5.6. සැදැහැතිස් ඇමැති කථාව.

1. ලක්දිව සද්ධාතිස්ස මහරජතුමා රාජ්‍ය කරවන කාලයෙහි යුවරජ තනතුරෙහි තිස්ස නම් එක් ඇමැතියෙකු වීය. සැදැහැයෙන් යුත් හෙතෙම ඔහුගේ ශ්‍ර‍ද්ධාබලය නිසා සද්ධාතිස්ස අමාත්‍යයායි නමක් ලැබීය. එකල්හි හේ අනුරාධපුරයට ගොස් රජුට උවටැන් කරමින් වසයි. ඉක්බිති එක් දිනක් හේ රජුට උවටැන් කොට තමන්ගේ ගෙට ආපසු එන්නේ තාළචතුෂ්ක නම් ස්ථානයෙහි වූ සුදස්සන පදන් ශාලාවෙහි වාසය කරන පිණ්ඩපාතික තිසස් ස්ථවිරයන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක පාත්‍ර‍ය ගෙන තමන්ගේ ගෙට ගොස් බත් පිස නොමැත්තේ බත් මුලක් රැගෙන යන එක මිනිසෙකු දැක මිත්‍ර‍ය කහවණුවක් ගෙන බත්මුල මට දෙනු මැනවයි කීයේය. මම තට නොදෙමියි කී කල්හි පිළිවෙලින් කහවණු මිළ දියුණු කොට කහවණු 8 ක් ගෙන දෙන්න මෙ පමණමයි මා අතේ ඇත්තේ යයි කීය. ඉක්බිති හෙතෙම යහපතැයි දුන්නේය. හේ එය ගෙන පාත්‍ර‍යට බෙදා තෙරුන් වහන්සේ පිණ්ඩපාතය ලැබූ සැටි දැන තමා තමාටම අවවාද කරමින් මෙසේ කීය.

2. තිස්සය, මේ උපාසකතෙම ඔබේ පියාවත්, මවවත්, මාමාවත්, නෑයෙක්වත් සහ ලේ නෑයෙක්වත් මිත්‍රයෙක්වත් නොවේ.

3. පෙර ඔබ විසින් ඔහුට කරන ලද උපකාරයක් නැත. සීලවන්තයෙක යන හැඟීමෙන් ඔබට ආහාර දුන්නේය.

4. ඉදින් ඔබ සතුටු නම් ඔහුට මහත් වූ ආනිසංසයක් දිය හැකියි. මැරුණත් මේ බොජුන සරාගීව අනුභව නොකරනු.

5. ඒ ධෛර්යවත් තෙරුන් වහන්සේ තමන්ට අවවාද දී එකල්හි දුක ක්‍ෂය කොට බුද්ධශාසනය බබුළුවන්නෙක්ව බත් කිස කළහ.

6. මෙසේ හේ තමන්ටම අවවාද කොට ගෙට ගොස් කරජකය ගැන සිතා විදර්ශනා වඩා අරහත්ව පිණ්ඩපාතය වැළඳීය. එකල්හි රජුගේ සේසතෙහි අධිගෘහිත දේවතාදුව සාධුකාර දුන්නීය. රජතුමා කුමක් නිසා සාධුකාර දුන්නේදැයි විචාරණ ලද්දී සද්ධාතිස්සගේ දානය නිසා සාධුකාර දුනිමියි සියල්ල කීවාය. රජතුමා ඔහුද ඔහුගේ දෙමවුපියන් ද කැඳවා ඔවුනට බ්‍ර‍හ්මදෙය්‍ය කොට වඩමන් නගරය දුන්නේය.

විෂමව ගිය ගොවිතැන නිසා පසු කලක ලංකාව දුර්භික්‍ෂයකින් පෙළිණ. මිනිස්සු පැන් නොලබන්නෝ ක්ලාන්ත වෙති. එකල්හි මොහුගේ පින්බලයෙන් දෙවියෝ මවන ලද විලකින් පැන් කළ එළවූහ.

