ද්විවිධ සුඛය

වේදයිතසුඛය - විමුක්තිසුඛය කියා සැප දෙවර්ගයක් ඇත්තේ ය. ඇසට හොඳ දේවල් දැකීමෙන් ද, කනට මිහිරි හඬ ඇසීමෙන් ද, නාසයට මිහිරි ගන්ධයන් ආඝ්‍රාණය කිරීමෙන් ද, දිවට හොඳ බොජුන් වැළඳීමෙන් ද, කයට හොඳ පහස් ලැබීමෙන් ද සිතට හොඳ මිලමුදල් - තනතුරු - ගරුනම්බු ආදිය ලැබීමෙන් ද ඇතිවන සොම්නස: ප්‍රීති සහිත ආශ්වාදය වේදයිතසුඛ නම් වේ. පැමිණ ඇත්තා වූ ද, මතු ඇති විය හැකි වූ ද, දුක්වලින් කරදරවලින් විපත්වලින් මිදීම විමුක්තිසුඛ නම් වේ. නිදහස් සුවය යනු එයට නමෙකි.

වේදයිතසුඛ - විමුක්තිසුඛය යන මේ දෙකින් වේදයිත සුඛය හෙවත් විඳින සැපය සුළු කලක් මිස බොහෝ කලක් පවත්නක් නො වේ. හොඳ දේවල් බැලීමෙන් වන සුවය පවත්නේ බලා සිටින තෙක් පමණෙකි. ඉන් පසු ඒ සුවය නැත. එයින් මඳකුදු ඉතිරි වන්නේ නැත. මිහිරි හඬ ඇසීමෙන් වන සුවය පවත්නේත් එය අසමින් සිටිනා තෙක් පමණෙකි. සුවඳ ආඝ්‍රාණය කිරීමේ සුවය පවත්නේ ආඝ්‍රාණය කරමින් ඉන්නා තෙක් ය. මිහිරි බොජුන් වැළඳීමේ සුවය පවත්නේ වළඳමින් ඉන්නා තෙක් ය. කයට හොඳ දේ සැපයීමෙන් වන සුවය පවත්නේ පහස ලබමින් ඉන්නා තෙක් ය. සිතට හොඳ දේවලින් ලැබෙන සුවය ප පවත්නේත් ඒවා සිහිකරමින් ඉන්නා තෙක් ය. ඒ සුවවලින් පසුවට ඉතිරිවන කිසිවක් නැත්තේ ය.

නින්දෙහි දී පෙනෙන සිහින බඳු වූ මඳ වේලාවක් පවත්නා වූ ඒ සැපවල එතරම් වටිනා කමක් උසස් කමක් නැත. හොඳය යි සලකන දේ බැලීම් ආදියෙන් ලබන සුවය නො ලැබූයේ ද ඉන් අමාරුවක් නැත. පැමිණ ඇති දුකක් සන්සිඳවා නො ගෙන දිගට ම එය විඳීම නම් ඉතා අමාරු කරුණෙකි. එබැවින් පැමිණ ඇති දුක නිවා ගැනීමට - නැතිකර ගැනීමට පැමිණ ඇති දුකින් නිදහස් වීමට හැකිතාක් උත්සාහ කළ යුතු ය.

දුකින් මිදීමේ සැපය කොතෙක් උත්සාහ කොට වුව ද කොතෙක් වියදම් කොට වුව ද ලබාගත යුතු ම ය. ඒ දුකින් මිදීමේ සුවය වේදයිත සුඛය සේ ක්ෂණික සුඛයක් නොවේ. නිවී ගියා වූ සංසිඳී ගියා වූ දුක නැවත එනතුරු ඒ සුවය පවත්නේ ය. සන්සිඳුනා වූ දුක නැවත කිසි කලෙක නො එන සේම සන්සිඳී ගියේ නම්, ඒ විමුක්ති සුඛය සැම කල්හි ම පවත්නේ ය. දීර්‍ඝ කාලයක් පවත්නා බැවින් විමුක්ති සුඛය බොහෝ අගනේ ය. එහි ප්‍ර‍මාණයත් අගයත් ගණන් ගත යුත්තේ සන්සිඳෙන්නා වූ දුක්වල ප්‍ර‍මාණය අනුව ය. කුඩා දුකක් නිවීමේ සුවය කුඩාය යි කිය යුතු ය. මහත් දුකක් සන්සිඳීමේ සුවය මහත්ය යි කිය යුතු ය. කුඩා දුකක් සන්සිඳීමේ සුවය මඳක් අගනා බවත්, දීර්ඝ කාලයක් පැවතිය හැකි මහත් දුකක නිවීම් සැපය බොහෝ අගනා බ වත් කිය යුතු ය.

