ශ්‍රාවක බෝධිසත්ත්වයන් ගේ දාන පාරමිතාව ගැන දැන ගැනීම සඳහා ද, ඒ ඒ දානයන් ගේ අනුසස් වෙන වෙන ම දැන ගනු පිණිස ද, පිලින්දවච්ඡ මහ රහතන් වහන්සේගේ ශ්‍රාවක පාරමිතා මහ දානය දක්වනු ලැබේ.
මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නම් වූ බුදුන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ බුදුන් වහන්සේ ගේ පියාණන් වූ ආනන්ද රජ්ජුරුවෝ අනෙකකුට අවකාශ නො දෙමින් ශ්‍රාවක සංඝයා සහිත වූ බුදුන් වහන්සේට තමන් ම සිව්පසයෙන් උපස්ථාන කලහ. එකල්හි පිලින්දවච්ඡ මහ රහතන් වහන්සේ හසංවතී නගරයෙහි බොහෝ ධන සම්පත් ඇති කුලයක ඉපද ආනන්ද රජතුමාගේ ගේ මිත්‍රයෙක් ව ද උන්හ. දිනක් එතුමා තමාගේ ප්‍රාසාදයෙහි හිඳ සිතනුයේ මට බොහෝ ධනය ඇත්තේ ය. මගේ ගෙය ධනයෙන් පිරුණ තැනක. බුදුන් වහන්සේ ද ලොව පහළවූ සේක. මා විසින් උන් වහන්සේට දන් දිය යුතුය.
පදුම නම් වූ රාජකුමාරයා විසින් ද බුදුපාමොක් මහ සඟනට ඇතුන් හා ඇඳ පුටු ආදී බොහෝ භාණ්ඩ ද පුදන ලද්දේ ය. මට ද බොහෝ වස්තුව දිය හැකිය ය. මම මීට පෙර කිසිවකු නුදුන් පරිදි මහා දානයක් දෙමි ය. මම ඒ සර්වපරිෂ්කාර මහා දානය දීමේ ආදි කර්මිකයා (පළමුවෙන් දෙන තැනැත්තා) වෙමි යි සිතුවේ ය. එසේ සිතා එතුමා බුදුන් ප්‍රමුඛ ලක්ෂයක් භික්ෂූන් වහන්සේලාට පුදනු පිණිස කුඩ ලක්ෂයක් කම්කරුවන් ලවා කරවී ය. පාත්‍ර සිවුරු ආදී භික්ෂූන් වහන්සේලාට කැප වූ භික්ෂූන් වහන්සේලා පරිභෝග කරන්නා වූ, යම් පමණ වස්තු වේ නම් ඒ සියල්ලෙන් ම ලක්ෂය බැගින් රැස් කළේ ය.
පූජා භාණ්ඩ සියල්ල රැස් කොට එතුමා ආනන්ද රජු කරා ගොස් වැඳ කියනුයේ "අප දෙදෙන එක කල ඉපිද එකට ම වැඩුණෝ වෙමු. අපි දෙදෙන සමාන සුව දුක් ඇත්තෝ ද සමාන සිත් ඇත්තෝ ද වෙමු. අපි දෙදෙන කෙනකුට කෙනකු අනුකූලව හැසිරෙන්නෝ වෙමු. මහරජාණෙනි, මට මහත් චෛතසික දුඃඛයක් ඇත්තේ ය. හැකි නම් මාගේ දුක දුරු කරනු මැනවි. මා හට පිහිට වන මැනව" යි කී ය. එකල්හි ආනන්ද රජ්ජුරුවෝ කියන්නාහු "අප දෙදෙනා සම සිත් ඇත්තෝ ය. ඔබ ගේ දුක මාගේ ද දුකෙකි. ඉදින් ඔබ දුක මා විසින් දුරු කළ හැකි දෙයක් නම් දුරු කරන බව දැන ගනුව" යි කීහ.
එකල්හි රාජමිත්‍රයා කියනුයේ "දේවයන් වහන්ස, මගේ දුක ලෙහෙසියෙන් දුරු කළ හැකියක් නො වේ. ඔබ එය කිරීමට සමර්ථ නම් මිස නිකම් ගර්ජනා නො කරනු මැනව"යි කීය. එකල්හි රජහු "මාගේ රට වුව ද මාගේ ජිවිතය වුව ද ඔබගේ දුක දුරු කර ගැනීමට උවමනා නම් කම්පාවක් නැතිව දෙමි'යි කි හ. රාජමිත්‍රයා කියනු යේ "දේවයන් වහන්ස, ඔබ වහන්සේ බොහෝ කොට ගර්ජනා කළාහු ය, ඔබගේ ගර්ජනාව හිස් එකක් විය හැකිය. ඔබ ගේ සත්‍යයෙහි ධර්මයෙහි පිහිටීමේ ප්‍රමාණය දැන ගන්නෙමිය" යි කී හ. රජහු කියන්නාහු "ඇත්තා වූ කවරෙක් වුවත් දෙන මා ඔබ තදින් පෙළන්නෙහිය. මා පෙළීමෙන් ඔබට කවර ඵලයක් ද? ඔබට මගෙන් වුවමනා දෙයක් ඇති නම් එය වහා කියව" යි කී හ. "මහරජාණෙනි, මගේ දුක නම් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේට සත්කාරයක් කරන්නට නො ලැබීමය. ඒ වරය දීමෙන් මාගේ දුක දුරු කරනු මැනව" යි රාජමිත්‍රයා කීය.
