තෙරුවන් පිදීමේ අනුසස්

එක් සමයෙක් හි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයෙන් නික්ම දනව් සැරිසරා බරණැස් නුවර බලා වඩනාහු අතර මඟ තෝදෙය්‍ය නම් ගම සමීපයේ පිහිටි දේවාලයක් සමීපයට පැමිණ එහි වැඩ හිඳ ආනන්ද ස්ථවිරයන් වහන්සේ යවා ඒ සමීපයෙහි ගොවිකම් කරමින් සිටි බමුණකු කැඳවූහ. ඒ බමුණු තෙමේ තථාගතයන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේට නො වැඳ සමීපයෙහි වූ දෙවොලට වැඳ සිටියේය. “බ්‍රාහ්මණය, මේ ප්‍රදේශය නුඹ කුමකැයි සිතන්නෙහිදැ” යි තථාගතයන් වහන්සේ ඔහුගෙන් විචාළහ. බමුණු තෙමේ “පින්වත් ගෞතමයෙනි, මෙය අප පරම්පරාවෙහි අය වැඳුම් පිදුම් කරගෙන ආ චෛත්‍යස්ථානයෙකැයි සලකා වඳිමි” යි කීය. “බ්‍රාහ්මණය, මේ ස්ථානයට වැඳීමෙන් නුඹ කරන්නේ යහපත් ක්‍රියාවෙකැ” යි තථාගතයන් වහන්සේ ඔහුට පැවසූහ. එය ඇසූ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ මේ ස්ථානයට වැඳීම ගැන පසසන්නේ කිණම් කරුණකින් දැයි කල්පනා කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට දැන ගැනීම පිණිස ඝටීකාර සූත්‍රය දේශනා කොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ යොදුනක් උස ස්වර්ණ චෛත්‍යය හා තවත් චෛත්‍යය ද තමන් වහන්සේ ගේ සෘද්ධි බලයෙන් අහස්හි මවා පා “බ්‍රාහ්මණය, පූජාහර්හ වූ මෙබඳු චෛත්‍යයනට පිදීම සුදුසු යයි වදාරා මහ පිරිනිවන් සුතුරෙහි වදාරා ඇති පරිදි චෛත්‍යයන් කිරීමට සුදුසු පුද්ගලයන් සතර දෙනා දක්වා ශරීර චේතිය, උද්දිස්ස චේතිය, පරිභෝග චේතිය යන චෛත්‍යයන් ගැන විශේෂ විස්තරයක් ද වදාරා අවසානයෙහි මේ ගාථාවන් වදාළ සේක.

“පූජාරහෙ පූජයෙතො බුද්ධෙ යදි ච සාවකෙ.

පපඤ්චමසතික්කන්තෙ තිණ්ණසොතපරිද්දවෙ

-

තෙ තාදිසෙ පූජයතො නිබ්බුතෙ අකුතො භයෙ,

න සක්කා පුඤ්ඤං සංඛාතුං ඉමෙත්තම්පි කෙනවි”

තේරුම:

සසර දික් කරන තෘෂ්ණා මාන දෘෂ්ටි සංඛ්‍යාත ප්‍රපඤ්චයන් ඉක්ම වූ ශෝක පරිදේවයන් අවසන් කළා වූ එහෙයින්ම අභිවාදනාදියෙන් හා සිවුපසයෙන් පිදීමට සුදුසු වූ පිරිනිවියා වූ ද ජීවමාන වූ ද ලොව්තුරා බුදුවරුන්ට හා පසේ බුදුවරුන්ට ද බුද්ධශ්‍රාවකයන්ට ද අභිවාදනාදියෙන් හා චීවරාදී ප්‍රත්‍යයෙන් පුදන්නහුට රාගාදී ක්ලේශයන් ප්‍රහීන බැවින් නිවුණා වූ කිසිවකින් භයක් නැත්තා වූ එබඳු ගුණයෙන් යුක්ත වන බුද්ධාදී උත්තමයන් හට පූජා සත්කාර කරන්නහුට ලැබෙන්නා වූ පින් මෙතෙකැයි කිසිවකු විසින් ප්‍රමාණ කළ නො හැකිය.

