6. පොසොන් පෝය

සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා

තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා

“මහරජ! ධර්මරාජයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වූ අපි බෞද්ධ ශ්‍රමණයම්හ. ඔබට ම අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියම්හ.”

මේ බෞද්ධ ලංකාවක් ඇති කරනු සඳහා මෙයට අවුරුදු දෙදහස් දෙසිය සූ සැත්තෑ වසරකට පෙර අනුබුද්ධ මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ වදාළ ප්‍රථම වචනය යි. දිග් විජය අත්හළ ධර්මාශෝක නරනාථයෝ ධර්ම විජය ආරම්භ කළහ. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේ ධර්ම විජය පිළිබඳ අනගිතම පණිවුඩය මූර්තිමත් කරමින් ශාන්තියේ දූතයන් වශයෙන් ලංකාවේ උතුරු මැද නිම්නයේ අනුරපුර මිස්සක පවුවට වැඩ වදාළහ. ජම්බුද්වීපයෙන් ලංකාවාසීන්ට අනුකම්පා පිණිස මෙහි වැඩම කළ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ කරණ කොට ගෙන ලංකා භූමියේ ඇතිවුණු මහා වෙනස මෙනෙහි කිරීම අපට පොසොන් දිනයේ කළ හැකි හොඳ ම පොසොන් භාවනාව යි. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ නිසා ම ජම්බුද්වීපයේ ගංගා නිම්නයේ පැතිර පැවැති ප්‍රාදේශික ධර්මයක් ලංකාවට අසහාය ශාන්තිකර වූ අතිවිශිෂ්ට ධර්ම සම්ප්‍රදායයක් බවට පත් විය. සමගිය - ඉවසීම සහ අහිංසාව වැනි අත්‍යුත්තම ගුණ ධර්ම ජීවිතයකින් ලැබිය හැකි ශ්‍රෙෂ්ඨ ගුණාංග බවට පත් විය. තෘෂ්ණාව - ‍ද්වේෂය වැනි අමානුෂික දුර්ගුණයන් ඉස්මතු කරවන යුද්ධය - පළිගැනීම පිළිකුලට පත් වී ධර්මයේ ජයග්‍රහණය ම අසහාය විජය ග්‍රහණය බවට පෙරළිණ. මෘග ගති ගුණ මුල් කොට ගෙන ගොඩ නගනු ලබන මහා අධිරාජ්‍ය වෙනුවට මෘදු කල්පනා ගුණය පදනම් කොට තැනෙන අතු පැලෙහි ඇති ශ්‍රෙෂ්ඨ බව ප්‍රකට විය.

රාජකීය දඩ කෙළි සහ අවි සරඹවල ඇති ඊනියා වැදගත්කම යටපත් ව ශීල - සමාධි - ප්‍රඥා ගුණයන් ගෙන් ඔප් නැගුණු ශාන්ති ක්‍රීඩාවන් ගෙන් සුවිශාල රාජ මන්දිර රාජකීය වනෝද්‍යාන ආදිය ශෝභා සම්පන්න විය. විවිධ දූෂණයන් ගෙන් සහ අනේකවිධ මිථ්‍යා ආචාර විචාරයන් ගෙන් කෙළෙසී ගිය ප්‍රත්‍යනික දේශයන් පවා ධර්ම ඝෝෂාවෙන් ගුම් ගැන්වී භක්ති නිකේතනයක් බවට පත් විය. අසද්ධර්මයෙන් මුසපත් ව මං නො මං දත නොහී අවිචාරයෙන් භ්‍රමණය වුණු අවාසනාවන්ත අනේක මනුෂ්‍ය ප්‍රාණීහු සන්මාර්ගගාමී ව මහාභාග්‍යශීලී වූහ. සිංහල ජන වංශයේ උදාවීම ලක් බුදු සසුන් පිහිටුවීමට ශතවර්ෂාධික කාලයකට ප්‍රථම වුව ද සිංහලය නව යුගයකට පා තැබුවේ බෞද්ධෝදයෙන් පසුව ය. මෙයට අවුරුදු දෙදහස් දෙසිය සූ සැත්තෑ වසරකට පෙර පොසොන් පුනු පොහෝ දිනයක සම්බුද්ධ ධර්ම දායාදය ලක්දිවට ගෙනවුත් ලක් බුදු සසුන් පිහිටුවීමෙන් අනුබුදු මිහිඳු මහ රහත් මාහිමියන් විසින් විශිෂ්ටතම ශිෂ්ටාචාරයකට අතුල්‍ය පදනම දමන ලදී. සම්බුද්ධ ධර්මාලෝකයෙන් ආභාසය ලබා නිර්මාණය වුණු නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ට සම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතිය ලොව පුරා පැතිරීමට මුල් වූයේ මේ ඓතිහාසික මහින්දාගමනය යි. සිංහලයේ හැම යස ඉසුරකට ම මුල් වුණු බුදු සමය නිසා විශාලතම සමාජ විපර්‍ය්‍යාසයක්, බුද්ධි විප්ලවයක්, චින්තන ප්‍රබෝධයක්, ආගමික උද්‍යොගයක් ඇති විය. මෙසේ වැඩෙමින් තිබුණු සිංහල රාජ්‍යයේ නව උද්දීප්තියටත්, සිංහල ජාතියේ නව ජීවනයටත් බුදුසමය මුල් විය. සිංහලයාට නිදහස් ලෙස සිතන්නටත් - තමන් පිළිබඳ ව ආත්ම විශ්වාසයක් ඇතිකර ගන්නටත් මුල් වූයේ බුදු සමය යි.

මිහිඳු යුගයට පෙර ලක්දිව ආගමික විශ්වාස

අනුබුදු මිහිඳු මහරහත් මාහිමියන් වහන්සේ ලංකාවට වැඩමවීමට ‍ප්‍රථමයෙන් මෙරට පැවති ආගමික තත්ත්වය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අපට මහාවංශය සහ දීප වංශයත් මුඛ පරම්පරාගත ජන කථාත් පුරා විද්‍යාවත් සහාය වෙයි. පුරාණ ලංකාවේ සභ්‍යත්වය හා සංස්කෘතිය පිළිබඳ තිබෙන හැම දෙයක් ම මහින්දාගමනයෙන් පසු ව ඇතිවුණු ඒවා බව ස්ථිර වශයෙන් අපට නිගමනය කළ හැකි ය. පුරා විද්‍යාව - වාස්තු විද්‍යාව - ප්‍රතිමා ශිල්පය - හා චිත්‍ර කලාව ආදී කලාත්මක අංශයන් ‍දෙස බැලුවත් පුරාණතම ශිලා ලේඛන දෙස විමසුවත් අපට හමු වන්නේ දෙවන පෑතිස් රජු සමයේ මිහිඳු මාහිමියන් ගේ ලංකාවතරණයෙන් පසු ව ආරම්භවුණු බෞද්ධ සංස්කෘතිය යි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධය තිබුණු බව යම් යම් සිද්ධීන් දෙස විමසන කල්හි පැහැදිලි වෙයි. ඈත අතීතයේ ලංකාවත් එකට එක් වී තිබුණු බවට ඉන්දියාවේ ධනුස්කොඩියත් ලංකාවේ තලෙයිමන්නාරමත් අතර පිහිටි “ආදම් ගේ පාලම” සාක්ෂ්‍යක් වශයෙන් භූ විද්‍යඥයන් විසින් ඉදිරිපත් කොට තිබේ. ලංකාව මුහුදෙන් වෙන් වූවාට පසු ඉන්දියාවේ ඇතිවුණු හැම විපර්‍ය්‍යාසයක් ම ලංකාවේ ද බල පෑවේ ය. භාරතයේ ආභාසය ආදියේ සිට ම ලංකාවට ලැබුණු නමුදු එය නියම වශයෙන් ම ක්‍රමානුකූල ව බලපාන ලද්දේ මිහිඳු මාහිමියන් ගේ වැඩමවීමෙන් පසුව ය. බෞද්ධ සංස්කෘතියක නියම ලක්ෂණ අපට දක්නට ලැබෙන්නේ දෙවනපෑතිස් නිරිඳුන් ගේ රාජ්‍ය කාලයේ පටන් ය. විජය රජු ගේ ලංකාවට පැමිණීමත් සමඟ ම සිංහල ඉතිහාසය ආරම්භ විය. විජය කුමරු ලක්දිවට පැමිණෙන අවධියේ මෙහි යක්ෂ ගෝත්‍රිකයන් ද වාසය කළ බව හෙළි වෙයි. විජය කුමරු ඇතුළු පිරිස ගොඩ බසින ලද්දේ යක්ෂ ගෝත්‍රිකයන් වාසය කළ පෙදෙසකට ය.

