ශාසනාවතරණය

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

සමස්ත ලෝකවාසී සකල සත්ත්ව සමූහයා වෙත පතළා වූ මහා කරුණාවෙන් යුක්ත වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ නැවත නැවත ඉපදීම ය, නැවත නැවත දිරීම ය, නැවත නැවත මැරීම ය, නොයෙක් පව්කම් කරන්නට සිදුවීමෙන් නැවත නැවත අපායට පැමිණෙන්නට සිදුවීම ය යන මෙතෙක් දුක්වලින් යුක්ත වන සංසාරයෙන් මිදී පරම සුන්දර නිර්වාණ ක්ෂේම භූමියට පැමිණ සැනසීම ලබා ගනු කැමති නැණවත් කුලපුත්‍ර‍යනට ඒ උතුම් සැනසීම ලබනු පිණිස පිහිට කර ගැනීම සඳහා මේ අත්‍යුත්තම ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව අනුදැන වදාළ සේක.

සත්ත්වයාහට නිවනට පැමිණිය නො හැකි ව සසර ම රැඳී සිටින්නට සිදුවී ඇත්තේ ඔහු තුළ පවත්නා රාගාදි ක්ලේශ ධර්ම සමූහය නිසා ය. ඒ කෙලෙස් සමූහය දුරුකොට ශුද්ධියට පැමිණීමට ඇත්තා වූ උපාය නම් ශීල, සමාධි, ප්‍ර‍ඥා යන මේ ධර්ම තුන තමා කෙරෙහි ඇති කර ගැනීම ය. ඒවා දියුණු කර ගැනීම ය. ගිහි ව වාසය කරන තැනැත්තාහට සියදිවි රැකුම පිණිසත්, අඹු දරුවන් පෝෂණය කරනු පිණිසත්, ඔවුන් සතුටු කරවනු පිණිසත්, නෑ මිතුරන් අසල්වැසියන් සතුටු කරවනු පිණිසත්, සතුරු උවදුරුවලින් මිදීම පිණිසත් කළ යුතු දේ ඉතා බොහෝ ය. ඒවා නොකොට ගිහි ජීවිතය නොපැවැත්විය හැකි ය. ඒවා කරන්නා වූ ගිහියාට සිල් රැකීමට භාවනා කිරීමට ඉඩක් ලබා ගැනීමට ඉතා අපහසු ය. සිත පිරිසිදු කර තබා ගැනීම ඉතා දුෂ්කර ය. ශීලයක් සමාදන් වුව ද ගිහියාට එය වැඩිකල් නො පැවැත්විය හැකි ය. එය ඉක්මනින් කිලිටි වන්නේ ය. ඉක්මනින් බිඳෙන්නේ ය. අමාරුවෙන් ඉඩක් ලබා ගෙන භාවනාවක යෙදුනේ ද බොහෝ කටයුතු ඇති ගිහියාට සමාධියක් ලබා ගැනීම දුෂ්කර ය. සමාධියක් ලබා ගත්තේ ද එය කෙලෙස් නැඟ ඒමෙන් වහා නැසෙන්නේ ය. පැවිදි වූවහුට ශීලාදි ගුණ ධර්ම වැඩීමට බොහෝ පහසුකම් ඇත්තේ ය. එබැවින් සසර රැඳී සිටීමේ නපුරත්, නිවනෙහි උතුම් බවත් දක්නා නුවණැත්තා වූ කුල පුත්‍රයෝ “සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා” යන දේශනයෙන් දැක්වෙන පරිදි ගිහිගෙය ගුණදම් පිරීමට අවහිර තැනක් බවත්, කෙලෙස් රජස් උපදනා තැනක් බවත්, පැවිද්ද ගුණදම් පිරීමට අවකාශ ඇති තැනක් බවත් සලකා මාපියන් හැර, සහෝදර සහෝදරියන් හැර, නෑ මිතුරන් හැර, ධනය හැර, ගිහිගෙයින් නික්ම පැවිදි වන්නාහ.

