පිළිකුල් භාවනාව යනු කේශාදි ශරීර කොට්ඨාසයන් පිළිබඳ භාවනාව ය. එයට කොට්ඨාස භාවනා යන නම හා කායගතාසති භාවනා යන නම ද කියනු ලැබේ. මේ භාවනාව ආනාපාන කර්මස්ථානාදිය සේ බුදුසස්නෙන් පිටත තීර්ථක ශාසනවල ඇතියක් නොවේ. මෙය ඇත්තේ බුදුසස්නෙහි පමණකි. බුදු සස්නෙහි බොහෝ දෙනකුන් අර්හත්වයට පැමිණ ඇත්තේ මේ භාවනාවෙන්ම ය යි කිය යුතු ය. පැවිදි වන්නවුන්ට හිසකේ බෑමේ දී ම මේ කමටහන කියා දිය යුතු බව විනයෙහි දක්වා තිබේ. එයින් පෙනෙන්නේ බුදුසස්නෙහි බොහෝ දෙනකු මේ භාවනාව කළ බව ය. මෙය දීර්ඝ භාවනාවෙකි. දිනපතා භාවනා කරන්නකුට නියම ක්‍රමයට මේ භාවනාව වරක් කර අවසන් කිරීමට පස්මස් පසළොස් දිනක් ගත වේ. මසකට දිනක් දෙකක් සිල්සමාදන් වී භාවනා කරන්නවුන්ට එසේ නො කළ හැකි බැවින් මෙහි ඔවුනට සුදුසු පරිදි භාවනා ක්‍රමයක් දක්වනු ලැබේ. විස්තර භාවනාව බෞද්ධයාගේ අත්පොත නමැති ග්‍රන්ථයෙන් බලාගත හැකි ය.
පිළිකුල් භාවනා පාඨය.
අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ, මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං, හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං, අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා ඛේලෝ සිංඝාණිකා ලසිකා මුත්තං මත්ථකෙ මත්ථලුංගංති.
තේරුම:-
කෙස්ය ලොම්ය නියය දත්ය සමය, මස්ය නහරටය ඇටය ඇටමිදුලුය වකුගඩුය, හෘදයමාංසය අක්මාවය දළබුවය බඩදිවය පෙණහල්ලය, අතුණුය අතුණු බහනය නො පැහුණු අහරය මොළය පිතය සෙමය සැරවය ලේය ඩහදිය ය මේද තෙලය, කඳුළුය වුරුණු තෙලය කෙළය සොටුය සඳමිදුලුය මුත්‍රය හිස මුදුනෙහි හිස් මොළය, යන මේ කුණප කොට්ඨාසයෝ මේ ශරීරයේ ඇත්තාහ.
භාවනාවක් වශයෙන් මෙය සජ්ඣායනා කරනු. අන් භාවනා මෙන් සිතින් පමණක් භාවනා කිරීම මේ භාවනාවට ප්‍රමාණ නොවේ. මතු දක්වන වගන්ති පාඩම් කර ගෙන භාවනා කරනු. පාඩම් වන තුරු පොත බලා ගෙන සජ්ඣායනා කරනු.