හිසරදය එතරම් මහත් දුකක් නොවේ. එහෙත් දීර්ඝ කාලයක් පැවතිය හැකි තද හිසරදයක් ඇති තැනැත්තා සුළු වියදමකින් එය සුවකර ගත නොහැකි වුව හොත් ඒ සඳහා දහසක් වුව ද වියදම් කරන්නේ ය. රෝගියා ධනවතෙක් නම් එය සුවවනතුරු දසදහසක් වුවත් ඊටත් වැඩි ගණනක් වුවත් වියදම් කරන්නේ ය. “හිසරදයේ සුවය එතරම් වටිනා එකක් නො වේය” කියා ධනය ඉතුරු කර ගෙන හිසරදය වූ දුක විඳිමින් නො වෙහෙසෙන්නේ ය. හිසරදයක සන්සිඳීම වූ විමුක්ති සුඛයක එපමණ වටිනාකමක් නැති නම් රෝගීහු එය ලබනු පිණිස එපමණ ධනයක් වියදම් නො කරන්නාහ. වියදම් කරන්නේ ඒ සුවය වටිනා දෙයක් නිසා ය.

මරණයට හසුවිය හැකි - මැරෙන්නට සිදුවිය හැකි කරුණක් පැමිණි කල්හි, ලක්‍ෂයක් හෝ කෝටියක් වියදම් නො කළ හොත් ඒ මරණයෙන් නො ගැලවිය හැකි නම්, ඒ පුද්ගලයාත් ධනවතෙක් නම් මරණයෙන් නිදහස් වීම සඳහා ලක්‍ෂයක් වුවද වියදම් කරන්නේ ය. කෝටියක් වුව ද වියදම් කරන්නේ ය. එපමණ ධනයක් ඒ සඳහා වැය කරන්නේ මරණයෙන් මිදීම වූ විමුක්ති සුඛය ලක්‍ෂයක් කෝටියක් පමණ වටිනා නිසා ය.

ඉදින් රජකෙනෙකුට මැරෙන්නට සිදුවී ඇති විටෙක රාජ්‍යය පරිත්‍යාග කළහොත් එයින් මිදිය හැකි වේ නම්, ඒ රජ රාජ්‍යය පරිත්‍යාග කොට මරණයෙන් නිදහස ලබන්නේ ය. එසේ කරන්නේ ඒ මරණ විමුක්තිය රාජ්‍යය තරම් වටිනා බැවිනි. සත්ත්වයා නිවනට නො පැමිණ සසර සැරිසරතහොත් ඔහුට අනාගතයෙහි මරණයට පැමිණෙන්නට සිදුවන වාර ලක්‍ෂයක් ද නොවේ. කෝටියක් ප්‍රකෝටියක් ද නො වේ. ප්‍ර‍මාණ කළ නොහෙන වාර සංඛ්‍යාවක් ඔහුට මැරෙන්නට සිදු වේ. එක භවයක දී ලබන්නට වන එක මරණයකින් තාවකාලික වශයෙන් මිදීමේ සුවය ම ලක්‍ෂයක් වුව ද, කෝටියක් පමණ වුව ද රාජ්‍යයක් පමණ වුව ද වටිනා කල්හි අනාගතයෙහි පැමිණිය හැකි අප්‍ර‍මාණ මරණයන් ගෙන් නිදහස වූ ලෝකෝත්තර නිර්වාණ සංඛ්‍යාත මහා විමුක්ති සුඛයේ අගය කෙසේ ප්‍ර‍මාණ කළ හැකි වේ ද? නො හැකි වේම ය.

