ධුතංග සමාදානය

භික්ෂු සාමණේරයන් හට අප්පිච්ඡතාදි ගුණ ඇති වීම සඳහා ඔවුන්ගේ ශීලයට අතිරේක වශයෙන් පිරිය යුතු ධුතංග තෙළෙසක් ඇත්තේ ය. ධුතංග පිරීම ද පැවිද්දන් විසින් තරමක් වත් කළ යුතු ය. මුළු ජීවිත කාලයට ම කවදාවත් ධුතංගයක් පුරා නැති නම් එය පැවිදි ජීවිතයට මදිකමකි. සෑම පැවිද්දකුට ම එය එක්තරා ප්‍ර‍මාණයකින් වත් කළ හැකි ය.

“පඤ්ච සේනාසනේ වුත්තා පඤ්ච ආහාර නිස්සිතා,

ඒකෝ විරියසංයුත්තෝ ද්වේ ච චීවරනිස්සිතා.”

යනුවෙන් දැක්වෙන පරිදි ඉතරීතර චීවර සන්තෝසය වූ පළමුවන ආර්‍ය්‍යවංශ ධර්මය පිළිබඳ වූ ධුතංග දෙකක් ද, ඉතරීතර පිණ්ඩපාතය සන්තෝසය වූ දෙවන ආර්‍ය්‍යවංශ ධර්මය පිළිබඳ වූ ධුතංග පසක් ද, ඉතරීතර සේනාසන සන්තෝසය වූ තුන්වන ආර්‍ය්‍යවංශ ධර්මය පිළිබඳ වූ ධුතංග පසක් ද, වීර්‍ය්‍ය පිළිබඳ වූ එක් ධුතංගයක් ද ඇත්තේ ය. එය භාවනාරාමතා නමැති සතර වන ආර්‍ය්‍යවංශ ධර්මයට උපකාර ධුතංගයෙකි.

තේචීවරිකංගය පාංසුකූලිකංගය යන ධුතංග දෙක ඉතරීතර චීවර සන්තෝසය පිළිබඳ ධුතංගයෝ ය.

පිණ්ඩපාතිකංගය සපදානචාරිකංගය ඒකාසනිකංගය පත්ත-පිණ්ඩිකංගය ඛලූපච්ඡාභත්තිකංගය යන ධුතංග පස ඉතරීතරපිණ්ඩපාත සන්තෝසය පිළිබඳ ධුතංගයෝ ය.

ආරඤ්ඤකංගය රුක්ඛමූලිකංගය අබ්භෝකාසිකංගය සෝසානිකංගය යථාසන්ථතිකංගය යන පස ඉතරීතර සේනාසන සන්තෝසය පිළිබඳ ධුතංගයෝ ය.

නේසජ්ජිකංගය භාවනාරාමතා ආර්‍ය්‍යවංශධර්මය පිළිබඳ ධුතංගයෝ ය.

මේ ධුතංග පිළිබඳ විස්තරය විශුද්ධිමාර්ගයෙන් දත යුතු ය. මේ ධුතංග තමාට කැමති කාලයක් රැකිය හැකි ය. එක් දිනක් වුවත් දින බොහෝ ගණනක් වුවත් පැය ගණනක් වුවත් රැකීම වරද නැත. ධුතංගයක් සමාදන් වුවහොත් එය දිවි හිමියෙන් රැකිය යුතුය කියා නියමයක් නැත. යම් පමණ කාලයක් රැකිය හොත් එපමණට එහි අනුසස ලැබෙන්නේ ය. සිකපද කැඩීමෙන් වරදක් වන්නාක් මෙන් ධුතංගය කැඩීමෙන් වන වරදක් නැත. ධුතංග සමාදන්වීමට අනිකකු වෙත යෑමට වුවමනාවක් නැත. එය තමා විසින් ම ඉටා ගැනීම ප්‍ර‍මාණවත් ය.

පිණ්ඩපාතිකංගය:

මෙය පිඬු සිඟා වළඳනු රිසි භික්ෂු සාමණේර කාහටත් සමාදන් වී රැකියා හැකිය. “අතිරේකලාභං පටික්ඛිපාමි, පිණ්ඩපාතිකංගං සමාදියාමි” යි ඉටා ගැනීමෙන් සමාදන් විය හැකිය. විස්තර විශුද්ධි මාර්ගයෙන් ගන්න.

ඒකාසනිකංගය:

“නානාසනභෝජනං පටික්ඛිපාමි ඒකාසනිකඞ්ගං සමාදියාමි” යි ඉටා ගැනීමෙන් මෙය සමාදන් විය යුතු ය. මෙය සමාදන් වූවහු විසින් ඒ දිනයෙහි එක් වරක් පමණක් ආහාර වැළඳිය යුතු ය. වළඳන්නට වාඩි වූ පසු ඒ වාඩි වීමේදී ම දවසට සෑහෙන පමණ ආහාර වැළඳිය යුතු ය. අසුනෙන් නැගිටීමෙන් පසු එදින තවත් ආහාර වැළඳුව හොත් ධුතංගය බිඳේ. ගිලන්පස වැළඳීමෙන් ධුතංගය නො බිඳේ.

