මේ වනාහි මේ මේ කරුණු ඇතුළු කොට මේ නමින් පොතක් ලියමි යි කලින් සිතා ලියන ලද පොතක් නො වේ. මෙය ලියැවුණේ මෙසේ ය.
මහියංගන චෛත්‍ය රාජයාණන් වෙත ගොස් විශාල පූජාවක් පැවැත්වීමට සූදානම් වන සැදැහැවත් පිරිසක් මා වෙත අවුත් ඔවුන්ගේ පූජාවට සහභාගී වනු පිණිස එහි යෑමට මට ද ආරාධනා කළහ. එහි කරන්නට යන ඔවුන්ගේ පූජාව රුපියල් දහස් ගණනක වියදමින් කරන්නට යන විශාල පූජාවකි. මම ද ඔවුන්ගේ ආරාධනාව සතුටින් පිළිගතිමි. එහි ගිය පසු ගථා කියවා ඔවුන් ලවා වන්දනා කරවීම හා පූජා කරවීම මා විසින් කළ යුතුව තිබිණ.
දැනට රටේ භාවිත වන “ඉතිපිසො භගවා” යනාදී වන්දනා පාඨ ඔවුනට කිය වුව ද ඒවා නො තේරෙන බැවින් එයින් ඔවුනට ඥාන සම්ප්‍රයුක්ත කුශලයක් ඇති නො වේ. තේරුම් සහිතව ඒවා කිය වූව ද ඒ පාඨවලට ඇතුලත් වන ගැඹුරු ගුණ ඔවුනට නො වැටහෙන බැවින් එයින් ද ඔවුනට ඥාන සම්ප්‍රයුක්ත කුශලයක් ඇති නොවේ. එබැවින් ඒවා කියවා වන්දනා කරවීමට සතුටක් මට ඇති නො වීය. ඒ නිසා බුදුරදුන් කෙරෙහි පැහැදීම ඇතිවන පරිදි කීමෙන් ඥාන සම්ප්‍රයුක්ත කුශලයක් ඇති කර ගත හැකි වන පරිදි පහසුවෙන් තේරුම් ගත හැකි බුදු ගුණ ඇතුළත් කොට වන්දනා වාක්‍යයක් පිළියෙල කරන ලදී. මේ පොතේ මුලට ඇත්තේ ඒ වන්දනා වාක්‍යය ය.
පහන් පූජාව සඳහා දැනට භාවිතා වන ඝනසාරප්ප දිත්තේන යනාදි ගථාව කපුරු දල්වා පිදීම සඳහා කර ඇති ගාථාවකි. ඝනසාර කියනුයේ කපුරුවලට ය. එබැවින් ඒ ගාථාව කියවීමත් මට අප්‍රිය ය. ඒ නිසා පහන් පූජාව සඳහා අමුතුවෙන් ගථා දෙකක් රචනා කරන ලදී.
දැනට මල් පූජාව සඳහා භාවිතා කරන “වණ්ණ ගන්ධ ගුණෝ පේතං” යනාදි ගය ද මට අප්‍රිය ය. පූජා කිරීමේ හොඳම ක්‍රමය යම් කිසි බුද්ධ ගුණයක් ඉදිරිපත් කරගෙන ඒ පූජාව කිරීම ය. ඒ ගාථාවෙන් මල්වල ගුණ මිස බුදු ගුණයක් නො කියැවේ. තව ද ඒ ගාථාවෙහි “සන්තතිං” යන වචනයත් තැනට ගැළපෙන්නක් සේ නො පෙනේ. මල් පූජාවට භාවිත කරන “පූජේමි බුද්ධං කුසුමේනනෙන” යනාදි ගාථාවෙන් ද යම්කිසි බුද්ධ ගුණයක් නො කියැවේ. එහි “පුප්ඵං මිලායාති යථා ඉදං මෙ” යනාදි ගථාවේ අපරාර්ධයෙන් කියැවෙන්නේ ද තැනට අනුචිත කරුණකි. ඒ නිසා බුදු ගුණ ඇතුළු කොට මල් පූජා කිරීමේ ගාථා දෙකක් රචනා කරන ලදී.
ආහාර පූජාව සඳහා භාවිතා කෙරෙන අධිවාසෙතු නො භන්තේ යනාදි ගයත් මට කීමට ප්‍රිය නැති ගථාවෙකි. එහි එකම භෝජනය පිළිගැනීම සඳහා “අධිවාසෙතු, පතිගන්හාතු” යි වචන දෙකක් යෙදී තිබීමත්, “පරිකප්පිතං” යන වචනයත්, මේ ගාථාව ප්‍රිය නැතිවීමේ හේතුව ය. “පරිකප්පිතං” යනු තැනට ගැලපෙන අර්ථයක් දීමට දුෂ්කර වචනයක් වන බැවින් ඇතැමුන් එය හැර “අධිවාසෙතු නො භන්තේ භෝජනං පරිකප්පියං” යි ද ඇතැමුන් “අධිවාසෙතු නො භන්තේ භෝජනං උපනාමිතං” යි ද කියනු ඇසේ.
