සංඥාපනය

ලොවුතුරා බුදුබවට පැමිණෙන්නා වූ සකල මහා බෝධිසත්ත්වයන් ම ආනාපාන චතුර්ථධ්‍යානයට සමවැදී, නුවණ දියුණු - තියුණු කොට ගෙන, එසේ තියුණු කරගත් නුවණ ප්‍ර‍තීත්‍යසමුත්පාදධර්‍මයට යොමු කොට එය අනුලෝම-ප්‍ර‍තිලෝම වශයෙන් සම්මර්‍ශනය කොට සංසාර චක්‍රයේ සැටි නිවැරදි ලෙස තේරුම් ගෙන, අර්හන්මාර්ගඥානය උපදවා සංසාර ප්‍ර‍වෘත්තියට හේතු වන අවිද්‍යා - තෘෂ්ණා ප්‍ර‍ධාන එක්දහස් පන්සියයක් කෙලෙස් සතුරන්, මතු කිසි කලෙක නැඟී නො එන පරිදි සම්පූර්ණයෙන් නසා ලොවුතුරා බුදුබවට පැමිණෙන බව “සබ්බ බෝධිසත්තාහි ආනාපානචතුත්ථජ්ඣානතො වුට්ඨාය පච්චයාකාරෙ ඤාණං ඕතාරෙත්වා තං අනුලෝම-පටිලෝමං සම්මසිත්වා බුද්ධා හොන්ති” යනුවෙන් සංයුත්තනිකායට්ඨකථාවෙහි දක්වා තිබේ. මේ ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්මය ලොවුතුරා බුදුබවට පැමිණි පසු ද උන්වහන්සේලා නිතර සිහිකිරීම් වශයෙන් භාවිත කෙරෙති.

අප බුදුරජාණන් වහන්සේ ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්මය සම්මර්‍ශනය කොට පැමිණ වදාළ අරහත්ඵල සමාපත්තියට සමවැදී බෝමුල ඒ අස්නෙහි ම සතියක් වැඩ සිට ඒ සමාපත්තියෙන් නැගී, ප්‍ර‍ථමයෙන් කරන්නට යෙදුනේ ද ප්‍ර‍තීත්‍යසමුත්පාදය සිහිකිරීම ම ය. උන්වහන්සේ බුදු වීමෙන් සත්වනදා රාත්‍රියේ ප්‍ර‍ථමයාමය අනුලෝම වශයෙන් ප්‍ර‍තීත්‍යසමුත්පාදය සම්මර්‍ශනය කිරීමෙනුත් මධ්‍යමයාමය ප්‍ර‍තිලෝම වශයෙන් ප්‍ර‍තීත්‍යසමුත්පාදය සම්මර්‍ශනය කිරීමෙනුත් පශ්චිමයාමය අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් ප්‍ර‍තීත්‍යසමුත්පාදය සම්මර්‍ශනය කිරීමෙනුත් ගතකළ බව උදාන පාළියේ දක්වා තිබේ. මෙසේ ලොවුතුරා බුදුබවට පැමිණීමට උපකාර වන්නාවූත් ලොවුතුරා බුදුවරයන් වහන්සේලා නො හැර භාවිත කරන්නාවූත් ධර්‍මයක් වන බැවින් මේ ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්මය බුදුසස්නෙහි උසස් ධර්මයක් බව කිය යුතු ය. ඉතා උසස් ධර්මයක් වූ මේ ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්මය ඉතා ගැඹුරු ය. එය මහා බෝධිසත්ත්වයන් හා ප්‍රත්‍යෙක බෝධිසත්ත්වයන් හැර, අන්කිසිවකු ස්වශක්තියෙන් නිරවුල් කර තේරුම්කර ගැනීමට සමත් නො වන බව “ඨපෙත්වා පන ද්වේ බෝධිසත්තෙ අඤ්ඤේ සත්තා අත්තනො ධම්මතාය පච්චයාකාරං උජුං කාතුං සමත්ථා නාම නත්ථි” යනුවෙන් මහානිදාන සූත්‍ර‍ අටුවාවෙහි දක්වා තිබේ.