විජයාවතරණයේ සිට මහින්දාගමනය දක්වා ලංකාවේ පැවැති සාමයික ඇදහිලි ක්‍රම ගැන වංශකථාවන්හි හා සමන්තපාසාදිකා විනයට්ඨකතාවෙහිත් ස්වල්ප වශයෙන් සඳහන් ව ඇත. ප්‍රාග් යුගයේ එනම්, බුද්ධාගමට කලින් මෙහි පැවැති ප්‍රධාන ලබ්ධි වශයෙන් බ්‍රාහ්මණ ආගම - ‍ජෛනාගම - යක්ෂයන් සහ වෘක්ෂ දේවතාවන් පිදීම යන ඇදහිලි ක්‍රම දැක්විය හැකි ය. අපේ වංශ කථා ආදියෙහි සඳහන් වන හැටියට විජය කුමරු ඇතුළු පිරිස ගේ ලංකාවතරණය සිදු වූයේ සම්බුද්ධ පරිනිර්වාණය සිදුවුණු දිනයේ ය. එදා පටන් ලක්දිව බ්‍රහ්මාගමය පැවැති බව සිතිය හැකි ය. විජය කුමරුන් සමඟ පැමිණි පිරිස අතර බමුණෝ ද සිටිය හ. විජය රජු ගේ පුරෝහිතයා වූ ද කලක් ලංකාවේ අගනුවර වශයෙන් පැවැති උපතිස්ස ගම ඉදිකරන ලද මූලිකයා වූ උපතිස්ස එයින් කෙනෙකි. ක්‍රි.පූ. සතරවැනි ශත වර්ෂයේ රජ කළ පණ්ඩුකාභය රජතුමා කුඩා කාලයේ ශාස්ත්‍රොද්ග්‍රහණය කෙළේ පණ්ඩුල නම් බ්‍රාහ්මණයා යටතේ බව මහාවංසයෙහි සඳහන් වේ. එම බ්‍රාහ්මණයා‍ ගේ පුත්‍රයා පසුව පණ්ඩුකාභය රජතුමා ගේ පුරෝහිත තනතුරට ද පත් වූයේ ය. දෙවන පෑතිස් නිරිඳුන් අශෝක චක්‍රවර්තීන් හට තුටු පඬුරු යවන විට අරිට්ඨ කුමරුන් සමග ගිය දූත පිරිසෙහි බ්‍රාහ්මණ‍යකු විසූ බව අපේ මහාවංසයෙහි දැක්වෙයි. ලංක‍ාවේ බුද්ධාගම පිහිටුවන්නට කලින් බ්‍රාහ්මණ බලය ශක්තිමත් ව තිබුණු බව මේ කරුණු වලින් පැහැදිලි වෙයි. සිංහල රජවරුන් ගේ බුදුසමය පිළිගැනීමෙන් පසු ඔවුන් ගේ බලය ක්‍රමයෙන් අඩු වී ගියේ ය. එහෙත් පසු කාලවලදී පවා රජවරුන්ට විරුද්ධව කැරලි ගැසීමට කුමන්ත්‍රණ කිරීමට තරම් ඔවුන් බල සම්පන්න ව සිටි බව ද පෙනේ. පණ්ඩුකාභය රජතුමා විසින් ජෝතිය නම් නිගණ්ඨයා හට ගෙයක් තනවන ලදී. කුම්භාණ්ඩ නම් නිගණ්ඨයා උදෙසා රජතුමා විසින් කරවන ලද දෙවොල ඒ නමින් ප්‍රසිද්ධ විය. මෙ‍ාවුහු ජෛනාගමය වැළඳ ගත් මහාවීර නම් ජෛන ශාස්තෘවරයා ඇදහූ ජෛන ශ්‍රමණයෝ වූහ. වට්ටගාමිණී අභය රජතුමාගේ කාලයේ “ගිරි” නමින් ප්‍රසිද්ධ වූ නිගණ්ඨයකු වූ ජෛන ශ්‍රාවකයෙක් විසී ය. ‘ගිරි’ නිගණ්ඨයා විසූ ආරාමය බිඳ දමා පසු ව වළගම්බා රජතුමා විසින් එම ස්ථානයෙහි අභයගිරි නම් විහාරය කරවන ලදී. ජෛනයන් මුල් ම යුගයේ සිට එනම්, විජය රජුගේ කාලයේ පටන් ම ලක්දිව විසූ බව ඓතිහාසික තොරතුරු වලින් හෙලි වෙයි. උතුරු ඉන්දියාවෙන් ජෛනයන් ගේ මෙහි පැමිණීම විජය ගෙන් පසුව වැඩි විය. විජය‍ ගේ පිරිසෙහි කෙසේ වෙතත් ඊට පසුව පැමිණි පිරිස අතර ජෛනාගමය පිළිගත් අය ස්ථිර ව සිටි බවට සාක්ෂ්‍ය ති‍බේ. ජෛනාගමයේ දියුණුවක් දක්නට නැතත් කාශ්‍යප රජුට දහඅට වැන්නෙහි ඔහු ගේ සොවුරු මුගලන් කුමරා නිගණ්ඨයන් ගේ නිවේදනයෙන් දඹදිවින් ලක්දිවට අවුත් දඹකොළ පටුනෙහි කුඨාර නම් වෙහෙරැ මුළ සිට බළ සෙනඟ රැස් කර වූ බව මහාවංසයෙහි සඳහන් වේ.

යක්ෂයන් ඇදහීම ද මුල් කාලයේ සිට පැවැති බැව් පෙනේ. පණ්ඩුකාභය රජතුමා නුවරින් නැගෙනහිර දිග කාලවේල නම් යක්ෂයා උදෙසා දෙවොලක් කරවී ය. චිත්‍රරාජ නම් යක්ෂයා හට අභය වැවේ යට කොනේ වාසය සලසා දුන්නේ ය. ජලයට අධිගෘහිත භූතයෙක් යැ යි පරණවිතාන මහතා සඳහන් කර යි. අවුරුදු පතා රජතුමා යක්ෂයන්ට බිලි දෙවී ය. වෛශ්‍රවණ - ජුතින්ධර - විභීෂණ ආදී යක්ෂයෝ ද වඩවා මූඛී සහ පච්ඡිම රාජිනී නම් යක්ෂණියෝ ද පුරාතනයේ පටන් ලක් වැසියන් විසින් පුදන ලදහ. බුදුසමය ලක්දිව මුල්බැස ගිය ද ප්‍රාග් බෞද්ධ යුගයේ ලක්දිව පැවැති යකුන් ඇදහීම මහජනයා තුළින් ඈත් නො වී ය. එය කලින් කලට වෙනස් මුහුණුවරකින් අද දක්වා ම පැවැත එයි. පණ්ඩුකාභය රජතුමා විසින් අනුරාධපුරයෙහි බටහිර දොර දිශාභාගයෙහි වෙසමුණියා නුගදෙවොල ද, වැදි දෙවියා තල් දෙවොල ද කරවූ බව සඳහන් ව ඇත. ප්‍රාග් බෞද්ධ යුගයෙහි ලංක‍ාවේ වෘක්ෂදේවතාවන් ඇදහීම පැවැති බවට සාක්ෂ්‍ය වශයෙන් මේ කරුණු දෙක සැලකිය හැකි ය. ස්වභාවධර්මය දේවත්වයෙහි ලා සැලකූ සාමාන්‍ය ජනයා ගංගා - ඇළ - දොළ - ගස් කොළන් ආදිය ඇදහීම කරන්නට වූහ. ගස් කොළන් ආදී අචේතන දේට වැඳීම පුද පූජා කිරීම බුදුසමය ලක්දිව පිහිටුවෙීමෙන් පසුව වුව ද අඩුවෙක් නො වීය. අද පවා ලංකාවේ සමහර පෙදෙස්වල මං මාවත් අසල තිබෙන විශාල වෘක්ෂයන් දේවත්වයෙහි ලා සලකන අයුරු ඉතා පැහැදිලි කරුණකි. ඒ වෘක්ෂයනට කළයුතු ගෞරව විධි උල්ලංඝනය කොට ගියොත් ගමන් බිමන්වලට විශාල බාධක පැමිණෙන බව ඔවුහු පිළි ගනිත්. ප්‍රාග් යුගයේ ලක්වැසියෝ ඉර සඳ ආදී වස්තූන් දේවත්වයට නඟා වැඳුම් පිඳුම් කිරීමත් ඒවා ඔවුන් ගේ දෛනික ජීවිතයට බලපාන අයුරු සම්බන්ධ කර ගැනීමත් කළහ. ලංකාවේ ප්‍රාග් බෞදධ යුගයේ වාසය කළ කොටසකි පරිබ්‍රාජක - ආජීවක හා ශ්‍රමණයෝ. පණ්ඩුකාභය රජතුමා ජෝතිය ගේ ගෙයටත් ගැමුණු වැවටත් අතර පරිව්‍රාජකාරාමයක් ද ආජීවකයන් හට ගෙයක් ද කරවූ යේ ය. එසේ ම එතුමා විසින් මිථ්‍යාදෘෂ්ටි කුල පන්සීයකට වාසය සලසන ලදී. ලංකාවේ පරිව්‍රාජකයන් විසූ බවට භද්දකච්චානා කුමරිය සහ ඇගේ පිරිස ලංකාවට පැමිණි පුවත සාක්ෂ්‍ය වශයෙන් සැලකිය හැකි ය. ඔවුන් පැමිණියේ පරිව්‍රාජිකා වේශයෙනි. ලංක‍ාවේ පාෂාණ්ඩ නමින් යුත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අයත් නොවන ශ්‍රමණ කොටසක් මුල් කාලයේ සිට ම විසූහ. මේ කරුණු ගැන විමසන විට මහින්දාගමනයට පෙර ලංකාවේ පැවැති ඇදහිලි ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකියි.

අශෝක

මිහිඳු මාහිමියන් පිළිබඳ පුරාවෘත්තය දැක්වීමේදී එතුමා ගේ දෙගුරුන් පිළිබඳවත් ලක්දිවට බුදුසමය ලැබුණු ආකාරය පිළිබඳවත් බුදු සමය පැතිරීමෙන් පසු ලක්දිව ඇති වූ සමාජ විපර්‍ය්‍යාසය පිළිබඳවත් දැන ගැනීම අවශ්‍ය යැ යි සිතමි. චන්ද්‍රගුප්ත රාජ පරම්පරාව වර්ධනය කළ ලෝක ඉතිහාසයෙහි අමුතු ම පරිච්ඡේදයක් එක් කළ අභිනව ර‍ාජ්‍ය තන්ත්‍රයක් ලොවට බිහි කළ කීර්තිමත් බෞද්ධ අධිරාජයාණන් වූ ධර්මාශෝක නිරිඳුන් හා විදිසා පුරයෙහි අධිපති දේව නම් වූ සිටුතුමා ගේ දුහිතෘ වූ විදිසා දේවියත් මිහිඳු මාහිමියන් ගේ දෙගුරුහු වූහ.

මෞර්‍ය්‍ය වංශයෙහි ආදිතමයා වූයේ මගධ දේශාධිපති චන්ද්‍රගුප්ත ය. චන්ද්‍රගුප්ත රජතුමාගේ රාජ්‍යෝදය ලෝක ඉතිහාසයෙහි ශ්‍රෙෂ්ඨ කාලපරිච්ඡේදයකි. එතුමා රාජ්‍යයට පත් වූයේ කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය නිපද වූ චාණක්‍ය නම් පෙරෙවි බමුණාගේ උපදෙස් පරිදි ය. චන්ද්‍රගුප්ත ගෙන් පසු සිංහාසනාරූඪ වූයේ එතුමාගේ පුත්‍ර බින්දුසාර රජතුමා ය. එකල රජවරුනට බොහෝ බිසෝ වරුන් වූයෙන් ඔහුට දරුවෝ එක්සිය එක් දෙනෙක් වූහ. ‍අශෝක හා තිස්ස එක මවුකුසින් උපන් සොහොයුරු දෙපළකි. එයිනුදු අශෝකයෝ ප්‍රධානය හ. පියදාස යන අපර නාමයකින් ද හඳුන්වනු ලබන අශෝකයෝ වික්‍රමාතිශය සම්පන්නය හ. මුළු දඹදිව ම හිමිකර ගැනීමේ භාග්‍ය සම්පන්න ව සිටි වීර පුරුෂයෙකි. අශෝක රජ ශූරයෙකු වූ හෙයින් අවන්ති ජනපදයෙහි ප්‍රතිරාජ පදවියට පත් විය. අවන්තිය විශාල ජනපදයකි. උජ්ජේනිය මෙහි අගනුවර විය. උතුරු හා දකුණු වශයෙන් කොටස් දෙකකට බෙදී තිබුණි. වේදිස නම් සිත්කලු පුරවරය වූයේ අවන්ති ජනපදයේ යි. අශෝක රජ වේදිස නුවර දේවි නම් රූමත් කුමරිය සරණ පාවා ගත්තේ ය. මේ ගුණවත් පින්බර කුමරිය සමග යුවරජ තුමා වාසනාවන්ත ජීවිතයක් ගත කළේ ය. නොබෝ කළකින් මහා පුණ්‍ය ශක්තියකින් යුත් දූ පුතුන් යුවළක් පහළ වූ හ. මහින්ද හා සංඝමිත්තා යන නාමයෙන් මව්පියන් විසින් ඔවුන් හඳුන්වන ලදී. පියරජු මරණින් පසු පැළලුප් නුවරට පැමිණි අශෝක රජ තිස්ස කුමරු හැර සෙසු සොහොවුරන් එකුන් සිය දෙනා ම මරා රාජ්‍යය ලබා ගත්තේ ය. මේ බිහිසුණු ක්‍රියාව හේතු කොට ගෙන මහජනයා අතරෙහි ප්‍රකට වූයේ පියදාස යන මුල් නාමයෙන් නො වැ අශෝක යන නාමයෙනි.