මේ ගථාව ප්‍රිය නැති බැවින් ආහාර පූජාවට ගාථා ද අළුතෙන් පිළියෙල කරන ලදී.
පැන් පූජා ගිලන්පස පූජා සුවඳ දුම් පූජා දැහැත් පූජා සඳහා ද ගාථා අළුතෙන් ම සාදන ලදී. ඒ පිරිස විශාල නෙළුම් මල් පූජාවක් හා කොඩි පූජාවක් ද කිරීමට බලාපොරොත්තු වන බව කීයෙන් නෙළුම් මල් පූජාව සඳහා ද කොඩි පූජාව සඳහා ද ගථා දෙකක් රචනා කරන ලදී. ඇතැම් පින්වතුන් විශේෂයෙන් සමන් මල් පිදීම කරන බැවින් ඒ සඳහාත්, කිරි ආහාර පුදන බැවින් ඒ සඳහාත් ගථා රචනා කරන ලදී. ඇතැම් පින්වතුන් චෛත්‍යයන්ට කප්රුක් පූජාවක් කරන බැවින් ඒ සඳහා ද ගථාවක් රචනා කරන ලදී. මහියන්ගනයට යන්නට සූදානම් වන පිරිස එහිදී අටපිරිකර කුඩ වටාපත් පාවහන් ඇඳ පුටු ආදි නොයෙක් පරිෂ්කාර බුදුනට පිදීමට බලාපොරොත්තු වන බැවින් පිරිකර පිදීමට ගථා ද පිළියෙල කරන ලදී.
දෙවියන්ට පීන් දීමට දැනට භාවිතා කරන “එත්තාවතා ච අම්හෙහි” යනාදි ගථාව දෙවියන්ට ආරාධනා කොට පිරිත් කියා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරවීම සඳහා රචිත ගථාවෙකි. එහි “එත්තවතා ච” යන වචනය යොදා තිබෙන්නේ එතෙක් පිරිත් කීම සඳහන් කිරීමට ය. මේ ගාථාව දක්නා ලැබෙන්නේ ද පිරිත් පොත්වලය. දානාදි පින්කම් කළ අවස්ථාවන්හි දෙවියන්ට පින් දීමට ඊට වඩා සුදුසු ගාථාවක් කළ හැකි බැවින්
“කතං අම්හෙහි මං පුඤ්ඤං සබ්බ සම්පත්තිසාධකං
සබ්බේ දේවානුමෝදන්තු අම්හෙ රක්ඛන්තු සබ්බදා”
යන ගාථාව පිළියෙල කෙරිණ.
දැන් මිය ගිය ඥාතීන්ට පින් පැමිනවීමට කියන “ඉදං වො ඤාතීනං හොතු සුඛිතා හොතු ඤාතයො” යන ගාථාර්ධය ද පින්දීම සඳහා විශේෂයෙන් රචනා කරන ලද්දක් නොව තිරෝකුඩ්ඪ සූත්‍රයේ ගාථාවක කොටසකි. එයින් මියගිය ඥාතින්ට පින්දීම කළ හැකි වුව ද වඩා හොඳින් ඒ කටයුත්ත කළ හැකිවීමටත්, අවිශේෂයෙන් මිය ගිය ඥාතීන්ට පින් දීමටත්, මිය ගිය මා පිය පුත්‍ර කලත්‍රාදීන්ට විශේෂයෙන් පින්දිය හැකි වීමටත් ගාථා පෙළක් පිළියෙල කරන ලදී. අනතුරුව ප්‍රාර්ථනා ගාථා හා විෂ්ණු කතරගම ආදී දෙවිවරුන්ට පින් දීමට ගාථා ද පිළියෙල කරන ලදී.
මේවා පිළියෙල කළ නමුත් මට ඒ පූජාවට සහභාගී වන්නට නො ලැබිණ. පසුව ඒ ගාථා පොතක් වශයෙන් මුද්‍රනය කරවන්නට සිත් වූයෙන් බොධි වන්දනා බෝධි පූජා චෛත්‍ය වන්දනා චෛත්‍ය පූජා කිරීමට ගාථා ද සපයන ලදී. එකම ගාථාවක් කියා බෝධියට චෛත්‍යයට වැඳ බුදුනට මල් පහන් පූජා කිරීම ක්‍රමානුකූල නො වන නිසා, බෝධියට චෛත්‍යට පූජා පැවැත්වීමට ගාථා ද මෙයට එකතු කරන ලදී.
මෙකල බොහෝ බෞද්ධයෝ සීවලී පූජාව කරති. එයට විශේෂ ගාථා පිළියෙල වී නැති බැවින් බොහෝ දෙනා බුදුරදුන්ට මල් පහන් ආදිය පුදන ගාථා කියා සීවලී පූජාව කරති. එය තේරුමක් නැති වැඩක් බැවින් සීවලී පූජාව කරනුවන්ට එය ක්‍රමානුකූලව කළ හැකි වනු පිණිස එය සඳහා ගාථා පෙළක් ද මෙයට ඇතුළු කරන ලදී.
