“අනුජානාමි භික්ඛවේ, පඤ්චහංගේහි සමන්නාගතස්ස සාමණේරස්ස දණ්ඩකම්මං කාතුං, භික්ඛූනං අලාභාය පරිසක්කති, භික්ඛුනං අනත්ථාය පරිසක්කති, භික්ඛූනං ආවාසය පරිසක්කති, භික්ඛූනං අක්කෝසති, පරිභාසති, භික්ඛූ භික්ඛූහි භේදෙති. අනුජානාමි භික්ඛවේ, ඉමේහි පඤ්චහංගේහි සමන්නාගතස්ස සාමණේරස්ස දණ්ඩකම්මං කාතුං.”
තේරුම:
මහණෙනි, අංග පසෙකින් යුක්ත සාමණේරයා හට දඬුවම් කිරීමට අනුදනිමි. භික්ෂූනට අලාභ කරන්නට උත්සාහ කෙරේ ද, භික්ෂූනට අනර්ථ කරන්නට උත්සාහ කෙරේ ද, භික්ෂූනට ආවාදවල විසිය නොහෙනු පිණිස උත්සාහ කෙරේ ද, භික්ෂූනට ආක්‍රෝශ පරිභව කෙරේ ද, භික්ෂූන් භික්ෂූන් හා බිඳවා ද: මහණෙනි, මේ පඤ්චාංගයෙන් යුක්ත සාමණේරයා හට දඬුවම් කරන්නට අනු දනිමි.
විකාල භෝජනාදි සික පද පස කඩකරන සාමණේරයා ද, දඬුවම් ලැබිය යුතු වේ. ඉහත කී භික්ෂූනට අලාභ කිරීම ආදි කරුණු පසට විකාල භෝජනාදි කරුණු පස එකතු වූ කල්හි සාමණේරයනට දඬුවම් ලැබීමට සුදුසු කරුණු දසයක් වේ. මේ දශය “දසදඬුවම්වත්ය” කියා වෙන් කොට හඳුන්වන්නේ දඬුවම් ලැබිය යුතු කරුණු අතුරෙන් ප්‍රධාන කරුණු වීම නිසා ය. ලිංග නාසනා දසයෙන් අන්‍ය සියලු ම වරදවලට සාමණේරයෝ දඬුවම් ලැබිය යුත්තෝ ය. වරදවලට ප්‍රතිකාර වශයෙන් ඇවැත් දෙසීම ආදි විනය කර්ම සාමණේරයනට නැති බැවින් ඔවුන් විසින් වරදට අනුව දඬුවම් කිරීමෙන් ම සීලය පිරිසිදු කර ගත යුතු ය. දඬුවම් නො විඳ සිල් සමාදන් වීමෙන් පමණක් සාමණේරයනට ශුද්ධිය නො ලැබිය හැකි ය. පාරාජිකා වන වරදක් කැරුණ හොත් නැවත සරණ ගැනීම කළ යුතු ය. එය නොකරන තෙක් ඔහු දුශ්ශීල ය. අනෙක් වරදවලට දඬුවම් විඳීමම ශුද්ධියට ප්‍රමාණවත් ය. එහෙත් වරද කළ සාමණේරයන් ලවා දඬුවම් කරවා ආයති සංවරයෙහි පිහිටවීම පිණිස සික පද සමාදානයත් කරවිය යුතු බව විනය අටුවාවෙහි කියා ඇත්තේ ය.
“භික්ෂූනට අලාභ කිරීම ආදි වරද පස කරන්නා වූ සාමණේරයනට කළ යුතු දඬුවම කුමක් දැ”යි භික්ෂූන් විසින් විචාළ කල්හි “අනුජානාමි භික්ඛවෙ, ආවරණං කාතුං” යි දඬුවම් වශයෙන් ආවරණය කිරීම අනුදැන වදාළ සේක. මෙහි දැක්වෙන ආවරණය නම්, වරද කළ සාමණේරයා හට ආචාර්ය උපාධ්‍යායයන් වාසය කරන ස්ථාන වලට හා ඔහුට වාසය කිරීම සඳහා ලැබී ඇති තැනටත් යන්නට නොදීම ය. එය කොතෙක් කළ යුතු ද යන බව විනය පාළියෙහි දක්වා නැත. වරදට සුදුසු පරිදි දඬුවම් වශයෙන් දිය දර වැලි ආදිය ගෙන්වීමත් කළ යුතු බව විනය අටුවාවෙහි දැක්වේ. එයින් සලකන්නට ඇත්තේ සාමණේරයා විසින් යම් කිසි දඬුවමක් කළ පසු හෝ වරද පිළිගෙන ඒ බව ආරෝචනය කළ පසු හෝ ආවරණය නැවැත්විය යුතු බව ය.
සමහර විට එක සාමණේරයකු අතින් දඬුවම් ලැබීමට සුදුසු බොහෝ වරද සිදුවිය හැකි ය. ඒවාට වෙන වෙන ම දඬුවම් කරවන්නට ගියහොත් සාමණේරයකුට පාරිශුද්ධිය ලැබීම දුෂ්කර විය හැකි ය. එබැවින් සිදු වූ හැම ඇවැත්ම එක් කොට දෙසන්නාක් මෙන් සියලු ම වරදවලට එක් දඬුවමක් කරවිය යුතු ය. දඬුවම් පිණිස නිශ්ප්‍රයෝජන වැඩ නො කරවා අවස්ථාවේ සැටියට ඒ ඒ ස්ථානවලට ප්‍රයෝජනය වන හැමදීම් ආදි කිනම් වැඩක් හෝ කරවීම සුදුසු ය.