කාලිංග යුද්ධය

කලින් නන්ද අධිරාජ්‍යයට ද යටත් ව පැවැති කාලිංගය නන්දයන් ගේ දුර්වල පාලනයෙන් ස්වෛරී වී යැයි සැලකේ. දැනට “ඔරිස්සාව” නමින් හැඳින්වෙන දකුණු ඉන්දියාවේ පිහිටි මෙම කාලිංග දේශය විශාල යුද්ධ හමුදාවක් ඇතිව සතුරු රජකු විසින් පාලනය කරන ලදී. අධිරාජ්‍යයක් පිහිටුවීමේ රාජ්‍ය ලෝභයෙන් මැඩුණු අශෝක රජ තෙමේ කාලිංග දේශය හා යුද වැදුණි. දෘඪ සිතැති ව සිටි අශෝකයන් ගේ ද සිත් කම්පා කර ලීමට තරම් සමත් වූ බලවත් මනුෂ්‍ය ඝාතනයක් එයින් සිදු වුණි. එසේ වුව ද අශෝකයන් නැවතුණේ බිම්බිසාර රජුගේ පටන් දික්විජය පිළිබඳ යුද්ධයන් අවසන් කරමින් කාලිංග දේශය තම අධිරාජ්‍යයට යාබද කොට ගෙන ය. එම යුද්ධය පිළිබඳ ව අශෝකයන් ගේ 13 වැනි ශිලා ලේඛණයේ මෙසේ සඳහන් වෙයි. “එක්ලක්ෂ පනස් දහසක් දෙනා සිරභාරයට ගත්හ. එක් ලක්ෂයක් දෙනා ‍මැරුම් කෑවෝ ය. ඒ ගණන මෙන් කිහිප ගුණයක් තුවාල ලැබූහ” යනුවෙනි. රාජ්‍ය ලෝභයෙන් සිය සොහොවුරන් මැරවීමත් කාලිංග යුද්ධයේදී සිදු කළ දරුණු ක්‍රෑර අමානුෂික ක්‍රියා නිසාත් අශෝකයන් කලක් චණ්ඩාශෝක නමින් ප්‍රසිද්ධ ව විසී ය. ලක්ෂ ගණන් මිනිසුන් මරවමින් ලක්ෂ ගණනකගේ අංගෝපාංග කඩා අනාථයන් බවට පත් කරවමින් ලක්ෂ ගණන් මිනිසුන් සිර ගෙයි ලවා දුක් විඳින්නට සලස්වමින් සිදු කළ මේ දරුණු මනුෂ්‍ය සංහාරයෙන් පසු අශෝක රජ දඹදිව අධිරාජයා ලෙස බුද්ධ වර්ෂ දෙසිය අටලොසෙහි දී සිංහාසනාරූඪ විය.

ධර්මාශෝක

කාලිංග යුද්ධයේදී සිදු වූ දරුණු මනුෂ්‍ය ඝාතනයෙන් බලවත් කම්පනයට පත් අශෝක රජ අතිශය චිත්ත සන්තාපයකට ගොදුරු වූයෙන් එතෙක් පැවැති චණ්ඩ ගති පැවැතුම් අතහැර දමා ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට උත්සාහ දැරී ය. මුල දී හින්දු ධර්මය ඇද හූ බලවත් හින්දු භක්තිකයකු වූ අශෝක රජතුමා තමා ගේ වැඩි මහලු සොහොවුරු සුමන කුමාරයාගේ පුත් වූ සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගේ ආකල්පසම්පත්තිය දැක, පැහැදී මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ගේ සාහ්‍යයෙන් බුදු දහම වැළඳ ගත්තේ ය. ඉන් පසු චණ්ඩාශෝකයන් ධර්මාශෝක විය. බෞද්ධාගමය වැළඳ ගැනීමෙන් පසු හෙතෙම අමුතු ම පුද්ගලයෙක් විය. දස රජ දහමින් යුතු ව රාජ්‍යය කළ එතුමා සැබෑ බෞද්ධයෙකු සේ උසස් ආගමික ජීවිතයක් ගත කෙළේ ය. දිග් විජයෙන් නැඟුණු ජය කෙහෙළි ධර්ම වි‍ජයෝ ජය සංඛනාදය බවට පෙරළා ගත්තේ ය. හිංසාව අහිංසාව බවට පත් විය. යුද බෙරය වෙනුවට දහම් බෙරය ලොව පුරා පතුරුවන්නට හැකි විය. ආත්මාර්ථය පරාර්ථය පිණිස යොදවන්නට හැකි විය. ‍මෘගයාත්‍රා - ධර්මයාත්‍රා හා විහාර යාත්‍රා බවට පත් විය. මෙසේ කාලිංග යුද්ධය හේතු කොට ගෙන ඇති වූ ජයග්‍රහණයෙන් පසුව ජයපානය කළ යුතු වෙනුවට ප්‍රීති උත්සව පවත්වනු වෙනුවට අශෝක චක්‍රවර්තීහු බලවත් චිත්ත පීඩාවට පත් ව යුද්ධය ම්ලේච්ඡ හීන අමානුෂික ක්‍රියාවක් බවට පත් කොට සාමයේ අහිංසා හඬ ලොව පුරා පතුරුවා ලූහ. අශෝක රජතුමා ශ්‍රද්ධාවන්ත බෞද්ධයකු වුවද අන්‍යාගමිකයන් කෙරෙහි ද සාධාරණ වූ සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කෙළේ ය. අන්‍යාගමික පරිව්‍රාජකයන්ට පවා විහාර - ආශ්‍රම ආදිය සාදා දී ඔවුන්ගේ දන්වැට හා ප්‍රත්‍ය පහසුකම් සැලැස්වී ය.

ධර්මාශෝක රජු‍ ගේ ධර්මදූත සේවය

රාජ්‍ය පාලනයේ දී දස රජ දහමින් යුතුව කටයුතු කළ අශෝකයන් ගේ දර්ශනය “අශෝක ධර්මය” යනුවෙන් ඉතිහාසඥයන් විසින් නම් කොට තිබේ. එතෙක් ලොව කිසිදු රජ කෙනෙකුන් නො කළ විරූ අන්දමින් මහජන ශුභසිද්ධිය තකා කටයුතු කල අශෝකයන් “සියළු මිනිස්සු මාගේ දරුවෝ ය රාජ්‍ය පාලනයෙහි දී වෙහෙසට පැමිණෙන පාලකයා උසස් පාලකයෙක් නො වේ. නීතිය හා දඬුවම හැම දෙනාට ම සම විය යුතු ය” යනාදී උසස් අදහස් දැරූ බව අශෝක සෙල් ලිපි වල සඳහන් වී ඇත. බුද්ධ ධර්මයේ සඳහන් ගිහියන් ට සුදුසු වූ කරුණු අනුව වැසියන් හික්මවීමට අදහස් කළ අශෝක රජු අරියවංස අනාගත භය - මුනි - මෙ‍ානෙය්‍ය - සාරිපුත්ත - රාහුලොවාද යන සූත්‍රයන් ගුරු තන්හි තබා කටයුතු කළ බවත්, ඒ අනුව අවවාද අනුශාසනා කළ බවත් සෙල්ලිපි වල සඳහන් වෙයි. අනෙක් රාජ්‍යයන් හා යුද්ධ කොට ඒවා දිනා ගැනීම වෙනුවට එම රාජ්‍යයන් හා මිත්‍ර සම්බන්ධතා ඇති කරගෙන සුහද ව සිටීමට උත්සාහ ගත් අශෝක රජ තම රාජ්‍යය තුළ පැවැති ප්‍රත්‍යන්ත ජනපද වල දූෂිත පාලනයන් නැති කොට ඒවා ක්‍රමවත් ව සකස් කෙ‍ළේ ය. බලිබිලි පිදීම සුරා පානෝත්සව ‍ආදිය හෙලා දුටු ඔහු සත්ත්වයන් මැරීම හා උනට වධහිංසා කිරීම වළක්වා ලීමට උත්සාහ ගති. මෛත්‍රියට කරුණාවට හා අහිංසාවට අනුව දිවි මග සකස් කර ගැනුමට උත්සාහ වත්වන ලෙස තම රට වැසියනට උපදෙස් දුන්නේ ය. තම රාජ්‍යය තුළ ධර්මය පැතිර වීමට දූතයන් පිටත් කළ හෙතෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන දූෂණ ආදිය මැඩලීම සඳහා පස් වසරකට වරක් නිලධාරී මණ්ඩලයක් යැවී ය. එසේ ම අධිකරණය වඩාත් සර්ව සාධාරණ කරනු පිණිස හා යුක්ති සහගත කරනු පිණිස “ධර්ම මහාමාත්‍ර” නමින් නිලධාරී පිරිසක් පත් කළේ ය. අධිකරණය මගින් වරද කරුවන් කරනු ලැබූ පුද්ගලයන්ට ද අශෝකයන් කාරුණික ලෙස සැලකුවේ ය. පාලනය පිළිබඳ කාර්‍ය්‍යයන් සඳහා ඕනෑම වේලාවක ඕනෑම අවස්ථාවක ඕනෑම තැනකදී තමා හමුවීමට අශෝක රජතුමා ඇමතියන්ට අවසර දී තිබුණේ ය. වර්තමාන ශුභ සාධක රාජ්‍යයෙකින් කෙරෙන සියලු ක්‍රියාවන් අශෝකයන් ගේ පාලනයෙන් භාරත වැසියනට භුක්ති විඳීමට ඉඩ ලැබුණි. තම රාජ්‍යය තුළ ශිලා ලිපි කොටවා ඒ මගින් ධර්මය පිළිබඳ අවබෝධයක් දිගු කලකට ලබා දීමට උත්සාහ කළ රජ තෙමේ තම රාජකීය චාරිකාවන් නවතා ධර්මය ප්‍රචාරය කරමින් වන්දනා චාරිකාවන්හි යෙදුණේ ය. දිග් විජය නවතා ධර්ම විජයේ යෙදී සිටි එතුමා කලින් ප්‍රාන්තීය රාජ්‍ය කිහිපයක පැතිර තිබුණු බුද්ධ ධර්මය ලොව ව්‍යාප්ත කරනු සඳහා විදේශ රටවලට ද ධර්ම දූතයන් ‍යැවී ය. ශ්‍රෙෂ්ඨ රාජ්‍ය නායකයකු වශයෙන් හා කාරුණික පාලකයකු වශයෙන් අශෝක රජතුමා මුළු ලෝකයේම ප්‍රසිද්ධ විය. අශෝක සෙල්ලිපි කියවන විට එතුමා ගේ චරිතයේ ඇති ශ්‍රෙෂ්ඨත්වය මැනැවින් පිළිබිඹු වෙයි. එතුමා රටවැසියා ස්වකීය දරුවන් ලෙසත් තමා ඔවුන් ගේ පියා ලෙසත් සලකා ක්‍රියා කළේ ය.

