“අඤ්ඤා හි ලාභූපනිසා අඤ්ඤා නිබ්බානගාමිනී,
ඒවමේතං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස සාවකෝ,
සක්කාරං නාභිනන්දෙය්‍ය විවේක මනුබ්‍රෑහයේ”
(ධම්මපද බාලවග්ග)
තේරුම :
“ලාභ සෙවීමේ මඟ අනිකකි. නිවන් මඟ අනිකකි. බුද්ධ ශ්‍රාවක වූ භික්ෂු තෙම මේ දෙමඟ වෙන වෙන ම දැන ලාභසත්කාර නොපත්නේ ය. විවේකය සොයන්නේ ය.”
ඇතැමුන්ට පෙර පින් බලයෙන් නිරුත්සාහයෙන් ම බොහෝ ලාභසත්කාර ලැබේ. එසේ දැහැමින් ලැබෙන දේ පිළිගැනීම වරද නැත. එහෙත් ඒවාට ගිජු නොවිය යුතු ය. ඒවා නිසා උඩඟු නොවිය යුතු ය. මත් නො විය යුතු ය. පෙර පින් මඳ අයට ලාභ සත්කාර අඩු ය. ඒ අය තමාට ලැබෙන තරමින් සතුටු විය යුතු ය. තමාට කර්මානුරූප ව දැහැමින් ලැබෙන පමණින් සතුටට පත් නො වී අතිරේක වශයෙන් ලාභ උපදවන්නට යත හොත් ඒ පැවිද්දාට කුහකම් ආදි පව්කම් ස්වල්ප වශයෙන් වුව ද කරන්නට සිදු වේ. මඳකුදු පව් කමක් නැති ව ලාභ ඉපදවීම අපහසු ය. ඇතැම්හු ලාභ ඉපදවීම සඳහා බොරු කීම් ආදි බරපතල පව්කම් ද නො කරන්නාහු නො වෙති. ලාභ සෙවීමේ මඟට බට පැවිද්දාහට තමා ගේ මුළු කාලය ම ඒ සඳහා යොදවන්නට සිදු වේ. බුදුරජාණන් වහන්සේ ගේ අවවාදය අනුශාසනය කරන්නට කාලයක් ඔහුට නො ලැබේ. එයින් ඔහු සම්පූර්ණයෙන් ම නිවන් මඟින් බැහැර වේ. පැවිද්දේ පරමාර්ථය නිවන් සෙවීම ය. නිවන් මඟින් බැහැර ව නො මනා ලෙස දිවි පැවැත්වීම පැවිද්දාට මහත් අන්තරායයකි. බොහෝ ලාභ සත්කාර කීර්ති ඇති පැවිද්දා එයින් උසස් ය කියා හෝ ඒවා මඳ පැවිද්දා එයින් පහත් ය කියා හෝ සිතා ලාභ සත්කාර සෙවීමේ මඟට බැස තමා තමා ගේ ජීවිතය නො කිලිටි කර ගත යුතු ය. ඇතැම් පැවිද්දෝ ධනය ලැබෙන ක්‍රමයක් ඇති කර නො ගත හොත් අනාගතයේ තමන්ට ජීවත්වීම දුෂ්කර වෙතියි සිතා එයට බියෙන් මිථ්‍යා ජීවිකාවට බසිති. මිනිස් ලොව සැම දෙනා ම උපදින්නේ යම් කිසි කුශල බලයෙකිනි. ජීවත්වීමට දෙයක් ලබා දීමේ බලයකුත් ඒ කුශලයෙහි ඇත. එබැවින් ජීවත්විය නො හෙති’ යි පැවිද්දන් නො බිය විය යුතු ය. දිගු කලක් අදමින් ජීවත් වීමට වඩා දැහැමින් මිය යෑම උතුම් බව ද බුද්ධාදි උතුමන් ගේ අනුශාසනාවෙකි. නිවන් මඟ ගමන් කරන පැවිද්දාට ලාභ සත්කාර කීර්ති නම් අඩු විය හැකි ය. එහෙත් ඒ නිසා නිවන් මඟින් බැහැර වන්නට කල්පනා නො කළ යුතු ය. බොහෝ දෙනා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උසස් කොට සලකතත් ඒවා ලැබීම පැවිද්දාට නපුරක් මිස යහපතක් බව තථාගතයන් වහන්සේ වදාරා ඇත. ලාභ සත්කාර ගැන තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේ ය.
