එක් සවස් කාලයක ආයුෂ්මත් පුණ්ණ තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ වෙත එළඹ, ‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම හුදෙකලාව වෙසෙමින් මහණදම් පුරනු කැමැත්තෙමි. ඒ සඳහා මට කෙටි අවවාදයක් කරනු මැනැවැ’ යි සැළ කළෝය. භාග්‍යවතුන් වහන්සේ පුණ්ණ තෙරණුවන්ට කොටින් දහම් දෙසා “පුණ්ණය, මා ගෙන් මේ කෙටි දහම් දෙසුම අසා ගෙන කවර ජනපදයක වාසය කරන්නෙහිදැ’ යි විචාළ සේක.
“ස්වාමීනි, සුණාපරන්ත නම් ජනපදයක් ඇත. මම එහි වෙසෙමි.”
“පුණ්ණය, සුණාපරන්තයේ මිනිස්සු නපුරුය, ඉදින් එහිදී තට බැන්නහු නම් එකල්හි කුමක් සිතන්නෙහි ද?”
“ස්වාමීනි, සුණාපරන්තයෝ හොඳ මිනිස්සු ය, බණින නුමුත් මොවුහු මට අතින් නො ගසති’ යි සිතමි.
“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ අතින් ගසත් නම් කුමක් සිතන්නෙහි ද?”
“ස්වාමීනී, මේ මිනිස්සු හොඳය, අතින් ගසන නමුත් මොවුහු මට ගල් නො ගසති’ යි සිතමි.
“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ ගල් ගසත් නම් එකල්හි කුමක් සිතන්නෙහි ද?”
“ස්වාමීනී, සුණාපරන්තයෝ හොඳය. ගල් ගසත්, මුත් පොලුවලින් නො ගසති’ යි සිතන්නෙමි.
“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ පොලුවලින් ගසත් නම් කුමක් සිතන්නෙහි ද?”
“ස්වාමීනී, සුණාපරන්තයෝ හොඳය, පොලු වලින් ගසත් මුත් කැති පිහියාවලින් නො කොටති’යි සිතමි.
“පුණ්ණය, සුණාපරන්තයෝ පිහියාවලින්, කැති මන්නාවලින් කොටන්නාහු නම් කුමක් සිතන්නෙහි ද?”
“ස්වාමීනී, සුණාපරන්තයෝ හොඳය, මොවුහු මා නො මරති ’යි සිතමි.
“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ තා මරත් නම් කුමක් සිතන්නෙහි ද?”
“ස්වාමීනී, ශරීරයත්, ජීවිතයත් පිළිකුල් කරන ඇතැම් බුද්ධ ශ්‍රාවකයෝ ශරීරය ගැනත්, ජීවිතය ගැනත් කළකිරී තමන් මරවා ගැනීමට මිනිසුන් සොයති. නො සොයා ම මම මිනීමරුවන් ලදිමි” යි සිතමි.
ඉක්බිති බුදුරජාණන් වහන්සේ වදාරන සේක් “පුණ්ණය, ඉතා හොඳය. එබඳු හික්මීමක් ඇත්තා වූ තට සුණාපරන්තයෙහි විසිය හැකි ය. එයට කල් දනුව’ යි වදාළ සේක.
පුණ්ණ තෙරුන් වහන්සේ එහි ගොස් උපාසකයන් පන්සියයක් ද, උපාසිකාවන් පන්සියයක් ද ඇති කොට තමන් වහන්සේ ද සව් කෙලෙසුන් නසා රහත්ව පිරිනිවන් පා වදාළ සේක.