නිවනට නො පැමිණ සසර සැරිසරත හොත් එක් පුද්ගලයකුට අනාගතයෙහි ලබන්නට සිදුවන්නේ මරණ දුක පමණක් නො වේ. ඔහුට අනාගතයෙහිදී ප්‍ර‍මාණ නො කළ හැකි තරමටම බොහෝ වූ ජාතිවලදී පොලුවලින්, ගල්වලින්, පිහියාවලින්, කඩුවලින්, කැති - මන්නා - වෑ - පොරෝ - උදලුවලින් පහර කෑමේ දුක් ද ලැබෙන්නේ ය. සොරසතුරන් විසින් ධනය පැහැර ගැනීමේ දුක් ද, දූ - දරුවන් පැහැර ගැනීමේ දුක් ද, බලයෙන් අල්ලාගෙන දිවි ඇතිතාක් වැඩ ගැනීමේ දුක් ද සිරගෙවල ලෑමේ දුක් ද, දෙතිස්වධ ලැබීමේ දුක් ද, සර්පයන් විසින් දෂ්ට කරනු ලැබීමේ දුක් ද, කඩුවේගන් - පරංගි - ලාදුරු - වණ - පිළිකා - අපස්මාර - කාශ - ශ්වාස - වමන - අතීසාරාදි අනේක රෝගයන් ඇතිවීමේ දුක් ද, ජරා දුක් ද ඇති වන්නේ ය.

ගව ව, අශ්ව ව, ඇත්ව උපදනා අවස්ථාවලදී, තළ තළා කෙවිටි ආදියෙන් ඇණ ඇණ වැඩගැනීමේ දුක් ද, දුබල තිරිසන්ව උපදනා කාලවලදී බලවත් සතුන් විසින් අල්ලාගෙන හඬව හඬවා කැබලි කැබලි කඩා කනු ලැබීමේ දුක් ද, පණ තිබියදීම ගිල දමනු ලැබීමේ දුක් ද, මිනිසුන් විසින් ගින්නේ දවනු ලැබීමේ දුක් ද, ආහාරපාන නො ලබා වියළී මියයන්ට වීමේ දුක් ද, රෝගාතුරව දුබලව ඇදවැටුණු අවස්ථාවලදී කපුටන් විසින් ඇස් ආදියට කොටනු ලැබීමේ දුක් ද, වණ සෑදී පණුවන් කෑමේ දුක් ද, ප්‍රේතව ඉපිද සා පිපාසයෙන් පෙළීමේ දුක් ද, නරකවල ඉපිද ගින්නෙන් දැවීමේ දුක් ද, ලොහොදිය බොන්නට ලොහොගුලි ගිලින්නට වීමේ දුක් ද, තවත් මෙහි නො කී බොහෝ දුක් ද විඳින්නට සිදු වන්නේ ය. සංසාරචක්‍ර‍යට අයත් අවිද්‍යාදීන් ගේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත ලෝකෝත්තර නිර්වාණය වනාහි ඒ සකල දුඃඛයන් පිළිබඳ වූ විමුක්ති සුඛය ය. ඒ සියලු ම දුක්වල නිවීම් සුවය ය. එහි අගය කෙසේ ප්‍ර‍මාණ කළ හැකි ද? නො හැක්කේ ම ය.

ඇතැමෙක්, “අවිද්‍යා සංස්කාරාදීන්ගේ මේ අනුත්පාද නිරෝධය යම්කිසි පරමාර්ථ ධර්මයක් හෝ සුඛස්වභාවයක් නො වේ ය. ක්ෂණික නිරෝධය බඳු හිස් බවක් ය, හිස් බවෙහි කිසි උසස් බවක් වටිනා කමක් නැතය” යි සිතා අනුත්පාද නිරෝධය වරදවා තේරුම් ගෙන අමුතු නිවන් පවසති. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සිය ගණන් සූත්‍ර‍වලින් පෙනෙන්නේ අවිද්‍යාදීන් ගේ නිරෝධය ම නිර්වාණය බව ය. නිදානවග්ග සංයුක්තයේ දුඃඛවර්ගයේ පළමුවන සූත්‍ර‍ය දේශනා කිරීමේදී තථාගතයන් වහන්සේ භික්‍ෂූන්ගෙන් එකින් එක පටිච්චසමුප්පාදාංගයන් ගේ නිරෝධය විචාරා, ඒ භික්‍ෂූන් විසින් සුදුසු පරිදි පිළිවදන් දුන් කල්හි -

