අන්තමිදං භික්ඛවේ ජීවිකානං යදිදං පිණ්ඩෝල්‍යං අභිසාපෝයං භික්ඛවේ, ලෝකස්මිං “පිණ්ඩෝලෝ විචරසි පත්තපාණී” ති. තඤ්ච ඛෝ එතං භික්ඛවේ, කුලපුත්තා උපෙන්ති අත්ථවසිකා. අත්ථවසං පටිච්ච, නේව රාජාභිනීතා න චෝරාභිනීතා න ඉණට්ටා න ආජීවිකාපකතා. අපි ච ඛෝ ඕතිණ්ණම්හ ජාතියා ජරාය මරණේන සෝකේහි, පරිදේවෙහි දුක්ඛේහි දෝමනස්සෙහි උපායාසේහි, දුක්ඛෝතිණ්ණා දුක්ඛපරේතා, අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායේථා”ති.
ඒවං පබ්බජිතෝ චායං භික්ඛවේ, කුලපුත්තෝ සෝ ච හෝති අභිජ්ඣාලූ කාමේසු තිබ්බරාගො ඛ්‍යාපන්නචිත්තෝ පදුට්ඨ-මනසංකප්පෝ මුට්ඨස්සති, අසම්පජානෝ අසමාහිතෝ විබ්භන්තචිත්තෝ පාකතින්ද්‍රියෝ. සෙය්‍යථාපි භික්ඛවේ, ඡවාලාතං උභතොපදිත්තං මජ්ඣෙ ගූථගතං නේව ගාමේ කට්ඨත්ථං ඵරති න අයඤ්ඤේ තථූපමාහං භික්ඛවේ, ඉමං පුග්ගලං වදාමි “ගිහිභෝගාච පරිහීනෝ, සාමඤ්ඤත්ථඤ්ච නපරිපූරේතී” ති.
ඒතමත්ථං භගවා අවෝච තත්ථෙතං ඉති වුච්චති.
ගිහීභෝගාච පරිහීනෝ සාමඤ්ඤත්ථඤ්ච දුබ්භගෝ
පරිධංසමානෝ පකිරේති ඡවාලාතංච නස්සති.
කාසාවකණ්ඨා බහවෝ පාපධම්මා අසඤ්ඤතා,
පාපං පාපේහි කම්මේහි නිරයං තේ උපපජ්ජරේ
සෙය්‍යෝ අයෝ ගුළෝ භුත්තෝ තත්තෝ අග්ගිසිඛූපමෝ
යඤ්චෙ භුඤ්ජෙය්‍ය දුස්සීලෝ රට්ඨපිණ්ඩමසඤ්ඤතෝ
(ඉතිවුත්තක තිකනිපාත)
කිඹුල්වත් පුර න්‍යග්‍රෝධාරාමයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන අවස්ථාවක දී බොහෝ භික්ෂු සාමණේරයෝ ආගන්තුකයන්ට අසුන් පනවමින් ද, සංඝලාභ බෙදා ගනිමින් ද මහාඝෝෂාවක් කරන්නට වූහ. එසේ ශබ්ද කිරීම නිසා තථාගතයන් වහන්සේ ඒ භික්ෂුසාමණේරයන් ආරාමයෙන් බැහැර කළහ. බැහැර කරනු ලැබූ ඒ හැම දෙනා ම මේ සස්නට අලුත පැමිණියෝ ය. එය දැක මහාබ්‍රහ්මයා තථාගතයන් වහන්සේ වෙත එළඹ, වැඳ එකත්පසෙක සිට බැහැර කරන ලද භික්ෂු සංඝයා හට අනුකම්පා කරන ලෙස ඉල්ලා සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අවසර දුන්හ. එකල්හි බ්‍රහ්මයා තථාගතයන් වහන්සේ විසින් අවසර දෙන ලද්දේ ය යි වැඳ ප්‍රදක්ෂිණා කොට නික්ම ගියේ ය. ඉක්බිති තථාගතයන් වහන්සේ නෙරපන ලද භික්ෂූන්ට නැවත පැමිණෙන ලෙස ආනන්ද ස්ථවිරයන් වහන්සේට සංඥා කළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂූන් නැවත කැඳවූහ. ඒ භික්ෂූහු බුදුන් වහන්සේ කරා එළඹ බියෙන් බියෙන් එකත් පසෙක උන්හ. තථාගතයන් වහන්සේ ඒ භික්ෂූන්ට කිනම් ධර්ම දේශනාවක් සුදුසුදැයි බලන සේක් ආමිෂය නිසා නෙරපනු ලැබූ මේ භික්ෂූන්ට මේ පිණ්ඩියාලෝප ධර්මදේශනාව සත්ප්‍රාය වන්නේය යි මේ සූත්‍ර ධර්මය දේශනා කළ සේක. පිණ්ඩියාලෝප සූත්‍රය යනු ද මේ සූත්‍රයට ව්‍යවහාර කරන තවත් නාමයෙකි.