මේ පැවිද්ද වනාහි ලෝකයා විසින් ඉතාම උසස් තත්ත්වය වශයෙන් සලකන රජ බවට ද වඩා උතුම් තත්ත්වයකි. රජකම කෙලෙස් වැඩීමට, පව් වැඩීමට භූමියක් වනු මිස කෙලෙස් නැසීමට පව් නැසීමට හේතු වන තත්ත්වයක් නොවේ. රජකම් කරන්නන්ට බොහෝ සෙයින් සිදු වන්නේ රජකම නිසා ම නොයෙක් පව්කම් කොට මරණින් මතු නරකයට යෑමට ය. සාමාන්‍ය ජනයාට තබා අප මහා බෝසතාණන් වහන්සේටත් පෙර එක් ජාතියක විසි වසක් රජකම් කිරීමේ දී සිදු කර ගත් පව් නිසා අසූදහසක් අවුරුදු ඔසුපත් නරකයක පැසෙන්නට වූ බව තේමිය ජාතකයෙහි දක්වා තිබේ. ජාතිස්මරණඥානය ලැබූ තේමිය කුමාරයන්ට ඉතා ළදරු කාලයේ දී ම ඒ බව දැනිණ. එබැවින් තේමිය කුමාරයෝ තමන්ට උරුම ව ඇති රජකම පිළිගැනීමට බියෙන් එය අත්හරින් පිණිස පිළකු මෙන් ද, ගොළුවකු මෙන් ද විසූහ. සැමදා ම එක් තැනක වැතිර ඉන්නා වූ මලමුත්‍ර‍ පහකිරීමට පවා නොනැගිටින්නා වූ කථාවක් නැත්තා වූ බෝසතාණන් වහන්සේ කෙරෙහි අන්තිමට කලකිරුණා වූ පිය රජතුමා මෙබඳු කාලකණ්ණියකු තබා ගැනීම රජගෙදරට ද නපුරකැයි සලකා කුමාරයන් ගෙන ගොස් වනයෙහි වළලා දමන ලෙස සුනන්ද නම් රියැදුරාට නියම කෙළේ ය. බෝසතාණන් වහන්සේ කථා කරන්නට පටන් ගත්තේ රියැදුරා විසින් වනයට ගෙන යෑමෙන් පසුව ය. එහි දී රජගෙදර මාපියන් හමුවෙහි කථා නො කිරීමේ හේතුව විචාළ රියැදුරාහට තේමිය කුමාරයන් කී සැටි ජාතක පාළියේ මෙසේ දැක්වේ.

“පූරිමං සරාමහං ජාතිං යත්ථ රජ්ජමකාරයිං,

කාරයිත්වා තහිං රජ්ජං පාපත්ථං නිරයං භුසං

විසතිං චෙව වස්සානි තහිං රජ්ජමකාරයිං,

අසීතිං වස්ස සහස්සානි නිරයම්හි අපච්චිසං,

තස්ස රජ්ජස්සහං භීතො මා මං රජ්ජාභිසෙචයුං

තස්මා පිතුච්ච මාතුච්ච සන්තිකෙ න භණිං තදා.”

මේ ගාථාවල තේරුම මෙසේ ය:

“මම යම් ජාතියක බරණැස් නුවර රජය කෙළෙම් ද ඒ පූර්ව ජාතිය සිහි කරමි. ඒ ජාතියේ දී රජකම් කොට බොහෝ දුක් ඇති නරකයට වැටුණේ වීමි. ඒ ජාතියේ දී මම විසි වසක් රාජ්‍යය කෙළෙමි. එයින් අවුරුදු අසූ දහසක් නරකයෙහි පැසුණෙමි. නැවතත් ඒ රජකම කිරීමට බිය පත් වන මා නැවත රාජ්‍යයෙහි අභිෂේක නො කෙරෙත්වා යි මාපියන් හමුවේ දී කතා නො කෙළෙමි.”