“සාධු! සාධු!! භික්ඛවෙ! එවමෙතං භික්ඛවෙ! නෙතං අඤ්ඤථා, සද්ධහථ මේතං භික්ඛවෙ! අධිමුච්චථ, නික්ඛංඛා එත්ථ හොථ, නිබ්බිචිකිච්ඡා එසෙවන්තො දුක්ඛස්ස.”

යනුවෙන් අවිද්‍යාදීන් ගේ නිරෝධය නිර්වාණය වන බව සහතික කොට වදාළ සේක. “සාධු සාධු මහණෙනි, මහණෙනි! මතු ඉපදීමට හේතු වන සංස්කාරාදිය නැති කල්හි විඤ්ඤාණාදියත් නැතය යන ඒ කාරණය එසේම ය. එය අන් පරිද්දෙකින් නො වේය, මහණෙනි, ඒ කාරණය එසේම විශ්වාස කරව්. එසේ විනිශ්චයට බැස ගනිව්. ඒ කාරණය ගැන නිසැක වව්. දෙ සිතක් නැත්තෝ වව්. එයම, දුඃඛයාගේ කෙළවරය” යනු ඒ පාඨයේ තේරුම ය. ඉහත කී පාඨයෙහි “ඒසේවන්තෝ දුක්ඛස්ස” යන වැකිය අටුවාවෙහි වර්ණනා කර තිබෙන්නේ “ඒසෙවන්තො දුක්ඛස්සාති අයමෙව වට්ටදුක්ඛස්ස අන්තො අයං පරිච්ඡේදෝ, යදිදං නිබ්බානං” කියාය.

අවිද්‍යා සංස්කාරාදීන් ගේ අනුත්පාද නිරෝධයම නිවන නම් එය කොතරම් වටිනා සුවයකැයි කියතත් ඒ නිරෝධයෙහි පඤ්චස්කන්ධයක් නැති කල්හි ඒ මිහිර විඳින කෙනකු නැති බැවින් ඒ නිවන කාහට වත් ප්‍රයෝජනයක් නැති දෙයක් නො වේ ද? යන ප්‍ර‍ශ්නය මෙහිදී ඉදිරිපත් කළ හැකි ය. නිවනෙහි තතු සොයන තැනැත්තා විසින් මේ කියන අනුත්පාද නිරෝධය අතීතයෙහි ඉපිද නිරුද්ධ වුණු නාමරූපයන්ගේ හෝ වර්තමාන නාමරූපයන්ගේ හෝ නිරෝධයක් නොව මතු ඇතිවිය හැකි නාමරූපයන්ගේ නිරෝධය බව සිත්හි තබා ගෙන ම නිවන ගැන කල්පනා කළ යුතු ය. එසේ නො වුවහොත් කාරණය අවුල් වේ.

නිවන් සුවය විඳින පුද්ගලයන් ගැන කථා කරන්නවුන් ඒ කථාව කරන්නේ ද ආත්මයක් සත්ත්වයෙක් පුද්ගලයෙක් සත්‍යවශයෙන් ඇතැයි යන වැරදි හැඟීම උඩය. නිවනෙන් ප්‍රයෝජනයක් ඇති නැති බව පිළිබඳ වූ ප්‍ර‍ශ්නය විසඳාගත හැකි වන්නේ ආත්මයක් ඇත ද? නැත ද? යන මේ කරුණ විසඳා ගැනීමෙනි.

