විදර්ශනා වැඩීම ආනපාන වශයෙන්

පාලි

ඉති අජ්‌ඣත්‌තං වා කායෙ කායානුපස්‌සී විහරති, බහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති, අජ්‌ඣත්‌ත බහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති.

සමුදය ධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති, වය ධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති, සමුදය වය ධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති.

අත්‌ථි කායොති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති, යාවදෙව ඤාණ මත්‌තාය පටිස්‌සතිමත්‌තාය අනිස්‌සිතො ච විහරති, න ච කිඤ්‌චි ලොකෙ උපාදියති. එවම්‌පි ඛො භික්‌ඛවෙ භික්‌ඛු කායෙ කායානුපස්‌සී විහරති.

කෙටි අදහස

මෙසේ තමා ගේ ආශ්වාස-ප්‍රස්වාස සංඛ්‍යාත රූප කයෙහි ද රූප කය අනු ව බලමින් වාසය කරයි. අනුන්ගේ ආශ්වාස-ප්‍රස්වාස සඞ්ඛ්‍යාත රූප කයෙහි ද, රූප කය අනුව බලමින් වාසය කරයි. තමාගේ හා අනුන්ගේ ආශ්වාස-ප්‍රශ්වාස සඞ්ඛ්‍යාත රූප කය අනුව බලමින් වාසය කර යි.

ආශ්වාස-ප්‍රශ්වාස නමැති රූප කයෙහි උපදවන ප්‍රත්‍යය හා ඉපදීම අනුව බලමින් වාසය කරයි. ආශ්වාසප්‍රශ්වාස නමැති රූප කයෙහි, බිඳීයාමේ ප්‍රත්‍යය හා බිඳීම අනුව බලමින් වාසය කරයි. ආශ්වාස-ප්‍රශ්වාස නමැති රූපයෙහි ඉපදවීමේ ප්‍රත්‍යය හා ඉපදීම ද බිඳී යාමේ ප්‍රත්‍යය හා බිඳීම ද අනුව බලමින් වාසය කර යි.

මෙහි ආශ්වාස-ප්‍රශ්වාස සංඛ්‍යාත රූප කය පමණක් ඇත. පුද්ගලයෙක් සත්වයෙක් නැතැ යි ඒ භාවනානුයෝගියාහට සිහිය එලඹ සිටියා වෙ යි. එය පිළිවෙලින් ඤාණය වැඩි දියුණු වීම පිණිස වෙයි. පිළිවෙළින් සිහිය වැඩි දියුණු වීම පිණිස ද වෙ යි.

වැඩි දියුණු වූ සිහිය හා ඤාණය ඇති ඒ යෝගී තෙමේ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් තොර ව ද වාසය කර යි.

එහෙයින් උපදිමින් නැසෙමින් පවත්නා උපාදානස්කන්ධ සංඛ්‍යාත සංස්කාර ලෝකයෙහි කිසිවක් මම ය මාගේ යයි තණ්හා-දිට්ඨි දෙකින් තදින් අල්ලා නො ගනී. මහණෙනි! භාවනානුයෝගී තෙමේ මෙසේ ද රූප කයෙහි රූප කය අනුව බලමින් වාසය කර යි.

මේ දැක්වූයේ ආශ්වාස-ප්‍රශ්වාසයන් මෙනෙහි කරන ආකාරය දක්වන ආනාපාන පබ්බය යි.

එහි විස්තර -

තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසයන් අරමුණ කොට එහි ස්වභාවය දැනගත් කල්හි අනුන්ගේ ආශ්වාස-ප්‍රශ්වාසයන් ද එසේ ම ය යි දැන ගත හැකි ය. මෙසේ දැනගැනීමට “බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති” ය යි වදාරන ලදී. එය අනුන් ආශ්වාස-ප්‍රශ්වාස ද කරන සැටි බලා සිටීමට වදාළේ ය යි නො සැලකිය යුතු ය.