“දාරුණෝ භික්ඛවේ, ලාභසක්කාරසිලෝකෝ කටුකෝ ඵරුසෝ අන්තරායිකෝ අනුත්තරස්ස යෝගක්ඛෙමස්ස අධිගමාය. තස්මා තිහ භික්ඛවේ, ඒවං සික්ඛිතබ්බං “උප්පන්නං ලාභසත්කාරසිලෝකං ජහිස්සාම න වත නෝ උප්පන්නෝ ලාභසත්කාර සිලෝකෝ චිත්තං පරියාදාය ඨස්සතී” ති. ඒවං හි වෝ භික්ඛවේ, සික්ඛිතබ්බං.”
(ලාභසක්කාර සංයුත්ත)
තේරුම :
“මහණෙනි, ලාභසත්කාර කීර්ති යන මේවා දරුණු ය. කටුක ය. රළු ය. අර්හත්වය හා නිවන ලැබීමට අන්තරායකරය. මහණෙනි, එබැවින් උපන් ලාභසත්කාර කීර්තීන් අත්හරින්නෙමු ය, උපන් ලාභ සත්කාර කීර්තිය අපගේ කුශලචිත්තය අල්ලාගෙන හෝ නැති කරමින් හෝ නො පවතීවාය කියා මෙසේ තොප විසින් හික්මිය යුතු ය.”
කලින් ඉතා හොඳින් මහණදම් පුරමින් විසූ ඇතැම් පැවිද්දන් ලාභ සත්කාර බහුලවීම නිසා තණ්හාව වැඩි වී මානය වැඩි වී හිස් පුද්ගලයන් වනු නොයෙක් විට දක්නා ලැබේ. බොහෝ ලාභ සත්කාර උපදින පැවිද්දා හට නොයෙක් විට පාපී පුද්ගලයන් ළං වී ඒ පැවිද්දා නො මඟ යවනු ද දක්නා ලැබේ. ඔවුන් නිසා ඇතැම් පැවිද්දන්ට ශ්‍රමණත්වයෙන් පහවීමට ද නොයෙක් විට සිදු වේ. ධර්මයෙන් ලැබෙන ලාභසත්කාරය වුව ද පැවිද්දාට නපුරක් බව තථාගතයන් වහන්සේ වදාළේ එහෙයිනි. ලාභසත්කාරය ගැන මෙසේ ද වදාරා ඇත්තේ ය.
“බහු සපත්තේ ලභති මුණ්ඩෝ සංඝාටිපාරුතෝ,
ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස සයනස්ස ච.
ඒතමාදීනවං ඤත්වා සක්කාරේසු මහබ්භයං
අප්පලාභෝ අනවස්සුතෝ සතෝ භික්ඛු පරිබ්බජේ.”
(තිස්සත්ථෙර ගාථා)
තේරුම :-
“හිස මුඬු කොට සිවුරු දරා සිටින ආහාරපාන වස්ත්‍ර ශයනයන් බොහෝ ලබන තැනැත්තා බොහෝ සතුරන් ද ලබයි.
ලාභසත්කාරයන්හි ඇති මේ දෝෂය, මේ මහාභය දැන භික්ෂු තෙමේ අල්පලාභී වූයේ ලාභතණ්හාව නමැති කුණුදියෙන් තෙත් නො වූයේ සිහියෙන් යුක්ත වූයේ ලෝකයෙහි හැසිරෙන්නේ ය.”
