ද, මධ්‍යම වයසට පැමිණියේ ද, මහලු වූයේ ද තමහට අප්‍රිය වූ විෂයෙන් ම මැරෙන්නේ ය. ඔහුගේ මේ ද සාමයික මරණය නම් වන්නේ ය.

“යමෙක් අතීතයෙහි අනුන් ගින්නෙන් මැරුයේ වී නම්, ඒ සත්ව තෙම ගිනිඅඟුරු නරකයෙහි වැටී ගින්නෙන් දදා මහහඬින් හඬහඬා අංගාර පර්වතයට නගිමින් බසිමින් සජීවයන් සෙයින් කර්මයෙන් මැවී අල්වා ගෙණ වධ කරණ යමපලුන්ගේ යම් විෂයෙන් යම විෂයට පැමිණ බොහෝ අනෙකවර්ෂශතසහස්‍රයෙහි අංගාරකාග්නියෙන් දැවෙනුයේ එයින් පරිවර්තන ව කිසිකලෙක මිනිස්පියක් ලද්දේ නම්, තරුණවයස් ඇත්තේ ද මධ්‍යම වයස් ඇත්තේ ද, මහලු වයස් ඇත්තේ ද, ගින්නෙන් දැවෙන ලද ගාත්‍ර‍ ඇත්තේ අග්නියෙන් ම මැරෙන්නේ ය. ඔහුගේ මේ ්ද සාමයික මරණය නම් වන්නේ ය.

“යමෙක් අතීතයෙහි අනුන් උදකයෙන් මැරුයේ වී නම්, ඒ සත්ව තෙම අනන්ත නරකදුක් විඳපියා මිනිස්පියට පැමිණියේ ද, විරූප ව නැසුනු සිඳුනු බිඳුනු දුර්වල වූ ශරීර ඇති ව බොහෝ වර්ෂශතසහස්‍රයෙහි මහදුක් විඳිමින් නොයේක භයින් චලිත වන ලද සිත් ඇති ව ලදරු වූයේ ද, මධ්‍යම වූයේ ද, මහලු වූයේ ද තමන් පෙර කළ කර්මසාදෘශ්‍යයෙන් ගංගා හැලි දොළ වැව් පොකුණු ආදියෙන් ගැලී උදකයෙන් ම මැරෙන්නේ ය. ඔහුගේ මේ ද සාමයිකමරණය නම් වන්නේ ය.

“යමෙක් පෙර අනුන් ශස්ත්‍රයෙන් මැරුයේ වී නම්, ඒ සත්වතෙම නිරා වැද බොහෝ අනෙකවර්ෂශතසහස්‍රයෙහි නරකදුක් විඳපියාත් පව් නො ගෙවුනෙන් හූරු මෘග කර්කටක කුක්කුටාදි තිරිසන්යොනි ගත ව ශස්ත්‍රයෙන් ඡින්නභින්නඡෙද්‍ය ව මැරෙමින් කිසි කලෙක මිනිසත්බවක් ලද්දේ ද, අනෙකජාතියෙහි ශස්ත්‍ර‍මුඛයෙන් නැසෙමින් තරුණ වූයේ ද, මධ්‍යම වූයේ ද, මහලු වූයේ ද, ශස්ත්‍ර‍මුඛයෙන් ම මැරෙන්නේ ය. පෙර කළ පව් ඇත්තා වූ ඔහුගේ මේ ද සාමයිකමරණය නම් වන්නේ ය” යි වදාළසේක. මොහු කාලමරණයෝ ය.

