සමුදය සත්‍යය.

පාලි

කතමඤ්ච භික්ඛවේ දුක්ඛසමුදයං අරියසච්චං? යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී, සෙය්‍යථිදං? කාමතණ්හා භවතණ්හා විභවතණ්හා.

කෙටි අදහස

මහණෙනි! දුක්ඛ සමුදය ආර්යය සත්‍යය කවරේ ද? යම් මේ තෘෂ්ණාවක් තොමෝ නැවත නැවත අලුත් භවයක් උපදවයි නම්, ඇලීම වූ නන්දි රාගය හා එක්ව පවතී නම්, තමාට හමුවන තාක් ඒ ඒ ආත්ම භාවයන් කෙරෙහි රූප ශබ්ද ආදී ඒ ඒ ආරම්මණයන් කෙරෙහි තද ආසාව හෝ ඇල්ම ඇති කරයි නම් ඒ තෘෂ්ණාව කවරී ද?

රැහැනකින් බඳින්නාක් මෙන් පඤ්ච කාමයෙහි බැඳ තබන කාමතණ්හාව ද, භවයෙහි ආසා කරන භවතණ්හාව ද භවය සිඳී යෑමෙහි ආසා කරන විභවතණ්හාව ද යන මේ තණහා තුණ ය.

එහි විස්තරය:

“කාමෙ තණ්හා කාමතණ්හා, පඤ්චකාමගුණිකරාගස්සෙතං නාමං. භවෙ තණ්හා භවතණ්හා, භවපත්ථනාවසෙන උප්පන්නස්ස සස්සතදිට්ඨිසහගතස්ස රූපාරූපභවරාගස්ස ච ඣානනිකන්තියා චෙතං අධිවචනං.” (අටුවාව)

කාම තණ්හාති, කාම තණ්හා යනු; කාමේ තණ්හා, පඤ්ච කාම ගුණයෙහි පැවති තණ්හා තොමෝ; කාම තණ්හා, කාම තණ්හා නමි; ඒතං, මේ කාමතණ්හා යන වචනය; පඤ්චකාමගුණිකරාගස්ස, පඤච කාමයන්හි පැවති රාගයට; අධිවචනං, නමකි.

භවේ තණ්හා, භවය කෙරෙහි පැවැති තණ්හා තොමෝ; භව තණ්හා, භව තණ්හා නමි; ඒතං, භව තණ්හා යන මේ වචනය; භවපස්ථනාවසේන උප්පන්නස රාගස්ස ච, කාම භවය ප්‍රාර්ථනා කිරීම් වශයෙන් උපන් රාගයට ද, සස්සත දිට්ඨි සහගතස්ස රාගස්ස ච, ශාස්වත දෘෂ්ටිය හා එක්ව පැවති රාගයට ද; රූපාරූප භව රාගස්ස ච, රූප භව අරූප භවයන් කෙරෙහි පැවති රාගයට ද; ඣානනිකන්තියා ච, රූප ධ්‍යාන, අරූප ධ්‍යානයන් කෙරෙහි පැවති තණ්හාවට ද, අධිවචනං, නමකි.

මේ අටුවා කියමන අනුව භවතණ්හාවේ කොටස් සතරක් ඇත. එහි කාම භවයෙහි පැවති තණ්හාව යනු කාම භූමික සත්වයන්ට දැන් ලැබී තිබෙන භවය කෙරෙහි පවත්නා ආසාව ද, මතු අනාගතයෙහි දෙව් මිනිස් සම්පත් ලබා ගැනීමේ ආසාව ද කාමභවය හා සම්බන්ධ වන බැවින් කාමභවතණ්හා ය යි කියනු ලැබේ.

ශාස්වත දෘෂ්ටිය සමග පවත්නා රාගය යනු “සත්වයා හෝ ආත්මය සදා කල්හි විනාස නො වී පවත්නේය ය” යි වැරදි සේ වටහා ගන්නා දිට්ඨිය හා එක්ව පවත්නා තෘෂ්ණාව ය. මෙහි භව ශබ්දය සදාකාලිකය යන අර්ථයෙහි වැටේ. නිතර පවත්නා එකක් වශයෙන් ආස්වාද කරන බැවින් මේ සස්සත දිට්ඨිය හා යෙදුනු රාගය භවතණ්හා නමි. විභවතණ්හා යනු මරණයෙන් පසු නැවත ඉපදීමක් නැතැයි වරදවා වටහා ගන්නා දිට්ඨිය අනුව කල්පනා කොට නැවත උපතක් නැති වීම ගැන ආසා කරන රාග ය යි.