තේමිය කුමාරයන් රජකම් කිරීමට බිය පත් වූයේ රජබව කෙලෙස් වඩන පව් වඩන අපායෙහි ඉපදීමට සසර දික් වීමට හේතු වන තත්ත්වයක් බැවිනි. පැවිද්ද වනාහි එබඳු නපුරු තත්ත්වයක් නොව කෙලෙස් තුනී කරන පව් අඩු කරන සසර කෙටි කරන තත්ත්වයෙකි. කෙබඳු පුද්ගලයකු වුවත් ගිහි ගෙය හැර පැවිදි වූයේ නම් හෙතෙමේ කලින් සිටියාට වඩා පව් කම් අඩු පුද්ගලයකු වන්නේ ය. එබැවින් තේමිය කුමාරයෝ තමන්ට උරුම වී ඇති රජය හැර පැවිද්ද ගත්හ. නුවණැති උත්තම පුද්ගලයන් විසින් මේ පැවිද්ද කෙතරම් උසස් කොට සැලකේ ද යන වග රජය හැර පැවිදි වූ “මහාජනක” රජතුමා ගේ මේ ප්‍ර‍කාශයෙන් තේරුම් ගත හැකි ය.

“හිත්වා සතපලං කංසං සොවණ්ණං සතරාජිකං,

අග්ගහිං මත්තිකාපත්තං තං දුතියාභිසෙචනං”

“පලම් සියයක් බර ඇති බොහෝ ඉරි ඇති රන් තලිය හැර පැවිදි වී මැටි පාත්‍ර‍ය ගතිමි. ඒ මැටි පාත්‍ර‍ය ගැනීම මාගේ දෙවන අභිෂේකය වන්නේ ය” යනු එහි තේරුම ය.

එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ බරණැස් රජු ගේ පුරෝහිත තුමා ගේ පුත්‍ර‍යකු ව උපන් සේක. එදින ම බරණැස් රජුට ද පුත්‍රයෙක් උපන්නේ ය. රජතුමා පුරෝහිත පුත්‍ර‍යා ද රජ මැදුරට ගෙන්වා තමාගේ පුත්‍ර‍යා සමග ම පෝෂණය කරවී ය. ඒ කුමාරවරුන් දෙදෙන එකට ම වැඩී තක්ෂිලාවට ගොස් ශිල්ප උගෙන පැමිණියෝ ය. රජතුමා තමා ගේ පුත්‍ර‍යාට යුවරජ කම දුන්නේ ය. බෝධිසත්වයෝ ද ඔහු හා එක්ව කමින් බොමින් නිදමින් ඉතා විශ්වාසී ව විසූහ. පසු කල රජුගේ ඇවෑමෙන් මිත්‍ර‍ වූ කුමාරයා මහ රජකමට පත් විය. ඔහුගේ සම්පත්තිය ඉතා මහත් විය. තමන් වහන්සේගේ මිතුරා රජ බවට පත් වූ බැවින් තමන් වහන්සේට නො වරදවා පුරෝහිත තනතුර ලැබෙන බව බෝසතාණෝ දන්නාහ. එහෙත් උන්වහන්සේ මට මේ ගිහිගෙයින් පලක් නැත. පැවිදි ව විවේකී ව වෙසෙමියි තමාට අයත් ධනස්කන්ධය හැර පැවිදි ව හිමාලය වනයෙහි විසූහ. රජතුමාට බෝසතාණන් වහන්සේ සිහි වී “මගේ යහළුවා දක්නට නැත. ඔහු කොහි දැ” යි ඇසීය. ඇමතියෝ බෝසතාණන් වහන්සේ පැවිදි වූ බව රජුට කීහ. එකල්හි රජතුමා පුරෝහිත තනතුර දෙනු පිණිස බෝසතාණන් කැඳවා ගෙන එන ලෙස සය්හ නම් ඇමතියකු උන්වහන්සේ වෙත යැවී ය. පුරෝහිත බව අගමැතිකම වැනි උසස් තනතුරකි. පුරෝහිත බවට පැමිණියාහුට රජකුට සේ බොහෝ සම්පත් ඇති ව දිවි පැවැත්විය හැකි ය. සය්හ ඇමතියා බෝසතාණන් වහන්සේ කරා ගොස් කාරණය උන්වහන්සේට දැන්වීය.