එතුමා ශාසන ශුද්ධියත්, ධර්ම සංගීතියත් ධර්ම ප්‍රචාරය සඳහා ධර්මදූතයන් වහන්සේලා ‍නොයෙක් රටවලට යැවීමත් සඳහා මහත් උත්සාහයකින් ක්‍රියා කළේ ධර්ම විජය ඇති කර ගනු සඳහා ය. රටක් ධාර්මික ව පාලනය කරන්නට නම් රට වැසියා ගුණ නුවණින් හෙබි මිනිස් වගක් කිරීමට නම් රාජ්‍ය නායකයා ආදර්ශ සම්පන්න විය යුතු බව එතුමා හොඳ හැටි දැන සිටියේ ය. ධර්මාශෝක රජතුමා වැනි ආදර්ශවත් පාලකයෝ ලොව දුර්ලභ වෙති. අශෝක රජතුමා බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන කිසිදු රාජ්‍ය පාලකයෙකු නො කළ තරම් ධන පරිත්‍යාගයක්, උදාර සේවාවක් සිදු කෙ‍ළේ ය. තම රාජ්‍යයෙන් ලැබෙන ශුද්ධ ලාභය තුන් ලක්ෂයක් ධනය මහා සංඝයා ගේ ප්‍රයෝජනය පිණිස සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස යෙදවී ය. සුවාසූ දහසක් ධර්මස්කන්ධයට උපහාර වශයෙන් අනූහය කෝටියක් ධනය යොදවා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා පූජා කරන ලදී. ශාසනයෙහි බන්ධුත්වය ලබා ගනු පිණිස මොග්ගලීපුත්තතිස්ස මහරහත් හිමියන් ගේ අනුදැනීම අනුව අවසානයේ සිය දරු දෙදෙනා සසුන් ගත කරනු පිණිස ක්‍රියා කෙළේ ය.

මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ගේ උපාධ්‍යායත්වයෙන් හා මහාදේව මහ රහතන් වහන්සේ ගේ ආචාර්‍ය්‍යත්වයෙන් මහින්ද කුමාරයා සසුන්හි පැවිදි විය. විසි වයස් සම්පූර්ණ ව සිටි මිහිඳු හිමියෝ පැවිදි වූ දින‍ යේ ම සියලු කෙලෙසුන් නසා රහත් වූහ. මෙයට ප්‍රථමයෙන් තිස්ස යුව රජ තුමා ද සසුන් හි පැවිදි විය. යුව රජතුමා ගේ පැවිද්ද ගැන ඇසූ සංඝමිත්තා කුමරියගේ දයාබර ස්වාමි පුරුෂයාණන් වූ අග්ගිබ්‍රහ්ම කුමාරයා ද දෙවන දිනයෙහි මහ පිරිවරින් යුතු ව මහණ වූයේ ය. සිය සැමියාණන් ගේ සසුන්හි පැවිදි බවට සංඝමිත්තාවන් ගේ සම්පූර්ණ අනුමැතිය ලැබුණි. සංඝමිත්තාවන්ගේ ආදරණීය පුතණුවන් වූ සුමන කුමාරයෝ ද සත් හැවිරිදි වියේ දී ම බුදු සසුන් හි උතුම් පැවිද්ද ලැබූහ. මේ සියලුම රාජකීයයෝ සියලු කෙලෙසුන් නසා රහත් බවට පත් වූහ. රාජකීයයන්ගේ පැවිදි වීම හේතු කොට ගෙන බුද්ධ ශාසනය වෙත බෞද්ධ මහජනයාගේ ප්‍රසාද භක්තිය දිනෙන් දින ම දියුණු වන්නට විය. බුදු සසුන වෙත ලාභ සත්කාර සිවු දිගින් ම ගලා එන්නට විය. ධර්මාශෝක චක්‍රවර්තීහු ද ලක්ෂ ගණන් ධනය දිනපතා වැය කරන්නට වූහ. මේ හේතු කොට ගෙන ලාභ සත්කාරයන් ගෙන් පිරිහී ගිය තීර්ථකයෝ ද ශාසනයෙහි පැවිදි වන්නට වූහ. සමහරු තමන් ම සිවුරු දා ගත්හ. අශෝකාරාමයෙහි පොහොය නො කොට සත් වර්ෂයක් ගත විය. දුසිලුන් ගෙන් සසුන කෙලෙසී ඇති බව දැන ගත් ධර්මාශෝක චක්‍රවර්තීහු මොග්ගලීපුත්තතිස්ස මහ රහත් මාහිමියන්ගේ මෙහෙයීම අනුව සසුන් සෝදුවක් කොට සංගායනාවක් කිරීමට කටයුතු සංවිධානය කර වූහ.

තෘතීය ධර්ම සංගීතිය

සසුනට හොර රහසේ ඇතුළු වී සිටි සැට දහසක් පමණ තීර්ථක සමූහයා සසුනෙන් බැහැර කොට සසුන පිරිසිදු කෙළේ අශෝක අධිරාජයා ය. අනතුරුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය පන්තිස් වැන්නෙහි දී පැළැලුප් නුවර අශෝකාරාමයේ දී ධර්මාශෝක අධිරාජයාගේ දායකත්වය හා ආරක්ෂා සංවිධානාත්වයෙන් මොග්ගලීපුත්ත තිස්ස මහරහත් මාහිමියන් ප්‍රධාන දහසක් රහතන් වහන්සේලා විසින් තෘතීය ධර්ම සංගායනාව නව මාසයකින් කොට නිමවන ලදී. නව රට සසුන් පිහිටුවනු සඳහා ප්‍රබල බහුශ්‍රැත භික්ෂූන් වහන්සේලා යැවීමට කටයුතු අරඹන ලදී. කාශ්මීරයට හා ගන්ධාර දෙරටට මජ්ඣන්තික තෙරුන් ද, මහිස මණ්ඩලයට මහාදේව තෙරුන් ද, වනවාසී රටට රක්ඛිත තෙරුන් ද, අපරන්ත දේශයට යෝනක ධම්මරක්ඛිත තෙරුන් ද, මහා රාෂ්ට්‍රයට මහා ධම්මරක්ඛිත තෙරුන් ද, යවන ලෝකයට මහා ධම්මරක්ඛිත තෙරුන් ද, හිමවත් පෙදෙසට මජ්ඣිම තෙරුන් ද, ස්වර්ණ භූමියට සොණ - උත්තර තෙරවරුණු ද, හෙළදිවට මහා මහින්ද මාහිමියන් ප්‍රධාන ඉට්ඨිය - උත්තිය - සම්බල - භද්දසාල යන තෙරවරුන් සතර නම ද යැවූහ. මිහිඳු හිමියෝ ලංකා ශාසන ප්‍රතිෂ්ඨාපනය පිණිස සුදුසු කාලය උදාවන තුරු වේදිස ගිරිනගරයට වැඩම කොට සිටියහ.

ලක්බුදු සසුන් පිහිටුවීම

මුටසීව රජු ගේ ඇවෑමෙන් බුදු වසින් 236 වැන්නෙහි දෙවැනි තිස්ස කුමරා රජ විය. හෙතෙමේ රජ වී නොබෝ දිනකින් කුඩා කල සිට ම තමාගේ අදෘෂ්ට මිත්‍ර ව සිටි දඹදිව දම්සෝ නිරිඳුන් වෙත අගනා මුතු මැණික් පඬුරු රාජ දූතයන් අත යැවී ය. එයට පිළිපඬුරු වශයෙන් ධර්මාශෝක රජතුමා අභිෂේකයට අවශ්‍ය ඉතා වටිනා උපකරණ එවී ය. තමන් බෞද්ධොපාසක ව ඉන්නා බවත් තම මිතුරාත් තුනුරුවන් සරණ ගියොත් යහපත් බවත් දහම් පඬුරක් වශයෙන් කියා එවී ය. එසේ ම තමා එවූ අභිෂේක භාණ්ඩ වලින් යළිත් ස්වකීය මිත්‍රයා අභිෂේක ලබන ලෙස ද ඉල්ලා සිටියේ ය. මේ හසුන් පත ලත් තිස්ස රජතුමා මිතුරාගේ වචනයට සැලකිලි වශයෙන් එතුමා එව් පඤ්චකකුධ භාණ්ඩයන් සහිත ව වෙසක් පුනු පොහෝ දිනයෙහි දෙවන වරටත් අභිෂේක ලැබී ය. නොබෝ කලකින් මිහිඳු මහරහතන් වහන්සේත් ඉට්ඨිය - උත්තිය - සම්බල - භද්දසාල යන රහතන් වහන්සේලා සිවු නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක නම් අනාගාමී රාජ උපාසකයාත් යන රාජකීය ධර්මදූත් පිරිස සමඟ දඹදව වේදිස ගිරි නුවරින් ලක්දිව අනුරාධපුර මිස්සක පවුවට වැඩම කළ හ. මේ ධර්ම දූත පිරිසගේ ලංකාගමනය සිදු වූයේ බු.ව. 236 වැන්නෙහි පොසොන් පුනු පොහෝ දිනයක ය. මෙයට අවුරුදු දෙදහස් ගණනකට පෙර ලක්දිව දෙවන පෑතිස් නිරිඳුන් ගේ රාජ්‍ය සමයේ පොසොන් පොහෝදා “පොසොන් සැණකෙළිය” නම් උත්සවයක් විය. මෙය ලංකාවේ පැවැති පැරණි උත්සව විශේෂයකි. එදින සතළිස් දහසක් පිරිස පිරිවරාගෙන තිස්ස රජතුමා මුව දඩ කෙලිය පිණිස මිස්සක පර්වතයට ගියේ ය. පස් හා ගල් දෙකින් මිශ්‍ර ව සෑදුණු හෙයින් මිස්සක පබ්බතය යන නම ව්‍යවහාර කරනු ලැබේ. මිහිඳු හිමියන් ගේ ආගමනයෙන් පසු මිහින්තලය - සෑගිරිය යන නම් වලින් හඳුන්වනු ලැබේ. මේ සුන්දර වන පියසෙහි මුව දඩයම් පිණිස පැමිණි පිරිස් සහිත රජතුමා හට මිහිඳු මහරහතන් වහන්සේ සම්මුඛ විය. පර්වතයට අධිගෘහිත දේවතාවා රජුට තෙරුන් වහන්සේ දක්වනු පිණිස මුවකුගේ වේසය මවා ගෙණ තණ පඳුරක් කමින් සිටින්නා සේ දැක්වී ය. කෑම කමින් සිටින සතාට විදී ම සුදුසු නැතැ යි සිතූ රජතුමා මුවාට ඇසෙන්නට දුනු දිය ශබ්ද කෙළේ ය. මුවා එය අසා පර්වතයේ අනෙක් පැත්තට දිව්වේ ය. මුවා ලුහු බැඳ පසු පස දුවන රජතුමා මිහිඳු හිමියන් දකින විට මුවා අන්තර්ධාන විය. හැම දෙනා ම එක විට රජතුමා දු‍ටුවොත් බිය වෙතැ යි සිතූ මිහිඳු හිමියෝ තමන් වහන්සේ පමණක් රජුට දැක්වූ හ. ඒ සමග ම “තිස්ස, තිස්ස, මෙහි එන්න” යනුවෙන් හඬක් ඇසෙන්නට විය. රජතුමා මිහිඳු හිමියන්ගේ වචනය අසා මවිත විය. එතුමාට මේ දිවයිනේ මෙසේ නමින් කථා කිරීමට සමත් වෙනත් කෙනෙක් නැත්තා හ. එබැවින් පුදුමයට පත් ව ඒ මේ අත විමසමින් බලමින් සිටින විට ශාන්ත වූ ශ්‍රමණ රූපයක් දක්නට ලැබුණි. ඒ දුටු රජතුමා ඔබ කවරෙක් දැයි විමසී ය. එයට පිළිතුරු වශයෙන් මිහිඳු මාහිමියෝ මහරජ! අපි ධර්ම රාජයන් වහන්සේ‍ ගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම්හ. ඔබට ම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි පැමිණියම් හ”යි වදාළ හ. රජු ගේ බිය හා සැක දුරු විය. ඒ සමඟ ම තම මිතුරු දම්සෝ නිරිඳුන් විසින් එවන ලද පණිවුඩය රජුට සිහි විය. අශෝක රජු ගේ ලිපියෙහි සඳහන් වන බුද්ධ ශ්‍රාවකයන් ගෙන් කෙනෙකු බව නිශ්චය කර ගත් රජතුමා දුනු හී බිම දමා මිහිඳු හිමියන් ළඟ හිඳ ගත්තේ ය රජතුමා සමග ගිය පිරිස ද අවුත් එතුමා පිරිවරා ගත් හ. මිහිඳු මාහිමියෝ තමන් සමඟ පැමිණි අනෙක් සදෙනා ද දැක්වූහ. රජතුම‍ා උන්වහන්සේලා දැක මොහු කවර වේලාවක ආවාහු දැයි විචාළේ ය. “මා සමඟයැ”යි මිහිඳු හිමියෝ වදාළ හ. “මෙබඳු වූ තවත් ශ්‍රමණයෝ දඹදිව සිටිත් දැ”යි රජතුමා ප්‍රශ්න කෙළේ ය.

