සනරාමර ලෝකශිවංකර වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වෙසක් මස පුර පසළොස්වක් පොහෝ දිනයෙක පස්මරුන් පරදවා සම්‍යක් සම්බෝධියට පැමිණ සත්සති යවා අටවන සතියෙහි ඇසළ මස පුර පසළොස්වක් පොහෝ දිනයෙහි තමන් වහන්සේ චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම් පුරා අවබෝධ කර ගන්නා ලද පරම ගම්භීර ධර්මය ලෝ සතුන්ට දේශනය කිරීම සඳහා බරණැස ඉසිපතනයට වැඩ වදාරා, කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන තවුසන් පස්දෙනා ඇතුළු දස දහසක් සක්වළින් රැස් වූ දේව බ්‍රහ්මයන්ට “ද්වේ මේ භික්ඛවෙ, අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා” යනාදීන් දම්සක් පැවතුම් සුතුර දේශනය කළ සේක. ඒ ධර්මය ඇසීමෙන් අටළොස් කෙළක් දෙවි බඹුන් සමඟ කොණ්ඩඤ්ඤ තාපසතුමා ධර්මාවබෝධය කොට සෝවාන් ඵලයට පැමිණ බුදුන් වහ්නසේගෙන් පැවිද්ද හා උපසම්පදාව ඉල්ලා සිටියේ ය. එකල්හි තථාගතයන් වහන්සේ “එහි භික්ඛු ස්වාක්ඛාතො ධම්මො චර බ්‍රහ්ම චරියං සම්මාදුක්ඛස්ස අන්තකිරියාය” යනු වදාළ සේක. ආශ්චර්‍ය්‍යයෙකි. එකෙණෙහි කොණ්ඩඤ්ඤ තවුසාණන් ගේ තවුස් වෙස අතුරුදහන් විණි. ඉබේ ම පහළ වූ සිවුරු ඉබේ ම හැඳී පෙරවී පාත්‍රයක් ද ඇති ව කොණ්ඩඤ්ඤ තාපසයාණෝ පැවිදි ව සැට වස් ගස් කළ මහතෙරනමක් සේ පෙනී සිටියහ. බුදුරජාණන් වහන්සේ විසින් “එහි භික්ඛු” යනාදි පාඨය වැදෑරීමෙන් ම අඤ්ඤා කොණ්ඩඤ්ඤ තවුසාණන්ගේ පැවිද්ද හා උපසම්පදාව සිද්ධ විය. එය මේ බුදුසස්නෙහි කළ පළුවන පැවිදිකම හා උපසම්පදාව ය.
මෙසේ ලබන්නා වූ පැවිද්දට හා උපසම්පදාවට “ඒහිභික්ඛු පැවිද්ද යයි ද, ඒහි භික්ඛු උපසම්පදාවය” යි ද කියනු ලැබේ. හිසකේ රැවුළු කැපීමක් නැති ව, සිවුරු දීමක් නැතිව, සික පද සමාදන් කරවීමක් නැති ව, සිදු කරන ඒ පැවිද්ද ලොවුතුරා බුදුවරයකුගෙන් මිස අනෙකකුගෙන් නො ලැබිය හැකි ය. මෙසේ ඇසළ පුණු බොහෝ දිනයෙහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තවුසාණන් පැවිද්ද ලබාගත් පසු තථාගතයන් වහන්සේගේ අවවාදයට අනුශාසනයට කන් දී සෝවාන් ඵලයට පැමිණ දෙවන දිනයෙහි වප්ප තවුසාණෝ ද තුන්වන දිනයෙහි භද්දිය තවුසාණෝ ද, සතරවන දිනයෙහි මහානාම තවුසාණෝ ද, පස්වන දිනයෙහි අස්සජි තවුසාණෝ ද තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්හ. සවන දිනයෙහි දී ඒ පස්දෙනා වහන්සේට අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනය කළ සේක. ඒ ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඒ වහන්දෑ පස් දෙන ම සව් කෙලෙසුන් නසා අර්හත්වයට පත් වූහ. එකල තථාගතයන් වහන්සේත් සමඟ ලෝකයෙහි රහතන් වහන්සේලා ස නමක් වූහ.