එකල්හි බෝසතාණන් වහන්සේ:

“සසමුද්දපරියායං මහිං සාගර කුණ්ඩලං,

න ඉච්ඡෙ සහ නින්දාය එවං සය්හ විජානහි.

-

ධීරත්ථු තං ධනලාභං යසලාභඤ්ච බ්‍රාහ්මණ,

යා චුත්තිවිනිපාතෙන අධම්මචරණෙන වා.

-

අපි චෙ පත්තමාදාය අනගාරො පරිබ්බජෙ,

සා යෙව ජීවිකා සෙය්‍යො යාව ධම්මෙන එසනා.

-

අපි චෙ පත්ත මාදාය අනගාරො පරිබ්බජෙ,

අඤ්ඤං අහිංසයං ලොකෙ අපි රජ්ජෙන තං වරං

යනුවෙන් “සය්හය! ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව හැර යස ඉසුරු ගත්තේ ය යන නින්දාව සමග සාගරයෙන් වට වූ මේ මුළු පොළොව වුව ද ගැනීමට මා කැමති නොවන බව දැන ගනුව. බ්‍රාහ්මණය! තමා ගේ ගුණය නසා ගැනීමෙන් හෝ අධර්මයෙහි හැසිරීමෙන් හෝ ලබන ධනලාභ යස ලාභයන්ට නින්දා වේවා. අධර්මයෙන් ජීවත්වීමට වඩා පැවිද්දකු ව පාත්‍ර‍ය ගෙන පිඬු සිඟා ජීවත්වීම ම උතුම් ය. පැවිද්දකු ව අනුන්ට හිංසාවක් නො කොට පාත්‍ර‍ය ගෙන ජීවත්වීම රජකමට වඩා උතුම්ය” යි වදාළ සේක. මෙසේ බෝසතාණන් වහන්සේ පුරෝහිත බව ප්‍ර‍තික්ෂේප කොට පැවිදි ව ධ්‍යාන සුවයෙන් ජීවිතාන්තය දක්වා විසූහ.

මහ බෝසතුන් පමණක් නොව පැවිද්දෙහි උතුම් බව දත් තවත් බොහෝ පින්වත්හු රාජ්‍යයන් හැර පුරෝහිතකම් ඇමතිකම් හැර මහා ධනස්කන්ධයන් හැර දූ දරුවන් භාර්‍ය්‍යාවන් හැර පැවිදි වූහ. මහාකප්පින රජතුමා රජය හැර පැවිදි විය. එතුමාගේ ඇමතියෝ දහසක් දෙනා ද ඔවුන් ගේ සම්පත් හැර පැවිදි වූහ. මහාකප්පින රජුගේ දේවිය ද ඇමතියන් ගේ භාර්‍ය්‍යාවෝ සෑම දෙන ම ද එසේ ම ගිහිගෙය හැර පැවිදි වූහ. පුක්කුසාතිය රජතුමා රජය හැර පැවිදි විය. එතුමා ගේ දහසක් ඇමතියෝ ද රජු අනුව ගිහිගෙය හැර පැවිදි වූහ. රජකුට ද වඩා උසස් සම්පත් ඇති ව සිටි ජෝතිය සිටුතුමා ඒ සියල්ල හැර පැවිදි විය. විපතක දී මුළු රට ම පෝෂණය කිරීමට තරම් ධනයට හිමි ව විසූ රට්ඨපාල සිටු පුත්‍ර‍යා ඒ සියල්ල හැර පැවිදි විය. තුන් සෘතුවට යෝග්‍ය වන සේ කරවන ලද ප්‍රාසාද තුනෙක විටින් විට වෙසෙමින් දෙවඟනන් බඳු රූපශෝබාවෙන් යුක්ත වන තරුණ කාන්තාවන් පිරිවරා උසස් ලෙස කම් සැප විඳිමින් විසූ යස සිටුපුත්‍ර‍යා ද පැවිදි විය. ඉතා සියුමැලි ලෙස සුවසේ වැඩී ජීවත් වූ බැවින් පතුලෙහි ලොම් සෑදී තිබූ සෝණ නමැති සිටුපුත්‍ර‍යා ද ඒ සියලු සම්පත් හැර පැවිදි විය.