පූජාර්හ වූ උත්තම පුද්ගලයෙකුට වැඳුම් පිදුම් කිරීමෙන් ලැබෙන පින මෙපමණය කියා කිසි පුද්ගලයකු විසින් කිනම් ආකාරයකින් වත් ප්‍රමාණ නො කළ හැකි බව ඉහත ගාථාවලින් දැක්වේ. පින ප්‍රමාණ නො කළ හැකිවන කල්හි එයින් ලැබෙන විපාකයත් මෙතෙකැයි ප්‍රමාණ නො කළ හැකිය. පිරිනිවියා වූ හෝ ජීවමාන වූ හෝ පූජාර්හ උත්තමයකුට වරක් පිදීමේ වටිනාකම ගැන සුධාරපිණ්ඩියත්ථෙරාපදානයේ මෙසේ වදාරා ඇත්තේ ය.

“චතුන්නම්පි දීපානං ඉස්සරං යොධ කාරයෙ,

එකිස්සා පූජනායෙතං කලං නාග්ඝති සොළසිං”

“යමෙක් දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතර මහද්වීපයට ම රජ කෙරේ ද ඒ රජකම එක් පූජාවක සොළොස්වන කලාවෙන් කලාවක් පමණ ද නො අගීය” යනු එහි තේරුම යි.

මෙහි “සොළසිං කලං” සොළොස්වන කලාවෙන් කලාවය යි කියනුයේ පූජාවකින් වන කුශලය සොළොසට බෙදා ඉන් කොටසක් නැවත සොළොසට බෙදා මෙසේ දහසයෙන් එකක් නැවත දහසය වරක් බෙදීමෙන් ලැබෙන කොටසය. මිනිස් ලොව මිනිසෙකුට ලැබිය හැකි උසස්ම සම්පත්තිය සතර මහද්වීපයට අධිපති චක්‍රවර්තී රාජ්‍ය සම්පත්තිය ය. එය එක් පූජාවකින් සොළොස්වන කලාවෙන් කලාව තරම්වත් නො අගී යයි කියනුයේ දිව්‍ය ලෝකයේ දේව සම්පත්තිය හා සසඳන කල්හි චක්‍රවර්තී රාජ්‍ය සම්පත්තිය ඉතා සුළු වන බැවිනි. තුනුරුවන් කෙරෙහි සැදැහැයෙන් වරක් පූජා කරන්නහුට එය හේතු කොට අනේක වාරයෙහි දෙව් ලොව ඉපිද දෙව් සැප වළඳන්නට ලැබෙන්නේ ය.

මනුෂ්‍ය සම්පත්තිය දිව්‍යසම්පත්තිය යන මේ දෙක අතර ඇත්තේ මහා පරතරයකි. මිනිසා පරම සම්බාධ පරමප්‍රතිකූල මාතෘගර්භයෙහි ආලෝකය නො දකිමින් මහා අන්ධකාරයේ අතක් පයක් මුත් නො සෙල්විය හැකි පරිදි කලක් සිරවී සිට ඉතා දුක සේ මව්කුසයෙන් බිහිව මෙලොව එළිය දකින්නේ ය. ඔහු ඉපිද පළමුවෙන්ම කරන්නේ හැඬීම ය. හැරෙන්න පෙරළෙන්න වාඩිවෙන්න නැගිටින්න බැරිව උන් තැනම මල මුත්‍රා කරගනිමින් කලක් දුක සේ ගත කොට ඔහු නැගී එන්නේ ය.

