සුවඳ ද්‍රව්‍ය ඉවත් කළ අල්මාරියකට පෙට්ටියකට මුහුණ පා බැලුවහොත් සුවඳ ද්‍රව්‍ය නැත ද එහි සුවඳ දැනෙනු ඇත. එයට හේතුව කලින් තිබූ ද්‍රව්‍යයේ සුවඳ අල්මාරියට පෙට්ටියට කාවැදී රැඳීම ය. එමෙන් යම් කිසිවකු සැදැහැයෙන් තථාගතයන් වහන්සේගේ යම්කිසි ගුණයක් සිතුව හොත් කියුව හොත් ඒ ගුණය ස්වල්ප වශයෙන් ඔහුගේ සිරුරට කා වැදී රැඳෙයි. ඉතා ස්වල්ප වශයෙන් කා වැදී රැඳෙන ඒ ගුණ තේරුම් ගත හැකි පමණට ඇතිවීමටත් කලක් ගත වේ. එය උදලු මිට ඔප දැමීම මෙන් සෙමින් සිදුවන්නකි. වැඩ කරන උදැල්ලේ මිට දිනපතා ම කම්කරුවාගේ අතට මඳින් මඳ ගෙවේ. එයින් උදලු මිට ඔප වැටේ. අතට ගෙවීමෙන් ඇතිවන ඔපය දැකිය හැකි තරමට පත්වීමට බොහෝ කල් ගත වේ. සතියක් දෙකක් මසක් දෙකක් වැඩ කිරීමන් උදලු මිටෙහි අමුත්තක් නොදැනේ. මාස හත අටක් වැඩ කළ කල්හි උදලු මිටෙහි පෙනෙන ඔප මට්ටමක් ඇති වේ. එමෙන් දින ගණනක් වැඳීම කළ පමණින් තේරුම් ගත හැකි තරමේ ගුණයක් ඇති නො වේ. වර්ෂයක් පමණ යම් කිසි වන්දනා ක්‍රමයක් භාවිත කළාම දැනෙන තරමට ගුණය ඇතිවනු ඇත. වන්දනා ක්‍රමවලින් ලැබෙතැයි කියන ගුණය ලැබී ඇති නැති බව විමසිය යුත්තේ මාස ගණනින් නොව වර්ෂ ගණනිනි. අත් නොහැර යම්කිසි වන්දනා ක්‍රමයක් භාවිත කරන තැනැත්තාට එයින් ලැබෙන ගුණය වර්ෂයෙන් වර්ෂය විමසා බැලුව හොත් තේරුම් ගත හැකි වනු ඇත. වන්දනාවෙන් කියන ලද ගුණ ලැබෙන්නේ එය සැදැහැයෙන් එය කරන තැනැත්තාට ය. සැදැහැයෙන් කිරීම යයි කියනුයේ තමා සිතන කියන ඒ බුදුගුණ බුදුරදුන් කෙරෙහි ඇති බව අවංකව පිළිගැනීම අනුව කර්මය හා කර්මඵලය ඇති බව පිළිගැනීම ඇතිව වන්දනා කිරීමය. ශ්‍රද්ධාවෙන් තොරව අත්හදා බැලීමට කිරීමෙන් ගුණ නො ලැබේ. පින්වල විපාකය එක්තරා ප්‍රමාණයකින් මෙලොවදී ම ලැබේ. බුදුරදුන්ට වැඳුම් පිදුම් කිරීම උසස් පිනකි. ඒ පින මෙලොව තමා බලාපොරොත්තුවන දෙය ලබා දීමටද සමර්ථය. ඒ නිසා වන්දනා කරන තැනැත්තා බලාපොරොත්තුවන ගුණය ඔහුට ඒ පිනේ බලයෙන් ම ලැබෙන බව කියයුතුය.