තවද රූප අරමුණක් දකිමින් සිටින කල්හි එහි ප්‍රකට ව පවත්නා උපාදාන ස්කන්ධ දුක්ඛ ධර්මයන්ට හොඳ ඒවා ය යි - උතුම් ඒවා ය යි වටහාගෙන එයට ආස්වාද කරන එහි ඇලෙන තණ්හාව සමුදය සත්‍යය යි. මේ තණ්හාව නො පහ කළ පුද්ගලයා දැන් මේ පවත්නා කාලයෙහි සැප සම්පත් ලබා ගැනීම පිණිස ද, මතු අනාගතයෙහි සැප සම්පත් ලබා ගනු පිණිස ද, පැහැදුනු සිතින් හොඳ කිරීමක් පාසා හොඳ වචනයක් පාසා හොඳ සිතුවිල්ලක් පාසා කය, වචන, සිත යන තුන් දොරින් පිරිසිදු කුසල් සිත් උපදවා ගන්නේ ය. නො පැහැදුනා වූ අපිරිසිදු සිතින් යුක්ත ව කයින් කිරීමක් පාසා වචනයෙන් කීමක් පාසා සිතින් සිතීමක් පාසා අකුසල් උපදවා ගන්නේ ය. එක් එක් භවයක දින එක් එක් ආත්මයක දී එක සත්වයකු තුළ උපදනා මේ කුසල් හා අකුසල් මෙපමණකැ යි ප්‍රමාණ කළ නො හැක්කේ ය. එහෙත් එසේ රැස්කර ගත් අනේක විධ කර්මයන් අතුරෙන් අවකාශය ලත් කර්මයක් හෝ ඒ කර්‍මය කිරීමට උපකාර වූ අරමුණක් හෝ මරණාසන්න කාලයෙහි ඔහුගේ සිතට වැටහී එන්නේ ය. එසේ නැතහොත් උපදින අලුත් භවයෙහි පවත්නා යම් යම් ද්‍රව්‍ය වස්තු වු අරමුණු ඒ කයේ ආනුභාවයෙන් ම සිතට වැටහී එන්නේ ය. සිහිනයක් දකින්නාක් මෙනි. එයට කර්මය, කර්ම නිමිත්තය, ගති නිමිත්ත ය යි කියනු ලැබේ. මෙකී අරමුණු තුනෙන් ප්‍රකට වූ අරමුණෙක්හි එල්බගෙන මැරෙණ සත්වයාහට අවසාන නාම රූප කොටස නිරුද්ධ වූ වහා ම ඒ වැටහුනු අරමුණෙහි ම එල්බගෙන ඒ කයෙන් ම අලුත් භවයෙත්හි උපදානාස්කන්ධ පඤ්චකය උපදව යි. මෙහි දී කර්මය ආදී අරමුණෙහි එල්බ ගන්නා ආකාරය නම්, භය ජනක සේවනයක් දුටු තැනැත්තාහට නින්දෙන් පිබිදි කල්හි ද ඒ භය නො සන්සිඳීම හා සම වෙයි.

පෙර පසු සම්බන්ධය ඇති වන ආකාරය නම් දක්නා ලද රූපයෙහි නො නවත්වා කල්පනා කිරීම මෙනි. (මෙය යෝගී පුද්ගලයන් විසින් ප්‍රත්‍යක්ෂ ව දත හැකි උපමාවකි) අලුත් භවයෙහි පිළිසිඳීමේ දී පළමු කොට හටගත් ඒ ස්කන්ධයන්ගෙන් පටන් ගෙන නැවත නැවතත් උපාදාන ස්කන්ධ පරම්පරාව උපදින්න පටන් ගනී. මේ භවයේ දී රූප අරමුණක් දැකීමෙන් පසු නැවතත් දකින්ට ලැබේ. ඉන් පසු ඒ ගැන කල්පනා කරයි. කනට ශබ්දයක් හමුවීමෙන්ද උපාදානස්කන්ධයාගේ පරම්පරාව නො සිඳී පවතින්නාක් මෙනි. මෙසේ ඇති වීමේ දී ඒ උපාදානස්කන්ධයන්ගේ පළමු පහළ වීම ජාති දුක්ඛය යි. නැවත නැවත ඇතිවන ඒ ස්කන්ධයගේ මුහුකුරා යාම ජරා දුක්ඛ ය යි. ඒ ස්කන්ධයන් අතුරුදහන් වී ම මරණ දුක්ඛය යි. මරණයට පෙර නොයෙක් විපත්වල දී නිතර ඇතිවන සෝක පරිදේව ආදිය ද දුක් ම ය.