ප්‍ර‍තීත්‍යසමුත්පාද සංඛ්‍යාත මේ හේතුඵල ධර්මය සොයාගැනීමේ දුෂ්කරත්වය නිසා ම බුදුසසුනේ පිහිටෙන් තොරව ස්වශක්තියෙන් ම ලෝ තතු සෙවූවෝ නොයෙක් අයුරින් නො මඟ ගියහ. ඇතමෙක් “ලෝකයත් සත්ත්වයාත් දෙවියකු විසින් මවන ලද්දේය. මේ සත්ත්වයෝ ඒ මැවුම්කාර දෙවියාගේ කැමැත්ත පරිදි සැපදුක් ලබන්නාහ. මැවුම්කාර දෙවියාගේ කැමැත්ත පරිදි ම සත්ත්වයෝ මරණින් මතු සුගතියට හෝ දුගතියට යන්නාහ” යි ගත්හ. ඇතමෙක් “මැවුම්කරුවකු නැතිව පඨවී - ආපෝ - තේජෝ - වායෝ යන ධාතූන්ගෙන් සත්ත්වයා ඇතිවූයේය” යි ගත්හ. ඇතමෙක් “ආත්මයත් ශරීරයත් එකයයි” ගත්හ. ඇතමෙක් “ආත්මය අනිකෙක, ශරීරය අනිකකැ”යි ගත්හ.

ආත්මයත් ශරීරයත් එකයයි ගත්තෝ “ශරීරය විනාශ වීමෙන් ආත්මයත් විනාශ වන්නේය, එබැවින් මරණින් මතු සත්ත්වයා නූපදින්නේය යි ද, පින් පව්වලින් සත්ත්වයාට වන දෙයක් නැත්තෙය” යි ද කියති. ශරීරය අනිකෙක ආත්මය අනිකෙකැයි ගත්තෝ “ශරීරය සේ ආත්මය නැසෙන දෙයක් නො වේ. ආත්මය කවදාවත් නො මැරෙන්නේය. ඒ ආත්මය ශරීරය බිඳෙන කල්හි කූඩුවකින් පක්‍ෂියකු බැහැර යන්නාක් මෙන් පුරාණ ශරීරයෙන් බැහැරව අලුත් ශරීරයකට යන්නේ ය” යි කියති.

ඇතමෙක් “පෙර කළ පින් පව් අනුවම සත්ත්වයෝ සැප දුක් ලබති” යි ගත්හ. ඇතමෙක් “කර්මවිපාකය සම්පූර්ණයෙන් ම ප්‍ර‍තික්ෂේප කෙරෙති.” ඇතමෙක් “පින්පව් කළ තැනැත්තාම එහි විපාකය විඳීය” යි ගත්හ. ඇතමෙක් “අනිකකු කළ කර්මයේ ඵලය අනිකෙක් විඳීය”යි ගත්හ. ඇතමෙක් “මේ සත්ත්වයා අතීතයේත් වීය”යි ගත්හ. ඇතමෙක් “මේ සත්ත්වයා අතීතයෙහි නො වූයේ ය, අලුතෙන් ඇති වූවෙකැයි” යි ගත්හ.

තථාගතයන් වහන්සේගේ ප්‍ර‍තීත්‍යසමුත්පාද දේශනය වනාහි මෙහි කී නොකී එකම දෘෂ්ටියකටවත් නො වැටෙන හේතුඵල ක්‍ර‍මයක් දැක්වෙන දේශනයෙකි. ඒ හේතුඵල ධර්මය සොයාගන්නට නුපුළුවන්වීම නිසා මෙසේ සත්ත්වයන් නොයෙක් දෘෂ්ටිගත අවුලෙන් අවුලට පත්ව, නැවත නැවත අපායට පැමිණෙන්නට සිදුවන මේ සංසාරය ඉක්මවිය නොහැකිව දුකෙහිම ගැලී ඉන්නා බව “එතස්ස ආනන්ද! ධම්මස්ස අනනුබොධා අප්පටිවෙධා එවමයං පජා තන්තාකුලකජාතා ගුළාගුණ්ඨිකජාතා මුඤ්ජබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තන්ති” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් මහානිදාන සූත්‍රයෙහි වදාරා තිබේ.

මේ ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්මය දැන ඉගෙන දෘෂ්ටි ජාලයෙන් මිදී සත්‍යය අවබෝධ කරගන්නා තුරු සත්ත්වයා දුකින් නො මිදේ. එබැවින් දුකින් මිදීම බලාපොරොත්තුවන සැමදෙනා විසින් ම බුදු සස්නෙහි ඉතා උසස් තැනක් ගන්නා මේ ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්මය ගැන තරමක් දුරටවත් දැනගැනීමක් ඇතිකර ගැනීමට උත්සාහ කළ යුතු ය. මේ උසස් ධර්මය දත හැක්කේ ද බුද්ධෝත්පාද කාලයෙහිම ය. බුද්ධශූන්‍ය කාලවලදී මේ ධර්මය ඇති බවවත් දැන ගැනීමට ක්‍ර‍මයක් නැත. දැනට පැමිණ ඇත්තේ මේ උසස් ධර්මය දැන ගැනීමට, ඉගෙන ගැනීමට ඉඩ ඇති යහපත් කාලයකි.