ඉක්බිති තථාගතයන් වහන්සේ යස නමැති සිටු පුත්‍රයකු ද, විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති යන නම් ඇති යස සිටුපුත්‍රයාගේ යහළුවන් සතර දෙනකු ද, යස සිටු පුත්‍රයා ගේ යහළු ජනපද වැසි උසස් කුල පුත්‍රයන් පනස් දෙනකු ද ඒ වස් කාලය තුළ දී ඒහි භික්ෂු භාවයෙන් ම මහණ කළ සේක. ඒ සෑම දෙනා වහන්සේම රහත් වූහ. එකල්හි තථාගතයන් වහ්නසේ ද සමග ලෝකයෙහි එක් සැට නමක් රහතන් වහන්සේ වූහ. එක් දවසක් තථාගතයන් වහන්සේ රහතන් වහන්සේ සැට නම අමතා “මහණෙනි, මම සියලු බන්ධනයන්ගෙන් මිදුණෙමි. තෙපි ද සියලු බන්ධනවලින් මිදුණාහු ය. මහණෙනි, දැන් තෙපි බොහෝ ජනයාට යහපත පිණිස චාරිකාවෙහි හැසිරෙව්. එක් මඟෙකින් දෙදෙනෙක් නො යව්. මහ ජනයාට දහම් දෙසව්, ධර්මය අවබෝධ කිරීමට සමත් සත්ත්වයෝ ඇත්හාය”යි වදාරා ඒ භික්ෂූන් නා නා දිශාවන්ට යවා තමන් වහන්සේ ද උරුවෙල් දනව්ව බලා වැඩම කළ සේක.
දිශාවල දහම් දෙසමින් හැසුරුනා වූ රහතන් වහන්සේලා නොයෙක් දිශාවලින් නොයෙක් ජනපද වලින් පැවිදිවනු උපසම්පදාවනු කැමතියන් තථාගතයන් වහන්සේ වෙත කැඳවා ගෙන එන්නට වූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැවිදි කරන සේක. උපසම්පදා කරන සේක. දුර බැහැරින් පැවිදි වනු කැමතියන් බුදුන් වහන්සේ වෙත කැඳවා ගෙන ඊට භික්ෂූන් වහන්සේටත් ප්රව්රජ්යාපේක්ෂකයන්ටත් මහත් වෙහෙසක් විය. එය දුටු භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා රැස්කරවා දැහැමි කථාවක් කොට -
“අනුජානාමි භික්ඛවෙ, තුම්හෙව දානි තාසු තාසු දිසාසු තෙසු තෙසු ජනපදෙසු පබ්බාජෙථ උපසම්පාදෙථ.”
යනුවෙන් “මහණෙනි, දැන් තෙපි ම ඒ ඒ දිශාවන්හි ඒ ඒ ජනපදයන්හි පැවිදි කරව්, උපසම්පදා කරව්” යි භික්ෂූන් හට ඒ ඒ පෙදෙස්වල පැවිදිවනු කැමැතියන් පැවිදි කිරීමටත් උපසම්පදා වනු කැමැතින් උපසම්පදා කිරීමටත් අනුදැන වදාළ සේක. මේ ශාසනය සර්වඥයන් වහන්සේට අයත් ය. එබැවින් මෙහි සියල්ල ම කළ යුත්තේ උන් වහන්සේගේ ආඥාව පරිදි ය. උන් වහන්සේ කුලපුත්‍රයන් පැවිදි කිරීමට හා උපසම්පදා කිරීමට අවසර දී වදාළේ උපසම්පන්න භික්ෂූන්ට පමණෙකි. අන් කිසිවකුට මේ සස්නෙහි පැවිදි උපසම්පදා කිරීමට අවසරයක් නැත. පැවිදි වන්නට සිතා තමා ම සිවුරු පොරවා ගැනීමෙන් ඒ තැනැත්තා පැවිද්දෙක් නොවේ. උපසම්පන්න නොවූ අනෙකකු ලවා සිවුරු පොරවා ගත් තැනැත්තා ද පැවිද්දෙක් නොවේ. ඔවුහු සිවුරු පොරවා ගනෙ සිටින ගිහියෝය. එසේ සිවුරු පෙරවා ගැනීම බලවත් වරදෙකි. මහණ කමක් නැති ව පැවිද්දකු වශයෙන් පෙනී සිට ගිහියන්ගෙන් වැඳුම් පිදුම් ලබා ගැනීමත් බලවත් වරදෙකි. සඟසතු විහාරස්ථානවල වාසය කරනවා නම් එයත් බරපතල වරදෙකි.