මේ සස්නෙහි උසස් පැවිද්දන් වශයෙන් කියයුත්තෝ ධ්යානමාර්ගාධිගම ධර්ම ලබා ඇති පැවිද්දෝය. මෙකල එතරම් උසස් තත්ත්වයට පැමිණි පැවිද්දන් සුලභ නැත. එහෙත් අද එබඳු පැවිද්දන් ලෝකයේ කොතැනකවත් නැතය කියා නිගමනයක් ද නො කළ හැකිය. වර්තමාන පැවිද්දන්ගේ වශයෙන් කියනවා නම්, මහත් මහත් සිකපද කඩා මහණකම නසා නො ගත්, හැම සික පදයක් ම රකින්නට උත්සාහ කරන, කැඩුණු සිකපදවලට ප්‍රතිකාර කර ගැනීම ඇති, තමා අයත් වත පිළිවෙත අඩු නො කොට කරන, බණදහම් උගෙනීම උගැන්වීම බණ පිරිත් කීම භාවනා කිරීම යනාදි ශ්‍රමණ කෘත්‍යයන්හි යෙදෙන හැකිතාක් තෘෂ්ණා මානාදි කෙලෙසුන් තුනී කරගෙන සිටින මෛත්‍රී කරුණාදි ගුණ ධර්ම දියුණු කර ගෙන සිටින පැවිද්දා, නිත්‍ය වාසයට තැනක් නැති ව දායක පිරිසක් නෑ පිරිසක් ධනයක් නැති ව තැනින් තැන ඇවිදිමින් ජීවත් වන අසරණයකු වුව ද උසස් පැවිද්දකු බව කිය යුතුය. පැවිද්දන්ගේ උසස්කම මැනිය යුත්තේ ශීලාදි ගුණධර්මවලින් මිස තනතුරු උපාධි වත්පොහොසත්කම් ආදියෙන් නො වන බව සැලකිය යුතු ය.
මිනිසුන් පහදවා සැලකිලි ලැබීම සඳහා කුහකකම් නො කරන, ප්‍රත්‍යය සෙවීම සඳහා වෙනත් නො මනා වැඩ නො කරන, අවංක ව මහණ දම් පුරණ පැවිද්දාහට චීවරාදි ප්‍රත්‍යය හිඟ විය හැකිය. ගිය ගිය තැන අවමන් කරන අය මිස සලකන අය අඩු විය හැකිය. ඒ නිසා ඔහුට ඒ ජීවිතය කලක් පවත්වා ගැනීමට අපහසු වන්නේ ය. කලක් ඉතා හොඳින් මහණකම් කළ පැවිද්දන් කලකදී වෙනස් වන්නේ ඉහත කී අමාරුකම් නිසා ය. අපහසුකම්වලදී වුව ද අකැප ලෙස ප්‍රත්‍යය සොයන අපහසුකම් නිසා විකාලභෝජනාදි ඇතැම් සික පද කඩන පැවිද්දාහට උසස් පැවිද්දකු නො විය හැකි ය. උසස් පැවිද්දකු වීමට නම් සැම අපහසුවකට ම ඔරොත්තු දෙන පරිදි තමාගේ සිත කය දෙක ම සකස් කර ගත යුතු ය.
සියුමැලි කය ප්‍රතිපත්තියට මහත් බාධාවෙකි. කය සියුමැලි වූ තරමට වුවමනා දේ වැඩි වෙයි. කයට ප්‍රතිකාර සඳහා ඒවා සොයන්න යන්නහුට සුදුසු පරිදි නොලැබෙන කල්හි නුසුදුසු ලෙස ද යම් යම් දේ සපයන්නට සිදුවෙයි. එසේ නො වීමට නම් අව්ව වැස්ස පින්න යන මේවාට ඔරොත්තු දෙන ලෙස ද ඕනෑම කාලගුණයකට ඔරොත්තු දෙන ලෙස ද ඕනෑම රූක්ෂ ආහාරයකින් ජීවත් විය හැකි වන ලෙස ද, ඕනෑ ම අප්‍රණීත භෝජනයක් වැළඳිය හැකි වන ලෙස ද, පථ්‍යාපථ්‍ය විශේෂයක් නො මැති ව කිනම් අහරකින් වුවත් ජීවත් විය හැකි ලෙස ද වුවමනා පමණට ආහාර නො ලැබුව ද ජීවත් විය හැකි ලෙස ද, මැසි මදුරු උවදුරුවලට ඔරොත්තු දෙන ලෙස ද ශරීරය සකස් කර ගත යුතු ය.