(383) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අකාලමරණයෙක් ඇතැ යි කියා නුඹ වහන්සේ යමක් වදාළසේක් ද, එහි මට නුඹ වහන්සේ වහා ම කාරණයක් දක්වා වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ හාත්පසින් ගිනි ගෙණ දිලියෙන්නා වූ මහත් වූ මහාඅග්නිස්කන්ධයෙක් ග්‍ර‍හණය කරණ ලද තෘණ කාෂ්ට ශාඛා පත්‍ර‍ ඇත්තේ ක්ෂය ව ගියා වූ ආහාර ඇත්තේ ගිනිපෙනෙලි ක්ෂය වීමෙන් නිවී යන්නේ ය. නිරුපද්‍ර‍ වූ ඒ අනුපද්‍ර‍ව වූ අග්නිස්කන්ධය කාලයට ම නිවී ගියේ නමැයි කියනු ලැබේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම, යම් කිසිවෙක් බොහෝ දවස් හවුරුදු සියදහස් ගණනෙක් නීරොගි ව ජීවත් ව ජරාවෙන් ජීර්ණ ව ආයුසයාගේ ක්ෂය වීමෙන් අනුපද්‍ර‍ ව ව නිරුපද්‍ර‍ ව ව මැරේ ද, එතෙම කාලයෙහි ම මරණයට පැමිණියේ ය’ යි කියනු ලැබේ. තව ද, මහරජානෙනි, යම් සේ ග්‍ර‍හණය කරණ ලද තෘණ කාෂ්ට ශාඛා පත්‍ර‍යන් ඇති මහත් වූ මහාඅග්නි ස්කන්ධයෙක් වූයේ වේ ද, ඒ අග්නිස්කන්ධය ක්ෂය නො වූ තෘණ කාෂ්ට ශාඛා පත්‍ර‍යන් ඇති කල්හි ම මහත් වූ මහාමෙඝයෙක් වර්ෂා කොට නිවී ගියේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ මහාඅග්නිස්කන්ධය කාලයෙහි නිවෙන ලද නම් වේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ’ යි කීහ. “මහරජානෙනි, කුමක් පිණිස වනාහි ඒ පසු වූ අග්නිස්කන්ධය පූර්ව වූ ගිනිකඳ හා සමගතික නො වන්නේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ආගන්තුක වූ මහාමෙඝයෙන් ප්‍ර‍තිපීඩිත වන ලද්දා වූ ඒ අග්නිස්කන්ධය අකාලයෙහි ම නිවෙන ලදැ” යි කිහ. මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කිසිවෙක් අකාලයෙහි මියේ ද, ඒ සත්වතෙම ආගන්තුක වූ රොගයෙන් ප්‍ර‍තිපීඩිත ව නස්නේ ය. වාතසමුට්ඨානයෙන් හෝ පිත්තසමුට්ඨානයෙන් හෝ සෙම්හසමුට්ඨානයෙන් හෝ සන්නිපාතයෙන් හෝ සෘතු පරිවර්තනයෙන් හෝ විසමපරිහාරයෙන් හෝ ඖපක්‍ර‍මිකයෙන් හෝ ක්ෂුධාවෙන් හෝ පිපාසායෙන් හෝ සර්පයන් දෂ්ට කිරීමෙන් හෝ විෂ වැළඳීමෙන් හෝ ගින්නෙන් හෝ උදකයෙන් හෝ ශස්ත්‍රයෙන් හෝ ප්‍ර‍තිපීඩිත වන ලදු ව අකාලයෙහි ම මැරෙන්නේ ය. මහරජානෙනි, යම් කාරණයකින් අකාලමරණයෙක් ඇතැ’ යි කීම් ද, මේ මෙහි ඒ කාරණය නම් වන්නේ ය. තව ද මහරජානෙනි, යම් සේ ගගනයෙහි මහත් වූ මහවැසිවලාවෙක් නැඟී නිම්නස්ථාන ථලස්ථාන පරිපූරණය කෙරෙමින් වර්ෂා කරන්නේ වී නම්, ඒ මහාමෙඝය අනුපද්‍ර‍ව ව නිරුපද්‍ර‍ව ව වස්නේ ය’ යි කියනු ලැබේ ද, මහරජානෙනි එපරිද්දෙන් ම යම් කිසිවෙක් බොහෝ කලක් ජීවත් ව ජරාවෙන් ජීර්ණ ව ආයුක්ෂයවීමෙන් අනුපද්‍ර‍ව වූයේ නිරුපද්‍ර‍ව වූයේ නස්නේ ද, එතෙම කාලයෙහි ම මරණයට පැමිණියේ ය” යි කියනු ලැබෙයි. තව ද, “මහරජානෙනි, යම් සේ ගගනතලයෙහි මහත් වූ මහ වැසි වළායෙක් නැඟී මහත් ව හමන්නා වූ මහාවාතයෙන් විනාශයට යන්නේ ය. කිමෙක් ද? මහරජානෙනි, ඒ වැසිවලාව කාලයෙහි ම පහ වන ලද නම් වේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, කුමක් පිණිස වනාහි ඒ පසු ව නැඟී වලාව පූර්ව නැඟී වැසිවලාව හා සමගතික නො වූයේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ආගන්තුක වූ වාතයෙන් පීඩිත වන ලද්දා වූ ඒ වලාහකයතෙම අසමයට පැමිණියේ ම පහ ව ගියේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කිසිවෙක් (384) අකාලයෙහි මියේ ද, එතෙම ආගන්තුක වූ රොගයෙන් පීඩිත ව වාතසමුට්ඨානයෙන් හෝ පිත්තාදිසමුට්ඨානයකින් හෝ ශස්ත්‍රවෙගයෙන් හෝ පීඩිත ව අකාලයෙහි නසින්නේ ය. මහරජානෙනි, මෙහි යම් කාරණයකින් අකාලයෙහි මරණෙක් ඇතැ’ යි කීයෙම් ද, මේ ඒ කාරණාව ය.

