දාන පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා විධිය

දීම හැම දෙනා විසින් ම නො කළ හැකි දුෂ්කර කාර්‍ය්‍යයක් බව ඉහත දක්වා ඇත. ඒ දුෂ්කර ක්‍රියාව සිදු කළ හැකි වීමට කාරණානුකූලව ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු ය. ප්‍රත්‍යවේක්‍ෂා කිරීම යනු කල්පනා කිරීම ය. සිතීම ය. එය කළ යුත්තේ මෙසේ ය.

ධනය බොහෝ දෙනා ඇලුම් කරන දෙයකි. එක් අයකු අයත් කරගෙන සිටින ධනය හැකි නම් ධන හිමියා මරා වුව ද ගනු කැමැත්ත ඇත්තෝ බොහෝ ය. අවකාශ ලද හොත් ඔවුහු ධනය පැහැර නො ගන්නාහු නො වෙති. එබැවින් ධනය තිබීම ධන හිමියාට අන්තරායෙකි. කෙනෙකුට ධනය තිබීම නො ඉවසන්නෝ බොහෝ ය. එබැවින් ධනය සතුරන් බෝවීමට හේතුවෙකි. ලෝකයේ ඇති වන කෝලාහල වලින් වැඩි කොටසක් ධනය නිසාම ඇති වෙයි. ධනය කෝලාහල ඇති වීමට ද වෛර ඇති කිරීමට ද හේතුවකි. ධනය ලැබීමට ද ආරක්ෂා කිරීමට ද බොහෝ දුක් ගත යුතුය. පර පීඩනාදී පව්කම් ද ඒ නිසා නොයෙක් විට කරන්නට සිදු වේ.

කෙසේ ආරක්ෂා කළත් ඒ ධනය රාජචෝරාදීන් විසින් පැහැර ගත හැකි ය. දිය - ගිනි - සුළං ආදියෙන් ද විනාශ විය හැකි ය. ධන විනාශයෙන් ද ශෝකාදී දුක් වේ. නො දී වියදම් නො කොට මසුරුකමින් රැස් කර ගෙන සිටින්නාවූ ධනය හිමියාට පලක් නැත. ඔහුට එයින් ඇත්තේ ආරක්ෂා කිරීමේ දුක පමණෙකි. මසුරු කමින් කිසිවකුට නො දී වියදම් නො කර ධනයට ඇලුම් කරමින් විසීම මරණින් මතු අපායෝත්පත්තියට ද හේතු වෙයි. දුක සේ රැස් කර ගත් ධනය වියදම් වීම ද ධන හිමියාට ශෝකයට කරුණෙකි. මෙසේ බලන කල්හි ධනය සෙවීම ය, ආරක්ෂා කිරීම ය, වියදම් වීම ය, විනාශවීම ය යන හැම කරුණකින් ම ධනහිමියාට ඇති වන්නේ දුක ය.

ධනය නිසා නෑයෝ නෑයන් මරති. සහෝදරයෝ සහෝදරයන් මරති. දරුවෝ මා පියන් මරති. අඹුවෝ සැමියන් මරති. සැමියෝ අඹුවන් මරති. මුල මැද අග යන තුන් තැන්හි ම දුක් ඇති කරන්නා වූ පව් ඇති කරන්නා වූ විශ්වාසය නො තැබිය හැක්කා වූ මහානර්ථකර වූ ධනයෙන් වන්නා වූ අන්තරායයන්ගෙන් මිදීමට ඇත්තා වූ එකම උපාය ඒ ධනය හැර දැමීමය. එයින් ගත හැක්කා වූ උසස්ම ප්‍රයෝජනය ද දන් දීම ය. දන් දීමෙන් ධනයෙන් ගත හැකි උසස් ප්‍රයෝජනය මා විසින් ගත යුතුය යි මෙනෙහි කළ යුතු ය.