මේ ගාථාවලින් දැක්වෙන්නේ ලාභී භික්ෂුවට බොහෝ සතුරන් ඇති වන බව ය. බොහෝ ලාභ ඇති පැවිද්දන්ට දෙවර්ගයක සතුරෝ ඇති වෙති. ඔවුන් ගෙන් එක් කොටසක් නම් ඊර්‍ෂ්‍යාකාරයෝ ය. ඔවුහු ඒ ඊර්ෂ්‍යාව නිසා ලාභී පැවිද්දාහට නොයෙක් කරදර කරති. අනික් කොටස ලාභ ඇති පැවිද්දාගෙන් ප්‍රයෝජන ලබනු පිණිස මිත්‍රරූපයෙන් එන සතුරෝ ය. ඒ දෙවන කොටස වඩාත් භයානක ය. ඔවුහු ලාභ ඇති පැවිද්දා නො මඟට පොළඹවා ගෙන මහත් විපත් කෙරෙති. ඒ උවදුර නිසා මහණකම් නැති කරගන්නා පැවිද්දෝ බොහෝ ය. ලාභ අත්හැර අල්පලාභී වන්නට තිස්ස තෙරුන් වහන්සේ සබ්‍රහ්මචාරීන්ට අනුශාසනා කර ඇත්තේ ඒ උවදුරු නිසා ය.
බොහෝ ප්‍රත්‍යය ලැබෙන පැවිද්දා විසින් තණ්හාවෙන් ඒවා ගොඩ ගසා ගෙන සිට විනාශ වන්නට හරින්නේ හෝ විකුණා මුදල් රැස් කරන්නට පටන් ගන්නේ හෝ නැතිව ඒවායින් අල්පලාභී සබ්‍රහ්මචාරීණ්ට සංග්‍රහ කළ යුතු ය.
“න ච භික්ඛවේ, සද්ධාදෙය්‍යං විනිපාතේතබ්බං, යෝ විනිපාතෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”
(මහාවග්ග චීවරක්ඛන්ධක)
“මහණෙනි, සැදැහැවතුන් දුන් ප්‍රත්‍යය විනාශ නො කළ යුතු ය. යමෙක් ඒවා විනාශ කෙරේ නම් දුකුළා ඇවැත් වේය” යි විනය සිකපදයක් ඇති බැවින් වැඩිපුර ලැබෙන ප්‍රත්‍යය විනාශ ද නො කළ යුතු ය. නෑයන්ට දීම සද්ධාදෙය්‍ය විනිපාතනයෙකි. “අනුජානාමි භික්ඛවේ, මාතාපිතූනං දාතුං” යි වදාරා ඇති බැවින් තමාට ලැබෙන ප්‍රත්‍යය මාපියන්ට දීම වරද නැත. “සේස ඤාතීනං දෙන්තෝ විනිපාතේති ඒව” යනුවෙන් විනය අටුවාවෙහි මාපියන් හැර සෙසු නෑයන්ට දීමත් සඬාදෙය්‍ය විනිපාතනය බව දක්වා තිබේ. භික්ෂූන්ගේ වතාවත් කරන ගිහියන්ටත්, පැවිදි වීමට පැමිණ ඉන්නා අයටත්, නුදුන හොත් අනතුරු කරන රාජ චෝරාදීන්ටත්, විහාරයට පැමිණ දුගියන්ටත්, මඟ වියදම් නැතුව පැමිණෙන ආගන්තුකයන්ටත් තමාට ලැබෙන ප්‍රත්‍යය දීමෙන් වරදක් නො වේ.
න ච භික්ඛවේ, පණිධාය අරඤ්ඤේ වත්ථබ්බං. යෝ වසෙය්‍ය ආපත්ති දුක්කටස්ස. න ච භික්ඛවේ පණිධාය පිණ්ඩාය චරිතබ්බං, යෝ චරෙය්‍ය ආපත්ති, දුක්කටස්ස.
(පාරාජිකාපාළි චතුත්ථපාරාජිකා)
යනුවෙන් “මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා පතා අරණ්‍යයෙහි නො විසිය යුතු ය. පිඬු පිණිස නො හැසිරිය යුතුය” යි වදාරා ඇති බැවින් ශ්‍රමණයන් විසින් කළ යුතු ආරණ්‍යයෙහි විසීම් භාවනා කිරීම් ආදිය වුව ද ලාභ කීර්ති පතා නො කළ යුතු ය.