ඇතැම් විටෙක තමාගේ ආශ්වාස-ප්‍රශ්වාසයන් අනුව බලමින් සිටින අතරතුර අනුන් තුළ ද මෙ බඳු ස්වභාවයක් ම ඇති වන්නේ ය යි ක්ෂණයක් පාසා කල්පනාව මෙහෙයවා දැන ගත හැකි ය. එවිට තමන්ගේ හා අනුන්ගේ රූප කය අරමුණු කළ හැකි ය.

හුලං පිඹින මයින හමය, එහි නලය, හුලං ගැසීමට කරන වෑයම ය යන මේ කරුණු තුණ එක් වීමෙන් සුලඟ ඇති වන්නාක් මෙන් බඩ සහිත කය ය, නාස් සිදුරු ය, සිත ය යන මේ කරුණු තුන එක්වීමෙන් ඇතුල් වන වාතය හා පිටවන වාතය පිළිවෙළින් ඇතිවන්ට පටන් ගනී. බඩ ඇතුළු කය ය, නාස් සිදුරු ය, සිත ය යන මේ කරුණු තුන නිසා තමාගේ කයෙහි ආශ්වාස - ප්‍රශ්වාස රූප සමූහය ඇති වෙමින් පවතී. එහෙයින් ඒ කරුණු තුණ “සමුදය ධම්ම”ය යි කියනු ලැබේ. ආශ්වාස - ප්‍රශ්වාසයන් මෙනෙහි කරමින් සිටිය දී ම මේ කරුණු තුණෙන් ආශ්වාස - ප්‍රශ්වාසයන් උපදනා බව වැටහී එන බැවින් යෝගී පුද්ගලයා සමුදය ධම්මානුපස්සී වන බව අටුවායෙහි කීහ. නාසය අග හෝ උඩු තොල ය යන දෙතැන එකී වාතය හැපෙමින් පවත්නා බව දැනගන්නා යෝගී තෙමේ ද සමුදය ධම්මානුපස්සී නම් වෙයි.

තවද මයින සමකුත් නැතහොත් එහි නලය ද නැතහොත් වාතය උපදවන වෑයමකුත් නැතහොත් එහි වාතය නූපදින්නාක් මෙන් බඩ ඇතුළු කරජ කය ය, නාස් සිදුරු ය, සිත ය යන මේ කරුණු තුන නැතහොත් ආශ්වාස - ප්‍රශ්වාස රූප කයකුත් ඇති නො වේ. රූප කය නිරුද්ධ වේ. එහෙයින් බඩ ඇතුළු කරජ කය ය, නාස් සිදුරු ය, සිත ය යන මේ කරුණු තුණ නැතිවුවහොත් ආශ්වාස - ප්‍රශ්වාස උපදවන කරුණු තුණ නැති බව දැනගැනීමෙන් ම වයධම්මානුපස්සී වන බව අටුවායෙහි කීහ. එසේම වාතය නාසය අග හෝ උඩුතොල යන තැනෙක ක්ෂණයෙක් ක්ෂණයෙක්හි, හැපෙමින් නැති ව යන ආකාරය දැනගන්නා යෝගී තෙමේ ද වයධම්මානුපස්සී ය යි කියන ලදී.

මෙතන්හි රූප කලාපයන්ගේ ඉපදීම හා නැසීම අටුවායෙහි දක්වා නැතත් එහි හේතුව දැනගැනීමෙන් ම ඒ ක්ෂණ දෙක එහි ඇතුළත් වන බව දත යුතු ය. කුමක් හෙයින් ද යත්? ආශ්වාස - ප්‍රශ්වාස රූප කලාපයේ ඉපදීමක් නැතිවීමක් නොමැතිව ම හැමදා ම නිත්‍ය ව පවතිත් යයි හැඟී ගියහොත් ඉපදීමේ හේතුව හා නැතිවීමේ හේතුව ද නො වැටහී යාමට ඉඩ ඇති බැවිනි.