හින්දු යෝගීහු ව්‍යායාමවලින් ශරීරය සකස් කර ගනිති. ඒ ව්‍යායාම පුරුදු කිරීමේ සිරිත බෞද්ධ භික්ෂූන් අතර තුබූ බවක් පොතපතෙහි සඳහන් වී නැත. එහෙත් බෞද්ධ භික්ෂූන්ට වුවද ශරීරය සකස් කර ගැනීමට ඒ ව්‍යායාම භාවිතය ද නරක නැත. ඒ ව්‍යායාම නො කළ ද සක්මන - පිඬු සිඟා යෑම, වත පිළිවෙත කිරීම යන ව්‍යායාමවලින් ද ශරීරය බොහෝ දුරට සකස් කරගත හැකිය. ශරීරය සකස් කරන්නා වූ තැනැත්තා විසින් තද අසුන්වල හිඳීම, සැතපීම පුරුදු කර ගත යුතුය. එලිමහනේ හිඳීම සැතපීම පුරුදු කර ගත යුතුය. ගිලන්පස වර්ග පාවිච්චි නො කොට ඇල් වතුර බීම පුරුදු කර ගත යුතුය. පමණ දැන ආහාර ගැනීම කළ යුතුය. කාලයෙහි වුව ද වරින් වර යම් යම් ආහාර නො වැළඳිය යුතුය. තේ කෝපි ආදි පැණිරස වර්ග ගිලන්පස වශයෙන් නිතර පාවිච්චි කරන්නට පුරුදු කරගෙන තිබීම ද ශරීරයට අහිතය.
පුරාණ භික්ෂූන් අතර වර්තමාන භික්ෂූන් ලෙස ගිලන්පස වළඳන සිරිතක් තිබී නැත. උන් වහන්සේලා පිපාසය සන්සිඳවා ගැනීමට පාවිච්චි කර තිබෙන්නේ ඇල්දිය ය. ඒ බව වත් ගැන කියන තැන්වල බොන තැන් තැබිය යුතු බව දක්වා තිබීමෙන් පැහැදිලිය. ආගන්තුකයකු පැමිණි කල්හි බීමට පැන් මිස ගිලන් පසක් දිය යුතු බවක් වත්තක්ඛන්ධකයෙකි සඳහන් වී නැත. “පානීයේන පුච්ඡන්තේන සචේ සකිං ආනීතං පානීයං සබ්බං පිවති පුන ආනේමීති පුච්ඡිතබ්බෝ” යනුවෙන් ආගන්තුකයා ගෙන් පැන් විචාරන්නා වූ භික්ෂුව විසින් වරක් ගෙන ආ පැන් සියල්ල ආගන්තුකයා පානය කළහොත් දෙවනුවත් පැන් ගෙනෙන්න දැයි විචාළ යුතු බව විනය අටුවාවෙහි දක්වා තිබීමෙන් පෞරාණික භික්ෂූන් පිපාසය සන්සිඳුවා ගැනීමට ඇල්දිය මිස, තේ කෝපි ආදිය පාවිච්චි නො කළ බව හොඳට ම පැහැදිලි ය. නිතර ගිලන්පස වැළඳීමේ සිරිත බුරුම භික්ෂූන් අතර ද නැත. එහි ආගන්තුකයන්ට දෙන්නේ ද ඇල්දිය ය.