එකල්හි රජහු "තථාගතයන් වහන්සේ කාහටවත් නො දිය යුතු වූ වස්තුවෙක. තථාගතයන් වහන්සේ නො ඉල්ලනු මැනව. අනෙක් කැමති වරයක් දෙමි" යි කීහ. "මහරජ ඔබ පළමු ජිවිතය තෙක් සියල්ල දෙමි" යි ගර්ජනා කළාහු ය. ජීවිතය පවා දෙන්නට කථා කළ ඔබ වහන්සේ විසින් "තථාගතයන් වහන්සේ දිය යුතුය"යි රාජමිත්‍රයා කීය."තථාගතයන් වහන්සේ කිසිවකුට නො දිය යුතු ය. මා විසින් තථාගතයන් වහන්සේ දෙන බවක් නො කියන ලද්දේ ය. ඔබ කැමති ධනයක් ගනුව"යි රජුහු කීහ.
එකල්හි රාජමිත්‍රයා කියනුයේ "ඔබගේ ප්‍රතිඥාවේ හැටියට තථාගතයන් වහන්සේ දිය යුතු ම ය. මේ කාරණය ගැන විනිශ්චයකාරයන් ගෙන් අසමුය"යි කියා රජුද කැඳවා ගෙන විනිශ්චය ශාලාවට ගොස් විනිශ්චයකාරයන්ට නඩු කීහ. විනිශ්චයකාරයෝ නඩුවෙන් රජ්ජුරුවන් පැරදවූහ. එකල්හි රජහු මිත්‍රයා විසින් තමාගේ දානය දුන් පසු නැවත තථාගතයන් වහන්සේ දෙන ලෙස විනිශ්චයකාරයන්ට කීහ. විනිශ්චයකාරයෝ කැමති සේ දන් දී ඔබ අදහස සම්පූර්ණ කර ගෙන නැවත බුදුන් වහන්සේ රජ්ජුරුවන්ට ම දෙන ලෙස රාජමිත්‍රයාට නියම කළෝ ය. රාජමිත්‍රයා විනිශ්චයකාරයන්ට හා රජුට ද වැඳ අවසර ගෙන පදුමුත්තර බුදුන්වහන්සේ වෙත මහත් ප්‍රීතියෙන් එළඹ, ලක්ෂයක් රහතන් වහන්සේලා ද සමඟ තමාගේ නිවසට වැඩම කරන ලෙස ආරාධනය කළේ ය. පදුමුත්තර බුදුන්වහන්සේ ද ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඔහුගේ ආරාධනය ඉවසා වදාළ සේක.
බුදුන් වහන්සේ ඉවසා වදාළ බව තේරුම් ගත් ඒ පුරුෂ තෙමේ, ප්‍රීතියෙන් සිත පින පිනා සිය නිවසට ගොස් ඥාතිමිත්‍රාදි බොහෝ ජනයා රැස් කරවා ගෙන විශාල මණ්ඩපයක් කරවා සපු - නා - වැටකේ - හෙලපියුම් - රත්පියුම් ආදී නානා පුෂ්පයෙන් එය සරසවා එහි ම ලක්ෂයක් කුඩ නංවා, ඒ කුඩ යට නා නා පුෂ්පයෙන් සැරසූ අසුන් ලක්ෂයක් පනවා පූජාව පිළියෙල කෙළේ ය. ඒ අසුන්වලින් ඉතා පහත් අසුන සියයක් අගනේ ය. එසේ පූජාව පිළියෙල කොට පුදුමුත්තර බුදුන් වහන්සේට කාලය සැල කළ කල්හි උන් වහන්සේ ලක්ෂයක් ශ්‍රාවකයන් වහන්සේ ද සමඟ එහි වැඩමවා වදාළ සේක.
දායක මහතා තථාගතයන් වහන්සේ වැඳ "ස්වාමීනි, මා විසින් පිළියෙළ කරන ලද්දා වූ නිරවද්‍ය වූ කැප වූ මේ කුඩ ලක්ෂය හා අසුන් ලක්ෂය ද මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා"යි ආයාචනය කෙළේය. බුදුන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා ද සමඟ ඒ අසුන් හි වැඩහුන් සේක. දායක මහතා සැම දෙනා වහන්සේට ලෝහ පාත්‍රය බැගින් පිළිගන්වා සර්ව පරිෂ්කාර සහිත මහා දානය දුන්නේ ය. පදුමුත්තර බුදුන් වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස සතියක් ම ඒ මල් මඩුවෙහි වැඩ හුන් සේක. එහිදී පදුමුත්තර බුදුන් වහන්සේ රැස් වූ බොහෝ ජනයාට දහම් දෙසූ සේක. එයින් සුවාසූ දහසක් සත්ත්වයනට ධර්මාභිසමය විය.
සත්වන දිනයේ දී පදුමුත්තර බුදුන් වහන්සේ වදාරන සේක් "මා ඇතුළු සඟනට සර්වපරිෂ්කාර දානය දුන් මේ පුරුෂයා සසර බොහෝ සැප සම්පත් ලබා කල්ප ලක්ෂයකින් මතු ලොව පහළ වන්නා වූ ගෞතම නම් වූ තථාගතයන් වහන්සේගේ සස්නෙහි පිලින්දවච්ඡ නමින් ශ්‍රාවකයෙක් වී දේවතාවන්ට ප්‍රියමනාප පුද්ගලයන් අතුරෙන් අග්‍රස්ථානය ලබන්නේය"යි වදාළ සේක.
පිලින්දවච්ඡ මහ රහතන් වහන්සේ පසු කාලයේ දී තමන් ගේ අතීත චරිතය ප්‍රකාශ කරන්නාහු. ඒ ඒ දානයෙන් ලැබූ ඵලානිසංසයන් වෙන වෙනම ප්‍රකාශ කළාහ. උන්වහන්සේ ලැබූ දානානිසංසයන් දැක්වෙන අපදාන ගාථා හා ඒවායේ තේරුම් ද මෙතැන් පටන් දක්වනු ලැබේ.