ආගන්තුකයකු පැමිණි කල්හි ආවාසිකයන් විසින් කළ යුතු වත ‘ආවාසික වතය’. ආගන්තුකයන්ට කරන බැවින් එයට ‘ආගන්තුක වතය’ යි ද කියති. වැඩි මහලු ආගන්තුකයකු එනු දුටු කල්හි ආවාසිකයා විසින් හුනස්සෙන් නැගිට පෙර ගමන් කොට පා සිවුරු පිළිගෙන සුදුසු තැන්වල තැබිය යුතු ය. අසුන් පැනවිය යුතු ය. පා දෙවීම, මුව දෙවීම, පිණිස පැන් එළවිය යුතු ය. වැඩි මහලු ආගන්තුකයාට වැඳිය යුතු ය. පවන් සැලිය යුතු ය. දැහැත් ගිලන්පස ඇති නම් පිළිගැන්විය යුතු ය. නැති නම් බීමට පැන් හෝ පිළිගැන්විය යුතු ය. ආගන්තුකයාට පිවිසීමට සෙනසුනක් දිය යුතු ය. එය කලින් අනිකකු විසූ තැනක් ද නැත ද යන බව දැන්විය යුතුය. වැසිකිළි කෙසකිළි ඇති තැන් කිය යුතු ය. පැන් ඇති තැන් කිය යුතුය. පිඬු පිණිස ගමට යා යුතු තැන් නොයා යුතු තැන් කිය යුතුය. ආගන්තුකයා නවකයෙක් වේ නම් ආවාසිකයා විසින් ඔහුගේ වැඳීම පිළිගත යුතුය. වැඩිමහලු ආවාසිකයා නවක ආගන්තුකයා හට තමාගේ අසුනෙහි හිඳ ගෙන පා සිවුරු තැබිය යුතු තැන් පැන් ඇති තැන් ආදිය කිය යුතු ය. අන් වැඩක යෙදී සිටින්නා වූ ද ආවාසිකයා ඒ වැඩේ නවත්වා ආගන්තුක සත්කාරය කළ යුතුය.