බුලත් දුම්කොළ සැපීමට හා දුම් බීමට පුරුදු වී තිබීමත් පැවිද්දන්ට තරමක බාධාවකි. ගිය ගිය තැන පහසුවෙන් ලැබෙන බැවින් බුලත් සැපීමේ පුරුද්ද එතරම්ම අහිතකර නොවේ. එහෙත් දුම් බීමට වුවමනා දුම් වැටි ආදිය ගිහියන් විසින් පැවිද්දන්ට නිතර නොදෙන බැවින් ඒවා පැවිද්දන්ට තමන් විසින් ම සොයා ගන්නට සිදුවේ. පුරුදු වී ඇති තැනැත්තාට ඒවා නැති ව සිටිය නො හැකිය. එබැවින් දුම් බීමේ පුරුද්ද ඇති පැවිද්දා සුරුට්ටු ආදිය දැහැමින් නො ලැබෙන කල්හි නො මනා අකප්පිය ක්‍රමවලින් ඒවා සොයන තැනට පැමිණේ. එබැවින් දුම් බීම පුරුදු කරගෙන තිබීම උසස් පැවිද්දකු වීමට ඉමහත් බාධාවක් බව කිය යුතුය.
සිත සකස් කර ගැනීම නම් ලෝභාදි කෙලෙසුන් තුනී කර ගැනීම හා අල්පේච්ඡතාදි ගුණධර්ම ඇති කර ගැනීමත් ය. පැවිද්දන් විසින් භාවිත කළ යුතු ධර්ම උගෙන ඒවා නිතර භාවිත කිරීමෙන් සිත සකස් කර ගත හැකි ය. බොහෝ ප්‍රත්‍යය සොයන, ප්‍රණීත ප්‍රත්‍යය සොයන, ගරුබුහුමන් කීර්ති ප්‍රශංසා සොයන තණ්හාව, උසස් පැවිද්දකු වීමට ඇති මහත් ම බාධාවය. පැවිදි ව හොඳින් ජීවිතය පවත්වා ගත හැකි වීමට නම් චීවරාදි ප්‍රත්‍යයන් ගැන ලැබුණු සැටියකින් සතුටු වන්නට පුරුදු විය යුතු ය. ප්‍රත්‍යයන් ගැන දම්සෙනවි සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් වදාරා ඇති මේ ගාථා පාඩම් කර ගෙන භාවිත කිරීම පැවිද්දන්ට ඉතා ප්‍රයෝජනවත් ය.
“අල්ලං සුක්ඛං වා භුඤ්ජන්තෝ න බාළ්හං සුහිතෝ සියා ඌනූදරෝ මිතාහාරෝ සතෝ භික්ඛු පරිබ්බජේ”
ප්‍රණීත වූ රූක්ෂ වූ හෝ ආහාරය වළඳන්නා වූ භික්ෂුව විසින් හොඳට ම කුස පිරෙන සේ නො වැළඳිය යුතුය. මහණනු විසින් පමණට ආහාර වළඳන්නකු ව තදින් නොපිරුණු සැහැල්ලු කුස ඇති ව ප්රත්යවේක්ෂා සිහියෙන් යුක්තව වාසය කළ යුතුය.
“චත්තාරෝ පඤ්ච ආලෝපේ අභුත්වා උදකං පිවේ,
අලං ඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනෝ.”
කුසයට ඇතුළු කළ හැකි ප්‍රමාණයෙන් බත් පිඬු සතර පසක් අඩුවෙන් වළඳා පැන් බිය යුතුය. නිවනට යොමු කළ සිත් ඇති මහණහුගේ සැප විහරණයට එසේ වැළඳීම ප්‍රමාණවත් ය.
“කප්පියං තං වේ ඡාදේති චීවරං ඉදමත්ථිතං,
අලං ඵාසුවිහාරාය පහිතත්තස්ස භික්ඛුනෝ.”
