ජීවිත පරිත්‍යාගයෙන් සිල් රැකි තෙරුන් වහන්සේලා

පෙර දඹදිව මහාවත්තනි නම් වනයෙහි එක් තෙර නමක් සොරමුළක් විසින් ඔවුනට හමුවූ අමු වැල්වලින් බැඳ තබන ලදහ. ඔවුන් එසේ කළේ තෙරුන් වහන්සේට යන්නට ඉඩ දුනහොත් වනයෙහි සොරමුල ඇති බව ජනයන් දැන ගන්නා නිසා ය. තෙරුන් වහන්සේට ඒ බැමි සිඳී මිදී යා හැකිව තිබිණ. එහෙත් අමු වැල් සිඳීමෙන් ඇවැත් සිදුවිය හැකි බැවින් උන් වහන්සේ ජීවිතය පිණිස ද ඒ වැල් නො සින්දාහ. සොරුන් විසින් බැඳ දැමූ පරිදි උන්වහන්සේ බිම වැතිර සිට ජීවිතාශාව හැර සත් දිනක් මුළුල්ලෙහි විදසුන් වජා අනාගාමී ඵලයට පැමිණ සත්වන දින කාලක්‍රියා කොට ශුද්ධාවාස බ්‍ර‍හ්මලෝකයෙහි උපන්හ.

මේ ලක්දිව ද එක් තෙරනමක් එසේ ම සොරුන් විසින් මහ වනයෙහි රසකිඳ වැල්වලින් බැඳ තබනු ලැබීය. තෙරුන් වහන්සේ බඳිනු ලැබ සිටියදී ලැව් ගින්නක් හටගත්තේ ය. උන්වහන්සේට ද රසකිඳ වැල් සිඳ දමා මිදී යන්නට හැකි ව තිබිණ. එහෙත් මරණයට වඩා ඇවතට බිය වන උන්වහන්සේ ගින්නෙන් දැවි දැවී විදසුන් වඩා රහත් ව පිරිනිවන් පා වදාළහ. ‘දීඝභාණක අභය’ තෙරුන් වහන්සේ භික්ෂූන් පන්සියයක් හා වඩනාහු ඒ මෘතශරීරය දැක හැඳින ආදාහන කරවා ධාතු ගෙන සෑයක් කරවූහ.

‘අම්බඛාදක තිස්ස’ තෙරුන් වහන්සේ දුර්භික්ෂ කාලයක දී පහසු තැනක් බලා යන්නාහු ආහාර නොලැබීමත් ගමන් මහන්සියත් නිසා ඉතා දුබල වූ සේක. ඉදිරියට යා නො හී එක් අඹ ගසක් යට වැතිර ගත්හ. ඒ ගස යට තැනින් තැන බොහෝ ඉදුණු අඹ වැටී තිබිණ. කෙනකු විසින් නො පිළිගන්වන ලදු ව ඒ අඹ තමන් වහන්සේ විසින් ම ගෙන වැළඳුව හොත් ඇවැත් සිදුවන බැවින් උන්වහන්සේ අඹ පැල දැක දැක ද ජීවිතාශාව හැර ශීලය ම උසස් කොට නිරාහාර ව උන්හ. එක් මහලු උපාසකයෙක් ක්ලාන්ත ව වැතිර ඉන්නා වූ තෙරුන් වහන්සේ දැක, උන්වහන්සේට අඹ පැන් සාදා පිළිගන්වා මඳක් වෙහෙස සන්සිඳවා තවත් උපස්ථාන කොට සුවපත් කරවනු පිණිස තෙරුන් වහන්සේ ඔහුගේ පිට උඩ තබා ගෙන ඔහු වාසය කරන තැනට ගෙන යන්නට පටන් ගත්තේ ය. එකල්හි තෙරුන් වහන්සේ උපාසක තැන විසින් කරනු ලබන සත්කාරය ගැන මහත් සංවේගයට පැමිණ විදසුන් වඩන්නාහු උපාසක තැන ගේ පිට උඩදී ම සව් කෙලෙසුන් නසා රහත් වූහ.

“ධනං චජේ යෝ පන අංගහේතු

අංගං චජේ ජීවිතං රක්ඛමානෝ,

අංගං ධනං ජීවිතං චාපි සබ්බං

චජේ නරෝ ධම්මමනුස්සරන්තෝ”

ශරීරාවයවයන් රැක ගනු පිණිස ධනය හරනේ ය. වියදම් කරන්නේ ය. ජීවිතය රක්‍ෂා කරනු පිණිස ශරීරාවයව ද පරිත්‍යාග කරන්නේ ය. ධර්මය සිහි කරන්නේ අංග ධන ජීවිත යන සියල්ල පරිත්‍යාග කරන්නේ ය” යනු ගාථාවේ අදහස ය.

මේ සත්පුරුෂ චින්තාව උත්තම පුරුෂ චින්තාව, පැවිද්දන් විසින් නිතර සිහි කළ යුතු ය.