දිනක් ජම්බුඛාදක නමැති තවුසෙක් සැරියුත් මහ තෙරුන් වහන්සේ වෙත එළඹ, “ඇවැත්නි! මේ ධර්ම විනයෙහි දුෂ්කර දෙය කුමක් දැ”යි විචාළේ ය. එකල්හි සැරියුත් මහ තෙරුන් වහන්සේ “පබ්බජ්ජා ඛො ආවුසො ඉමස්මිං ධම්මවිනයෙ දුක්කරා” යනුවෙන් “ඇවැත්නි! පැවිදි වීම මේ ධර්ම විනයෙහි දුෂ්කර දෙය” යයි වදාළ සේක.

ලෝකයෙහි බොහෝ ජනයා ඇතත් පැවිදි වීමට සමත් වන්නෝ ඉන් ඉතා ටික දෙනෙක් පමණ ය. තමන් ගේ මාපියන් ගෙන්, සහෝදර සහෝදරියන් ගෙන්, භාර්‍ය්‍යාවන් ගෙන්, දූ දරුවන් ගෙන්, සෙසු නෑ මිතුරන් ගෙන්, වෙන් ව එක් රාත්‍රියක් ඉක්මවීම පවා ලෝකයෙහි බොහෝ දෙනකුට අපහසු ය. එබඳු ලෝකයෙහි යමකු මාපිය සහෝදරාදීන් සැමදාට ම හැර දමා පැවිදි වෙනවා නම් ඔහු කරන්නේ ඉතා දුෂ්කර දෙයකි. මහත් වූ චිත්ත ශක්තියක් හෙවත් ධෛර්‍ය්‍යයක් ඇති කුල පුත්‍ර‍යකුට මිස අනිකකුට ගිහි ගෙය හැර පැවිදි විය නො හැකිය. ස්වල්ප වූ හෝ මහත් වූ හෝ ධනය හා නෑ පිරිස හැර යම් කුල පුත්‍ර‍යකු බුදුසස්නට දිවි දී පැවිදි වන්නේ නම් ඒ දුෂ්කර කරුණ සිදු කිරීමෙන් ම ඒ කුල පුත්‍ර‍යා ගරු බුහුමන් කළ යුතු පුද්ගලයෙක් වන්නේ ය. ගිහියන් විසින් ගරු බුහුමන් කිරීමට වැඳුම් පිදුම් කිරීමට සුදුසු වන තවත් බොහෝ ගුණ පැවිද්දකු තුළ ඇත්තේ ය.

ශරීරය පෝෂණය කරනු පිණිසත්, ධනය පිණිසත්, අඹු දරුවන්ට කැවීම පිණිසත්, ක්‍රීඩා පිණිසත්, කිසි ම අනුකම්පාවක් නැතිව බොහෝ අසරණ සතුන් මරන මේ ලෝකයෙහි පැවිද්දා කිසි සතකු නො මරා කිසි සතකුට පීඩා නො කරමින් මෛත්‍රී සහගත සිතින් කරුණා සහගත සිතින් වාසය කරන්නේ ය.

සොර මිනීම් කිරීම් ආදි නොයෙක් උපක්‍ර‍මයෙන් අන් සතු වස්තුව පැහැර ගැනීම ඇත්තා වූ මේ ලෝකයෙහි පැවිද්දා සියලු ආකාර සොරකම්වලින් වැළකී අනුන් විසින් කැමැත්තෙන් දුන් දෙයක් පිළිගනිමින් දැහැමින් ජීවත් වන්නේ ය.

කාමය නිසා රෑ දාවල් දෙක්හි නොයෙක් වැඩ කොට වෙහෙසෙන, නොයෙක් අපරාධ කරන, අදහස් ඉටුකර ගන්නට නොලැබීම නිසා සියදිවි නසා ගැනීම පවා කරන මේ ලෝකයෙහි පැවිද්දා ඒ ග්‍රාම්‍ය ධර්මයෙන් වැළකී දිවි හිමියෙන් බ්‍ර‍හ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේය.