තමාට ලැබී ඇති සිවුර කැප එකක් වේ ශරීරයේ වැසිය යුතු තැන් වැසිය හැකියක් වේ නම් ශීත නැසීම් ආදි ප්‍රයෝජන ලැබිය හැක්කේ ය. ඒ සිවුර නිවනට යොමු කළ සිත් ඇති පැවිද්දාගේ සැප විහරණයට ප්‍රමාණවත් ය.
“පල්ලංකේන නිසින්නස්ස ජණ්ණුකේනාභිවස්සති,
අලං ඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනෝ.”
පර්‍ය්‍යංකයෙන් හිඳිනහුගේ දණ දෙක නො තෙමේ නම් එපමණට කුඩා කුටිය ද නිවනට යොමු කළ සිත් ඇති මහණහුගේ සැප විහරණයට ප්‍රමාණවත් ය.
සිත සකස් කර නො ගත් අධික තෘෂ්ණාව ඇති පැවිද්දාට කොතෙක් ප්‍රත්‍ය ලදත් සෑහීමක් නොවන්නේය. “මේ කබල් සිවුරු හැඳ පොරවා ලජ්ජා නැති ව මා ඉන්නේ කෙසේද? තැනකට යන්නේ කෙසේ ද? මෙබඳු ආහාරවලින් මා ජීවත් වන්නේ කෙසේද? මේ කබල් ආවාසයට කෙනකු පැමිණි විට මා ලජ්ජා නැති ව ඉන්නේ කෙසේද? ආගන්තුකයකු පැමිණිය හොත් මා අසුනක් දෙන්නේ කෙසේ ද? මුදලක් ලැබිය හැකි ක්‍රමයක් නැති මට රෝගයක් වුව හොත් මැරෙන්නට සිදු වෙනවා නො වේ ද? ගමනක් වත් යන්නට සිදු වුව හොත් මා කරන්නේ කුමක් ද? යනාදීන් නැති බැරිකම් සිතමින් සිත සකස් කර නො ගත් පැවිද්දා නිතර දුක් වන්නේ ය. ඒ නිසාම ඔහුගේ ශරීරය ද කෘශ වන්නේ ය. දුර්වර්ණ වන්නේ ය. සමහර විට රෝග ද වැලඳෙන්නේ ය. අධික තණ්හාව නිසා කලක් එසේ තැවි තැවී සිට ඒ පැවිද්දා ක්‍රමයෙන් නො මගින් ප්‍රත්‍යය සපයන්නෙක් වන්නේය. සිත සකස් කර ගෙන වෙසෙන පැවිද්දා නැති බැරිකම් ගැන නො තැවෙන්නේ ය. හේ යම්තම් දෙයකින් ලැබෙන සැටියකින් යැපී තමාගේ ශීලාදි ගුණධර්ම උසස් කොට සලකා ගෙන ප්‍රීතියෙන් ජීවත් වන්නේ ය. මහ වනයන්හි ජීවත් වන ලුණු ඇඹුල් නො ලබන පිසූ අහරක් නො ලබන වනයෙහි ඇති පලවැලයෙන් ජීවත් වන තවුසන්ට නිරෝගී ව බෝකල් ජීවත් විය හැක්කේ ඔවුන් සිත සකස් කර ගෙන ප්‍රීතියෙන් ජීවත් වන නිසාය. සිත සකස් කර ගෙන ඉන්නා පැවිද්දාට ප්‍රත්‍යය අඩු කර ගත් පමණට සැප ය.
