තථාගතයන් වහනසේ “අග්ගික්ඛන්ධෝපම සූත්‍රය” දේශනය කරන ලදුයේ චාරිකාවෙහි හැසිරෙන සමයක ය. ඒ සූත්රධර්මය අසා බියපත් වු සැට නමක් භික්ෂූහු උණු ලේ වමනය කළහ. “දිවි හිමියෙන් හොඳින් මහණදම් පිරීම දුෂ්කරය. අපට ගිහි බව ම මෙයට වඩා හොඳය” යි හැට නමක් සිවුරු හැර ගියහ. සැට නමක් සියලු කෙලෙසුන් නසා රහත් වූහ. ඒ සූත්‍ර දේශනාව භික්ෂූන් අතර ඉතා ඉක්මනින් පැතිර ගියේය. බොහෝ භික්ෂූහු ඒ දහම අසා “මේ බුදුසස්නෙහි දිවි හිමියෙන් ශීලය සම්පූර්ණ කර ගෙන විසීම දුෂ්කරය” යි සිවුරු හැර යන්නට පටන් ගත්හ. එකවර දස නම විසි නම පනස් නම සැට නම සියක් නම දහස නම බැගින් සිවුරු හැර යන්නට වූහ. පෙර භික්ෂූන්ගෙන් පිරී තිබූ විහාර පාලු විය.
තථාගතයන් වහන්සේ චාරිකාවෙන් පෙරළා දෙව්රම් වෙහෙරට වැඩ වදාරා දෙසතියක් විවේකී ව වැඩහිඳ, ඉක්බිති අනඳ මහතෙරුන් වහන්සේ සමග විහාර චාරිකාවෙහි හැසිරෙන සේක් පාලු වූ විහාර දැක, තුනී වූ භික්ෂු සංඝයා දැක, නො සතුටින් වෙසෙන භික්ෂූන් දැක, “ආනන්දය, පෙර මා චාරිකාවෙන් පෙරළා ආ කල්හි මේ විහාර භික්ෂූන්ගෙන් පිරී පවත්නේය. අද මේ විහාර හිස් ව ඇත්තේ කිනම් කරුණකින් දැ” යි විචාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේට කාරණය සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “සාගරයට බැසීමට බොහෝ තොට ඇතුවාක් මෙන් මගේ සස්නෙහි භික්ෂූන්ට සැනසීමට බොහෝ කරුණු ඇත්තේය” යි වදාරා භික්ෂූන් රැස්කරවා චූළ අච්ඡරාසංඝාත සූත්‍රය වදාළ සේක.
“අච්ඡරාසංඝාතමත්තම්පි වේ භික්ඛවේ, භික්ඛු මෙත්තං චිත්තං ආසේවති අයං වුච්චති භික්ඛවේ, භික්ඛු අරිත්තජ්ඣානෝ විහරති සත්ථුසාසනකරෝ, ඕවාදපතිකරෝ අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති, කෝ පන වාදෝ යේ නං බහුලීකරොන්ති.”
මේ ඒ අච්ඡරාසංඝාත සූත්‍රය යි.
“මහණෙනි, ඉදින් මහණ අසුරක් ගසන තරම් කාලයෙහි වුව ද මෛත්‍රීචිත්තය සේවනය කෙරේ නම් (මෛත්‍රී භාවනාව කෙරේ නම්) මහණෙනි, හෙතෙමේ ධ්‍යානයෙන් නො තොරව වාසය කරයි, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනය පිළිපදින්නේ වෙයි. ශාස්තෘන් වහන්සේ ගේ අවවාදය පිළිපදින්නේ වෙයි, හිස් නො වන පරිදි රටුන්ගෙන් ලැබෙන ආහාරය වළඳා ය” යනු සූත්‍රයේ තේරුම ය.
මේ සූත්‍රයෙන් දක්වන්නේ දිනපතා අසුරු ගසන තරම් කාලයක වුව ද යම් පැවිද්දෙක් මෛත්‍රී භාවනාව කෙරේ නම්, ඒ පැවිද්දා බුදුන් වහන්සේගේ අනුශාසනය අවවාදය අනුව පිළිපදින හිස් නොවන පරිදි රට වැසියාගෙන් ලබන ආහාර වළඳන පැවිද්දකු වන බව ය. යම්කිසි සැදැහැවතකු පින් ලබනු පිණිස පැවිද්දකුට ආහාරයක් දුන් කල්හි ප්‍රතිග්‍රාහකයා ගේ ගුණහීනත්වය නිසා දායකයාට එයින් උසස් පිනක් නො ලැබේ නම්, ඒ මහණනු ගේ ආහාර වැළඳීම හිස් එකකි. දායකයනට දීම මහත් ඵල වන්නේ ප්‍රතිග්‍රාහකයා කෙරෙහි ගුණ ඇති ඇති පමණට ය.
