ඌමි භය, කුම්භීල භය, ආවට්ට භය, සුසුකා භය කියා ජලයට බසින්නහුට එහි භය සතරක් ඇති බවත්, එවැනි භය සතරක් බුදුසස්නෙහි සැදැහැයෙන් පැවිදි වන කුලපුත්‍රයාට ද ඇති බවත්, තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම නිකායේ චාතුම සූත්‍රයෙහි හා අංගුත්තර නිකායේ චතුෂ්ක නිපාතයෙහි ද වදාරා ඇත්තේ ය.
ඒවායින් “ඌමි භය” යනු දියට බට අය යට කරන තද රළ නිසා වන භය ය. “කුම්භීල භය” යනු මිනිසුන් අල්ලන නපුරු කිඹුලුන් නිසා වන භය ය. ‘ආවට්ට භය’ යනු මිනිසුන් ඇද ගන්නා දියසුළි නිසා වන භය ය. ‘සුසුකා භය’ යනු මිනිසුන් අල්ලන සපන නපුරු මසුන් නිසා වන භය ය.
මේ සස්නෙහි කුලපුත්‍රයකු පැවිදි වූ කල්හි ඔහුට ආචාර්යෝපාධ්‍යායාදි සබ්‍රහ්මචාරීහු “ඇවැත්නි, මෙසේ යා යුතු ය, මෙසේ හිඳ ගත යුතු ය. මේ වේලාවට සැතපිය යුතුය. මේ වේලාවට නැගිටිය යුතුය. මෙසේ බැලිය යුතුය, මෙසේ පා සිවුරු දැරිය යුතු ය. මේ මේ දේ කළ යුතු ය, මේ මේ දේ නො කළ යුතු ය යනාදීන් අවවාදානුශාසනා කෙරෙති. ඇතැම් පැවිද්දෝ එසේ අවවාදානුශාසනා කරන කල්හි ආචාර්යෝපාධ්‍යායාදීන් කෙරෙහි කිපී ගිහි ව සිටි කාලයේ දී අපේ වැඩවලට කවුරුවත් ඇඟිලි ගසන්නට ආවේ නැත. අපි කාගේන්වත් කරදරයක් නැතිව අපේ කැමැත්ත පරිදි හැසුරුණෙමු. දැන් අපට කිසි නිදහසක් නැත. මේ මොන කරදරයක්ද? මේ මහණ කමෙන් අපට කම් නැත.” කියා සිවුරු හැර යති. ක්‍රෝධයට යට වී එසේ සිවුරු හැර යෑම, දියට බට තැනැත්තා ගේ රළට යට වී මැරීම වැනි බැවින් කෝධූපායාසය ‘ඌමිභය’ යයි කියනු ලැබේ.
“ඌමිභයන්ති ඛෝ භික්ඛවේ, කෝධූපායස්සේතං අධිවචනං.”
“මහණෙනි, ඌමි භය යන මෙය ක්‍රෝධය නිසා වන චිත්තපීඩාවට නමක් ය” යනු එහි තේරුම ය.
මේ ශාසනයෙහි පැවිදි වන්නා වූ ඇතැම් කුලපුත්‍රයෝ ආචාර්යෝපාධ්‍යයාදීන් විසින් මෙය කෑ යුතු ය. මෙය නො කෑ යුතු ය. මෙය පිය යුතු ය, මෙය නොපිය යුතු ය, මේ වේලාවේදී කෑ යුතු ය, මේ වේලාවේදී නො කෑ යුතු ය, මෙය කැප ය, මෙය අකැපය ය යනාදීන් අවවාදානුශාසනා කරන කල්හි, ගිහි කාලයේ අපට මෙබඳු කරදරයක් තිබුණේ නැත. අපි අපගේ කැමැත්ත පරිදි කැමති වෙලාවක කැමති දෙයක් නිදහසේ කෑවෙමු. බීවෙමු. දැන් අපගේ කටත් වසති. ඇති දෙයක් වත් රිසිසේ කා බී ඉන්නට අපට ඉඩ නොදෙති. මෙය මහ කරදරයෙකි. මේ වැඩේ අපට කරන්නට බැරිය කියා සිවුරු හැර යති. කිඹුලුන් ජලයට බසිනවුන් කා මරා දමන්නාක් මෙන් නිතර කෑමට බීමට බලාපොරොත්තු වන කෑදර පුද්ගලයා ඒ කෑදර කමින් ම සසුනෙන් පහ කරනු ලැබේ. එබැවින් කෑදරකම මේ ශාසනයෙහි කුම්භීල භය ය’ යි කියනු ලැබේ.