එහෙත් දැනට ඇති බෞද්ධයන්ගෙන් ඉතා වැඩි දෙනෙක් ම මේ උසස් ධර්මය ගැන කිසිවක් දන්නෝ නො වෙති. එබැවින් ඔවුහු තමන් ලබා සිටින මේ උත්තම බුද්ධෝත්පාදක්ෂණයෙන් ගන්නට ඇති උසස් ප්‍රයෝජනය නො ලබති. බෞද්ධයම්හ යි ප්‍ර‍තිඥාකර ගෙන ඉන්නා අයගෙන් ඇතමෙක් මේ ධර්මය නො දන්නා නිසාම “මරණින් මතු ඉපදීමක් නැත. පින් පව්වල විපාකයක් නැත” යනාදීන් මිථ්‍යාදෘෂ්ටියට බැස සිටිති. ඒ තත්ත්වයට පැමිණ සිටින පැවිද්දෝ ද නැත්තාහු නො වෙති. ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්මය නො දැනීම නිසා නොමඟට වැටී ඉන්නා ජනයාගේ යහපත සඳහා අප විසින් මේ ග්‍ර‍න්ථය සම්පාදනය කරන ලදී.

පාලි පොත්වලින් පටිච්චසමුප්පාදය පිළිබඳ විස්තරයක් ඇත්තේ සම්මෝහවිනෝදනී නම් වූ විභංග අටුවාවෙහි හා විශුද්ධිමාර්‍ගයෙහිත් ය. ඒ පොත් දෙක්හි වෙනසක් නැත. ඒ පොත්වල එන පටිච්චසමුප්පාද විස්තරය ඉතා වැදගත්ය. ඒවායේ පටිච්චසමුත්පාදය විස්තර කර තිබෙන්නේ ක්‍ර‍මානුකූලව ධර්‍මය ඉගෙන ගන්නා වූ ද, ඉගෙන ගත්තා වූ ද තැනැත්තන්ට සුදුසු වන පරිදිය. මෙකල පවත්නා අධ්‍යාපනයේ හැටියට පාළි පොත් හත අටකින් කොටස් පමණක් උගෙනීම ලැබූවන්ටත්, ධර්මය පිළිබඳ උගෙනීමක් නො ලැබූ සාමාන්‍ය ජනයාටත්, ඉහත කී පොත් දෙකේ එන ප්‍ර‍තීත්‍යසමුත්පාද වර්‍ණනාවෙන් ප්‍රයෝජනයක් නොලැබිය හැකිය. රසයක් නො ලැබිය හැකිය. අප විසින් මේ පටිච්චසමුප්පාද විවරණය සම්පාදනය කරන ලද්දේ ධර්මය පිළිබඳ ක්‍ර‍මානුකූල ඉගෙනුමක් ලබා නැති සාමාන්‍ය ජනතාව දෙස බලා ගෙනය. එබැවින් අටුවාවල එන ප්‍ර‍තීත්‍යසමුත්පාද වර්‍ණනා ක්‍ර‍මය අනුගමනය නො කොට, අපට වැටහෙන පරිද්දෙන් මේ ග්‍ර‍න්ථය සම්පාදනය කරන ලදී.

සිංහලෙන් පටිච්චසමුප්පාදය විස්තර කර ඇති පොත් කීපයක් අපට කියවන්නට ලැබිණ. ඒ පොත් අප සිත් නො ගත් බැවින් පටිච්චසමුප්පාද විවරණය නමැති මේ ග්‍ර‍න්ථය සම්පාදනය කිරීමට අදහස් කෙළෙමු. අතිශයින් ගැඹුරු වූ මේ ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්මය, කියවන්නවුන්ට තේරුම් ගත හැකි වන පරිදි විස්තර කර ග්‍ර‍න්ථයක් සම්පාදනය කිරීම පහසු වැඩක් නොවේ. අඩුපාඩුවක් වරදක් ඉතිරි නො වන පරිදි මේ ගැඹුරු ධර්මය විස්තර කිරීමට සමත් බවට අපට නැත. අප විසින් මෙය කරන ලද්දේ “මහජනයාට තේරුම් ගත හැකි වන පරිද්දෙන් සැපයූ පටිච්චසමුප්පාද වර්‍ණනාවක් කොහෙත්ම නැතුවාට වඩා මේ පොතවත් තිබීම හොඳය” යන අදහසිනි.

