වැඳුම් පිදුම් කිරීමට සුදුස්සෝ

ගුණයෙන් හා වයසින් වැඩි වූවෝ වැඳුම් පිදුම් කිරීමට සුදුස්සෝ ය. වන්දනාව පූජාව සත්කාරය මහත්ඵල වීමට බාධක වූ සකල ක්ලේශයන් නිරවශේෂයන් මතු නූපදනා පරිද්දෙන් ප්‍රහාරණය කර ඇති නිසා ද, වන්දනා පූජා සත්කාරයන් මහත්ඵල වීමට හේතු වන ශීලාදී අපරිමිත ගුණස්කන්ධයකින් යුක්ත වන නිසාද තථාගතයන් වහන්සේ ලෝකයෙහි වන්දනා පූජා සත්කාරයන්ට සුදුස්සන්ගෙන් අග්‍ර වූ සේක.

“නයිමස්මිං ලොකේ පරස්මිං වා පන

බුද්ධෙන සෙට්ඨො සදිසො ච විජ්ජති,

-

යමාහුණෙය්‍යානං අග්ගතං ගතො

පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිං”

(දක්ෂිණාවිභංග සුත්තට්ඨකථා)

“මේ ලෝකයෙහි හෝ අන් ලොවක හෝ බුදුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයෙක් හෝ සම වූවෙක් නැත. ඒ තථාගතයන් වහන්සේ පින් කැමති වන්නා වූ මහත්ඵල බලාපොරොත්තු වන්නා වූ පුද්ගලයන් විසින් පූජා සත්කාර කිරීමට සුදුසු පුද්ගලයන්ගෙන් අග්‍ර බවට පැමිණි සේක” යනු ඒ ගාථාවේ තේරුම ය.

ලෝකයෙහි පූජා සත්කාරවලට සුදුසු අන්‍ය පුද්ගලයන් හට තමන් විසින් වැඳුම් පිදුම් කිරීමට සුදුසු තමන්ට වඩා උසස් පුද්ගලයෝ ද ඇත්තාහ. තථාගතයන් වහන්සේට වනාහි තමන් විසින් ගරු බුහුමන් කිරීමට සුදුසු තමනට වඩා උත්තම පුද්ගලයෙක් නැත්තේ ය. සර්වකෙලෙසුන් නසා සර්වඥපදප්‍රාප්තව සිටින්නා වූ තථාගතයන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයකු නැති බව පුදුම කරුණක් නො වේ. බෝධිසත්ත්වයන් වහන්සේ මව්කුසින් බිහි වූ කෙණෙහි ම උතුරු දිග බලා සත් පියවරක් ගමන් කොට ලෝකය බලා වදාළ අවස්ථාවෙහි ද සොළොස් කපක් ආයු ඇති ක්ෂීණාශ්‍රව මහා බ්‍රහ්ම තෙමේ ද උන්වහන්සේට වැඳ “ඔබවහන්සේ ලෝකයෙහි මහා පුරුෂයාණෝ ය, නුඹ වහන්සේ ලෝකයෙහි අග්‍ර වන සේක. ජ්‍යෙෂ්ඨ වන සේක, ශ්‍රේෂ්ඨ වන සේකැ” යි ඉමහත් ප්‍රීතියෙන් ප්‍රකාශ කෙළේය. දිනක් තථාගතයන් වහන්සේ වෙත වේරඤ්ජ නම් මහළු බමුණෙක් පැමිණ පිළිසඳර කථා කොට මහළු බමුණන්ට ගරු බුහුමන් නො කිරීම ගැන තථාගතයන් වහන්සේට දෝෂාරෝපනය කෙළේය. එකල්හි තථාගතයන් වහන්සේ-

“යං හි බ්‍රාහ්මණ තථාගතො අභිවාදෙය්‍ය වා පච්චුට්ඨෙය්‍ය වා ආසනෙන වා නිමන්තෙය්‍ය වා මුද්ධාපිස්ස විපතෙය්‍ය”

“බ්‍රාහ්මණය! තථාගත තෙමේ යමකුට වඳී නම්, හුනස්නෙන් නැඟිට පෙර ගමන් කෙරේ නම්, ආසනයෙන් නිමන්ත්‍රණය කෙරේ නම්, තල් ගෙඩියක් නටුවෙන් ගිලීහී වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස ගිලිහී වැටේය” යි වදාළ සේක.

සකල ක්ලේශ ප්‍රහාණයන් පාරිශුද්ධියට පැමිණ සිටින්නා වූ ද ශීලාදි අනේක ගුණයන් ගෙන් යුක්ත වන්නා වූ පසේ බුදුවරු හා රහත්හු ද ඖදාරික ක්ලේශයන් ප්‍රහාණය කර සිටින සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්ය පුද්ගලයෝද වැඳුම් පිදුම් කිරීමට සුදුස්සෝ ය. ගිහිගෙය හැර පැවිදි බිමට බැස සාමණේර ශීල උපසම්පදා ශීලයන් ඇතුළු ගුණ ධර්ම රක්නා වූ පෘථග්ජන පුද්ගලයෝ ද සිල් රක්නා උපාසක උපාසිකාවෝ ද මාපියෝ ද සිල් රක්නා තාපසවරු ද වැඩි මහල්ලෝ ද වැඳුම් පිදුම්වලට සුදුස්සෝ වෙති.