කෙනකු අන්ධකාරයේ සිට ගිනිපෙණෙල්ලක් වේගයෙන් කැරකැවුව හොත් දුරින් බලා ඉන්නා තැනැත්තාට එහි ගිනි වළල්ලක් පෙනේ. ඒ පෙනෙන ගිනිවළල්ල බලා ඉන්නහු ගේ සතේ මිස, එය පෙනෙන තැන නම් නැත. ගිනි වළල්ල පෙනෙන තැන ඇත්තේ, ගිනි පෙණෙල්ල පමණෙකි. වේගයෙන් ගිනි පෙණෙල්ල කැරකෙන කල්හි එහි නැති ගිනි වළල්ලක් පෙනෙන්නාක් මෙන් වේගයෙන් ඉපද ඉපද බිඳි බිඳී යන නාම රූප පරම්පරාව සත්ත්වයකු පුද්ගලයකු සේ පෙනේ. ඒ නාමරූපයන් අතර හෝ සැපදුක් විඳින මමය කියා සැලකිය යුතු දෙයක් ඇතුවාක් මෙන් පෙනේ. එහෙත් නාම රූප පරම්පරාව මිස එහි සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැත.

එකම ගිනිපෙණෙල්ල ගිනිවළල්ලක් සේ පෙනෙන්නේ, ගමන් වේගය නිසා එය හොඳට නො පෙනෙන නිසා ය. නාමරූප ධර්ම පරම්පරාව පුද්ගලයකු සේ පෙනෙන්නේත්, එහි පුද්ගලයකු ඇති සැටියට හෝ පෙනෙන්නේත් ඉපදීමේ බිඳීමේ වේගවත්කම නිසා නාම රූපයන් හරියට නො පෙනෙන - නො දැනෙන නිසා ය. පුද්ගලයකු ඇතය යන හැඟීම් මාත්‍ර‍ය මිස, සුවදුක් විඳින පුද්ගලයා නම් නාමරූප ධර්ම පරම්පරාව පවත්නා කාලයෙහිත් නැත. එබැවින් නිවනෙහි පුද්ගලයකු නැති කමින් අනුත්පාද නිරෝධ සංඛ්‍යාත සුඛස්වභාවය නිෂ්ඵලය යි නො කිය යුතු ය.

නාමරූප ධර්ම පරම්පරාව පවත්නා කල්හි ඒ පරම්පරාවෙහි වරින් වර ඇතිවන සුවදුක් දෙක, සත්‍ය වශයෙන් නැතත් ඇතය කියා සලකන ඒ පුද්ගලයා සතු වේ නම්, ඒ නාමරූප පරම්පරාවෙහි ඉදිරියට ඇති විය හැකි නාමරූපයන් ගේ නිරෝධය වූ විමුක්ති සුඛයත් ඒ පුද්ගලයාට ම බව කිය යුතුය. මේ කියන නාමරූප නිරෝධය ඉපද ඉපද බිඳි බිඳී පවත්නා නාමරූප පරම්පරාවන්ට අයත් වූ, එතෙක් නූපන් නාමරූපයන් පිළිබඳ වූවකි. ඉපද ඉපද බිඳි බිඳී යන නාමරූප පරම්පරාවෙහි පරිකල්පිත වශයෙන් ඇති සැටියට සලකන පුද්ගලයා, ඒ පරම්පරාවට අයත් වන එතෙක් නූපන් නාමරූප විෂයෙහි ද ඇති බව කිය යුතුය.

පරිකල්පිත පුද්ගලයා පරම්පරාවට අයත් ව එතෙක් නූපන්, මතු ඉපිදය හැකි නාමරූපයන් පිළිබඳවත් ගත යුතු ය. එසේ ගන්නවා නම්, ඒ පුද්ගලයා අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණයෙහිත් ඇතය යි කිය යුතු ය. නිවනෙහි ඒ විමුක්ති සුඛය විඳින පුද්ගලයකු නැතය කියන්නේ සත්‍ය වශයෙන් පුද්ගලයා නැති බැවිනි. ඒ පුද්ගලයා නිවනෙන් මොබ ලෝකයෙහිත් නැත. එබැවින් නිවන් කථාවට නැත්තා වූ මේ පුද්ගලයා සම්බන්ධ කර ගෙන කාරණය අවුල් නො කර ගත යුතුය.

