එක් දවසක් සැරියුත් මහ තෙරුන් වහන්සේ හැඳ සිටි අඳනයෙහි කොනක් පහළට එල්ලෙමින් තිබිණ. සත් හැවිරිදි සාමණේර නමක් එය දැක, “ස්වාමීනි, නුඹ වහන්සේගේ අඳනයේ කොනක් එල්ලෙන්නේය” යි කීය. එකල්හි සැරියුත් මහත තෙරුන් වහන්සේ කිසි කථාවක් නො කොට පරිමණ්ඩල සිකපදය අනුව අඳනය හැඳ ඒ කුඩා නම වෙත පැමිණ ඇඳිලි බැඳ දැන් හොඳ දැයි කියා -
තදහු පබ්බජිතෝ සන්තෝ ජාතියා සත්තවස්සිකෝ,
සො ‘පි මං අනුසාසෙය්ය සම්පට්ච්ඡාමි මත්ථකේ.
(දේවපුත්ත සංයුත්තට්ඨකථා)
යන ගාථාව කීහ. “එදවස ම පැවිදි වූ සත් හැවිරිදි සාමණේර නමක් වුව ද මට අනුශාසනය කෙළේ නම් එය මම මුදුනෙන් පිළිගනිමිය” යනු එහි අදහස ය. කෙබඳු තත්ත්වයක සිටින කෙනකුගෙන් වුව ද යහපත් අවවාදයක් අනුශාසනයක් ලැබේ නම් එය ගෞරවයෙන් පිළිගැනීම උතුමන් ගේ ගුණයෙකි. කොනක් එල්ලෙන පරිදි අඳනය ඇඳ සිටීම පරිමණ්ඩල සිකපදයට විරුද්ධය. එබැවින් එය වරදෙකි. සාමණේර නම සැරියුත් මහ තෙරුන් වහන්සේට අඳනයේ කොනක් එල්ලෙන බව සැල කළේ එසේ අඳනය හැඳ සිටීම වරදක් නිසා විය හැකි ය. කුඩා සාමණේර නමක විසින් පෙන්වා දුන් වරද සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් ඉතා ගෞරවයෙන් පිළිගැනීම සියලු ම පැවිද්දන් විසින් ආදර්ශයට ගත යුතු ය.