අනුලෝම - ප්‍ර‍තිලෝම ප්‍ර‍තීත්‍යසමුත්පාද දේශනා දෙකින් වඩාත් ගැඹුරු ධර්‍මය වන්නේ ප්‍ර‍තිලෝම ප්‍ර‍තීත්‍යසමුත්පාද දේශනය ය. එයින් දැක්වෙන්නේ නිවනය පෘථග්ජනයන්ට අවිෂය වූ ඒ නිවන අපගේ අදහසේ හැටියට විස්තර කරනවාට වඩා නිවන පිළිබඳව තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්ම දැක්වීම් වශයෙන් නිර්‍වාණය විස්තර කිරීම වඩා හොඳ ක්‍ර‍මය වන බැවින් තථාගතයන් වහන්සේ විසින් නිර්‍වාණය සම්බන්ධයෙන් වදාළ සූත්‍ර‍ කීපයක් මෙහි විස්තර කර ඇත. ඒවා කියවීමෙන් නිර්‍වාණ තත්ත්වයත් බොහෝ දුරට තේරුම් ගත හැකි වනු ඇත.

මේ ග්‍ර‍න්ථයෙහි අනුලෝම ප්‍ර‍තීත්‍යසමුත්පාදය විස්තර කරන පූර්‍වභාගය අප විසින් ලියන ලදුයේ ලක්දිව අභිධර්මය උගත් කාන්තාවක් වන කොළඹ හැව්ලොක් ටවුන්හි ලෙයාර්ඩ් මාවතෙහි අංක 18 දරණ මන්දිරයෙහි වෙසෙන සෝමාවතී මුණසිංහ මැතිනියගේ ආරාධනාවෙන් බුද්ධවර්‍ෂයෙන් 2492 වැන්නෙහිදීය. ඒ කොටස ඇගේ වියදමින් ඒ කාලයේදී මුද්‍ර‍ණය කරවා ධර්මදාන වශයෙන් බෙදා දෙන ලදී. දෙදහස් පන්සිය වැනි වසට කලින් මේ පෝත සම්පූර්‍ණකොට මුද්‍ර‍ණය කරවන බලාපොරොත්තුවෙන් සිටි මුත් පැමිණියා වූ යම් යම් අපහසුකම් නිසා බලාපොරොත්තු කාලයේදී මෙය කරන්නට නොලැබිණ. නොයෙක් අපහසුකම් මධ්‍යයේ අප ගත් උත්සාහයේ ප්‍ර‍තිඵලයක් වශයෙන් මේ බුද්ධ ජයන්ති වර්ෂය තුළදීම මේ ග්‍ර‍න්ථයත් මහජනයා අතට පැමිණ විය හැකි විය.

මේ සම්බුද්ධ ජයන්ති ධර්‍ම පුස්තක පංතියේ අටවන දහම් පොතය. මෙයින් මේ දහම්පොත් පෙළ අවසන් කරනු ලැබේ. කිසි ඝෝෂාවක් නොකොට, කිසිවකුගෙන් ආධාරයක් නො ගෙන, අමාරුවෙන් ආරම්භ කරන ලද මේ ධර්මපුස්තක ප්‍ර‍චාරය අප බලාපොරොත්තු වූවාට වඩා බොහෝ සාර්ථක වූ බව ප්‍රීතියෙන් සඳහන් කරමු. අපගේ මේ ධර්මපුස්තක ප්‍ර‍චාරය සාර්ථක වූවාක් මෙන් හැම දෙනා ගේ සියලුම යහපත් වැඩ සාර්ථක වේවායි පතමු. මේ ධර්මපුස්තක ව්‍යාපාරය කරදරයක් නැතිව පවත්වාගත හැකිවූයේ ධර්මකාමීන් විසින් මේ පොත් කලට වේලාවට මිලයට ගත් නිසාය. අපේ දහම් පොත් ගත් ගිහි පැවිදි සැමදෙනාම මේ ධර්මපුස්තක ව්‍යාපාරයේ ආධාරකාරයෝ ය. හැම දෙනාට ම පින්සිදු වේවා!

(මේ ග්‍ර‍න්ථය මුද්‍ර‍ණයේදී සෝදුපත් බැලීම් ආදි වැඩ සියල්ල අපගේ ශිෂ්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම නම කිරිඔරුවේ ධම්මානන්ද නම සමග කරන ලද බව ද ස්තුති පූර්වකව සඳහන් කරමු.)

ධර්මය ලොවෙහි බැබලේවා

මීට ශාසනස්ථිතිකාමී රේරුකානේ චන්‍දවිමල මහනායක ස්ථවිර

ශ්‍රී බු.ව. 2500 (1957) මාර්තු 01 වන දින, ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට.