10. රූප දේවියගේ කථාව

විපස්සී බුදුරජුන්ගේ කාලයෙහි බන්ධුමතී නගරයෙහි රමණීය වූ විහාරයෙහි උන්වහන්සේ වාසය කළ සේක. එක් ගම් දැරියක් විහාරයෙහි ඇවිද ගිලන් වූ භික්‍ෂූන් වහන්සේ නමක් දැක අනුකම්පා කොට අසනීපය ගැන බෙහෙත් කැඳක් පිළියෙල කරන බවත්, හෙට තමන්ගේ ගෙදරට වඩින ලෙසත් ආරාධනා කළාය. ඕ ගෙදර ගොස් දෙමාපියන්ට ද කියා නොයෙක් ඖෂධ වර්ග බහා බෙහෙත් කැඳක් ද, ආහාර ද පිළියෙල කළාය. එකී භික්‍ෂූන් වහන්සේ ගෙදරට පැමිණි විට බෙහෙත් කැඳ හා ආහාර පිළිගැන්නුවාය. බෙහෙත් කැඳ වැළඳීමත් සමඟ භික්‍ෂුවගේ රෝගය සන්සිඳිණ. ඊට පසු දින ද එසේම පිළියෙල කළත් භික්‍ෂූන් වහන්සේ නොවැඩි සේක. ගම්දැරිය විහාරයට ගොස් බෙහෙත් දින කීපයක් වැළඳිය යුතු බව කී විට එම බෙහෙත් කැඳින් රෝගය සන්සිඳුණු බව ප්‍රීතියෙන් කීහ. ඕ අතිශයින් සන්තෝෂයට පත්වූවා පසු කල කළුරිය කොට දෙව්ලොව උපන්නීය. බුද්‍ධාන්තර 6 ක් යනතුරුම ඕ දෙව් සැපත් වින්දාය. අපේ සම්බුදුන්ගේ කාලයෙහි ධනවත් බමුණු කුලයක ඉපදුණාය. ඈ උපන්දා සිට එම ගෙදරට නැළි අටක සහල් ලැබේ. ඇගේ රූප සම්පත් දුටු දෙමාපියෝ ‘රූප දේවී’ යයි නම් තැබූහ.

ඕ සාල් නැළියක් ගෙන පිසන්නට පටන් ගත් විට තමන් කැමැති මස් මාළු එළවළුත්, ගිතෙල් වෙඬෙරු කිරි ආදියත්, දුරු මිරිසුත්, කෙසෙල්, වරක ආදී පළතුරුත් භාජනය පුරවා ඇත. ඈ අතින් ගත් කිසි ආකාරයක් නරක් නොවේ. මුළු නුවර වැස්සන්ටම මේ ආහාර දෙන්නීය. එහෙත් නිමාවකට නොයයි. පන්සියයක් භික්‍ෂූන් වහන්සේ ඇගේ ගෙදර නිතිපතා වළඳති. පිළිසිඹියාපත් මහා සංඝරක්ඛිත හිමියෝ ඇගේ පෙර කර්මය දන්නේ දැයි දිනක් විමසූහ. ඕ එය නොදන්නා බවත්, කරුණාකොට ප්‍ර‍කාශ කරන ලෙසත් ඉල්ලා සිටියාය. උන්වහන්සේ ඇයට පෙර රෝගාතුර භික්‍ෂුවකට කළ පින්කම ප්‍ර‍කාශ කළ සේක. දැනුත් පින්කම් කිරීමට පමා නොවන්නට බණ කී සේක. පසුව නිතර නිතර පින්කම් කොට සෝවාන් වූ ආර්ය ශ්‍රාවිකාවක් වූවාය.

දහම් සොඬවග නිමි.