විහාරයෙන් පිටත ගමෙහි දී පිළිපැදිය යුතු සේඛියා සික පද සූ විස්සක් ඇත්තේ ය. එයින් ‘සුපටිච්ඡන්න’ සික පද දෙක සිවුරු පෙරවීම විස්තර කිරීමට ඇතුළු විය. ඉතිරි සික පද දෙවිස්ස මෙසේය:
1. සුසංවුතො අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
ගමෙහි දී හොඳට සංවර ඇතුව යා යුතුය. සංවර ඇතුව යෑමය කියනුයේ අත් වැනීමක් නො කොට දිවීමක් පැනීමක් නො කොට පියවි ගමනින් යෑමය. පැවිද්දා තැන්පත් ව ශාන්ත ව ගමන් කළ යුතුය. සයිකල් පැදීම, මොටෝරිය පැදවීම පැවිද්දාට අයෝග්‍ය වන්නේ ද එයින් වන අමුතු පාපයක් නිසා නොව මේ සංවරය ඒවා කරන කල්හි නැති වන නිසා ය.
2. සුසංවුතෝ අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
ගමෙහි දී මනා සංවරයෙන් හිඳිය යුතු ය. අත් හෝ පා සොලව සොලවා නො හිඳිය යුතුය.
3. ඔක්ඛිත්තචක්ඛු අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
ගමෙහිදී බිම බලා ගෙන යා යුතුය. වටපිට බල බලා නො යා යුතුය. බිම බැලිය යුත්තේ ද සතර රියනක් පමණක් දුරය. අනතුරු ඇති තැන්වල දී දුර බැලීමෙන් වරද නැත. වටපිට බලමින් යන කල්හි නොයෙක් දේ පෙනීමෙන් බොහෝ කෙලෙස් ඇති විය හැකිය. යම්කිසි කමටහනක් මෙනෙහි කරමින් ගමන් කරන්නට පුරුදු කර ගත යුතුය. “ගතපච්චාගත වත” ගැන දැනීමක් ඇති කර ගත යුතුය. දීර්ඝ වන බැවින් එය මෙහි නො දැක්විය හැකිය.
4. ඔක්ඛිත්තචක්ඛු අන්තරඝරේ නිසීදිස්සාමී ති සික්ඛා කරණියා.
ගමෙහි ගෙවල හිඳීමේ දී ද වටපිට නො බලා බිම බලා ගෙන සිටිය යුතුය. විපතකදී බැලීම වරද නැත.
5. න උක්ඛිත්තකාය අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
පොරවා සිටින සිවුර ඔසවා ගෙන ගමෙහි නොයා යුතු ය. පිඬු සිඟා යන භික්ෂුව විසින් ශරීරය විවෘතව නො පෙනෙන පරිදි පාත්‍රය පිටතට ගැනීම කළ යුතුය. මේ සිකපදයෙන් අදහස් කරන්නේ පටිය හා බඩ පෙනෙන ලෙස තුනටියෙන් උඩට සිවුර එසවීමය යි විමතිවිනෝදනී ටීකාවෙහි කියා තිබේ. එහෙත් තරමක් දුරට වුවද ඔසවා ගෙන යෑම අශෝභන බව කිය යුතුය.
6. න උක්ඛිත්තකාය අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
සිවුර ඔසවා ගෙන ඇතුළුගම්හි නො හිඳිය යුතුය. සිවුරු ගැබ තුළ ඇති දෙයක් පිටතට ගැනීම ශරීරය නො පෙනෙන ලෙස කළ යුතුය.
7. න උජ්ඣග්ගිකාය අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
මහ හඬින් සිනාසෙමින් ඇතුළු ගම්හි නොයා යුතුය. කරුණක් ඇති වුව හොත් මහහඬ නො නඟා සිනාසීමෙන් ඇවැත් නොවේ.
8. න උජ්ඣග්ගිකාය අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
මහත් කොට හඬ නඟා ඇතුළු ගම්හි සිනාසීම නො කළ යුතුය. සිකපද නැත ද විහාරයේ දී ද වෙරිකාරයන් සේ හඬ නඟා සිනාසීම පැවිද්දන්ට නුසුදුසු ය. සිනාවත් පුද්ගල තත්ත්වය දැක්වෙන ලකුණකි. හික්මීමක් ඇති උසස් අදහස් ඇති පුද්ගලයෝ කොතැනකදී වුවද මහත් කොට හඬ නඟා සිනාසීම නො කෙරෙති.
9. අප්පසද්දෝ අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
මහත් කොට හඬ නඟා කථාකරමින් ඇතුළු ගම්හි නොයා යුතුය.