“මහරජ, දඹදිව කාෂාය වස්ත්‍රයෙන් බබළන්නේ ය. එහි ත්‍රිවිද්‍යාධාරී - ඍද්ධි බලධාරී පරසිත් දන්නා මහ රහතන් වහන්සේලා බොහෝ වෙති” යි මිහිඳු හිමියෝ වදාළ හ. නැවැත රජතුමා “ඔබ වහන්සේලා වැඩියේ කෙසේ දැ”යි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන මිහිඳු මාහිමියෝ “ගොඩින් හෝ දියෙන් හෝ නො ආම්හ”යි ප්‍රකාශ කළ හ. මෙයින් රජතුමා අහසින් වැඩි බව දැන ගත්තේ ය.

නුවණ විමසීම

දෙවන පෑ තිස් නිරිඳුන් සසුන්හි පැහැදවීම සඳහා මිහිඳු හිමියන් අනුගමනය කළ ක්‍රියාමාර්ය ආදර්ශ සම්පන්න ය. උන් වහන්සේ දේශනා කරන්නට යන ධර්මයට රජහු සිත තියුණු ලෙස යොමු කරවනු පිණිස අඹ රුක් උවමින් හා නෑ උවමින් පළමු කොට මෙසේ නුවණ විමසූහ.

“මහරජ, මේ ගසේ නම කුමක්දැ”යි ළඟ තිබුණු අඹ ගසක් පෙන්වා මිහිඳු මාහිමියෝ රජු ගෙන් ප්‍රශ්න කළහ.

රජතුමා - “මෙය අඹ ගසෙකි”යි පිළිතුරු දුන්නේ ය.

මිහිඳු මාහිමි - “මේ හැර තවත් අඹ ගස් තිබේද?

රජතුමා - “එසේ ය, ස්වාමීනි! බොහෝ අඹ ගස් ඇත.”

මිහිඳු මාහිමි - “මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේ ද?”

රජතුමා - “ස්වාමීනි, බොහෝ ගස් ඇත. එහෙත් ඒ ගස් අඹ නො වේ.”

මිහිඳු මාහිමි - “මහරජ, ඒ අඹත් නො අඹත් හැර තව ගස් තිබේද?”

රජතුමා - “ඇයි ස්වාමීනි, මේ අඹ ගස?”

මිහිඳු මාහිමි - “මහරජ! ඔබ පණ්ඩිතයෙහි”

මිහිඳු මාහිමි - “මහරජ! තොපට නෑයෝ සිටිත් ද?”

රජතුමා - “එසේ ය, ස්වාමීනි, බොහෝ නෑයෝ සිටිත්.”

මිහිඳු මාහිමි - “මහරජ, තොපට නො නෑයෝත් සිටිත් ද?”

රජතුමා - “‍එසේ ය, ස්වාමීනි! බෙ‍ාහෝ නො නෑයෝත් සිටිති.”

මිහිඳු මාහිමි - “ඒ නෑයෝත් නො නෑයෝත් හැර තවත් අය සිටිත් ද?”

රජතුමා - “ඇයි ස්වාමීනි, මම?”

මිහිඳු මාහිමි - “මහරජ! ඔබ පණ්ඩිතයෙහි.”

මෙසේ පරීක්ෂා කොට බැලූ මිහිඳු මාහිමියනට තිස්ස රජතුමා හොඳ නුවණැතියකු බව අවබොධ විය. මිහිඳු මාහිමියෝ පසුව පිරිස් සහිත රජතුමාට චුල්ල හත්ථිපදොපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ හ. දේශනාව අවසානයෙහි රජතුමා සතළිස් දහසක් පිරිස සමග තිසරණ පන්සිල් හි පිහිටු වීමෙන් බෞද්ධයෙක් විය. එයින් තුනුරුවනෙහි උසස්කම ද භික්ෂුව ගේ චාම් ජීවිත පැවැත්ම ද ශ්‍රෙෂ්ඨ ගුණ ගරුක ජීවිතය ද අවසානයෙහි සිවුසස් දහම් ද ප්‍රකාශ කරන ලදී. දෙවන දිනයෙහි රජගෙදර දී පේතවත්ථු - විමානවත්ථු සච්චසංයුත්ත යන මෙයින් ධර්ම දේශනා කළ හ. අනුලා බිසව ඇතුළු පන්සියයක් ස්ත්‍රීහු ඒ ධර්මය ශ්‍රවණය කොට සෝවාන් ඵලයට පැමිණියහ. පේතවත්ථු - විමානවත්ථු දෙකින් වදාළ ධර්මය පරලෝ ගැනත් දෙවියන් හා භූතයන් ගැනත් හැඟීමක් විශ්වාසයක් ඇතිව සිටි ඒ පිරිසට තදින් සිත් හි කා වැදී ගියේ ය. තමන් පිළිගෙන ඇති මතයට විරුද්ධ නැතැ යි යනුවෙන් අසන්නන් තුළ හැඟීමක් ඇති වූ පසු ඔවුහු වඩ වඩාත් එයට කන් යොමු කළ හ. සච්ච සංයුත්තයෙන් වදාළ ධර්මයෙන් සසර දුකත් එයින් නික්මෙන මඟත් දැක්වූ හ. මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල් වැසියනට දැන්වීම නිසා දෙවන දිනයෙහි දහස් ගණනින් ජනයා රජ මාළිගය අසළට රැස් වූ හ. ඒ සියලු දෙනාට ම ඇතුළු පුර අවකාශ මද බව දැන ගත් රජ තෙමේ මඟුලැත්හල සරසා එහි අසුන් පනවන්නට නියම කෙළේ ය. අසුන් පිළියෙළ වූ පසු මිහිඳු මාහිමියෝ සහ පිරිවරින් එහි වැඩම කොට දේවදූත සූත්‍රය දේශනා කළ හ. දේශනාවසානයෙහි දහසක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටිය හ. පසුව එය ද ඉඩ මද වූයෙන් නන්දන වනෝද්‍යානයෙහි අසුන් පැනවූ හ. මිහිඳු මාහිමියෝ එහි දී ඔවුනට බාලපණ්ඩිත සූත්‍රයෙන් ධර්ම දේශනා කළ හ. බාලපණ්ඩිත සූත්‍රයෙන් නුවණින් පව් කොට දෙලොව ම පිරිහෙන සැටිත් නුවණින් ක්‍රියා කොට දෙලොවින් ම දිනන සැටිත් ප්‍රකාශ කළ හ. මේ හැම සූත්‍ර දේශනාවකින් ම වාසනාවන්ත ගුණ ගරුක ජීවිතයක් ගත කරනු පිණිස මිනිසකු විසින් ජීවිතය පැවැත්විය යුතු ආකාරය ඉගැන්වූ හ. බුද්ධ ධර්මය අනුව ලක්වැසි ජනතාව ගේ ජීවිත හැඩ ගස්වා ලීමෙහි මේ සූත්‍ර ධර්ම මහත්සේ උපකාරී විිය. පසුව දෙවන පෑ තිස් රජතුමා විසින් මහමෙවුනා උයන සංඝයාට පූජා කළ පසු එය ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය බවට පත් විය. ථෙරවාදයේ බලකොටුව වූ මහාවිහාරයේ ප්‍රතිෂ්ඨාපනය මහ මෙවුනා උයනින් ආරම්භ විය. උපෝසථ සංඝ කර්මාදිය කරනු පිණිස සීමාවක් අවශ්‍ය ය. සංඝ සම්මතයෙන් මහමෙවුනා උයන උපෝෂථා ගාරයක් බවට ‍පත් විය. දෙ තිසක් ඛණ්ඩ සීමාවන් සම්මත කිරීමෙන් පසු සීමා බන්ධනය අවසානයේ මහ පොළොව කම්පා වූවා ය. මිහිඳු මාහිමිපාණන් වහන්සේ ක්‍රමයෙන් තුන්වන - සිවුවන - පස්වන - සවන - සත්වන දිනයන්හි ආසිවිසෝපම - අනමතග්ගිය - ඛජ්ජනීයකගිගෝමයපිණ්ඩික - ධම්මචක්කප්පවත්තන යන සූත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ග ඵලාවබෝධයට පත් කර වූ හ. මිහිඳු මාහිමියන් ප්‍රධාන සංඝයා ශාසනය බබුළුවමින් වැඩ විසූ හෙයින් නන්දන වනය පසුව “ජෝතිය වන” නමින් ප්‍රසිද්ධ විය. රජු සමග මහමෙවුනා උයන වටා ඇවිද සීමාමාලකාදිය පිහිටු විය යුතු තැන් නියම කොට පසුව සමන් මල් පිදීමෙන් අටමස්ථානයන් පිහිටන තැන් සම්මත කරන ලදී. 1. මාලක සීමාව 2. ජත්තාඝරපොකුණ 3. මහාබෝධිය 4. ලෝවාමහපාය 5. සංඝ ලාභ භාජනස්ථානය 6. චතුස්සාලාව පිහිටි තැන 7. රත්නමාලි චෛත්‍යය පිහිටි තැන 8. තිස්සරාමය යන ස්ථානත් ථූපාරාමය, මිරිසවැටිය - ඉසුරුමුණිය හා වෙස්සගිරිය යන පූජනීය ස්ථානත් මහ මෙවුනා උයනෙහි පිහිටුවන ලදී.