මේ යාචකයෝ, හැරදමා පරලොව යන්නට සිදු වන ධනය ගෙන යාමට මා හට උපදෙස් දෙන ගුරුවරයෝ යයි ද, මරණ ගින්නෙන් දැවෙන මේ ලෝකයෙන් මාගේ ධනය බැහැර කර ගැනීමට උපකාර කාරයෝ යයි ද, බැහැර කරන්නා වූ මාගේ ධනය ආරක්ෂා කර තැබීමට ස්ථානයෝ යයි ද, දන් දීමෙහි යෙදීමෙන් මා හට ලොවුතුරා බුදුබව ලබා ගැනීමට ආධාර කරන කල්‍යාණ මිත්‍රයෝ යයි ද මෙනෙහි කළ යුතු ය.

ඒකාන්තයෙන් හැර යන්නට සිදුවන මේ ධනය ඉල්ලන්නට කලින් ම යාචකයනට දිය යුතුය. අමාරුවෙන් වුව ද ප්‍රතිග්‍රාහකයන් සොයා දිය යුතු වස්තුව ඉල්ලන්නට මා කරා යාචකයන් පැමිණීම මාගේ භාග්‍යයෙකි. යාචකයනට දීම් වශයෙන් මා කරන්නේ මා හට ම අනුග්‍රහයෙකි. යාචකයන් නැති වුවහොත් මා හට දාන පාරමිතාව පිරිය නොහෙන බැවින් මා විසින් ඔවුනට හැකි තාක් අනුග්‍රහ කළ යුතු ය. ඔවුනට දීම සඳහා මා විසින් වස්තුව සෙවිය යුතු යයි ද මෙනෙහි කළ යුතුය.

නො ඉල්ලා යාචකයෝ මගේ ධනය කවදා ගෙන යන්නාහු ද? කෙසේ මම යාචකයනට ප්‍රිය වෙම් ද? යාචකයෝ කෙසේ මා හට ප්‍රිය වන්නහු ද? කවදා මම දෙමින් සතුටු වන්නෙම් ද? කවදා මම දුන් දේ ගැන සතුටු වන්නෙම් ද? කෙසේ මා හට යාචකයෝ ඇති වෙත් ද? කෙසේ මා කෙරෙහි මහත් වූ දානාධ්‍යාශය ඇති වේ ද? බෝධිසත්ත්වයෙක් මි යි කියා ගන්නා මම යාචකයන් හා ධනය ද ඇති කල්හි නො දෙන්නේ නම් එය මාගේ මහා වඤ්චාවෙකැ යි ද මෙනෙහි කළ යුතුය.

අභ්‍යන්තර වස්තු දානය ගැන මෙනෙහි කළ යුතු ආකාරය මෙසේ ය: කෙසේ ආරක්ෂා කළත් යම්කිසි දිනයක දී ජීවිතය ඒකාන්තයෙන් නැසෙන්නේය, ශරීරය ද ඉන්පසු කුණුවී යාමෙන් හෝ සතුන්ට ආහාර වීමෙන් හෝ පොළොවට පස් වීමෙන් හෝ කෙළවර වන්නේ ය. ඊට කලින් ලේ - මස් ආදී ශරීරාවයවයන් හා ජීවිතය ද වුවමනා කෙනකුට දීම ම ඉන් ගත හැකි ප්‍රයෝජනය ගැනීම ය. එබැවින් ප්‍රතිග්‍රාහකයකු ලද හොත් මාගේ ලේ - මස් ආදිය ද ජීවිතය ද ඔහුට දිය යුතුය යි මෙනෙහි කළ යුතු ය.

ලේ මස් ආදිය හෝ ජීවිතය හෝ ඉල්ලන්නා කෙරෙහි කෝපය ඇති විය හැකිය. එසේ නොවනු පිණිස ඒවා ඉල්ලන අය ගැන මෙනෙහි කළ යුතු ආකාරය මෙසේය: යම්කිසි දවසක කුණු වී මිනිසුන්ට ලං විය නො හෙන තැනට පැමිණෙන්නා වූ මේ සිරුර ද, කෙසේ ආරක්ෂා කළත් පැවැත්විය නොහෙන ජීවිතය ද, උදාර අදහස් ඇති බෝසත්හු නිකම් ම විනාශ වී යන්නට කලින් ප්‍රතිග්‍රාහකයන් අමාරුවෙන් වුව ද සොය දන් දෙන්නාහ. ඒවා ගන්නා ප්‍රතිග්‍රාහකයෝ ද සුලභ නො වෙති. සෙවීමක් නො කොට මොහු මා වෙත පැමිණීම මාගේ වාසනාවෙක, මොහු මට බුදුබව ලබා දීමට පැමිණියෙක, මාගේ අදහස සිදු කිරීමට උපකාර වනු පිණිස පැමිණි මොහු ගේ අදහස ද මා විසින් සිදු කළ යුතු යයි ද මෙනෙහි කළ යුතු ය.

