මෙයින් කප් තිස්දහසකට පෙර එක් මිනිසෙක් මාර්ගෝපකරණ රැගෙන ගමනක් යන්නේ ගඟක් ගලා තිබූ බැවින් ගමක එක් විහාරස්ථානයක නැවතිණ. එහි වෙසෙන භික්ෂූන්ට ද ගඟ ගලා ඇති බැවින් පිඬු පිණිස යා නො හැකි විය. ඒ මිනිසා පහන් සිතින් තමාගේ සහල් වලින් කැඳක් පිස, ඒ භික්ෂූන්ට පිළිගැන්වී ය. ඒ පිනෙන් ඔහු දීර්ඝ කාලයක් දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳ අප බුදුන් කල කුලගෙයක ඉපිද පැවිදි වීමට හිසකේ කපද්දී ම සව් කෙලෙසුන් නසා රහත් විය. ඒ තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේ ය.
“යාගුං සංඝස්ස දත්වාන පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ,
පඤ්චානිසංසෙ අනුභොමි අහො යාගු සුයිට්ඨතා.
අඛ්‍යාධිතා රූපවත ඛිප්පං ධම්මනිසන්තිතා,
ලාභිතා අන්නපානස්ස ආයු පඤ්චමකං මම.
තිංස කප්පසහස්සම්හි යං දානමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි යාගුදානස්සිදං ඵලං.”
(අපදාන පාළි)
තේරුම:
අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයෙහි සංඝයාහට කැඳ දී පඤ්චානිසංසයක් අනුභව කරමි. යාගුදානයේ යහපත් බව ආශ්චර්ය ය.
නිරෝග බව, රූප ශෝභාව, වහා ධර්මය තේරුම් ගැනීමේ සමත් බව, අඩුවක් නැතිව ආහාර පාන ලැබීම, දීර්ඝායුෂ්ක බව, යන මේ පස යාගුදානයේ ආනිසංසයෝ ය.
කල්ප තිස්දහසකට පෙර එකල යම් දානයක් දුනිම් ද ඒ හේතුවෙන් මෙතෙක් දුර්ගතිය නො දනිමි. මෙය යාගුදානයේ ඵලය ය.