මිහිඳු මිහිමියන් ගෙන් සිදු වූ සමාජ විපර්යාසය

මිහිඳු මාහිමියන් ගෙන් උදාවුණු අභිනව සංස්කෘතිය හේතු කොට ගෙන විශාලතම සමාජ විපර්‍ය්‍යාසයක්, ආධ්‍යාත්මික විප්ලවයක්, චින්තන ප්‍රබෝධයක් ලක් වැසියන් අතර ඇති විය. මිහිඳු හිමියන් විසින් ඉගැන්වූ පිළිවෙත් මඟ සාමකාමී එකක් විය. චාම් දිවි පෙවෙතකට ආධාර විය. භික්ෂූන් වහන්සේ රටට ආදර්ශයක් විය. රට හදන උපදෙස් මාර්ගය කියා දෙන භික්ෂූන් වහන්සේ රජු ඇතුළු සියලු රටවැසියාට ම මහඟු ආදර්ශයක් විය. ලක්දිව හැම ගමක ම විහාරාරාමයන් පිහිටුවන ලදී. ඒවා සිංහල සංස්කෘතියේ කේන්ද්‍රස්ථාන බවට පත් විය. අනුරපුර මිහින්තලා කන්දෙන් පැන නැගී ලංකාවේ දශ දිශාවට ගලා ගිය නිර්මල ධර්ම ගංගාව නිසා සියලු සිංහලයෝ බෞද්ධයන් බවට පත් වූ හ. අධර්මයෙන් වෙළී, දුසිරිතෙන් බර වී, අවිද්‍යාවෙන් මුළා වී පැවැති මේ දිවයිනේ උපබුදු මිහිඳු මාහිමියන් විසින් සදහම් මිණි පහන දල්වා සියලු ගණඳුරු නැති කොට අපේ රට සද්ධර්මාලෝකයෙන් ඒකාලෝක කරන ලදී. සිංහලයාගේ ඇස් ඇරුණේ, නුවණැස පහළ වූයේ, සත්‍ය ධර්මාලෝකය උදා වූයේ, සමස්ත ලංකා ධරණී තලය ම සදහම් ආලෝක‍යෙන් එළිය වැටුණේ මේ උත්තරීතර ඓතිහාසික මහින්දාගමනයෙන් පසුව ය. ගස් ගල් පර්වතවලට පුද පූජා කරන්නවුන්, මළවුන් - යකුන් අදහන්නවුන්, ක්‍රමයෙන් තුරන් වෙද්දී බමුණන් හින්දු ධර්මයත් සමඟ ද ජෛනයන් ජෛනාගමයත් සමඟ ද ලක් පොළොවින් බැහැර වී යද්දී සදහම් අමා පණිවුඩය ලංකාවේ අස්සක් මුල්ලක් නො හැර පැතුරුනේ ය. බෞද්ධ ප්‍රතිපත්තීන් මත සැකැසුණු බෞද්ධ ශිෂ්ටාචාරයක් පැන නැගී ස්ථීර පදනමක් අනුව බුද්ධාගමය හෙළදිව මුල් බැස ගියේ ය. මෙසේ සත්‍ය ධර්මයෙන් ආශිර්වාද ලත් සිංහලයෝ ක්‍රමයෙන් ප්‍රබුද්ධ පිරිසක් බවට පත් වූහ.

හෙළ කලාවේ උපත

ලක්දිව තිබෙන ජාතික හා ආගමික නෂ්ටාවශේෂයන් ගෙන් අපට ප්‍රදර්ශනය වන්නේ හෙළ කලාවේ උපත බුදුසමයෙන් එනම්, මිහිඳු යුගයෙන් පසුව ආරම්භ වුණු බව ය. සිංහ - කොටි වැනි බිහිසුණු සතුන් ගේ වාස භූමින් බවට පත් ව තිබුණු විශාල ගල්ගුහා ලොව්තුරා මිහිර කැවුණු විහාර ලෙන් බවට පත් වූයේත්, වනයේ තිබෙන මහ කළු ගල්වලට කරුණා - මෛත්‍රී - සමාධි ගුණ කැවී සිංහලයාගේ කලා කාමීත්වය ඔප් නංවමින් ශාන්ත බුදු පිළිම බවට පත් වූයේත්, අලි වලසුන් ගේ කෙළි බිම් බවට පත් ව තිබුණු විශාල වන පෙදෙස් රමණීය විහාරාරාමයන් ගෙන් හා අලංකාර මාලිගාවන් ගෙන් ද මනහර පුෂ්පෝද්‍යානයන් ගෙන් ද සිත්කලු පොකුණු වලින් ද යුත් ඓතිහාසික ජයභූමින් බවට පත් වූයේත් බුදු සමය නිසා ය. මහ කඳු සිඛරයක් වූ සමනොළ කන්ද ලක්ෂ සංඛ්‍යාත භක්තිමතුන් ගේ ශුද්ධ භූමියක් බවට පත් වූයේත්, අනුරාධපුරයත්, මිහින්තලයත්, පොළොන්නරුවත්, කතරගම කිරිවෙහෙරත්, සිතුල් පවුවත්, සීගිරියත්, දඹුලු විහාරයත් අපට ඇතිවූයේ බුදුසමය නිසා ය. දුටුගැමුණු, මහපැරකුම්බාවන් වැනි වී‍රෝදාර ප්‍රතාපවත් රජවරුන්, සිරි සංඝබෝධි - බුද්ධදාස වැනි බෝධිසත්ත්ව ගුණෝපේත රජ දරුවන්, සීගිරි - කාශ්‍යප වැනි කලාකාමී නරවිරුවන් සුරනිමල - ථෙරපුත්තාභය වැනි රණකාමී යෝධයන්, අරිෂ්ට - මලියදෙව වැනි සිංහල රහත් හිමිවරුන්, අනුලාවන් වැනි රහත් මෙහෙණින්, ලීලාවති - කල්‍යාණවතී වැනි රාජ්‍ය පාලනයෙහි නියුක්ත රාජමෙහෙසියන්, විහාරමහාදේවී - සෝමාදේවී වැනි වීරෝදාර හෙල මවුවරුන්, හේමාවන් වැනි ගුණ නුවණින් හෙබි කුල කතුන් මේ රටේ පහළ වූයේත් බුදු සමය නිසා ය.

මහාසාගරය වැනි ගැඹුරු නුවණින් හෙබි දිඹුලාගල කාශ්‍යප, ශාරිපුත්‍ර, ශ්‍රී රාහුල වැනි සඟරජ හිමිවරුන්, ධර්මසේන හිමි, වෑත්තෑවේ හිමි, මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමි - වීදාගම මෛත්‍රිය හිමි, ගුරුළු ගෝමී, විදුසක්විති හා ‍දෙවන පැරකුම්බාවන් වැනි මහා පඬිවරුන් බිහිවූයේත් බුදු සමය නිසා ය. අපේ සිංහල සාහිත්‍යයට ධර්ම ප්‍රදීපිකාව - අමාවතුර - බුත්සරණ - දහම්සරණ - සඟසරණ - සද්ධර්මරත්නාවලිය - පූජාවලිය - ජාතක පොත - කව්සිළුමිණ - කාව්‍යශේඛරය - ගුත්තිලය - බුදුගුණාලංකාරය - ලෝවැඩ සඟරාව හා සුභාෂිතය වැනි ගද්‍ය පද්‍ය ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයන් බිහිවූයේත් බුදුසමය නිසා ය.

මෙනයින් ලංකා භූමියේත් සිංහල මිනිසාගේත් එක් එක් අංශය ගෙන බලත් බලත් මහින්දාගමනයත් සමඟ ඇතිවුණු බෞද්ධ ප්‍රභාවෙන් දීප්තිමත් නො වුණු එක ද අංශයක් හෝ ඇතැයි නො කිව හැකි ය. සිංහල ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් යැයි නම් කළ හැකි යම් ඒ යුගයක් වේ නම් ඒ සියල්ලම මහා මහින්ද ශ්‍රී නාමයට බැඳී ඇති ණයගැති භාවය පිළිබඳ නො නැසෙන සිහිවටනයැ යි කීම ඉතා ම අඩුවෙන් කීමක් මිස අතිශයෝක්තියක් නම් නො විය හැකි ය. ගුණයෙන් වේව යි ධර්මයෙන් වේව යි ප්‍රතාපයෙන් වේව යි උච්චස්ථානයකට නැංවුණු යම් ම සිංහල මනුෂ්‍යයෙක් වේ නම් ඒ භාග්‍යවන්ත පුරුෂයා මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ ගේ සුවිනීත අත වැස්සෙකු වීමට පින්කළ කෙනෙකැ යි කීම කිසිම විදියකින් ඔහුට කෙරෙන නිගරුවක් නො විය හැක. විචිත්‍ර චරිතයෙන් වේව යි, කාරුණික ගුණයෙන් වේව යි, ආදර්ශ සම්පන්න පැවැත්මෙන් වේව යි ජන ප්‍රසාදයටත් ගුණ කථනයටත් පාත්‍රවුණු ස්ත්‍රී රත්නයකැ යි කිව හැකි කවර හෝ සිංහල වනිතාවක් වේ නම් ඇය පරසතු මලින් පිදිය යුතු මහා මහේන්ද්‍ර ගුණ කදම්බය වනපස මලින් පුද කළ දුගී දැස්සකැ යි හඬ නගා කීම කිසිම විදියකින් මදි පුංචි කමක් නො විය හැක.