“තවද, මහරජානෙනි, යම් සේ මහත් බල ඇත්තා වූ කිපුනා වූ ආශීර්විෂයකු කිසියම් පුරුෂයකු දෂ්ට කෙළේ වී නම්, ඒ පුරුෂයාගේ අනීතික අනුපද්‍ර‍ව වූ ඒ විෂය ඔහු මරණයට පමුණුවන්නේ ය. අනීතික අනුපද්‍ර‍ව වූ විෂය ඒ කෙළ පැමිණියේ ය” යි කියනු ලැබෙයි. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කිසිවෙක් බොහෝ කලක් ජීවත් ව ජරාජීර්ණ ව ආයුෂය ගෙවීමෙන් අනුපද්‍ර‍ව ව නිරුපද්‍ර‍ව ව මැරෙන්නේ ය. ඒ පුරුෂ තෙම අනුපද්‍ර‍ව වූ නිරුපද්‍ර‍ව වූ ජීවිතයාගේ කෙළ පැමිණියා වූ සාමයික මරණයට පැමිණියේ ය” යි කියනු ලැබේ. තවද, “මහරජානෙනි, යම් සේ උග්‍ර‍ විෂ ඇති බලවත් වූ ආශීර්විෂයකු විසින් දෂ්ට කරණ ලද පුරුෂයක්හට ඒ අතරෙහි ම අහිගුණ්ඨිකයෙක් බෙහෙදක් දී අවිෂය කෙළේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ විෂය කාලයෙහි පහ වන ලද නම් වන්නේ ද?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, ඒ කුමක් පිණිස වනාහි පශ්චිම වූ විෂය පළමු විෂය හා සමගතික නො වූයේ වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ආගන්තුක වූ බෙහෙතින් පෙළෙන ලද විෂය කෙළ පැමිණීම පහ ව ගියේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කිසිවෙක් අකාලයෙහි මියේ ද, එතෙම ආගන්තුක වූ රොගයෙන් ප්‍ර‍තිපීඩිත වූ වාතසමුට්ඨානයෙන් හෝ පිත්තාදි සමුට්ඨානයකින් හෝ ශස්ත්‍රවෙගයෙන් හෝ පීඩිත ව අකාලයෙහි ම මැරෙන්නේ ය. මහරජානෙනි, මේ අකාලමෘත්‍යුයෙහි යම් කාරණයකින් අකාලයෙහි මරණෙක් ඇතැ’ යි කියා කීයෙම් ද, ඒ මේ කාරණය වන්නේ ය.

