චතුරසංඛ්‍ය කල්ප ලක්ෂය, අෂ්ටාසංඛ්‍ය කල්ප ලක්ෂය, ෂෝඩශාසංඛ්‍ය කල්ප ලක්ෂය වූ අති දීර්ඝ කාලයන්හි පෙරුම් දහම් පිරූ සියලුම මහා බෝධිසත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබව ලබන්නේ බෝධිමූලයකදී ම ය. එයින් පෙනෙන්නේ පාරමිතා සම්පූර්ණ කර ඇතත් ලොවුතුරා බුදු වීමට බෝධියක සහය උවමනා බවය. මඳ පාරමිතාවක් ඇති පසේ බුදුවරයෝ කොතැනත් බුදු වෙති. උන් වහන්සේලාට බෝධියක් උවමනා නැත. මහා පාරමිතා කුශලස්කන්ධයක් ඇති මහා බෝධි සත්වයනට බෝධියක් නැතිව බුදු විය නො හැකි වීමටත් පසේ බුදුවරයන්ට බුදු විය හැකි වීමටත් හේතුවක් තිබිය යුතුය. එය විමසිය යුතු කරුණෙකි.
පසේ බුදුවරයන්ට බාධා කිරීමට මාරයෝ නො පැමිනෙති. ලොවුතුරා බුදුවරයන්ට බාධා කිරීමට ලොවුතුරා බුදු වීම වැළැක්වීමට මාරයෝ පැමිණෙති. ලොවුතුරා බුදුවන බෝධිසත්තවයන් විසින් මාරයන් පැරදවිය යුතුය. මාරයන් පැරදවීමට බෝධියෙන් ලැබෙන යම් කිසි බලයක් තිබිය යුතුය. ඒ උපකාරය ලැබීම සඳහා මහා බෝධිසත්ත්වයන් බුදු වීම සඳහා බෝධියක් සොයා ගන්නවා විය හැකිය. මහා බෝධිසත්ත්වයන්ට මරුන් පැරදවීමට උපකාර වන මේ බෝධිය, සෙස්සන්ට ද සුව නොවන රෝග සුව කර ගැනීම, දරුවන් ලැබීම, රැකියා ලැබීම, රැකියා සඵල වීම, අන්තරායයන්ගෙන් මිදීම යනාදියට උපකාර ලැබිය හැකි වස්තුවක් ලෙස සලකති. එබැවින් දෛවඥයෝ ශාස්ත්‍රකාරයෝ බොහෝ දෙනාට නොයෙක් කරණුවලට බෝධි පූජාව නියම කරති. බෝධි පූජාවෙන් ප්‍රයෝජන වූ බව ද බොහෝ දෙනා කියති.
නියං කාල වලදී වැසි ලැබීම සඳහා දේව පූජාදිය කරනු දක්නා ලැබේ. දෙවියන් පිදීමට වඩා වැසි ලැබීමට බෝධි පූජෝත්සව පැවැත්වීම හොඳ බව පැවසිය යුතුය. පදුමුත්තර බුදුරදුන්ගේ බෝධියට පූජෝත්සවයක් පැවැත්වීමේදී මහා වැස්සක් ඇති වූ බවත් එදා එයට සහභාගී වූ පුද්ගලයෙක් ඒ මහා වැස්සේදී අකුණු සැරයක් වැදී මරණයට පත්ව බෝධියට පැන් ඉසීමේ පිනෙන් දෙව්ලොව උපන් බවත් අපදාන පාළියෙහි දක්වා ඇත. එය ඇත්තේ “ගන්ධොදකියථෙරාපදාන” යන නාමයෙනි. බෝධි පූජෝත්සවය පැවැත්වීමේදී මහා වැසි ඇතිවෙනවා අප විසින් ද කීප වාරයක් දැක ඇත්තේය. වර්ෂාව ලැබීම සඳහා බෝධි පූජෝත්සවයක් පවත්වනවා නම් බොහෝ ජනයා එකතුව එය විශාල අන්දමින් කළ යුතුය. බෝමළුව හැමද මලසුන් සෝදා පවිත්‍ර කර සුදු වැලි ඉස කොඩි හා මල් මාලා එල්වා සුවඳ පැනින් බෝධිය නහවා මල් පහන් සුවඳ දුම් ආදිය පුදමින් මේ උත්සවය පැවැත්විය යුතුය. එක් දිනක් පූජෝත්සවය පැවැත්වීමෙන් වැසි නො ලද හොත් තෙදිනක් හෝ සතියක්ම හෝ පූජාව පැවැත්විය යුතුය.
පූජාව වරදවා කිරීම
රෝග සුව කර ගැනීම ආදිය පිණිස බෝධි පූජා පවත්වන ඇතැම්හු බෝධියට පූජා කරමි යි මල් පහන් ආදිය බෝධිය සමීපයේ තබා බුදුනට මල් පුදන “වණ්ණගන්ධගුණෝපේතං” යනාදී ගාථාව ද “ඝනසාරප්ප දිත්තේන” යනාදී ගාථාව ද කියති. එසේම බුදුනට සුවඳ දුම් පැන් පූජා කරන ගාථා කියති. එසේ කරන අයගේ ඒ පූජාව බුද්ධ පූජාව බෝධි පූජාව යන දෙකටම නැතියක් වේ. එසේ වරදවා කරන පූජා වලින් රෝග සන්සිඳීම් ආදිය සිදුවෙතැ යි නො සිතිය හැකිය. බෝධීන් වහන්සේට මල පහන් සුවඳ දුම් පිදීමේදී කියයුතු ගාථා මෙහි 28 වන පිටුවෙහි දක්වා ඇත. ඒවා භාවිත කරනු. බෝධි පූජාවක් කිරීමේදී බුදුරජාණන් වහන්සේට සෙවන දුන්නා වූ ද මරුන් පැරද වීමට සහය වූ ද බුදුරදුන් විසින් නේත්‍ර පූජාවක් කරන ලද්දා වූ ද මිනිසුන් විසින් හා දේව බ්‍රහ්මයන් විසින් නන් අයුරින් පුදන ලද්දා වූ ද පරම පූජනීය මහානුභාව සම්පන්න වස්තුවක් වන දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහි කර එයට වඳිමි ය පුදමි ය යන අදහස පෙරදැරි කරගෙන බෝධියට වැඳුම් පිදුම් කළ යුතුය.
බුදු පිළිමය හා බෝධිය
බොහෝ බෝධීන් වහන්සේලා සමීපයේ බුදු පිළිම තබා ඇත. එයින් ඇත්තේ බෝධි පූජාවට බාධාවකි. බෝධි පූජාවක් කිරීමේදී පූජා ද්‍රව්‍යයන් බුදුපිළිම ඉදිරියේ නො තබා බෝධිය සමීපයෙහි තබා පූජා කිරීම හොඳය. පූජා ද්‍රව්‍යයන් බුදුපිළිම ඉදිරියේ තබා බෝධි පූජාව කිරීමේදී අවුලක් ඇති වේ.
රෝග සුව කර ගැනීම ග්‍රහ අපල දුරු කර ගැනීම ආදී විශේෂ කරුණක් උදෙසා බෝධි පූජාවක් පවත්වනවා නම් බෝ මලුව හැමද පිරිසිදු කළ යුතුය. මලසුන් සෝදා පිරිසිදු කළ යුතුය. ඒ වැඩ ආතුරයා සියතින් ම කරනවා නම් වඩා ගුණ ලැබෙන බව කිය යුතුය. බෝ මලුවෙහි සුදු වැලි හා ලද පස් මල් ඉස කොඩි එල්වා මල් දම් එල්ලා බෝධිය සරසා පූජාව කිරීම වඩාත් හොඳය. පවිත්‍ර කිරීමෙන් පසු පූජාද්‍රව්‍ය මලසුන්වල තබා ආතුරයා ම ගාථා කියා පූජාව පැවැත්වීමට සමත් නම් ඔහු විසින් ම තමාගේ අභිමතාර්ථය සලකා පූජාව පැවැත්විය යුතුය. ආතුරයා එය කරගැනීමට අසමත් නම් දන්නා අන් කෙනෙකු ලවා ගාථා කියවා ගත යුතුය. පූජාව කරවන තැනැත්තා විසින් ආතුරයා ලවා පසඟ පිහිටුවා බෝධියට වන්දවා එසේ සිටියදී ම ආතුරයාට පන්සිල් සමාදන් කරවා මතු දැක්වෙන වන්දනා ගාථා කියවා වන්දනා කරවිය යුතුය.