මේ අත්‍යුත්තම පෙ‍ාසොන් පුනු පොහෝ දිනය වූ කලි දීප ප්‍රසාදක මහා මහේන්ද්‍ර අනුබුද්ධයන් වහන්සේ පිළිබඳවත් දඹදිව අශෝක නරනාථයන් පිළිබඳවත් අතිවිශිෂ්ට අනුස්මරණයන් එකිනෙක පෙරට ගෙන එන අතිශයින් ම වැදගත්, අතිපරිශුද්ධ දිනයෙකි. මේ අතිශ්‍රෙෂ්ඨ මහා පුරුෂයන් පිළිබඳව, අතිසම්භාවනීය චරිතාපදානයන් පිළිබඳ ව එක්වන් මෙනෙහි කිරීම මෙදින කළ හැකි මහා කුශල කර්මයක් වන්නේ ය. විසිතුරු සිද්ධීන් ගෙන් විචිත්‍රවුණු අශෝක චරිතාපදානය දෙස නෙත් කොණින් හෙළන බැල්මක් වුව ද හැම බෞද්ධ සිතකට ම මහත් ආ‍ලෝකයක් ගෙනදීමට තරම් හැම අතින් ම ප්‍රබල ය. එතුමා විසින් ගිරි - පුවරු - ටැම් ආදියෙහි කොටවා තමන් සතු මහා රාජ්‍යයෙහි තන් තන්හි පිහිටුවන ලද ධර්ම ලිපි වලින් අංශුමාත්‍රයක් කියවා මෙනෙහි කිරීම වුව ද සියල් සත්නට වැඩ සාදාලීමෙහි එක සේ පොහොසත් ය. බෞද්ධ සභ්‍යත්වයෙහි දරුවා නැළවුණු තොටිල්ල යැයි ඉතිහාස විශාරදයන් විසින් විවරණය කරනු ලබන මිහින්තලය ගැන පොසොන් පොහෝදා මෙනෙහි කරන ඕනෑ ම බෞද්ධයෙකු වුව ද ප්‍රසාදසංවේගයෙන් ඇළලී යනවාට කිසිම අඩමානයක් නැත. මහා භාරත අධිරාජ්‍යය වැනි ඓශ්චර්‍ය්‍යයකින් අනූන වූ දේශයක සිංහාසනය අලුයම ලූ කෙළපිඬක් මෙන් ඉවත දා මිහින්තලාවේ ගල්ලෙනක් තුළ මුළු ජීවන යුගයක් ගෙවමින් සිංහල රටටත් සිංහල මිනිසාටත් නො නැසෙන ආලෝකයක් ගෙන දුන් අනුබුදු මිහිඳු මාහිමියන් වෙනුවෙන් බැඳී ඇති ණයබර පොසොන් පොහෝදා වැඩි වැඩියෙන් පෙනී යතොත් ඒ අතිශයින් ම ස්වාභාවික ය. “සමණා මයං මහා රාජ!” යනුවෙන් ප්‍රථමයෙන් වදාළ පරිදි ධර්ම රාජයන් වහන්සේ ගේ ශ්‍රාවක ශ්‍රමණයන් වහන්සේ ගේ ප්‍රාදුර්භාවය කරණකොට ගෙන ලංකාවේ මතු වූ අලුත් ගුණ වගාව - අභිනව සංස්කෘතිය පිළිබඳ අල්ප මාත්‍ර වූ ද හැඟීමක් ඇති කර ගත හැකි නම් එය ම අතිශයින් සාර්ථක වූ මහා පොසොන් උළෙලක් පැවැත්වූවා වන්නේ ය. එපරිද්දෙන් මිහිඳු උදාවත් සමග ම පරම්පරාවෙන් පරම්පරාවට පැවැත ආ උසස් බෞද්ධ ප්‍රතිපදාවේ නිර්මල අංග ඔබෙනුත් ආරක්ෂා වී අනාගත පරම්පරාවේ උරුමයක් හැටියට තබා ජාතියේ උදාර රුධිරය එයින් පෝෂිත කළ යුතු යැයි අවංක අධිෂ්ඨානයක් බවට පත් කර ගත හැකි නම්, ඔබ උදාර සිංහල බෞද්ධයකු වීමේ මූල ප්‍රණිධිය සම්පූර්ණ කළ කෙනෙකැ යි ඉතා ගෞරවයෙන් සිහි පත් කළ හැකි වනු ඇත.

බුදු සමයේ ශුභ්‍ර කීර්තිය කැටි ගැසුණු කලක් මෙන් අනුරාධපුර මහ මෙවුනා උයනේ ථූපාරාමය - ඉසුරුමුනිය - මහාබෝධිය - වෙස්සගිරිය - මහාවිහාරය - රුවන්වැලි සෑය - ජේතවනය - අභයගිරිය - මිරිසවැටිය - ලෝවා මහා පාය ආදී පූජනීය ස්ථානත් මිහින්තලා අපරාජිත ශුද්ධ භූමියේ කණ්ඨක චෙතිය - අට සැටලෙන් අම්බස්ථල චෛත්‍යය ආදී පූජනීයස්ථානත් පහළ වූයේ මහින්දාගමනය නිසා ය. සිසිල් දිය පිරුණු දෙවැනි මුහුද වැනි මහ වැව් හෙළදිව තැනින් තැන නිර්මාණය වූයේත්, උතුරු මැදයේ මහා නිම්නය රමණීය කෙත් යායක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වූයේත්, පෙ‍ාසොන් පුනු පොහෝදා ලැබුණු සම්බුද්ධ ධර්ම දායාදය කරණකොට ගෙන ය. පණ්ඩුකාභය යුගයෙන් පසු මේ සිංහල රටේ උසස් දියුණුවක් උදා වූයේ බෞද්ධෝදයෙන් පසුව ය. කය සිත දෙකින් ම හැම ලෙසින් මෙසේ සැනසුණු සිංහලයෝ නිර්මල ‍සිංහල බෞද්ධ සංස්කෘතියක නිර්මාතෘවරයෝ වූහ.

මෙසේ සිංහලයන් ගේ ලෞකික ලෝකෝත්තර හැම දියුණුවකට ම මුල් වූයේ මිහිඳු මාහිමියන් විසින් ඇති කොට වදාළ බුදු සමය බව කිව යුතු ය. සිංහලයන් ගෙන් කිසිදු ගෞරවයක් බලාපොරොත්තු නොවී හුදු කරුණාවෙන් යුතු ව ස්වදේශය හැර දමා විදේශ ගත ව අර්ධ ශත වර්ෂයකට අධික කාලයක් මුළුල්ලෙහි කරන ලද උදාර ශාසනික සේවය සිංහල ජාතියත් ලංකා සම්බුද්ධ ශාසනයත් පවත්නා තාක් අමරණීය ව පවතිනු ඇත. මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත පිරිස මුණ ගැසුණු මිස්සක පවුවෙන් හමා එන සුළං රැල්ල බවා සිංහල සැදැහැතියා ගේ ගතට සිතට ලබා දෙනුයේ විශාල සැනසිල්ලකි. ගල් පඩි එක් දහස් අටසිය අසූවකට අධික සංඛ්‍යාවක් ගෙවා අවුරුදු පතා ලක්ෂ ගණන් බැතිමතුන් ලා මිහින්තලා පවුවට නැග සැනසුම් සුසුම් හෙළන්නේ මිහිඳු මාහිමියන් විසින් එහි සිට අරඹන ලද සාම විප්ලවයට කෘතෝපහාර දැක්වීම වශයෙනි.

චුල්ල හත්ථි පදෝපම සූත්‍රය

බුදුහු සැවැත් නුවර දෙව්රම්හි වැඩ වෙසෙන සේක. එකල ජානුස්සෝණී නම් බමුණෙක් සුදෝ සුදු වෙළඹ රියක නැග මද්දහනේ සැවැත් නුවර පැදකුණු කරයි. එ් අතර මග දී බුද්ධෝපස්ථානයට ගොස් පෙරළා පැමිණෙන පිලෝතික නම් පිරිවැජියෙකු හමු වී එහිදී ඔවුන් දෙදෙනා අතර සාකච්ඡාවක් ඇති විය.

ජානුස්සොණී බමුණා - “පින්වත! ඔබ මේ මහ දවල් කොහි සිට පැමිණෙන්නෙහි ද?”

පිලෝතික - “පින්වත! මම බුදුරදුන් වෙත සිට එමි”

ජානුස්සොණී බමුණා - “මහණ ගොයුම්හු ගේ මහා නුවණ ගැන ඔබ කුමක් දන්නෙහි ද?”

පිලෝතික - “බුදුරදුන්ගේ මහා ප්‍රඥාපාටවය දැන ගැනීමට මම කවරෙක් වෙම් ද? එය දත යුත්තේ එබඳු ම බුදු කෙ‍ෙනකුන් විසින් ම ය.”

ජානුස්සොණී - “ඔබ මහණ ගොයුම් හට කරන්නේ උදාර පැසසුමෙකි”

පිලෝතික - “බුදුරදුන් මිනිස්, දෙව්, බඹුන් ගේ පුද පෙරහර ලැබීමට සුදුසු මහා ගුණවතෙකි”

ජානුස්සොණී බමුණා - “ඔබ කවර ගුණයන් දැක මහණ ගොයුම් වෙත පැහැදුණෙහි ද?”

පිලෝතික - “පින්වත, මම බුදුරදුන් ගේ මහා නුවණ සතරක් දැක පැහැදී මි”.

යම් සේ දක්‍ෂ නාග වනිකයෙක් ඇතුන් වසනා වනයෙහි මහ ඇත් පිය සටහනක් දැක මේ පිය සටහන අයිති ඇතා මහ ඇතෙකැ යි නිගමනයට පැමිණෙයි. එමෙන් මම ද බුදු රදුන්ගේ සිවු වෙසරද නුවණක් දැක මහණ ගොයුම්හු සම්මාසම්බුද්ධය හ. එතුමන් ගේ ධර්මය ස්වාක්ඛ්‍යාත ය. ශ්‍රාවක සංඝයා සුප්‍රතිපන්නයැයි නිගමනයට බැසීමි. ඒ සිවු වෙසරද නුවණ නම්, වාද කිරීමෙහි සමත් යම් ක්ෂත්‍රිය පඬිවරු බ්‍රාහ්මණ පඬිවරු ගෘහපති පඬිවරු ශ්‍රමන පඬිවරු උභතෝකෝටික ප්‍රශ්න ගොතාගෙන බුදුරදුන් හමුවට පැමිණෙති එහෙත් එහි දී වාදාරෝපණය කිරීම තබා තම තමන් ගොතාගෙන ආ ප්‍රශ්න වත් නො විචාරා බුදුරදුන් ගේ දැහැමි කතාවෙන් සතුටු වූ ඔවුහු එතුමන් ගේ සව්වන් බවට පැමිණෙති