“තවද, මහරජානෙනි, යම් සේ ධනුශ්ශිල්පියෙක් හීසැරයක් පතනය කරන්නේ වී නම්, ඉදින් ඒ හීසැරය ගමන වූ පරිද්දෙන් ගමනපථයාගේ මස්තකයට යන්නේ ය. ඒ හීසැරය අනුපද්‍ර‍ ව නිරුපද්‍ර‍ ව ගමන වූ පරිද්දෙන් ම ගමනපථයාගේ මස්තකයට ගියේ නමැයි කියනු ලැබේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කිසිවෙක් බොහෝ කලක් ජීවත් ව ජරාජීර්ණ ව ආයු ගෙවීමෙන් අනීතික ව අනුපද්‍ර‍ ව ම මැරෙන්නේ ය. එතෙම අනීතික ව අනුපද්‍ර‍ ව කාලයෙහි ම මරණයට පැමිණියේ ය” යි කියනු ලැබෙයි. තවද, “මහරජානෙනි, යම් සේ ධනුශ්ශිල්පියෙක් හීසැරයක් පතනය කෙළේ වී නම්, ඒ ධනුර්ධරයාගේ ඒ හීසැරය ඒ විදි ක්ෂණයෙහි ම කිසි බලවතෙක්[1] සැරය වළක්වා ග්‍ර‍හණය කෙළේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ගමන වූ පරිද්දෙන් ම යන්නා වූ ඒ හීසැරය ගමනපථයාගේ මුදුන් පැමිණියේ නම් වන්නේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, කුමක් පිණිස වනාහි ඒ පසු වු හී සැරය පළමු විදි සැරය හා සමගතික නො වූයේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ආගන්තුක වූ ග්‍ර‍හණයෙන් ඒ හී සැරයාගේ ගමන වැළකුනේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කිසිවෙක් අකාලයෙහි මියේ ද, එතෙම ආගන්තුක වූ රොගයෙන් ප්‍ර‍තිපීඩිත ව වාතසමුට්ඨානයෙන් හෝ පිත්තාදිසමුට්ඨානයකින් හේ ශස්ත්‍ර‍ (385) වේගයෙන් හෝ පීඩිත ව අකාලයෙහි මියයන්නේ ය. මහරජානෙනි, මේ මෘත්‍යුයෙහි යම් කාරණයකින් අකාලයෙහි මරණෙක් ඇතැ’ යි කීයෙම් ද, ඒ මේ කාරණය වන්නේ ය.

“තවද, මහරජානෙනි, යම් කිසිවෙක් ලෝහමයභාජනයක් යම් සේ ආකොටනය කරන්නේ වී නම්, ඒ පුරුෂයාගේ පහරින් ශබ්ද ඉපිද ගති පරිද්දෙන් ම ගමනපථ මස්තකයට යන්නේ ය. අනීතික වූ අනුපද්‍ර‍ව වූ ඒ ශබ්දය යථාගති ගමනපථ මස්තකයට ගියේ නමැයි කියනු ලැබේ. මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කිසිවෙක් බොහෝ දවස් හවුරුදු සිය දහසක් මුළුල්ලෙහි ජීවත් ව ජරාජීර්ණ ව ආයු ගෙවීමෙන් නිරුපද්‍ර‍ව ව මියේ ද, ඊතිසංඛ්‍යාත උපද්‍ර‍ව විරහිත වූ අනුපද්‍ර‍ව වූ එතෙම කාලයෙහි ම මරණයට පැමිණියේ ය” යි කියනු ලැබෙයි. තවද, “මහරජානෙනි, යම් සේ යම් කිසිවෙක් ලොහමය භාජනයක් දණ්ඩාදියකින් පහරන්නේ වී නම්, ඒ පුරුෂයාගේ ආකොටනය කරණ කොට ගෙණ මධුර ශබ්දයෙක් පහළ වන්නේ ය. පහළ වූ ශබ්දය ඉතා දුරට නො ගිය කල්හි ම කිසිවෙක් ඒ ලෝකඩභාජනය ඇල්ලුයේ වී නම්, ආමසනය හා සමග ම ඒ ශබ්දය නිරුද්ධ වන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, ඒ ශබ්දය ගමන පරිද්දෙන් ම ගමනපථයාගේ මස්තකයට පැමිණියේ වී නම් වන්නේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, කුමක් පිණිස වනාහි පසු වූ ඒ ශබ්දය පළමු ශබ්දය හා සමගතක නො වන්නේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ආගන්තුක වූ ආමසනයෙන් ඒ ශබ්දය උපහත වී ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කිසිවෙක් අකාලයෙහි මියේ ද, එතෙම ආගන්තුක වූ රොගයෙන් පෙළෙන ලදු ව වාතසමුට්ඨානයෙන් හෝ පිත්තාදිසමුට්ඨානයකින් හේ ශස්ත්‍ර‍ වෙගප්‍ර‍තිපීඩිත වන ලදු ව හෝ අකාලයෙහි මැරෙන්නේ ය. මහරජානෙනි, යම් කාරණයකින් මේ මෘත්‍යුයෙහි අකාල මරණෙක් ඇතැ’ යි කීයෙම් ද ඒ මේ කාරණය වන්නේ ය.