දැකීම් ඇසීම් ආදී වශයෙන් නිරතුරුව නො කඩවා ඇතික්වෙමින් පවතින්නේ ද උපාදානස්කන්ධ සමූහයකි. එය ද දුක් ම ය. මේ ඒකාන්ත දුක් රැස ඇති වූයේ කුමක් නිසා ද? කර්මය නිසා ය. කර්ම කුමක් හෙයින් හට ගන්නේ ද? එය කුමක් හෙයින් විපාක උපදවනේ ද? උපාදාන ස්කන්ධයන් කෙරෙහි ආස්වාදය ඇති කරන තණ්හා නිසා ය. තණ්හාව නැති තැනැත්තාට අලුත් කර්මයක් ද ඇති නො විය හැකි ය. ඇති ව තිබෙන පුරාණ කර්ම ද අලුත් භවයක් විපාක වශයෙන් නූපදව යි. එහෙයින් භවයක් භවයක් පාසා පළමුවෙන් ඇති ව පවත්නා උපාදනස්කන්ධයන්ගේ පටන් හැම දුකකගේ ම මූල හේතුව නම් තණ්හාව මැ යි. එහෙයින් දැකීම් ආදියෙහි දී ප්‍රකට ව පවත්නා උපාදානස්කන්ධ රැස ම හොඳය, යහපත් යයි වටහාගෙන ආස්වාදය උපදවන එය ම ප්‍රාර්ථනා කරන තණ්හාව සමුදය සත්‍යය යි. “යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා” යනුවෙන් වදාළේ ඒ නිසා ය.

පාලි

“සා ඛො පනෙසා භික්ඛවෙ තණ්හා - කත්ථ උප්පජ්ජමානා උප්පජ්ජති? කත්ථ නිවිසමානා නිවිසති? යං ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.

කිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං? චක්ඛු ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ථ නිවිසමානා නිවිසති. සොතං ලොකෙ .... ඝානං ලොකෙ… ජිව්හා ලොකෙ… කායො ලොකෙ… මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.

රූපා ලොකෙ… සද්දා ලොකෙ… ගන්ධා ලොකෙ… රසා ලොකෙ… ඵොට්ඨබ්බා ලොකෙ… ධම්මා ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.”

කෙටි අදහස

මහණෙනි! ඒ මේ තෙවැදෑරුම් තණ්හාව උපදින්නී කවර තැනෙක්හි (කුමක් අරමුණුකොට) උපදින්නී ද? කවර තැනෙකට ඇතුල් ව පිහිටා සිටින්නී ද? සංස්කාර

ලෝකයෙහි ප්‍රිය ස්වභාවය ඇත්තා වූ ආස්වාද කළ යුතු යම් මිහිරි අරමුණක් වෙයි නම් තණ්හාව ඒ මිහිරි අරමුණෙහි උපදී. එහි ඇතුල් ව පිහිටා සිටී.

සංස්කාර ලෝකයෙහි තණ්හාවගේ අරමුණ වූ ප්‍රිය ස්වභාවය ඇති ඒ මිහිරි අරමුණ කුමක් ද? සංස්කාර ලෝකයෙහි ඇසට ප්‍රිය වූ මිහිරි අරමුණකි. මේ තණ්හා ව ඒ ඇස අරමුණු කොට එහි උපදි. එහි ඇතුල් ව සිටී. කණ, නැහැය දිව, කය, මනස අරමුණු කොට එහි උපදී. එහි ඇතුල්ව සිටි.

පාලි

“රූපා ලොකෙ පියරූපං සාතරූපං. එත්ථෙසො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති: එත්ථ නිවිසමානො නිවිසති. සද්ද ලොකෙ, ගන්ධා ලොකෙ, රසා ලොකෙ, ඵොට්ඨබ්බො ලොකෙ, ධම්මා ලොකෙ, පියරූපං සාතරූපං ඵත්ථසො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ථ නිවිසමානා නිවිසති.”

කෙටි අදහස

සංස්කාර ලෝකයෙහි රූප අරමුණු, ශබ්ද අරමුණු, ගන්ධ අරමුණු, රස අරමුණු, පොට්ඨබ්බ අරමුණු ස්වභාව ධර්ම අරමුණු, ප්‍රිය වූ මිහිරි අරමුණු ය. මේ තණ්හාව ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ස්වභාව ධර්ම යන මොවුන් අරමුණු කොට එහි උපදී. එහි ඇතුළත් ව පවතින්නී ය, සිටින්නී ය.