අනේකාකාරයෙන් බොරු කියමින් ඔවුනොවුන්ට වඤ්චා කිරීම ඇත්තා වූ බොරුවෙන් පිරී ඇත්තා වූ මේ ලෝකයෙහි පැවිද්දා බොරු කීමෙන් වැළකී සත්‍යය ම පාවිච්චි කරමින් සෘජු චිත්තයෙන් වාසය කරන්නේ ය.

තමන් සපයන ධනයෙන් විශාල කොටසක් වියදම් කොට සුරාපානය කරන්නා වූ, දූ දරුවන් හාමත් වී සිටියදී ඔවුන් ගැන නොබලා සුරාපානය කරන්නා වූ ජනයා ඇති මේ ලෝකයෙහි පැවිද්දා සැම කල්හි ම සුරාපානයෙන් වැළකී වාසය කරන්නේ ය.

යම්කිසි හේතුවකින් එක් රැයක් නිරාහාර ව විසීමට සිදු වුවහොත් එයත් මහත් පාඩුවක් ලෙස සලකන මේ ලෝකයෙහි පැවිද්දා සැම කල්හි විකාල භෝජනයෙන් වැළකී වාසය කරන්නේ ය.

සොරකම, සූදුව, දුරාචාරය, බොරු කීම, සුරාපානය යනාදිය පුරුදු කරවීමෙන් අනුන් දෙලොවින් ම පිරිහෙවන අසත්පුරුෂයන් ගෙන් ගහන මේ ලෝකයෙහි පැවිද්දා තෙමේ ද හැකි තාක් පාපයෙන් වෙන් ව වාසය කරමින් පින් පව් හඳුන්වා දීමෙන් කළ යුත්ත නො කළ යුත්ත හඳුන්වා දීමෙන් බොහෝ ජනයාට දෙලෝ වැඩ සිදු කරන්නේ ය. බුදුන් වහන්සේ ගේ ධර්මය අන්‍යයන්ට කියා දෙන එක් එක් පැවිද්දකු නිසා දහස් ගණන් ජනයා දෙලෝ වැඩ සිදු කර ගන්නාහ.

මහජනයාට දහම් දෙසීමක් නොකර තමාගේ වැඩ පමණක් බලා ගෙන ඉන්නා සිල්වත් පැවිච්චා ගෙන් වුව ද ලොවට ඉමහත් යහපතක් වන්නේ ය. සිල්වත් පැවිද්දකු දැක මුන් වහන්සේ සිල්වතෙක ගුණවතෙක කියා යමකු ඒ පැවිද්දා කෙරෙහි සිත පහදවා මෛත්‍රී චිත්තයෙන් ඒ පැවිද්දා දෙස බැලුව හොත් ඒ බැලීම් මාත්‍රයෙන් ද ඔහුට උසස් කුසලයක් වන්නේ ය.

“එවං දස්සනමූලකෙනාපි හි පුඤ්ඤෙන අනෙකානි ජාතිසහස්සානි චක්ඛුම්හි රොගො වා දාහො වා උස්සදා වා පිළකා වා න හොන්ති. විප්පසන්නානි පඤ්චවණ්ණසස්සිරිකානි හොන්ති. චක්ඛුනි රතන විමානෙ උග්ඝාටිතමණී කවාට සදිසානි. සතසහස්ස කප්පමත්තං දෙවෙසු ච මනුස්සෙසු ච සබ්බසම්පත්තීනං ලාභී හොති”

යනුවෙන් පැවිද්දන් දැකීම මුල් කොට ඇති කුශලයෙන් දහස් ගණන් ජාතිවල දී ඇසෙහි රෝගයක් හෝ දාහයක් හෝ පොළක් හෝ නො හටගන්නා බවත්, ඔහුට ඒ පිනෙන් රත්න විමානයක මැණික් කවුළු බඳු වූ පඤ්චවර්ණයෙන් බබලන්නා වූ ප්‍ර‍සන්න නේත්‍ර‍යන් ඇති වන බවත්, කල්ප ලක්ෂයක් දෙවි මිනිස් දෙගතියෙහි සියලු සම්පත් ලබන බවත් මංගල සූත්‍ර‍ අටුවාවේ දක්වා තිබේ.