ලෝභය නූපදනාකාරයෙන් අප්‍රහීණ බැවින් සමහර විට බෝසතුන්ගේ සන්තානයෙහි ද එය නැඟී සිටිය හැකි ය. දාන වස්තූන් පිළිබඳ ලෝභය හෙවත් නො දෙනු කැමැත්ත ඇති වුව හොත් එය දුරු කර ගනු පිණිස මෙනෙහි කළ යුතු ආකාරය මෙසේය: සත්පුරුෂය, සම්බෝධිය පිණිස පින් රැස් කරන්නා වූ නුඹ මේ කය හා ජීවිතය ද, ඒ දෙක පරිත්‍යාගයෙන් ලැබෙන කුශලය ද, සියලු වස්තූන් ගේ යහපත පිණිස පරිත්‍යාග කෙළෙහි ය. එසේ කළ නුඹේ බාහිර වස්තු වලට ඇළුම් කිරීම වනාහි එළදෙන දී කඹයට ඇළුම් කිරීමක් වැන්න. එය නුඹට නුසුදුසු යයි මෙනෙහි කළ යුතු ය.

මිනිසුන් විසින් දලු කඩාගෙන යන, කොළ කඩා ගෙන යන, අතු කපා ගෙන යන, පොතු ගලවා ගෙන යන, මුල් උපුටා ගෙන යන මහත් වූ බෙහෙත් ගස ඒ ගැන කිසිවක් නො සිතන්නාක් මෙන් සකල ලෝකයාට ම යහපත සිදු කිරීමට බලාපොරොත්තු වන මා විසින් ද අනේක දුඃඛයන්ට උත්පත්තිස්ථාන වූ අපවිත්‍ර දෑ ගලන - උතුරන මේ සිරුර අනුන්ගේ යහපත පිණිස යෙදවීමෙහි දී කිසිදු නො මනා අදහසක් ඇති කර ගත යුතු නොවේ යයි ද සිතිය යුතු ය.

ඒකාන්තයෙන් බිඳෙන - දිරන - විසිරෙන ස්වභාවය ඇති ධාතු සමූහයක් වූ මේ සිරුරෙහි හා බාහිර වස්තූන්ගේ ද කිසි වෙනසක් නැත. මේ සිරුර මම ය කියා ද මාගේ ආත්මය කියා ද ගැනීම සම්මෝහයක් ම ය. එබැවින් බාහිර වස්තූන්හි මෙන් ම ලේ - මස් - අත් - පා - ඇස් - කන් ආදීන්හි ද ආලය හළ යුතුය. මාගේ බාහිර වස්තූන් මෙන්ම ලේ මස් ආදිය ද කැමති කෙනෙක් ගනිත්වා යි සිතිය යුතුය. මේ දාන පාරමිතාව පිළිබඳ වූ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය යි.

මෙසේ නැවත නැවත මෙනෙහි කරන්නා වූ සම්බෝධියට නැමුණා වූ - සම්බෝධියට බර වූ සිත් ඇත්තා වූ බෝසතුන් ගේ සිත කෙලෙසුන් කෙරෙන් දුරු වී පිරිසිදු වෙයි. ඔවුන්ට ධනය ය, ශරීරය ය, ජීවිතය ය යන මේවා කෙරෙහි අපේක්ෂාව තුනී වෙයි. ඒ හේතුවෙන් විශුද්ධ ප්‍රතිපත්තියෙහි පිහිටියා වූ බෝසතුන්ට වඩ වඩා වස්තු පරිත්‍යාගයෙන් ද, අභය දාන ධර්මදාන වශයෙන් ද, සත්ත්වයනට අනුග්‍රහ කිරීම් වශයෙන් ද දාන පාරමිතාව පිරීමෙහි සමර්ථ භාවය ඇති වේ.