මෛත්‍රිය උසස් ගුණයෙකි. ශීලයෙහි යම් අඩුවක් ඇත ද මෛත්‍රී ගුණයෙන් එය මැකී යන්නේ ය. එබැවින් අපරිපූර්ණ සිල් ඇත්තා වූ ද මෛත්‍රී භාවනාව කරන පැවිද්දාට දෙන දානය මහත් ඵල වේ. දායකයනට මහත් ඵල වන බැවින් මෙත් වඩන පැවිද්දාගේ ආහාර වැළඳීම නො හිස් වැළඳීමකි. මෙත් වඩන පැවිද්දා ඒ මෙත් ගුණය නිසා පූජා සත්කාර ලැබීමට නිස්සෙක් වේ. “අච්ඡරාසංඝාතමත්තං කාලං මෙත්තං ආසේවන්තෝ භික්ඛු රට්ඨපිණ්ඩස්ස සාමි හුත්වා අණනෝ හුත්වා දායාදකෝ හුත්වා පරිභුඤ්ජති” යි “මෙත් වඩන පැවිද්දා රට වැසියන් දෙන ආහාරයට ස්වාමියකු වී, ණයගැතියකු නොවී, උරුමක්කාරයකු වී වළඳාය” යි ඒ සූත්‍රයේ අටුවාවෙහි දක්වා තිබේ.
පැවිද්දකුට තමාගේ ශීලය පිරිසිදු කර නො ගෙන සැදැහැතියන් දෙන භෝජනය වැළඳීමෙන් විය හැකි යම් දොසක් වේ නම්, මෙත් වඩන්නා වූ පැවිද්දාට ඒ දොස් සියල්ල ම නැති වන බව මේ “චූළ අච්ඡරාසංඝාත සූත්‍රය” අනුව කිය යුතු ය. එසේ ම චීවර සේනාසන ග්ලානප්රත්යයන් ගැන ද කිය යුතු ය. නිතර ම පිරිසිදු ශීලයෙන් යුක්ත වීම ඉතා දුෂ්කර ය. එබැවින් සියලු ම පැවිද්දන් විසින් දිනපතා මඳ වේලාවක් වුව ද මෙත් වැඩීම කළ යුතුය. මේ මෛත්‍රිය පැවිද්දන්ට ඇති පිහිටවලින් සැනසීමට ඇති කරුණුවලින් එකකි. වඳිනා අයට “සුවපත් වේවා” යනාදිය කීමත් මෙත් වැඩීමකි. පැවිද්දන් වඳින අයට එසේ මෙත් වඩන්නට පුරුදු කර ගෙන ඇත්තේ ද ශීලයේ අපරිශුද්ධත්වයක් තුබුණ හොත් වැඳුම් පිළිගැනීමෙන් වන දෝෂය දුරු වීමට ය. (ගතානුගතික ව කර ගෙන එනු මිස මේ කාරණය බොහෝ පැවිද්දෝ නො දනිති.)
අච්ඡරාසංඝාත සූත්‍ර බොහෝ ගණනක් ඇත්තේය. ඒ සියල්ල ම වදාරා ඇත්තේ අග්ගික්ඛන්ධෝපම සූත්‍රය නිමිති කොට ය. භාවනා සියල්ල ම ඒ ඒ සූත්‍රවලට ඇතුළත් වී තිබේ. එබැවින් කිනම් භාවනාවක් වුව ද කරන පැවිද්දා නිවරද ලෙස සැදැහැවතුන් දෙන සිවුපසය පරිභෝග කරන්නකු, වැඳුම් ලබන්නකු වන බව කිය යුතුය. බුදුගුණ සිහි කොට බුදුන් වැඳීම ද බුද්ධානුස්මෘති භාවනාව කිරීමෙකි. දහම් ගුණ සිහිකොට දහම් වැඳීම ධර්මානුස්මෘතිය වැඩීමෙකි. සඟ ගුණ සිහිකොට සංඝයා වැඳීම සංඝානුස්මෘතිය වැඩීමෙකි. බොහෝ පැවිද්දෝ දිනපතා රත්නත්‍රය වැඳීම කරති. එයින් ද භාවනාවක් සිදුවීමෙන් ඒ භවත්හු සැදැහැතියන් දෙන ප්‍රත්‍යය පරිභෝගයට සුදුස්සෝ වෙති. ඒ වන්දනාව ම ද ඒ භවතුන්ට මහත් පිහිටකි. සැනසීමට කරුණෙකි. එබැවින් දිනපතා රත්නත්‍රය වැඳීම නො කඩ කොට ආදරයෙන් කෙරෙත්වා!