මහබෝසත් තේමිය කුමාරයන් පැවිදි ව වනයෙහි වෙසෙන කල්හි දිනක පිය රජතුමා උන් වහන්සේ දක්නට එහි ගියේ ය. බෝසතාණන් වහන්සේගේ වාසස්ථානයත් උන් වහන්සේ වළඳන ආහාරත් දැක රජතුමා පුදුම වී “කිසිවකු නැති මේ වන මැද එකලා ව වෙසෙමින් මෙබඳු ආහාරයකින් ජීවත් වන ඔබ ගේ ශරීරය මෙතරම් පැහැපත් ව පවත්නේ කෙසේදැ”යි විචාළේ ය. එකල්හි බෝසතාණන් වහන්සේ මෙසේ වදාළහ.
“ඒකෝ රාජ, නිපජ්ජාමි නියතේ පණ්ණසන්ථතේ.
තාය මේ ඒකසෙය්යාය රාජ, වණ්ණෝ පසීදතී.”
රජතුමනි, අතුරන ලද කොළ ඇතිරියෙහි තනිව නිදමි. රජතුමනි; ඒ තනි ව නිදීමෙන් ශරීරය පැහැපත් වන්නේය.
“න චේ නෙත්තිංසබන්ධා මේ රාජරක්ඛා උපට්ඨිතා,
තාය මේ සුඛසෙය්යාය රාජ, වණ්ණෝ පසීදති.”
රජතුමනි, කඩු ගත්තා වූ රාජාරක්ෂකයෝ මා කරා එළඹ නොසිටින්නාහුය. තනි ව නිදන ඒ සැප නින්ද නිසා ශරීර වර්ණය පැහැපත් වන්නේය.
“අතීතං නානුසෝචාමි නප්පජප්පාමි නාගතං,
පච්චුප්පන්නේන යාපේමි තේන වණ්ණෝ පසීදති.”
මම අතීතය ගැන ශෝක නොකරමි. අනාගත ප්‍රාර්ථනයක් ද නො කරමි. වර්තමානයෙන් යැපෙමි. එයින් ශරීරවර්ණය පැහැපත් වන්නේ ය.
“අනාගතප්පජප්පාය අතීතස්සානුසෝචනා,
ඒතේන බාලා සුස්සන්ති නළෝව හරිතෝ ලුතෝ.”
අනාගතය ගැන පැතීම නිසා ද, අතීතය ගැන ශෝක කිරීම නිසා ද බාලයෝ කපා අව්වේ දැමූ බට දඬු සේ වියළෙන්නාහ.
මේ කරුණු සලකා ප්‍රත්‍යයට ගිජු නොවී තමන්ගේ ප්‍රතිපත්තිය ම උසස් කොට සලකමින් ප්‍රත්‍යය කොතරම් මඳ වුවද ඒ නිසා සිකපද නො බිඳ ජීවත් වන්නට පැවිද්දන් පුරුදු කරගත යුතුය.
“දුක්කරං දුත්තිතික්ඛඤ්ච අඛ්යත්තේන හි සාමඤ්ඤං
බහූ හි තත්ථ සම්බාධා යත්ථ බාලෝ විසීදතී.”
සිත කය සකස් කර නො ගත් බාලයාහට මහණකම දුෂ්කරය. නො ඉවසිය හැකිය. නො පැවැත්විය හැකිය. බාලයා පසුබසින්නා වූ ඒ අමාරුකම් ඒ පැවිද්දෙහි බොහෝ ය.
“කතීහං චරෙය්ය සාමඤ්ඤං චිත්තං චෙ න නිවාරයේ
පදේ පදේ විසීදෙය්ය සංකප්පානං වසානුගෝ.”
ඉදින් කාමයන් කරා යන සිත නො නවත්වා ගත්තේ නම් ඒ පැවිද්දා කෙදිනක් මහණකම් කරන්නේ ද? වරින් වර ඇති වන නො මනා කල්පනාවන්ගේ වසඟයට පැමිණෙන්නා වූ ඒ පැවිද්දා කරුණක් පාසා පියවරක් පාසා ශ්‍රමණ ධර්මයෙහි පසු බසින්නේ ය. ඉදිරියට නො ගොස් නවතින්නේ ය.