“යස්ස හි භික්ඛුනො කාලකතෝ පිතා වා මාතා වා අම්හාකංඤාතකො ථෙරො සීලවා කල්‍යාණ ධම්මො ති පසන්නචිත්තො හුත්වා තං භික්ඛුං අනුස්සරති, තස්ස සො චිත්තප්පසාදො පි තං අනුස්සරණමත්තම්පි මහප්පඵලං මහානිසංස මෙව හොති, අනෙකානි කප්පසතසහස්සානි දුග්ගතිතො වාරෙතුං අන්තෙ ච අමතං පාපෙතුං සමත්ථමෙව හොති.”

යනුවෙන් යම් භික්ෂුවකගේ කාලක්‍රියා කළ පියා හෝ මව හෝ අපට නෑ වන තෙරුන් වහන්සේ සිල්වත් කෙනෙක, යහපත් පැවතුම් ඇති කෙනෙක කියා පහන් සිතින් ඒ භික්ෂුව සිහි කෙරේ නම් ඒ චිත්තප්‍ර‍සාදයත් ඒ සිහි කිරීමත් මහත් ඵල මහානිසංස වන්නේ ය. කල්ප ලක්ෂ ගණනක් දුර්ගතියෙන් මිදවීමටත් අවසානයෙහි නිවනට පැමිණ වීමටත් සමත් වන්නේ යයි ආකංඛෙය්‍ය සූත්‍ර‍ අටුවාවෙහි දක්වා තිබේ. තවද ශීලාදිගුණයෙන් යුක්ත භික්ෂුවකට බත් සැන්දක් දීමත් පස් රියන් අතු පැළක් සාදා දීමත් කල්ප ලක්ෂ ගණනක් දුර්ගතියෙන් මිදවීමටත් අවසානයෙහි නිවන් සුවය ලබා දීමටත් සමත් වන බවත් ඒ අටුවාවෙහි ම දක්වා ඇත්තේ ය. මේ ධර්මදේශනාදිය නොකරන භික්ෂුවක් නිසාද ලෝකයට සිදුවන යහපත ය. මෙතෙකින් කියන ලදුයේ පැවිද්දකු ගේ ගුණවලින් ඉතා සුළු කොටසකි.

මෙසේ බොහෝ ගුණ ඇති බැවින් පැවිද්දා රජුන් විසින් පවා දෙවියන් විසින් පවා ගරු බුහුමන් කිරීමට වැඳුම් පිදුම් කිරීමට සුදුසු වන්නේ ය. දිනක් සක් දෙව් රජතුමා උයන් කෙළියට යනු සඳහා රථයට නැඟීමට සූදානම් වී සිවුදිගට නමස්කාර කෙළේය. එකල්හි මාතලී නම් වූ දිව්‍යරථාචාර්‍ය්‍යා “දේවයන් වහන්ස: නුඹ වහන්සේට බ්‍රාහ්මණයෝ ද ක්ෂත්‍රියයෝ ද භූමස්ථ දේවතාවෝ ද සතරවරම් දෙව් රජවරු ද තව්තිසා වැසි දෙවියෝ ද නමස්කාර කරන්නා හ. එසේ නමස්කාර කරනු ලබන ඔබ වහන්සේ කවරකුට නමස්කාර කරන්නාහු දැ”යි විචාළේ ය. එකල්හි සක්දෙව් රජ:

“අහංච සීලසම්පන්නෙ චිරරත්තසමාහිතෙ,

සම්මා පබ්බජිතෙ වන්දෙ බ්‍ර‍හ්මචරිය පරායනෙ.”

යනුවෙන් “මම ද සිල්වත් වූ බොහෝ කලක් සංසිඳවන ලද සිත් ඇත්තා වූ ශ්‍රේෂ්ඨ චර්‍ය්‍යා ඇත්තා වූ යහපත් පැවිද්දන්ට වඳිමි”යි කීය.