“ඔය කියන විමුක්තිසුඛය කොපමණ උසස් කොපමණ වටිනා දෙයකැ යි කියතත් ඒ සුවය අපට නම් ඕනෑ නැත. අපට ඕනෑ කරන්නේ ප්‍රිය වස්තූන් ඇතිව, ප්‍රිය පුද්ගලයන් ඇතිව, ජරාවක් - ව්‍යාධියක් - මරණයක් - අප්‍රිය සම්ප්‍රයෝගයක් - ප්‍රිය විප්‍රයෝගයක් නැතිව, සුඛයෙන් සෞමනස්‍යයෙන් ප්‍රීතියෙන් සැම කල්හි ම විසිය හැකි තත්ත්වයකැ” යි ඇතැමුන්ට කිය හැකිය. මේ ලෝකයේ හෝ අන් ලොවක හෝ ස්ථිර තත්ත්වයක් ඇති එබඳු තැනක් නම් නැත. එබැවින් එබඳු තත්ත්වයක් නො ලැබිය හැකිය. ඇත්තේ සංසාරචක්‍ර‍යාගේ පැවැත්මය - නැවැත්මය යන දෙක පමණෙකි. පැවැත්ම කැමති නම් පැවැත්ම ගත හැකි ය. නැවැත්ම කැමති නම් නැවැත්ම වූ නිවන් සුවය ගත හැකි ය.

ප්‍රිය වස්තූන් ඇත්තේ ද ප්‍රිය පුද්ගලයන් ඇත්තේ ද, සුඛ - සෞමනස්‍ය - ප්‍රීතීන් ඇත්තේ ද, සංසාර චක්‍රයෙහි ය. ජරාව ව්‍යාධිය මරණය අප්‍රිය සම්ප්‍රයෝගය ප්‍රිය විප්‍රයෝගය ශෝකය පරිදේවය දුඃඛය දෞර්‍මනස්‍යය උපායාසය ඇත්තේ ද, පණු - උකුණු - මකුණු - බලු - බළල් - ඌරු - කුකුළු ආදි තිරිසන් සතුන් වීම ඇත්තේ ද, ප්‍රේත වීම ඇත්තේ ද, ගින්නේ දැවි දැවී ලොහොගුලි ගිලින, ලෝදිය බොන නිරිසතුන් වීම ඇත්තේ ද සංසාර චක්‍රයෙහි ය.

සංසාර චක්‍රයේ කැරකෙන සත්ත්වයා ප්‍රීති - සුඛ -සෞමනස්‍යයන් ඇති, ප්‍රිය වස්තු ප්‍රිය පුද්ගලයන් ඇති මනුෂ්‍ය භවයක් හෝ දිව්‍ය භවයක් වරක් ලැබූ පසු, දහස් වරක් - දස දහස් වරක් දුඃඛ දෞර්‍මනස්‍යයෙන් නිතර පෙළෙන අපාය භවයන් ලබන්නේ ය. සංසාර චක්‍රයේ ඇති එක සොම්නසකට ලක්‍ෂය කෝටිය බැගින් දොම්නස් ඇත්තේ ය. නිවනෙහි වනාහි ප්‍රිය වස්තු - ප්‍රිය පුද්ගලයෝ ද නැත. ප්‍රීති - සුඛ - සෞමනස්‍යයෝ ද නැත. ජරා - ව්‍යාධි - මරණ - ශෝක - පරිදේව දුඃඛ - දෞර්‍මනස්‍යයෝ ද නැත. එහි පැමිණි පසු නැවත අපායට යාමකුත් නැත. එහි ඇත්තේ ශාන්ත ස්වභාවයක් පමණෙකි. කල්පනා කොට වඩා හොඳ දෙය තෝරා ගන්න.