දෙවියා කැඩපතක රූ සටහනක් පහළ වන්නාක් මෙන් සර්වාංග සම්පූර්ණයෙන් සර්වාභරණයෙන් සැරසී පහළවීම් වශයෙන් උපදී. ඒ උත්පත්තියට ඕපපාතික උත්පත්තියයි කියනු ලැබේ. මිනිසාට මෙන් ඉපදී කටයුතු කරගත හැකි වීමට කලක් බලා සිටීමට ඔහුට සිදු නො වේ. උපන් කෙණෙහි සිටම ඔහුට සියල්ල කළ හැකි ය. මිනිසා මෙන් ඉපිද මලමුත්‍රා ගොඩේ හඬහඬා නො සිට ඔහු උපන් දින පටන් මහත් යස ඉසුරෙන් ප්‍රීති වන්නේ ය. මිනිසා ඉපිද ජීවත් වන්නේ සුලු කලෙකි. දෙවියෝ බොහෝ කල් ජීවත් වෙති. ඉතාම අඩු ආයුෂ ඇති චාතුර්මහාරාජිකයේ දෙවියෝ වර්ෂ අනුලක්ෂයක් ජීවත් වෙති. පරනිර්මිත වශවර්තියේ දෙවියෝ අවුරුදුතුන් කෝටි සැට ලක්ෂයක් ජීවත් වෙති. පරණ වත් වත්ම මිනිස් සිරුර දිර දිරා නරක් වේ. පරණ වීමෙන් මිනිස් සිරුරේ ලේ අඩු වී මස් දිය වී ඇට මතු වේ. සම රැළි වැටේ. තැනින් තැන ලප ඇති වේ. කල් යාමෙන් හිසකේ රැවුල් පැසී දත් සැලී මිනිස් සිරුර විරූප වේ. මිනිසාගේ ඉන්ද්‍රියෝ ද පරණ වීමෙන් දුබල වෙති. කොතෙක් කල් ජීවත් වුව ද දෙවියන්ට ඒ ජරාව නැත. දෙවියාගේ ශරීරය මරණය තෙක් උපන් සැටියටම වෙනසක් නොවී පවතී. මිනිස් සිරුරෙන් දහඩිය ආදී අපවිත්‍ර දෑ ගලන්නේ ය. එබැවින් මිනිසාගේ වස්ත්‍රය කිළිටි වේ. ඔහුට නිතර ඇඳුම් මාරු කරන්නට ඇඳුම් පවිත්‍ර කරන්නට සිදු වේ. දෙවියන්ට එබන්දක් නැත. ඔවුන්ට උත්පත්තියෙන් ලද ඇඳුම් අපවිත්‍ර හෝ දිරා ඉරී හෝ වෙනස් කරන්නට සිදු නොවේ. ඔවුනට උත්පත්තියෙන් ලත් ඇඳුම් කිසිඳු වෙනසක් නොවී මරණය තෙක් පවතී. මනුෂ්‍යාගේ ගෙවල් හා ඇඳ පුටු ආදී භාණ්ඩ ද දිරා යන බැවින් ඔහුට ඒවාද නැවත නැවත අළුත් කරන්නට සපයන්නට සිදුවේ. දෙවියන්ගේ විමානාදිය වෙනසක් නොවී ජීවිතාන්තය දක්වා පවතී. මේ කරුණු අනුව බලන කල්හි කිය යුත්තේ මිනිස් ලොව චක්‍රවර්තී රජුගේ සම්පත්තිය ද දිව්‍ය සම්පත්තියට වඩා බොහෝ පහත් බවය. එබැවින් තථාගතයන් වහන්සේ “කපණං විස්සකෙ මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය” යනුවෙන් දිව්‍ය සුඛයේ හැටියට මිනිස් ලොව රාජ්‍යය දිළිඳු එකකැයි විශාඛා උපාසිකාවට වදාළ සේක. මෙතරම් උසස් දිව්‍ය සම්පත්තියක් ලබා දෙන්නා වූ ද ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය ලබා දෙන්නා වූ ද පූජාමය කුශලයේ වටිනාකම පමණ නො කළ හැකිය.