“තවද, මහරජානෙනි, යම් සේ යහපත් වූ කෙදාරයෙහි හට ගත්තා වූ පැළ මුල් ධාන්‍ය බිජු මනා ව පවත්නා වූ වර්ෂාව කරණ කොට ගෙණ ඝන වූ පතළ වූ ආකීර්ණ වූ බොහෝ ඵල ව ගොයම් නඟන කලට මනා ව පැසීමට පැමිණෙන්නේ ය. ඒ ධාන්‍යය නිරුපද්‍ර‍ව ව අනුපද්‍ර‍ව ව කාලයට පැමිණියේ නම් වන්නේ ය” යි කියනු ලැබෙයි. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කිසිවෙක් බොහෝ දවස් හවුරුදු සියදහසක් ජීවත් ව ජරාජීර්ණ වූයේ ආයුක්ෂය වීමෙන් අනීතික ව අනුපද්‍ර‍ව ව මැරෙන්නේ ය. එතෙම අනීතික ව අනුපද්‍ර‍ව ව කාලයෙහි ම මරණට පැමිණෙන ලදැ” යි කියනු ලැබේ. තවද, “මහරජානෙනි, යම් සේ ක්ෂේත්‍රයෙහි හට ගත්තා වූ ධාන්‍යබිජු පැන් වැළක මැරුණේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ ධාන්‍යය කාලයට පැසුනා නම් වේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, කුමක් පිණිස වනාහි ඒ පසු ව වපුළ ධාන්‍යය පෙර වපුළ ධාන්‍යය හා සමගතික නො වූයේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ආගන්තුග වූ උෂ්ණයෙන් ප්‍ර‍තිපීඩිත වන ලද්දා වූ ඒ ධාන්‍යය නැසෙන ලදැ” යි කීහ. මහරජානෙනි, (386) එපරිද්දෙන් ම යම් කිසිවෙක් අකාලයෙහි මියේ ද, එතෙම ආගන්තුග වූ රොගයෙන් ප්‍ර‍තිපීඩිත ව වාතසමුට්ඨානයෙන් හෝ පිත්තාදිසමුට්ඨානයකින් හෝ ශස්ත්‍රවෙගප්‍ර‍තිපීඩිත ව හෝ අකාලයෙහි නසින්නේ ය. මහරජානෙනි, මේ මෘත්‍යුයෙහි යම් කාරණයකින් අකාලයෙහි මරණෙක් ඇතැ යි කියා මම කියෙම් වීම් නම් ඒ මේ කාරණය වන්නේ ය. මහරජානෙනි, නුඹ විසින් වනාහි සම්පූර්ණ වූ තරුණ වූ ගොයමෙහි පණුවෝ නැඟී මුල් සහිත ව නසන්නාහු ය යි කියා අසන ලද්දේ ඇද්දැ?” යි විචාළසේක. “සැබව, ස්වාමීනි, ඒ කාරණය අප විසින් අසන ලද්දේත් ඇතැ” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, ඒ ගොයම් කාලයෙහි නස්නා ලද ද? නොහොත් අකාලයෙහි නැසුනේ දැ” යි විචාළසේක. “ස්වාමීනි, අකාලයෙහි නැසුනේ ය. ඉදින්, කාලයට යහපත් ව පැසී පැමිණෙන්නාහු ය” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, ආගන්තුග වූ උපඝාතයෙන් ශස්‍ය නසින්නේ ය. නැසීමක් නැත්තා වූ ශස්‍ය ගොයම් කපා නඟන කලට යහපත් ව පැමිණේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කිසිවෙක් අකාලයෙහි මියේ ද, එතෙම ආගන්තුග වූ රොගයෙන් ප්‍ර‍තිපීඩිත ව වාතසමුට්ඨානයෙන් හෝ පිත්තසමුට්ඨානාදියකින් හෝ ශස්ත්‍රවෙගයෙන් පීඩිත ව හෝ මැරෙන්නේ ය. මහරජානෙනි, මේ මෘත්‍යුයෙහි යම් කාරණයකින් අකාලයෙහි මරණෙක් ඇතැ යි කීයෙම් ද, මේ ඒ කාරණය වන්නේ ය.