ඉක්බිති හෙතෙම ආර්යයන්ට පැන් නොදී පාවිච්චි කිරීම නුසුදුසු යයි සිතා මට අනුකම්පා, කොට ආර්යවරු පැමිණෙත්වායි කල් දැන්වීය.

තිස් දහසක් පමණ භික්‍ෂූහු එක්වූහ. ඉක්බිති හෙතෙම ඒ භික්‍ෂූන් වහන්සේට කැමැති සේ පැන් කළයෙන් වැළඳවීය. එකල්හි ද රජුගේ සේසතේ අධිගෘහිත දෙව්දූ සාධුකාර දුන්නාය. රජතුමා ද ඔහු කැඳවා විචාරා ඇති සැටියේ අසා කොටදොර අතර ගඟ නම් තැනක් දුන්නේය.

7. ඉක්බිති එක් දිනක් අන්තර ගමට යන්නේ කඩදොරට පැමිණ මොනර මස් කනු කැමැත්තේ මිනිසුන් අතින් විචාළේ නැතැයි කීහ. ඉක්බිති ඔහුගේ පින් තෙදින් දෙවියෝ මොනර මස් එළවූහ. ඉක්බිති හෙතෙම ආර්යයන් වහන්සේලා පැමිණෙත්වායි අඬ ගැසීය. එකල්හි බොහෝ භික්‍ෂූහු එක්රැස් වූහ. හේ කැමතිතාක් මොනර මසින් වැළඳවීය. එදා ද දෙවතා දූ සාධුකාර දුන්නීය. ඉක්බිති රජතුමා ඔහු කැඳවා බොහෝ සම්පත් දුන්නේය. ඊට පසු කාලයෙහි රජතුමා සෑ පව්වෙහි අම්බස්ථල මහ සෑයෙහි හිරියල් මඩින් විලේපන කරනු කැමැත්තේ ඒ තිස්ස ඇමතියා ද සමග අම්බස්ථලයට ගොස් සෑය හිරියල් සුන්නෙන් උලා පූජා කෙළේය. ඇමතියා ද එකල දොළොස් දහසක් භික්‍ෂූන් වහන්සේට හිරියල් පාට වැනි පාට ඇති තුන් සිවුරු දුන්නේය. සියළුම පින්වතුන් වහන්සේලා මේ සිවුර පොරවා සෑය වඳිත්වායි ඉක්බිති ඔවුහු මනාව හැඳ පැළැඳ හිරියල් මඩෙහි ගැලුණවුන් මෙන් බබළමින් ඒ සෑය පැදකුණුකොට පිළිවෙලින් රන් හසුන් බසින්නා සේ බසිති. එයින් හේ අධික සතුටට පැමිණියේ ප්‍රීතියෙන් පිනා ගිය සිරුරු ඇත්තේ එහි සිටම සෝවාන් විය. රජ පිරිසෙන් ද ඇතැමෙක් සෝවාන් වූහ. මේ පුදුමය දුටු බොහෝ දෙනා දන් දී සිල් රැක පොහොයකම් කොට දෙව්ලොව උපන්හ.

8. එසේ හෙයින් පින්වත්නි, මෙසේ ආශ්චර්යමත් ලෙස කරන ලද කුශල ධර්‍මයෝ දෙවියෝ පවා සාධුකාර දෙමින් අනුමෝදන්ව ස්තුති කරමින් පින් කරන්නන්ගේ ගුණ වර්ණනා කරති.

මෙසේ දැන ගත් පණ්ඩිත මිනිස්සු මානයෙන් තොරව ලෝකයෙහි පින් රැස් කරති. මොහොතක්වත් හිස් නො කරවා නිතර කුසල් කරනු මැනවි.

6. සැදැහැතිස් ඇමැති කථාව නිමි.