බෝධි වන්දනා ගාථා
1. යස්සමූලේ මහාසත්තො - ජිත්වා මාරං මහබ්බලං
පත්තො සබ්බඤ්ඤු සෙට්ඨං - වන්දෙ තං බෝධිමුත්තමං
-
2. යස්සමූලේ නිසීදිත්වා - සත්තාහං ලෝකනායකො
විමුත්තිසුඛ සංවේදී - වන්දේ තං බෝධිමුත්තමං
-
3. යස්ස පූජේසි සම්බුද්ධෝ - සත්තාහං සකලෝචනේ
පූජිතං නරදේවේහි - වන්දේ තං බෝධිමුත්තමං
-
4. ආයුං ආරෝගතං වණ්ණං - යසං කිත්තිං ධනං බලං
වඩ්ඪෙන්තං පූජයන්තානං - වන්දේතං බෝධිමුත්තමං
-
5. දුක්ඛං රෝගං භයං වෙරං - සෝකං ජානිං උපද්දවං
හරන්තං පූජයන්තානං - වන්දේ තං බෝධිමුත්තමං
-
6. පුඤ්ඤකාමීහි විඤ්ඤූහි - නරදේවේහි සාදරං
වන්දිතං පූජිතං සෙට්ඨං - වන්දේ තං බෝධිමුත්තමං
-
7. සබ්බ කාමදදෝ බෝධි - සබ්බදුක්ඛ විනාසකෝ
වන්දතෝ දේතු මේ සන්ති - බෝධිරාජා නමත්ථු තෙ
මේ ගාථා කියා බෝධි වන්දනාව නිතර කිරීමෙන් බොහෝ ගුණ ලැබෙනු ඇත.
ඉක්බිති මෙහි 28 වැනි පිටුවෙහි සඳහන් බෝධීන් වහන්සේට මල් පහන් ආදිය පුදන ගාථා කියා මල් පහන් ආදිය පිදිය යුතුය. වැඳුම් පිදුම් අවසානයේදී මතු දැක්වෙන ගාථා කියා ආතුරයාට සෙත් වැඩිය යුතුය.
1. මහාදයෝ මහා සත්තෝ - බෝධිමූලේ නිසීදිය
පඤ්චමාරේ පරාජෙත්වා - පත්තෝ සම්බෝධිමුත්තමං
ඒතේන සච්ච වජ්ජේන -සොත්ති තේ හෝතු සබ්බදා
-
2. ජයෝහි බුද්ධස්ස සිරීමතෝ අයං
මාරස්ස ච පාපිමතෝ පරාජයෝ
උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමොදිතා
ජයං තදා නාග ගණා මහේසිනෝ
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
-
3. ජයෝහි බුද්ධස්ස සිරීමතෝ අයං
මාරස්ස ච පාපිමතෝ පරාජයෝ
උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමොදිතා
සුපණ්ණසංඝාපි ජයං මහේසිනෝ
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
-
4. ජයෝහි බුද්ධස්ස සිරීමතෝ අයං
මාරස්ස ච පාපිමතෝ පරාජයෝ
උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමොදිතා
ජයං තදා දේව ගණා මහේසිනෝ
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
-
5. ජයෝහි බුද්ධස්ස සිරීමතෝ අයං
මාරස්ස ච පාපිමතෝ පරාජයෝ
උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමොදිතා
ජයං තදා බ්‍රහ්මගණාපි මහේසිනෝ
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
මේ ගාථා රෝගයක් සුව කිරීම සඳහා කීමේ දී ගාථාවල අන්තිම පෙළ “ඒතේන සච්චවජ්ජේන රෝගෝ තෙ වූප සම්මතු” යි කීම වඩා හොඳ බව සැලකිය යුතුය.
අවසානයේ දී බෝධීන්ට අරක් ගෙන සිටි දෙවියන් ඇතුළු සියළු දෙවියන්ට පින් අනුමෝදන් කරවිය යුතුය.