ගාථා සම්පූර්ණ කිරීමන් පසු තවත් අදහසක් පහළ විය. එනම් මෙකල බෞද්ධයන් බෙහෙවින් කරන්නේ වන්දනාව හා පූජාවය. ගතානුගතිකව බොහෝ දෙනා ඒ දෙක කරන නමුත් ඒ කරන දෙය මහත් ඵල වන පරිදි කරන්නට නො දනිති. ඔවුනට ඒවා ගැන සෑහෙන දැනුමක් ඇති කර ගත හැකි වන පරිදි වන්දනා පූජා කිරීම ගැන හා වැඳුම් පිදුම් කළ යුතු වස්තු ගැනත් ඒවායේ අනුසස් ගැනත් විස්තරයක් ලිවීමය. අදහස පහළ වූ පරිදි එය ද කරන ලදී. එයින් ලිපිය තරමක පොතකට සෑහෙන තරම් විය.
ඇතැම්හු ලස්සන ගාථා මිහිරි හඬින් කියා වඳින්නට කැමැත්තෝ ය. ඔවුන් සඳහා හොඳින් කිය හැකි පැරණි ගත් කරුවන් කීප දෙනෙකුගේ රත්නත්‍රය වන්දනා ගාථා ද මෙයට එකතු කරන ලදී.
මේ බුද්ධ වන්දනාව විද්‍යානුකූලව කිරීමෙන් පරලොවදී ලබන අනුසස් ම නොව මෙලොවදී නොයෙක් ආකාර අනුසස් ලබා ගත හැකි ය. මෙලොවදී යම් යම් දේ ලබාගත හැකි වන්දනා ක්‍රම කීපයක් ද මෙයට එකතු කිරීමේ අදහස පහළ වීමෙන් එය ද කරන ලදී.
ඒ වන්දනා ක්‍රම භාවිත කරත හොත් ඒවායින් නොයෙක් ප්‍රයෝජන ලබා ගත හැකි වනු ඇත. අනතුරුව යෝගාවචරයනට සුදුසු යෝග සිද්ධියට ඉවහල් වන වන්දනා ක්‍රමයක් ද දක්වා ඇත. භාවිත කරත් හොත් එයින් යෝගාවචරයනට බොහෝ ප්‍රයෝජන වනු ඇත.
බෞද්ධයෝ රෝග සුව කර ගැනීම්, අමනුෂ්‍ය භය දුරු කර ගැනීම්, ග්‍රහ අපල දුරු කර ගැනීම් ආදී කරුණු පිරිතෙන් සිදු කර ගැනීමට බලාපොරොත්තු වෙති. ඔවුනට ඒවා සිදු කර ගත හැකි වනු සඳහා පිරිත් හා ඒවායින් ප්‍රයෝජන ලැබිය හැකි වීමට දත යුතු කරුණුත්, තවත් නොයෙක් ප්‍රයෝජන ලැබිය හැකි ගාථාත්, බෞද්ධයන් භාවිත කරන යන්ත්‍ර කීපයකුත් මේ ග්‍රන්ථයට ඇතුළු කර ඇත.
පින උසස් පහත් වන්නේ අඩු වැඩි වන්නේ කරන තැනැත්තාගේ කිරීමේ හොඳ නො හොඳකම් අනුවය. තුනුරුවන් ගැන දැනුමක් නැතිව වැඳුම් පිදුම් කළ යුතු වස්තු ගැන වැඳුම් පිදුම් කළ යුතු ආකාරය ගැන ඒවායේ අනුසස් ගැන හරි දැනුමක් නැතිව ගතානුගතිකව වැඳුම් පිදුම් කරනුවන්ට එයින් උසස් පිනක් නො ලැබිය හැකි ය. උසස් පිනක් ලැබිය හැකි වන්නේ ඒවා ගැන දැනුම ඇතිව ක්‍රමානුකූලව එය කරන තැනැත්තාට ය. මේ පොත කියවීමෙන් ඒ දැනුම ඇති කර ගෙන ක්‍රමානුකූලව මහත් ඵල වන පරිදි වැඳුම් පිදුම් කර ගත හැකි වනු ඇත. මේ ගැන තමන්ට දැනුමක් නැති බව බොහෝ දෙනා නො දනිති. මේ පොත කියවුව හොත් ඔබට ඔබේ දැනීමේ අඩු පාඩුකම් දැනෙනවා ඇත. ඒවා සම්පූර්ණ ද කරගත හැකිවනු ඇත.
සකල සත්ත්වයෝ සුවපත් වෙත්වා !!
මෙයට - ශාසනස්ථිකාමී, රේරුකාණේ චන්දවිමල මහා ස්ථවීර
26.10.62 පොකුණුවිට, ශ්‍රී විනයලංකාරාරාමයේ දී ය.
පුණ්‍යෝපදේශය