එහි විස්තරය

මේ සංකාර ලෝකයෙහි ප්‍රිය - මධුර (මිහිරි) ස්වභාවයෙන් යුක්ත වන්නේ ලෞකික ධර්ම සමූහයකි.

එනම් :- ලෞකික සිත් අසු එක ය, එහි යෙදෙන චෛතසික දෙපණස ය, රූප විසි අට ය යන මේවා ය. එයින් තම තමන්ගේ ඇස් කන් ආදිය කෙරෙහි මමය මාගේ යයි තදින් වරදවා ගත් තැනැත්තා තමා ගේ ඇස කැඩපත් ආදියෙන් බලා එය රන් විමනක සවි කළ මැණික් සීමැදුරක් (ජනේලයක්) මෙන් ආස්වාද වශයෙන් හඟින්නේ ය. සිතා ගන්නේ ය. තමාගේ කන් සිදුර රිදියෙන් සෑදු බට සිදුරක් මෙන් ද, එල්ලෙන කණ රන් සවඩි පටක් මෙන් ද, උස් වූ දික් වූ නැහැය හිරියල් වැටියක් මෙන් ද, දිව රන් කම්බිලි පටලයක් මෙන් ද, කාය ප්‍රසාදය සහිත මුලු කය තරුණ සල් රුකක් මෙන් ද - රන් තොරණක් මෙන් ද, තමන්ගේ සිත අනුන්ගේ සිත හා සම නො වූ උදාර වූ (උසස්) වස්තුවක් කොට ද සලකන්නේ ය. රූපාලම්බනය රන්වන් කිණිහිරි මලේ වර්ණය මෙන් ද, ශබ්දය මදයෙන් මත් වූ කුරවි කොවුල් හඬ මෙන් ද, තමාට ලැබී ඇති කර්මාදී ප්‍රත්‍යය සතරින් හටගන්නා ගන්ධ, රස, පොට්ඨබ්බ අරමුණු ගැන සිතමින් මෙවැනි මිහිරි අරමුණු මට මිස වෙන අයට ලැබෙන්නේ නැතැ යි හඟින්නේ ය. කල්පනා කරන්නේ ය.

මෙසේ වැරදි හැඟීම් උපදනා කල්හි ඒ සත්වයන්ට ඇස්, කන් ආදිය හා රූප ශබ්ද ආදිය අරමුණු කොට නූපන් තණ්හාව ද උපදින්නී ය. උපන් තණ්හාව ද නැවත නැවත පැවතීම් වශයෙන් - ඉපදීම් වශයෙන් ඒ ඒ අරමුණෙහි බැස ගන්නී ය. බැසගෙන පිහිටා සිටින්නී ය.

චක්ඛු, සෝත ආදි අජ්ඣත්තික ආයතන සය ද, රූප, ශබ්ද ආදී බාහිර ආයතන සය ද, චක්ඛු විඤ්ඤාණය.

ආදී විඤ්ඤාණ සය ද, චක්ඛු සම්ඵස්සය ආදී එස්සය ද, චක්ඛු සම්ඵස්සජ වේදනාව ආදී වේදනා සය ද, රූප සචේතනාව ආදී චේතනා සය ද, රූප තණ්හාව ආදී තණ්හා සය ද, රූප විතක්කය ආදී විතර්ක සය ද, රූප විචාරය ආදී විචාර සය ද යන මේ සියල්ල තණ්හාවගේ අරමුණු ය. එහෙයින් ඒ සියල්ල ම පියරූප සාත රූප නම් වේ.

තව ද යට කී පරිදි තණ්හාවට අරමුණු වන ලෞකික ධර්‍ම සියල්ල පිය රූප සාතරූප වන බව යමකප්‍රකරණ ඛන්ධ යමකයෙහි ද වදාරා තිබේ. මෙසේ දේශනා කොට තිබිය දී ඇතැම් අය ස්ත්‍රියට පුරුෂ රූපය ත් පුරුෂයාට ස්ත්‍රී රූපය ත් යන මෙ පමණක් ම පියරූප සාතරූප වන බව ප්‍රකාශ කරති. එය පියරූප සාතරූප යන වචනයේ ස්වරූපාර්ථය කුමක් දැ යි නොදත් කමින් ප්‍රකාශ කරන කියමනක් බව සැලකිය යුතු යි.