ජීවික සූත්‍රයෙහි තේරුම
“මහණෙනි, ජීවිකාවන් අතුරෙන් මේ පිඬුසිඟීමෙන් කරන ජීවිකාව සියල්ලට අන්තය. මහණෙනි, “පතක් ගෙන තෝ සිඟාකාපිය” යන මෙය ලෝකයෙහි බැනුමකි. මහණෙනි, කුලපුත්‍රයෝ උසස් අර්ථයක් සලකා ඒ ලාමක ජීවිකාවට බසිති. ඒ කුලපුත්‍රයෝ අපරාධ කොට රජුන් විසින් අල්ලා ගන්නා ලද්දෝ ද නො වෙති. සොරුන් විසින් අල්ලා ගනු ලැබුවෝ ද නො වෙති, ණය ගෙවා ගත නොහී පලා ආවෝ ද නො වෙති. ගිහි ව ජීවත් විය නො හැකි බව නිසා පැවිදි වූවෝ ද නො වෙති. අපි ජාතියට ජරාවට මරණයට බැස සිටින්නෝ වෙමු. ශෝකයන් නිසා පරිදේවයන් නිසා දුඃඛයන් නිසා දෝමනස්සයන් නිසා උපායාසයන් නිසා දුකට බැස ගත්තාහු දුකින් මඩනා ලද්දාහු මේ දුක්ඛස්කන්ධයාගේ කෙළවර කර ගැනීමක් ඇති කර ගතහොත් යහපතැ” යි සිතා කුල පුත්‍රයෝ මේ ලාමක ජීවිකාවට බසින්නාහ.
“මහණෙනි, එසේ උසස් පරමාර්ථයකින් පැවිදි වූ කුලපුත්‍ර තෙමේ පරභාණ්ඩයන්ට ආශා කෙරේ නම්, කාමයන්හි බලවත් ඇල්ම ඇතියේ නම්, ව්‍යාපාදයෙන් කුණු වූ සිත් ඇත්තේ නම්, දුෂ්ට සිත් - දුෂ්ට කල්පනා ඇත්තේ නම්, මුළා වූ සිත් ඇත්තේ නම්, නුවණ නැත්තේ නම්, සන්සුන් සිත් නැත්තේ නම්, කුලප්පු වූ සිත් ඇත්තේ නම්, දමනය නො කරන ලද ඉන්ද්‍රිය ඇත්තේ නම්, මහණෙනි, ඒ පැවිදි තෙමේ දෙකෙළවර ගිනි ඇවිලෙන මැද අසූචි තැවරුණු ගමෙහි හෝ වනයෙහි කිසි වැඩෙකට නුසුදුසු සොහොන් පෙණෙල්ල වැනියෙක. ඔහු ගිහි සම්පත්තියෙන් ද පිරිහුණෙක. පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ වශයෙන් ලැබිය යුතු පැමිණිය යුතු ශ්‍රමණාර්ථයෙන් ද පිරිහුණෙක.”
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මෙය ද කියනු ලැබේ.
ගාථාවල තේරුම :-
“ගිහි භෝගයෙන් ද පිරිහුණා වූ, පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ සංඛ්‍යාත ශ්‍රමණාර්ථයෙන් ද පිරිහුණා වූ දුර්භාග්‍ය පුද්ගල තෙමේ විනාශ වෙමින් විසිරෙයි. සොහොන් පෙණෙල්ල මෙන් නැසේ.
බොටුවෙහි කසාවත ඇත්තා වූ ලාමකස්වභාවය ඇත්තා වූ සඤ්ඤමයක් නැත්තෝ බොහෝ ය. ඒ පාපීහු පාප කර්මයන් නිසා නරකයෙහි උපදනාහ.
සඤ්ඤමයක් නැති දුශ්ශීල පුද්ගලයා හට රටවැසියා දෙන ආහාර වැළඳීමට වඩා ගිනිසිළු බඳු ගිනියම් වූ ලොහොගුළි ගිලීම උතුම් ය.”