පත්තපිණ්ඩිකංගය:

“දුතියකභාජනං පටික්ඛිපාමි.පත්තපිණ්ඩිකංගං සමාදියාමි” යි ඉටා ගැනීමෙන් මෙය සමාදන් විය යුතු ය. මෙය සමාදන් වූවහු විසින් සියල්ල පාත්‍රයෙහි ම වැළඳිය යුතු ය. කිරි - කැඳ ආදි දියාරු වර්ග වුව ද පාත්‍ර‍යට ම ගෙන වැළඳිය යුතු ය. මිශ්‍ර‍ වුව හොත් වැළඳිය නො හෙන පාන වර්ග වෙන වෙන ම වරින් වර පාත්‍ර‍යට ගෙන වැළඳිය හැකි ය. ගිලන්පස අන් බඳුනක වැළඳීම වරද නැත. ශුද්ධ ජලය ද කිනම් බඳුනක වුව වැළඳිය හැකි ය. පිණ්ඩපාතිකංගය - ඒකාසනිකංගය - පත්ත පිණ්ඩිකංගය යන තුන ම එක විට සමාදන් වී රැකිය හැකි ය. ඒකාසනිකංග පත්තපිණ්ඩිකංග දෙක වුව ද එක විට සමාදන් වී රැකිය හැකිය. බොහෝ දෙනා මේ අංග දෙක එක වර ම සමාදන් වී රකිති. මේ ධුතංග තමාට හැකි දිනවල දී සමාදන් වී ආරක්‍ෂා කරන්න. මේ ධුතංග දිගට ම වැඩි දින ගණනක් රැකිය නො හෙන පැවිද්දන්ට, පොහෝ දිනවලදී හෝ රැකිය හැකි ය.

නේසජ්ජිකංගය:

“සෙය්‍යං පටික්ඛිපාමි, නේසජ්ජිකංගං සමාදියාමි” යි ඉටා ගැනීමෙන් මෙය සමාදන් විය හැකි ය. සමාදන් වූවහු විසින් හෝනා ඉරියව්ව හැර ඉතිරි තුන් ඉරියව්වෙන් පමණක් විසිය යුතුය. වාඩි වී යමකට හේත්තු වී නින්ද යෑමෙන් ධුතංගය නො බිඳේ. නින්ද නො ගියේ ද අසුනක පිට තබා ඇලවුව හොත් ධුතංගය බිඳේ.

එළි වන තුරු නිදා ගැනීම පැවිද්දන්ට අයෝග්‍ය ය. අනුපසම්පන්නයන් හා එළිවන තුරු එක වහළ යට නිදන පැවිද්දෝ සහසෙය්‍යාපත්තියට ද දිනපතා පැමිණෙති. ප්‍ර‍ත්‍යවේක්ෂා නො කිරීමේ වරදට ද සමහර විට හසුවෙති. ඒ නිසා ම උපසම්පදා සාමණේර හැම පැවිද්දකු විසින් ම එළි වන්නට පැයකට දෙකකට කලින් නැගිටීම පුරුදු කර ගත යුතුය. නැඟිට මුව සෝදා ගෙන තුනුරුවන් වැඳ ප්‍ර‍ත්‍යවේක්ෂා කොට යම්කිසි භාවනාවක යෙදිය යුතු ය. ඉන්පසු වත් පිළිවෙත් කළ යුතු ය. එසේ කරන පැවිද්දාහට නේසජ්ජිකංගය සමාදන් වී ඒවා කළ හැකිය. ඒ සමාදන් වූ නේසජ්ජිකංගය දවසෙහි බොහෝ වේලාවක් පැවැත්විය හැකි ය. වීර්‍ය්‍ය ඇතියකුට එදින රාත්‍රිය වන තෙක් එය පැවැත්විය හැකි ය. අරුණට පෙර නැඟිට භාවනාවෙහි යෙදෙන්නහුට භාවනාරාමතා ආර්‍ය්‍ය වංශ ධර්මය ද පිරෙන්නේ ය. මේ කාලය ආවාසවලින් පිටතට වී ගත කළ හැකියන්නට රුක්ඛමූලිකංග අබ්භෝකාසිකංග දෙක ද නේසජ්ජිකංගය හා පිරිය හැකි ය.

රුක්ඛමූලිකංගය:

“ඡන්නං පටික්ඛිපාමි, රුක්ඛමූලිකංගං සමාදියාමි” යි ඉටා ගැනීමෙන් එය සමාදන් විය හැකි ය. රුක්ඛමූලිකංගය සමාදන් වූවහු විසින් පියසි යටට නො යා යුතු ය.

අබ්භෝකාසිකංගය

“ඡන්නං ච රුක්ඛමූලඤ්ච පටික්ඛිපාමි, අබ්භෝකාසිකංගං සමාදියාමි” යි ඉටා ගැනීමෙන් අබ්භෝකාසිකංගය සමාදන් විය යුතු ය. එය සමාදන් වූවහු විසින් ගස් යටට ද නො ගොස් එළිමහනේ ම විසිය යුතු ය. පළමු ව රුක්ඛමූලිකංගය සමාදන් වී පසු ව අබ්භෝකාසිකංගය සමාදන් වූවා ම ඒ ධුතංග දෙක ම එකවිට රැකේ. පළමුවෙන් නේසජ්ජිකංගයත් දෙවනුව රුක්ඛමූලිකංගයත් තෙවනුව අබ්භෝකාසිකංගයත් සමාදන් වීමෙන් ධුතංග තුන ම එකවිට රැකිය හැකි ය. ඇතැම් සැදැහැවත් පැවිද්දෝ එසේ කරති. මෙහි දක්වන ලද්දේ පහසුවෙන් රැකිය හැකි ධුතංග පමණකි.