“මහරජානෙනි, නුඹ විසින් වනාහි ඵලභාරයෙන් ඒ ඒ දෙසට නැමුනා වූ කරල් පත්‍ර‍ ඇත්තා වූ සශ්‍රීක ව පැසුණු ශස්‍යයෙහි පාෂාණවර්ෂා නම් වූ වර්ෂාජතියක් නිපතිත ව කරල් විනාස කරන්නේ ය. අපල කරන්නේ ය යි කියා අසන ලද්දේ දැ?” යි විචාළසේක. “සැබැව, ස්වාමීනි, ඒ කාරණය අප විසින් අසන ලද්දේත් ඇත, දක්නා ලද්දේත් ඇතැ” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, ඒ කරල් නැඟුනු ගොයම් කාලයෙහි නස්නා ලද ද? නොහොත් අකාලයෙහි නටුයේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, අකාලයෙහි නැසුනේ ය. ඉදින්, ස්වාමීනි, ඒ ශස්‍යය කරක වැස්ස නො වැස්සේ වී නම් ශස්‍යොද්ධරණ සමයට පැමිණෙන්නේ ය” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, ආගන්තුග වූ උපඝාතනයෙන් ශස්‍යය විනාශ වන්නේ ය. නැසීමක් නැත්තා වූ ශස්‍යය ශස්‍යොද්ධරණ කාලයට පැමිණේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි” යි කීහ. ‘මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කිසිවෙක් අකාලයෙහි මියේ ද, ඒ සත්වතෙම ආගන්තුග වූ රොගයෙන් පීඩිත ව වාතසමුට්ඨානයෙන් හෝ පිත්තසමුට්ඨානයෙන් හෝ සෙම් කිපීමෙන් හෝ සන්නිපාතිකයෙන් හෝ සෘතුපරිවර්තනයෙන් හෝ විෂම පරිහරණයෙන් හෝ ආත්මපරොපක්‍ර‍මයකින් හේ ක්ෂුධාවෙන් හෝ පිපාසායෙන් හෝ සර්පයන්ගේ දෂ්ට කිරීමෙන් හෝ විෂ අනුභව කිරීමකින් හෝ වහ්නියෙන් හෝ උදකයෙන් හෝ ශස්ත්‍රවෙගප්‍ර‍තිපීඩිත ව හෝ අකාලයෙහි ම හෝ මියෙන්නේ ය. ඉදින් වනාහි ආගන්තුග වූ රොගයෙන් පීඩිත නො වූයේ වී නම්, කාලයෙහි මරණයට පැමිණෙන්නේ ය. මහරජානෙනි, යම් කාරණයකින් මේ මෘත්‍යුයෙහි අකාලමරණෙක් ඇතැ යි කීයෙම් ද, ඒ මේ කාරණය වන්නේ ය” යි වදාළසේක.

(387) “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍ර‍ශ්නය විසඳා වදාළ නියාව ඉතා ආශ්චර්ය වන්නේ ය. සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍ර‍ශ්නය විසර්ජනය කර වදාළ පරිදි ඉතා අද්භූත වන්නේ ය. මනොනන්දනීය වූ කාරණා යහපත් කොට ම දක්වන ලද්දේ ය. අකාලයෙහි මරණ ඇතැ යි කියා ලැහැල්ලු කරණ ලද්දේ ය. ප්‍ර‍කට කරණ ලද්දේ ය. ප්‍ර‍සිද්ධ කරණ ලද්දේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සිත් නැත්තා වූ වික්ෂිප්ත වූ මනුෂ්‍යයෙකුදු එක එක උපමාවෙකින් ම අකාලයෙහි මරණ ඇතැ යි කියා නිෂ්ඨාවට යන්නේ ය. සිත් සහිත වූ මා වැනි මනුෂ්‍යයෙකු නිෂ්ඨාවට යන බව කියනු ම කවරේ ද? ස්වාමීනි, මට පළමු වදාළ උපමාවෙන් ම අකාලයෙහි මරණ ඇතැ යි කියා ම අවබොධ විය. එතෙකුදු වුවත් නැවැත නැවැතත් ප්‍ර‍කාශ කිරීම අසනු කැමැති ව නො පිළිගත්තෙමි. අද මේ ප්‍ර‍ශ්නය විසඳා වදාළ නියාවට, ඉදින් සනරාමර ලොක පූජිත වූ සර්වඥශාස්තෘන් වහන්සේ වැඩවාසය කරණසේක් වී නම්, ශ්‍රී හස්තය දිගු කොට නුඹ වහන්සේගේ ශිරොමස්තකය පිරිමදිමින් සාධුකාර දෙන සේක. සාධු, සාධු, ස්වාමීනි, මේ ප්‍ර‍ශ්නයත් එසේ ම පිළිගන්නෙමි” යි ස්තොත්‍ර‍ කළහ.

අකාලමරණප්‍ර‍ශ්නය නිමි.

  1. බලවත් කෙනෙක්