“කුම්භීල භයන්ති ඛො භික්ඛවෙ, ඔදරිකත්තස්සෙතං අධිවචනං”
“මහණෙනි, කුම්භීල භය යනු කෑදර කමට නමක් ය” යනු එහි තේරුම ය.
මේ සස්නෙහි පැවිදි වූ ඇතැමෙක් සිහියෙන් තොර ව ඉන්ද්‍රියසංවරයෙන් තොර ව නගරග්‍රාමයන්ට පිවිස එහි හොඳ ඇඳුම් පැළඳුම් ඇති ව, හොඳ ගෙවල් ඇති ව, හොඳ ගෘහභාණ්ඩ ඇති ව, හොඳ කෑම් පීම් ඇති ව, හොඳ යාන වාහන ඇති ව, පස්කම් සැප විඳින ජනයා දැක, “මේ මහණකම කිසිවක් කර කියා ගන්නට ඉඩක් නැති සිරගෙගයක් වැනියක, මේ පැවිදි ජීවිතයෙන් ඇති පලක් නැත” කියා පස්කම් සැපයට ආශා කොට සිවුරු හැර යෙති. ජලයට බට තැනැත්තා දිය සුළිවලින් ඇද ගෙන ගොස් දියෙහි ගිල්වා මරන්නාක් මෙන් පඤ්චකාමයන් එයට ආශා කරන පැවිද්දන් තමා කරා ඇද සසුනෙන් පහ කරන බැවින් එය දිය සුළියක් වැනි ය. එබැවින් එයට මේ සස්නෙහි ‘ආවට්ටභය’ය යි කියනු ලැබේ. තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ආවට්ටභයන්ති ඛෝ භික්ඛවේ, පඤ්චන්නං කාමගුණානමේතං අධිවචනං.”
“මහණෙනි, ආවට්ට භය යන මෙය පඤ්චකාමයට නමෙක” යනු එහි තේරුම ය.
මේ සස්නෙහි සැදැහැයෙන් පැවිදි වූ ඇතැමෙක් සිහියෙන් තොර ව ඉන්ද්‍රිය සංවරයෙන් තොර ව නගර ග්‍රාමයන්ට ඇතුළු ව ඒවායේදී නො මනා ලෙස හැඳ පොරවා වෙසෙන මාගමුන් දැක රාගය ඇවිස්සී සිවුරු හැර යති. දියට බට ඇතැමුන් නපුරු මසුන් විසින් මරා දමන්නාක් මෙන් මාගමුන් දැක ඇති වන රාගය ද පැවිද්දන් ශාසනයෙන් පහ කර දමන බැවින් එයට “සුසුකාභයය” යි කියනු ලැබේ. තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“සුසුකාභයන්ති ඛෝ භික්ඛවේ, මාතුගාමස්සේතං අධිවචනං”
“මහණෙනි, සුසුකා භය යන මෙය ස්ත්‍රියට නමෙක” යනු එහි තේරුම ය. සසර දුකින් එතෙර වනු රිසියෙන් සැදැහැයෙන් පැවිදි වූ කුල පුත්‍රයෝ මේ භය සතරට හසු වී ශාසනයෙන් බැහැර වන්නට සිදු නොවන ලෙස සිහිනුවණින් යුක්ත වෙත්වා!