10. අප්පසද්දෝ අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
මහත් කොට හඬ නඟා කථා කරමින් ඇතුළු ගම්හි නො හිඳිය යුතුය. සරියනක් දුරින් ඉන්නා කෙනකුට පැහැදිලි ලෙස ඇසෙන තරම් කථාව ප්‍රමාණවත් ය. ඉන් ඔබ්බටත් පැතිරෙන සේ හඬ නඟා කරන කථාව නුසුදුසු ය. ශාන්ත පැවතුම් ඇති නුවණැති පුද්ගලයෝ මහහඬින් කථා නො කෙරෙති. කථාවත් පුද්ගල තත්ත්වය දැක්වෙන ලකුණකි. අශීලාචාරකම වැඩි වැඩි තරමට ඒ ඒ අයගේ කථාවේ හඬ වැඩි බව පරීක්ෂාවෙන් ලෝකය දෙස බැලුව හොත් දත හැකිය. මේ සිකපද දෙක විහාරයට නැත ද සෑම තැනකදී ම සුදුසු ලෙස කථා කිරීම පැවිද්දන් විසින් පුරුදු කර ගත යුතු ය. ඇතමුන්ගේ කට හඬ උත්පත්තියෙන් ම තද ය. ඒ අය සිහියෙන් යුක්ත වී සෙමින් කථා කිරීමට පුරුදු කර ගත යුතුය. ශීලාචාර මනුෂ්‍යයෝ මහ හඬින් කථා නොකරති. පැවිද්දන් විසින් ද පමණට කථා කිරීම පුරුදු කර ගත යුතුය. හඬ නඟා දහම් දෙසීමෙන් ඇවැත් නැත.
11. න කායප්පචාලකං අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
වෙරිකාරයන් සේ ඒ මේ අතට නැවෙමින් පැද්දෙමින් ඇතුළු ගමෙහි නොයා යුතුය. හිසත් කයත් කෙළින් තබා නිශ්චලව ගමන් කළ යුතුය. නිශ්චලව ගමන් කළ නො හෙන රෝගීන්ට මෙයින් ඇවැත් නැත.
12. න කායප්පචාලකං අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
හිස වනමින් කය ඒ මේ අතට පද්දවමින් ඇතුළු ගම්හි නො හිඳිය යුතුය.
13. න බාහුප්පචාලකං අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
බාහුව සොලවමින් ඇතුළු ගමෙහි නොයා යුතුය.
14. න බාහුප්පචාලකං අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
බාහුව සොලවමින් ඇතුළු ගම්හි නො හිඳිය යුතුය.
15. න සීසප්පචාලකං අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
හිස සල සලා ඇතුළු ගම්හි නො යා යුතුය.
16. න සීසප්පචාලකං අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
හිස සල සලා ඇතුළු ගම්හි නො හිඳිය යුතුය.
17. න ඛම්භකතෝ අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
එක් අතක් හෝ දෙ අත ම හෝ උකුළෙහි තබා ගෙන ඇතුළු ගම්හි නොයා යුතුය.
18. න ඛම්භකතෝ අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
උකුළෙහි අත් ගසා ගෙන ඇතුළු ගම්හි නො හිඳිය යුතු ය.
19. න ඕගුණ්ඨිකෝ අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
හිස වසා පොරොවා ඇතුළු ගම්හි නො යා යුතුය.
20. න ඕගුණ්ඨිකෝ අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
හිස වසා පොරවා ඇතුළු ගම්හි නො හිඳිය යුතු ය. අමතක වීමෙන් කරන්නාහට ද ගිලනාහට ද වාසය කිරීමට ගිය තැනැත්තාහට ද මේ සිකපද දෙකින් ඇවැත් නැත.
21. න උක්කුටිකාය අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
පතුලේ අග පමණක් හෝ විළුඹ පමණක් හෝ බිම තබමින් ඇතුළු ගම්හි ගමන් නො කළ යුතුය. ආබාධයක් නිසා එසේ කිරීමෙන් ඇවැත් නොවේ.
22. න පල්ලත්ථිකාය අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
ඇතුළු ගමෙහි දී පල්ලත්ථිකයෙන් නො හිඳිය යුතුය. හත්ථපල්ලත්ථිකය-දුස්සපල්ලත්ථිකය කියා පල්ලත්ථිකය දෙයාකාර වේ. බිම හෝ මිටි අසුනක දෙදණ කෙළින් කර වාඩි වී දණ දෙක දෙපැත්තට නො යනු පිණිස පිටතින් අත් දෙක යවා එකට බැඳ ගැනීම හත්ථපල්ලත්ථික නම් වේ. එය අශෝභන හිඳ ගැනීමකි. මිටි අසුනක හෝ බිම දණහිස් උඩුකුරු කොට කතිර හැඩයට පා දෙක තබා දෙපැත්තට නො යනු පිණිස සිවුරෙන් තද කර ගැනීම දුස්සපල්ලත්ථික නම් වේ. එය දිරූ සිවුරක් නම් ඉරිය හැකි වාඩිවීමකි. ඒ දෙයාකාරයෙන් කවර ආකාරයකින් වුවද ඇතුළු ගම්හි හිඳ ගැනීමෙන් ඇවැත් වේ. අන් ආකාරයකින් වාඩිවීම අපහසු රෝගියකුට නම් ඇවැත් නොවේ.