තවද ඉරියාපථපබ්බ ආදියෙහි එන “සමුදය ධම්මානුපස්සී වයධම්මානු පස්සී” ය යි ඇතිවීමේ හා නැතිවීමේ හේතු දැක් වූ හැම තැන ම උප්පාද වය සඞ්ඛ්‍යාත ඇතිවීම හා නැතිවීමත් දැක් වූ බව සැලකිය යුතු ය.

දතයුතු විශේෂය නම්, “සමුදය ධම්මානුපස්සී - වයධම්මානුපස්සී” යන මේ ආදී වචනවලින් මේ සුත්‍රයෙහි මේ ආනාපාන පබ්බය ද විදර්ශනාව ප්‍රධාන කොට ගෙන වදාළ බව ප්‍රකාශ වීම ය. කුමක් හෙයින් ද? සමථ භාවනායෙහි දී සංස්කාරයන් පිළිබඳ ඇති වීමේ නැතිවීමේ හේතු හා ඇතිවිම් නැතිවීම් දෙකත් නුවණින් බැලීම අවශ්‍ය නැත. එසේම අනිස්සිතො ච විහරති යනුවෙන් දැක්වෙන පරිදි තන්හා - දිට්ඨි කෙලෙසුන් ඇසුරු නොකොට ඔවුන්ගෙන් දුරු ව විසීම ද අදහස් ද නොකරයි. ‘න ච කිඤ්චි ලොකෙ උපාදියති’ යනුවෙන් දැක්වෙන පරිදි සත්ව ශරීරය ආත්මයක් වශයෙන් නො ගැනීම ද අදහස් නොකරයි. මේ කරුණු සියල්ල විදර්ශනා භාවනාවෙන් ම සිදුවිය යුතු ඒවා ය.

එහෙයින් ආනාපාන පබ්බයෙහි විදර්ශනාව ඇතිවන ආකාරය මෙසේ දතයුතු ය:- ආනාපාන පටිභාග නිමිත්ත අරමුණුකොට පඨමඣාන, දුතියඣාන, තතියඣාන, චතුස්ථඣාන යන ධ්‍යාන සතරින් යම්කිසි ධ්‍යානයක් ලැබුවහු විසින් ඒ ඒ ධ්‍යානයට සමවැදී එයින් නැගිට ඒ ඒ ධ්‍යානය හෝ ඒ ඒ ධ්‍යානයට අරමුණු වූ ආශ්වාස - ප්‍රශ්වාස අරමුණ හෝ මෙනෙහි කොට ඒ අරමුණේ ඇතිවීම, නැතිවීම, පිරිසිදු ව දැනගැනීමෙන් සම්මසන උදයබ්බය ආදී විදර්ශනා ඥාන පරම්පරාව දියුණු කොට අනිස්සිත - අනුපාදාන කෘත්‍යයන් සම්පූර්ණ කිරීමෙන් මාර්ගඥාන ඵල ඥානයන්ගෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කළ හැකිය. එහෙයින්:

“සො ඣානා වුට්ඨහිත්වා අස්සාස පස්සාසෙ වා පරිගණ්හාති, ඣානඞ්ගානි වා” යනුවෙන් අටුවායෙහි කීහ.

විදර්ශනායානික පුද්ගලයාහට වනාහි ආශ්වාස ප්‍රශ්වාස වාතය උඩුතොලේ හෝ නාසයේ අග හැපෙන වරක් පාසා සලකා බලමින් එසේ හැපෙන වායෝ ඵොට්ඨබ්බ රූපයාගේ ඇතිවීම හා නැතිවීම ද හැපෙනු දැනගන්නා නාම ධර්මයගේ ඇතිවීම හා නැතිවීම ද ඒ පිළිබඳ ඥානයාගේ ඇතිවීම හා නැති වීම ද පැහැදිලි ව දැනගැනීමෙන් විදර්ශනා ඥාන පරම්පරාව පහළව අනිස්සිත - අනුපාදාන කෘත්‍යය සම්පූර්ණ කොට මාර්ග ඥාන - ඵල ඥානයන්ගෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කළ හැකි බව සැලකිය යුතු යි.

ආනාපාන පබ්බය නිමි.