මේ පුවත ඇසූ ජානුස්සෝණී බමුණු තෙමේ රියෙන් බැස උතුරු සළුව එකස් කොට පෙරවා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින දෙව්රම් වෙහෙර දෙසට හැරී බුදුගුණ සිහිකර ගෙන “නමෝ තස්ස භග‍වතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” (ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා) යනුවෙන් නමස්කාර පාඨය තෙවරක් කියා උදන් පළ කෙළේ ය. පසු දිනයෙක් හි බුදුරදුන් වෙත ගිය ජානුස්සෝණී බමුණු තෙමේ පිලෝතික පරිව්‍රාජකයා සමග ඇති වූ කතා පුවත බුදුරදුන් හට සැල කර සිටියේ ය. එය ඇසූ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ හ. බමුණ! හත්ථිපදෝපම උපමාව එතෙකින් සම්පූර්ණ වූයේ නො වෙයි. එය මම සපුරා ඔබට කියමි. මැනැවින් අසව, බමුණ! යම්කිසි ඇත් පාලකයෙක් ඇතුන් වසනා වනයට ගිය විට මනහර පිය සටහනක් දකියි. එහෙත් හෙතෙමේ දක්ෂයෙක් නම් එපමණකින් මේ මහා ඇතෙකැ යි නිගමනයකට නො යෙයි. එයට හේතුව වාමනිකා නම් විශාල පා ඇති මිටි ඇතිනියන් වර්ගයක් එහි සිටින නිසා ය. නැවැත විමසන විට ඔහුට උච්චාකාළාරිකා නම් (එකක් උස්ව එකක් පහත් ව පිහිටි දළ ඇති) මහ ඇතිනි විශේෂයක ගේ පියවර සටහනක් දක්නට ලැබෙයි. එහි දී මේ මහ ඇතෙකැ යි නිශ්චයකට නො ගොස් තව දුරටත් විමසන ඔහුට මහ ඇත් පියවර සටහනක් උඩ අතුවල ගැටුණු තැන් හා දළ පහර ද නුදුරේ සිටිනා මහ ඇතෙක් ද දක්නට ලැබෙයි. එය උච්චාකණෙරුකා නම් කැකුළු දළ ඇති උස් සිරුරින් යුතු ඇතිනි විශේෂයක් බව පිළිගෙන නිශ්චයකට බසියි.

බමුණ! එපරිද්දෙන් බුදුන් ලොව පහළ ව දහම් දෙසන්නට පටන් ගත් කල්හි එය අසා බොහෝ දෙනා ගිහි සැප අතහැර දමා සසුන් හි පැවිදි වෙති. එසේ පැවිදි වූ ඔවුහු මැනැවින් සිල් පුරන්නාහු සිවු පසයෙහි නො ඇලී වෙසෙන්නා වූ ආර්‍ය්‍ය ශීලස්කන්ධයෙන් යුක්ත ව වෙසෙති. ඔවුහු යළිත් ඇසින් රූපයක් දැක කනින් ශබ්දයක් අසා, නහයෙන් සුවඳක් ආඝ්‍රාහණය කොට, දිවින් රසයක් විඳ, කයින් ස්පර්ශයක් ලැබ ඒ නිමිති කොටගෙන ලෝභ දෝසාදී අකුසලයන් ඉපදීමට ඉඩ නොදී ඒ ඇස් කන් නාසාදී ඉඳුරන් සංවර කර ගනිති. මෙසේ ආර්‍ය්‍ය ඉන්ද්‍රිය සංවර ශීලයෙන් යුත් ඔවුහු නිවැරැදි වූ ආධ්‍යාත්මයෙහි ක්ලේශයන්ගෙන් මිදුණු සුවය විඳිති. යාම් - ඊම් - ඉඳීම් - සිටීම් - කෑම් - බීම් ආදී ඉරියව් පවත්වන්නාහු මනා නුවණින් යුතුව ම (සම්පජානකාරී ව) කරති.

මෙසේ ආර්‍ය්‍ය ශීලස්කන්ධය, ආර්‍ය්‍ය ඉන්ද්‍රිය සංවරය, ආර්ය ස්මෘති සම්ප්‍රජන්‍යය යන උසස් ගුණයන් ගෙන් යුත් ඔවුහු විවේක සෙනසුනක් වෙත ගොස් බද්ධ පර්‍ය්‍යංකයෙන් කය ඍජුව තබා හිඳ සිහි එළවා කාමච්ඡන්ද - ව්‍යාපාද - ථින මිද්ධ - උද්ධච්ච කුක්කුච්ච - විචිකිච්ඡා යන පඤ්ද නීවරණයන් ගෙන් සිත පිරිසිදු කරගෙන ප්‍රථම ද්විතිය තෘතීය චතුර්ථ යන රූපාවචර ලෞකික ධ්‍යානයන් උපදවා ගනිති. එහෙත් එයිනුදු නිගමනයකට නො පැමිණි ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ ධ්‍යානයන් ගෙන් පිරිසිදු වී සිත් තව තවත් දියුණු කොට ලෝ වැසි සත්ත්වයන් ගේ හා තමන්ගේත් පෙර ජාතීන් සිහි කරන්නාහු පෙර විසූ කඳපිළිවෙළ දන්නා පුබ්බේ නිවාසානුස්සති ඤාණය උපදවා ගනිති. ඉක්බිති සත්ත්වයන් ගේ චුති උත්පත්ති දෙක සොයන්නාහු චුතූපපාතඤාණය උපදවා ගනිති. නැවැත දුක්ඛ සත්‍යයෙන් දුක පිරිසිඳ දැනගෙන සමුදය සත්‍යයෙන් තෘෂ්ණාව නැති කොට ‍ගෙන, මාර්ග සත්‍යයෙන් නිරෝධ මාර්ගය දැනගෙන මෙසේ පිළිවෙලින් සිවුසස් දහම් සෝවාන් ආදී සිවු මගින් සොළොස් ආකාරයෙන් දන්නා අර්හත් මාර්ග ඥානය වූ ආසවක්ඛය ඤාණය උපදවා ගනිති. සියලු කෙලෙසුන් ගෙන් හා සියලු දුක් වලින් මිදුණු ඒ රහත් උතුමෝ බුදුහු සම්‍යක් සම්බුද්ධය හ, ධර්මය ස්වාක්ඛ්‍යාත ය, ශ්‍රාවක සංඝයා සුප්‍රතිපන්න ය, යනුවෙන් නිගමනයට බසින්නාහු මේ අර්හත් ඵලඥානය ලද කල්හි ම වෙති යි වදාළ හ.

ජානුස්සෝණි බමුණු තෙමේ මේ දම් දෙසුම අසා පැහැදී එතැන් පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උවසුවෙක් විය. මිහිඳු මාහිමියෝ දෙවන පෑතිස් නිරිඳුන් ප්‍රමුඛ පිරිසට දම් දෙසුවේ මේ සුළු ඇත් පිය උපමා සුතුරෙන් වෙති. උපබුදු මිහිඳු මාහිමියන් මෙය ම තෝරා ගන්නට හේතු ව තෙරුවන් සරණ යෑමේ පටන් අර්හත් ඵලය දක්වා කරුණු මධ්‍යම ප්‍රමාණයෙන් විස්තර වන නිසාත්, ගෞතම ශ්‍රාවකයන් වහන්සේලා ගේ ප්‍රතිපත්ති එනම්, භික්ෂූ ජීවිතය පිළිබඳ තොරතුරු ප්‍රකාශ වන නිසාත් වෙතැ යි සිතිය හැකිය. ඇතකු ගේ පියවර සටහන් උපමා කර ගෙන බුදුරදුන් විසින් ධර්මය විස්තර කළ නිසා මේ සූත්‍රයට හත්ථි පදෝපම සූත්‍රයැ යි නම් තබා ඇත. මෙ බඳු සූත්‍ර දෙකක් තිබෙන නිසා මේ සූත්‍රයට චූල (කුඩා යන) පදය මුලට එක් කොට තිබේ. බුද්ධ චරිතය දෙස බලන කල්හි පොසොන් පෝදා එක් සිද්ධියක් සිදු වී ඇත.

සිවුවන සතිය රුවන් ගෙයි වැඩ හිඳිමින් ධර්‍මය මෙනෙහි කරන බුදුරජාණන් වහනසේ ක්‍රමයෙන් අනන්ත නය සමන්විත සූවිසි ප්‍රත්‍යය ධර්‍මයන් සම්මර්ශනය කරන කල්හි බුදු සිරුරෙන් සවණක් ගණ බුදුරැස් මාලාවෝ විහි දෙන්නට වූහ. මෙලෙසින් බුද්ධ ශරීරයෙන් පිළිවෙළින් නීල පීත (රුවන්) ලොහිත (ලේවන්) ඔදාත (සුදු) මාංජෙෂ්ට (මදටවන්) ප්‍රභාස්වර යන සවණක් ගණ බුදුරැස් මාලාවන් විහිදුනේ පොසොන් පෝය දිනක ය.

භණ්ඩුක කුමාරයාගේ මහණ උපසම්පදාව

අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ ප්‍රධාන ධර්‍මදූත පිරිස සමග පැමිණි භණ්ඩුක කුමාරයා මිහිඳු මාහිමියන් ගේ මවු බිසොවුන්ගේ සහෝදරියගේ දුව ගේ පුත්‍රයා ය. මිහිඳු මාහිමියන් මවු බිසොවුන් හට දේශනා කළ ධර්‍මය අසා අනාගාමී ඵලයට පැමිණියේ තෙරුන් වහන්සේ වෙත ම වාසය කෙළේ ය. වේදිස ගිරියෙහි මාසයක් වැඩ සිටි මිහිඳු මාහිමියන් වහන්සේ පොසොන් පුර පසළොස්වක් දිනයෙහි ධර්‍මදූත පිරිස සමග ලංකාවට වැඩිය හ. ඒ ධර්‍මදූත පිරිස සමග භණ්ඩුක නම් අනාගාමී කුමාරයා ද පැමිණියේ ය. පොසොන් පොහෝදා දෙවන පෑතිස් රජතුමා ඇතුළු පිරිසට චුල්ලහත්ථි පදොපම සූත්‍රයෙන් ධර්‍ම දේශනා කොට තිසරණයෙහි පිහිටුවා ‍පසුව අනාගාමි ඵලයට පත් ව සිටි භණ්ඩුක කුමාරයා පැවිදි කොට උපසම්පදා කළ සේක. උන්වහන්සේ එ කෙණෙහි ම රහත් වූහ. මේ ලංකාවේ සිදු වූ මුල් ම මහණ උපසම්පදාව යි.

සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම

මිහිඳු මහරහතන් වහන්සේ ගේ නියමය පරිදි සුමන සාමණේරයන් වහන්සේ “ධම්මස්සවණ කාලො අයං භදන්තා” යනාදී ගාථාවෙන් මුළු ලක්දිවට ම ඇසෙන සේ ධර්‍ම ශ්‍රවණයට කාල ඝොෂා කළ හ. සාම‍ණේරයින් වහන්සේගේ හඬ අසා භූමා ටු දෙවියෝ ඝෝෂා කළහ. අනුක්‍රමයෙන් ඒ හඬ බ්‍රහ්මලෝකය දක්වා නැග්ගේ ය. එයින් අසංඛ්‍ය සංඛ්‍යාත දෙවියෝ එහි රැස් වූහ. මිහිඳු මාහිමියෝ ඔවුනට සමචිත්ත පරියාය සූත්‍රයෙන් ධර්‍ම දේශනා කළ සේක.