තථාගතයන් වහන්සේ විසින් මේ සූත්‍රය දේශනය කරන ලද්දේ දුශ්ශීලයන් සඳහා නොව පැවිදි ව රට වැසියන්ගෙන් ලැබෙන ආහාර වළඳමින් වත්පිළිවෙත් කිරීමක් නැති ව භාවනාවක් නැති ව ධර්මය උගෙනීමක් හෝ නැති ව, වෙනත් පැවිද්දන් කළ යුතු දෑ නොකර තවත් එවැනි අය එකතු කර ගෙන තිරශ්චීන කථාවෙන් හා ක්‍රීඩාවෙන් ද කාමවිතර්කාදියෙන් ද නින්දෙන් ද කාලක්ෂේපය කරන අලස පැවිද්දන් සඳහා ය. ශීල මාත්‍රය ඇත ද ඔවුන්ගේ ජීවිතය ඉතා ලාමක ය.
තථාගතයන් වහන්සේ විසින් මේ සූත්‍රයෙහි පිඬු සිඟා ගෙන පවත්වන ජීවිකාවේ ලාමක බව දක්වා තිබෙන්නේ මේ සූත්‍රය එසේ ජීවත්වන පිරිසකට දේශනා කළ හෙයිනි. කවරාකාරයෙකින් හෝ අනුන්ගෙන් ලැබෙන ආහාරයෙන් පවත්වන ජීවිකාව ලාමක ය. පැවිද්දන් නිතර මහජනයා ගේ විවේචනවලට ලක් වන්නේ මිනිසුන් නිතර ම පැවිද්දන්ට අපහාස කරන්නේ මේ අනුන් දෙන දෙයින් ජීවත්වීමනිසා ය. පිඬු සිඟා ජීවත්වන පැවිද්දාට මිනිස්සු එතරම් අපහාස නො කරති. බොහෝ දෙනා එයට පහදිති. වඩාත් මිනිසුන් අපහාස කරන්නේ විහාරයට ගෙනැවිත් දෙන දානය වළඳන පැවිද්දන්ට ය. ඒ නිසා පිඬු සිඟා පවත්වන ජීවිතයට වඩා විහාරයට ගෙනැවිත් දෙන ආහාරයෙන් ජීවත්වීම ලාමක ය. ශ්‍රමණ ජීවිතයට බට තැනැත්තා ඒ ශ්‍රමණ ජීවිතයට ගැළපෙන පරිදි අනුන් දෙන භෝජනය නො පිළිගනිමින් ධනය සපයා ජීවත්වන්නට පටන් ගන්නවා නම් එයත් ලාමක ය. එයින් ද ඒ පුද්ගලයා ගර්හාවට ලක් වේ. ශ්‍රමණ ජීවිතයට බට තැනැත්තා අනුන් නිසා ම ජීවත් විය යුතු ය. අනුන්ගේ උපකාරයෙන් පවත්වන ඒ ලාමක ජීවිත ක්‍රමය තථාගතයන් වහන්සේ විසින් පිළියෙල කර ඇත්තේ ගිහි පැවිදි දෙපක්‍ෂයේ ම යහපත පිණිස ය. විශේෂයෙන් ම ඒ ලාමක ජීවිකාව තථාගතයන් වහන්සේ පිළියෙළ කර තිබෙන්නේ උසස් පරමාර්ථයක් සඳහා ය. එනම් සසර දුකින් එතරවීම ය, නිවනට පැමිණීම ය. පැවිදි වී ඒ අර්ථය සිදුකර ගැනීමට වීර්ය නො කර අලස ව කාලය අපතේ හැරීම, බොහෝ වෙහෙසී බොහෝ දුක් ගෙන කුඹුරක් වපුරා ගොයම පැසුණු පසු අලසකම නිසා එය කපා නො ගැනීම වැනි ලාමක ක්‍රියාවෙකි. නිවන් ලැබීම නමැති ඒ උසස් අර්ථය පැවිදි වූ පමණින් සිල් රැකි පමණින් සිදුවන්නේ නැත. එය සිදු කර ගැනීමට බුදු දහම උගෙන අනලස ව භාවනාවෙහි යෙදිය යුතු ය.
එහෙයින් :-
“නයිදං සිථිලමාරබ්භ නයිදං අප්පේන ථාමසා,
නිබ්බානං අධිගන්තබ්බං සබ්බගන්ථප්පමෝචනං”
(භික්ඛු සංයුත්ත)
යනු වදාරන ලදි. “සර්වග්‍රන්ථයන්ගෙන් මිදීම වූ මේ නිවන ලිහිල් වීර්යයකින් මඳ වීර්‍ය්‍යයකින් නො ලැබිය හැකිය” යනු එහි තේරුම ය. කල්ප කෝටි ගණනකිනුදු ලැබිය නො හෙන මේ බුදුසස්නෙහි දුලබ පැවිද්ද ලැබූවන් විසින් එයින් ලැබිය හැකි උසස් ප්‍රයෝජනය ලැබීමට උත්සාහ කළ යුතු ය.