රෝගියකුට ඉක්මනින් රෝග සුවය ලැබිය හැකි වීමට නම් හොඳ උපස්ථායකයකු ලැබිය යුතු ය. උපස්ථායකයා නරක් වුවහොත් රෝගය වැඩෙන්නටත් සමහර විට රෝගියා මැරෙන්නටත් ඉඩ ඇත්තේ ය. හොඳ උපස්ථායකයා ගේ අංග තථාගතයන් වහන්සේ මෙසේ වදාරා තිබේ.
“පඤ්චහි භික්ඛවේ, අංගෙහි සමන්නාගතෝ ගිලානුපට්ඨාකෝ අලං ගිලානානං උපට්ඨාතුං පටිබලෝ හෝති භේසජ්ජං සංවිධාතුං; සප්පයාසප්පායං ජානාති, අසප්පායං අපනාමේති, සප්පායං උපනාමේති; මෙත්තචිත්තෝ ගිලානං උපට්ඨාති නෝ ආමිසන්තරෝ; අජේගුච්ඡි හෝති උච්චාරං වා පස්සාවං වා ඛෙලං වා වන්තං වා නීහරිතුං; පටිබලෝ හෝති කාලේන කාලං ධම්මියා කථාය සන්දස්සේතුං සමාදපේතුං සමුත්තේජේතුං සම්පහංසේතුං; ඉමේහි ඛෝ භික්ඛවේ, පඤ්චහංගේහි සමන්නාගතෝ ගිලානුපට්ඨාකෝ අලං ගිලානානං උපට්ඨාතුං”
(මහාවග්ග චීවරක්ඛන්ධක)
තේරුම:-
“මහණෙනි, අංග පසකින් යුක්ත ග්ලානෝපස්ථායකයා ගිලනුන්ට උපස්ථාන කිරීමට සුදුසු ය. බෙහෙත් පිළියෙළ කිරීමට සමර්ථ වෙයි; සත්ප්‍රායාසත්ප්‍රාය දනී, අසත්ප්‍රාය දෙය බැහැර කරයි, සත්ප්‍රාය දෙය දෙයි; යම්කිසි ආමිසයක් බලාපොරොත්තු නො වී මෛත්‍රී චිත්තයෙන් ගිලනාට උපස්ථාන කරයි; මල මුත්‍ර හෝ කෙළ හෝ වමනය හෝ බැහැර කිරීමට පිළිකුල් නො කරන්නේ වෙයි; දැහැමි කථාවෙන් මෙලොව පරලොව යහපත දැක්වීමට කුශලය සමාදන් කරවීමට කුශලයෙහි උත්සාහවත් කරවීමට සිත සතුටු කරවීමට සමර්ථ වෙයි. මහණෙනි, මේ අංග පසින් යුක්ත උපස්ථායකයා ගිලනා හට උපස්ථාන කිරීමට සුදුසු වෙයි.
පැවිද්දකු රෝගාතුර වූ කල්හි උපස්ථාන කරන පැවිද්දා විසින් ලෝකාපවාදයෙන් මිදීම පමණක් සලකා යම්තමින් එය නො කොට කියන ලද පඤ්චාංගයෙන් යුක්ත ව ග්ලානෝපස්ථානය හොඳින්ම කරන්නට කල්පනා කළ යුතු ය.