ඇතැමකුට විමුක්තිය අප්‍රිය වී සංසාරය ප්‍රිය වන්නේත්, ඇතැමකුට සංසාරය අප්‍රිය වී විමුක්තිය ප්‍රිය වන්නේත් ඒ ඒ අයගේ අදහස් අනුවය. අවිද්‍යාව සත්ත්වයා ගේ සිත කිලිටි කරන - බොර කරන - අඳුරු කරන චෛතසික ධර්මයකි. එය එක්තරා මානසික රෝගයකි. ඒ රෝගයෙන් දුර්වලවූ අඳුරු වූ සිතට පරම්පරාවශයෙන් ඉපද ඉපද බිඳි බිඳී යන නාම රූපයන් ගේ සැබෑ තත්ත්වය නො පෙනේ. නොයෙක් විට නාම රූපයන් සත්ත්වයන් සැටියට මිස, නාමරූප සැටියට ද නො පෙනේ. එයින් සත්කාය දෘෂ්ටිය ඇති වේ. නැවත නැවත සත්කාය දෘෂ්ටිය ඇතිවන කල්හි එය වැඩී තහවුරු වී දෘෂ්ට්‍යාධ්‍යාශය ඇති වේ. එය ද එක්තරා මානසික රෝගයකි.

සත්කාය දෘෂ්ටිය සමග ම ආත්ම වශයෙන් සලකන පඤ්චස්කන්ධය ලොව ඇති ඉතාම හොඳ දෙය සැටියට ගන්නා වූ, තෘෂ්ණාව වූ තණ්හාව හා පඤ්චස්කන්ධයට අයත් ව ඇතිවන සුඛ සෝමනස්සයන් හා බාහිර රූපාදියත් හොඳ හැටියට ගන්නා වූ තණ්හාවත් ඇති වේ. ඒවා වැඩී තහවුරු වී තෘෂ්ණාධ්‍යාශය ඇති වේ. එය ද එක්තරා මානසික රෝගයෙකි. ධර්මය සේවනය නො කරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ජනයා කෙරෙහි අවිද්‍යා - තෘෂ්ණා - දෘෂ්ටි සංඛාත රෝග තුන තදින් පවතින්නේ ය.

බලවත් කැසිල්ලෙන් යුක්ත වන කුෂ්ඨ රෝගයක් ඇතියහුට ගිනි රස්නය ඉතා ප්‍රිය වේ. සිසිල අප්‍රිය වේ. කුෂ්ඨරෝගියාට ගිනිරස්නය ප්‍රියවන්නේ එය හොඳ නිසා නොව රෝගය නිසාය. සිසිල අප්‍රිය වන්නේත් එය නරක නිසා නොව කුෂ්ඨරෝගය නිසාය. ගිනිරස්නය සේවනය කිරීමෙන් කුෂ්ඨරෝගියාට මතුවට වන්නේ නපුරක්මය. කුෂ්ඨරෝගියාට අනර්ථකර වූ ගිනි රස්නය හොඳ වන්නාක් මෙන්, සිසිල අප්‍රිය වන්නාක් මෙන් එකොළොස් වර්ගයක ගිනි දැල්වලින් වෙළී පවත්නා වූ නොයෙක්විට නරකාග්නියට ද හසුවන්නා වූ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධය කෙලෙස් රෝග ඇතියවුන්ට ප්‍රිය වේ. පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුක්ඛස්කන්ධයා ගේ නිරෝධය වූ නිවන අප්‍රිය වේ. එයට බිය වේ. එසේ වන්නේ නිරෝධය නරක නිසා නොව කෙලෙස් රෝගය නිසාය.

ධර්ම නමැති බෙහෙත සේවනය කොට කෙලෙස් රේගය සුවකර ගෙන සිත පිරිසිදු කරගෙන වෙසෙන්නා වූ සත්පුරුෂයන්ට වනාහි පඤ්චස්කන්ධය පමණ නපුරක් වශයෙන්, බියවිය යුත්තක් වශයෙන් පෙනෙන අනිකක් නැත. නිවන තරමට උසස්ව පෙනෙන අන් සැපයකුත් නැත.

නිවනේ තතු වැඩිදුරටත් තේරුම් ගත හැකිවීම පිණිස මෙතැන් පටන් තථාගතයන් වහන්සේ විසින් නන් අයුරින් නිර්වාණ තත්වය දක්වා දේශිත සූත්‍ර‍ කීපයක් දක්වනු ලැබේ.